(දික්) කසාද

සාරණ්‍යා අනන්ත එක්ක යාලු වුණේ අනන්ත විවාහක බව දැනගෙනමයි. අනන්තගේ කඩවසම් පෙනුම, වත් පොහොසත්කම් ඉස්සරහ සාරණ්‍යා අන්ධ වෙලා වගේ හිටියේ. ඒ හැටි දැනුම් තේරුම් නැති අම්මට අනන්ත ගැන මහ බොරු ගොඩක් කියලා අම්මාව අනන්තට කැමති කරගන්නත් සාරණ්‍යාට වැඩි කාලයක් ගියේ නැහැ. 

අනන්ත සාරණ්‍යාට කිට්ටු වුණේ සඳුනි එක්ක ජීවිතේ නීරස වෙලා නෙවෙයි. සඳුනි ළඟ නොදැනුන කියාගන්න නොදැනෙන ස්පාර්ක් එකකින් සාරණ්‍යා තමන්ව අල්ලගන්න බව දැනුන නිසා. දවල් වරුවේම සාරණ්‍යා එක්කල කෙළිලොල් ජීවිතයක් ගෙවන අනන්ත රෑ ගෙදර ගියාම සඳුනිගෙයි , දරුවාගෙයි ලෝකේමයි හිටියේ. හැබැයි ආයෙම රෑ නිදාගන්න කලින් සාරණ්‍යා වෙනුවෙන් වෙලාවක් වෙන් කලා. 

සාරණ්‍යා මුලදී මුලදි නම් අනන්තගේ ජීවිතේ මේ පුරුදු පිළිවෙල දරාගත්තා වුනත්, කල් යනකොට අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්න ගත්තා. එච්චර කල් හඳක් වගේ පෙනුණ ‍කෙල්ලව අනන්තට එපා වෙන්න ගත්තා. අනන්ත කලේ උපක්‍රමශීලී වෙලා සාරණ්‍යා ව මඟ් හරින්න උත්සාහ කල එක. ඒත්   මුල් වතාවක්, දෙවතාවක් යනකොටම සාරණ්‍යා ඒ මඟ හැරීම වටහ් ගත්තා. හැබැයි අවුරුදු ගානක්  තිස්සේ අනන්ත වෙනුවෙන් මඟ බලාගෙන හිටිය එක් නිකම්ම අතාරින්න සාරණ්‍යා කැමති වුනෙත් නැහැ. 

ඒ නිසා සාරණ්‍යා ඉස්සෙල්ලාම කලේ සඳුනි ට නිර්නාමික ඇමතුම් වලින් අනන්ත ගැන කීව් එක. ඉන් පස්සේ චායාරූප. ඊටත් පස්සේ වීඩියෝ කැබලි. 

දවසින් දවස සාරණ්‍යා කියන  දේවල් අහගෙන ඒ අතරට අනන්තගේ  සමහ්ම්‍ර වෙනස්කමුත් දැකගෙන තවදුරටත් ඉවසන්න උවමනා වුණේ නැහැ. ඒ නිසාම අනන්ත ට නිවාඩු දවසක දරුවාව අම්මලාගේ ගෙදර දාලා සඳුනි අනන්ත එක්ක ආයෙම ගෙදර ආවා.

වෙනදා හුරුවෙන් පිටට සඳුනි කරන දේවල් එක්ක අනන්තට යමක් සිදුවෙන්න යන බව කොහොමටත් දැනිලා තිබුණේ. ඒත් අනන්ත කලබල නොවී ඉන්න උත්සාහ කලා. 

“ඔයාට සාරණ්‍යා කියන ගෑණු කෙනා එක්ක තියෙන සම්බන්ධතාවේ ගැන මම මුකුත් අහන්නේ නෑ.. මොකද එයා මට සෑහෙන්නම දේවල් කිවා. ආයෙම ඔයාගේ පැත්තෙන් කතාව අහලා මට තව පෑරෙන්න උවමනා නෑ…”

සඳුනි එකපාරටම එහෙම කියාගෙන සෙටියට අඬාගෙන වැටුණා.  සැකයක් ගැන විමසීමක් ඇරුණ කොට මේ වගේ දෙයක් අහවි කියලා හීනෙකින්වත් හිතලා නොතිබුණ නිසා අනන්තට එකපාරටම කිසිම දෙයක් හිතාගන්නත් බැරුව ගියා. අනන්ත සඳුනි ට දුරින් ඉඳගත්තා. සඳුනි අඬන තරමට උරහිස් ගැස්සෙනවා අනන්තට පේනවා. ජීවිතේ පලවෙනි වතාවට අනන්තට තමන් ගැන අනුකම්පාවක් දැනෙන්න ගත්තා. ජීවිතේ වැඩිපුරම තමන් වෙනුවෙන් කැපකිරීම් කරපු ගැහැණිය තමන්ගේ වැරදි නිසා කඳුළේ ගිලෙන වෙලාවකවත් ඒ කඳුළු පිහිදන්න ඉඩ නැති වෙන එක මරණීය වේදනාවක් ගානට අනන්තට දැනුණා. 

අනන්ත හිටියේම ගල් ගැහිලා වගේ. සඳුනි අඬලා අඬලා නැවතුණා.

” අපි දික්කසාද වෙමු. මම අය්යා ළඟට යනවා.. ඇමරිකා…”

සඳුනි දැඩි හඬකින් එහෙම කිව්වා. අනන්තට ඒ වෙලාවේ සඳුනිව නවත්තත්ත එක වචනයක්වත් ගැලපුණේ නැත්තේ, සාරණ්‍යා සඳුනිට එවලා තිබුණ පණිවිඩ බලන්න සඳුනි ජංගම දුරකතනය අනන්තගේ අතට දීපු නිසා. අනන්ත සාරණ්‍යා සඳුනි ට එවපු පණිවිඩය එකෙන් එක කියෙව්වා. අන්තිමේදී ගෙදරින් එළියට ගියේ සාරණ්‍යා ගැන ජීවිතේ ලොකුම වෛරය එක්ක. 

අනන්ත සාරණ්‍යා ගෙන් අයින් වුනා. සඳුනි  අනන්ත ගෙන්  නීත්‍යානුකූලවම  අයින්  වෙලා විදෙස් ගත වුණා. අනන්ත සඳුනි ට කිසිම බලපෑමක් නොකර ඉඩ දුන්නා. සාරණ්‍යා අනන්ත ගේ ආයතන ප්‍රධානියා එක්ක පැටලුණා. අනන්ත ගේ රාජකාරි ජීවිතේ අපායක් වෙන්න ගත්තා. යාලුවන්ට පවා අනන්තව මඟෑරුණා.

සඳුනි ගේ වෘත්තීය ජීවිතේ ඇමරිකාවෙදි දියුණු වෙන බව අනන්ත දැන ගත්තා. ඒක පුදුමාකාර සැනසීමකින් දැනෙනකොට ජීවිතේ , ආදරේ තිබුණ තැන් ගැන අනන්ත තේරුම් ගත්තා. ඒත් හැමදේම නිවැරදි කරන්න තරම් ප්‍රමාද වැඩියි. 

අන්තිමේදී අනන්ත තීරණයක් ගත්තා. වීඩියෝ ඇමතුමක් අරගෙන පුතාට කතා කලා. සඳුනි ට හොරෙන් පුතා ලවා සඳුනි දිහා බලාගෙන හිටියා. 

“එයා සතුටින් ..”

සැනසීමෙන් ඇමතුම විසන්ධි කලා. හැම බැඳීමක්ම බිඳ ගත්ත මිනිහෙක් ට ජීවිතේ අල්ලන් ඉන්න එක කොච්චරක් වෙහෙසක්ද කියලා හිතන්න අනන්ත දවසක් දෙකක් ගත්තා. අධිමාත්‍ර ඖෂධ තොගයක් එහා මේසෙකින් අනන්තගේ අතට මාරු වුණා. 

අනන්ත ඇස් ඇරියේ සති තුනකින්. ඉස්සෙල්ලාම දැක්කේ පුතාගේ මූණ. ඊට පස්සේ බොඳ වෙවී පෙනුණේ සඳුනි ගේ මූණ. අනන්තට ඒ මූණ පැහැදිලි ව බලන්න උවමනා වුනා.ඒත් ඇස් ඇරෙන්න තරම් සවියක් තිබුණේ නැහැ.

සඳුනි අනන්තගේ ජීවිතේ එක පැත්තකින් ආයෙම හිට ගත්තා. අනන්ත දුර්වල වෙන වාරයක් ගානේ වාරුව දුන්නා.

“දැන් ආයේ බැඳපං…”

යාලුවෝ අනන්ත ට කිව්වා. 

“ඕනි නැහැ. එයාට එහෙම හිතෙන දවසක් වෙනකල් මම මෙහෙම ඉන්නවා…”

අනන්ත දුරින් ඉන්න සඳුනි දිහා බලාගෙන එහෙම කිව්වා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles