නිබ්බුත ගීත -34

උසස් පෙළ කරනා ගමන් ම මල්ලී සිය සුබ පැතුම් පත් ව්‍යාපාරය දියුණු කරමින් සිටියේ ය. එකතු කර ගත් මුදල් ටිකක් ද දමා ඉතිරිය මාසිකව ගෙවීමේ ක්‍රමයට ඔහු පරිගණකයක් මිල දී ගත්තේ ය. උසස් තත්වයේ සුබ පැතුම් පත් නිර්මාණයෙහි ලා පරිගණකයක් නැතිව බැරි බව ටික කලක සිට ඔහු පවසමින් සිටියේ ය. උසස් පෙළ ඉහළින් සමත් වීම ගැන ලොකු ආශාවක් හෝ බලාපොරොත්තුවක් ඔහු පෙන්වූයේ නැත. නමුත් ව්‍යාපාරිකයෙකු වීමේ දැවැන්ත අරමුණක් ඔහු ට තිබිණ. 

“හැම මනුස්සයම ඔය විභාග ටික පාස් කර ගෙන පිළිවෙලට ඉගෙන ගෙන යන්න ඕන කියල එකක් නෑ නිබ්බුතා. එක එක මනුස්සය එක එක පැති වලට යනව. අම්මල තාත්තලගෙ උවමනාවට තමන් අකමැති සබ්ජෙක්ට්ස් කරල හරි අකමැත්තෙන් සමහර ෆීල්ඩ් වල වැඩ කරන හැටි මං දැකල තියනව. තමන් කැමති දෙයක් කරගෙන සතුටෙන් ඉන්න එක තමයි මිනිහෙක්ට තියන ලොකුම පෝසත්කම. මල්ලිට ඕන බිස්නස් කරන්නනං කරපුදෙං. ඒ ලෙවල්ස් කරල කැම්පස් ගිහිං ඩිග්‍රි එක කරල එංජිනියර් කෙනෙක් වුණ මාත් අද බිස්නස්මන් කෙනෙක් ළඟ පඩියට වැඩ කරනව. දවසක මල්ලි ළඟත් එහෙම වැඩ කරන අය ඉඳීවි”

මල්ලී උසස් පෙළ වගකට නොගැනීම ගැන මා කණස්සල්ලෙන් පසු වත්දී ලෝචන මගේ හිත හැදුවේ එසේ ය. කුඩා කල පටන් මල්ලීට තිබූ ව්‍යාපාරික ඉව මට මතක ය. මුලින් ම එය පිටතට ප්‍රකාශ වූයේ මා මධාරා අක්කා වෙනුවෙන් සිහින පෙරණයක් සැදූ වෙලාවේ ය. පන්සලේ නොමිලයේ පැවැත්වූ පරිගණක පාඨමාලාවට ඔහු පාසල් යනවාට වැඩි උනන්දුවකින් සහභාගී වූයේ ය. 

“ඔයා රාහුල්ට හුඟක් ආදරෙයි කියන එක ඇත්ත. ඒ වුණාට ඌත් තමන්ගෙමයි කියල අභිමානයක් තියන නිදහස් මිනිහෙක් කියන එක අමතක කරන්න එපා”

වාර විභාගයේදී මල්ලිගේ ලකුණු අඩු වීම ගැන මා හඬමින් ද දොඩමින් ද ආවේශයකින් වාගේ ඔහු ට බැණ වැදුණ වෙලාවක ලෝචන මා සන්සුන් වූ පසු පැහැදිලි කළේ ය. ඒ වෙත්දීත් මා සිටියේ මල්ලීට ලකුණු අඩු වීම ගැන අඩු නොවූ හිත් වේදනාවෙනි.

“ඒ වුණාට අයියෙ…එයා දන්නව අපිට වෙන මාර්ගයක්..”

“නිබ්බුතා…ඉගෙනීම තමයි එකම මාර්ගය. ඒක ඇත්ත. හැබැයි ඒ ස්කූල් සිලබස් එක විතරක්ම නෙවෙයි. අනාගතයක් හදා ගන්න පුළුවන් මොන දේ ඉගෙන ගැනීමත් ඒ පාර හොයා ගැනීමක් තමයි. මෙහෙමයි. හැමෝටම යන්න තියෙන්නෙ එකම පාරයි කියල හිතන්න එපා. ඒ කියන්නෙ කැම්පස් ගිහිං ඩිග්‍රි එකක් කළොත් විතරයි ඒ පාර ඕපන් වෙන්නෙ කියල හිතන්න එපා. ඕන තරං පාරවල් තියනව එකම ගමනාන්තෙකට යන්න. අපි යන්න ඕන අපිට හරියන පාරෙ. ඒක එක එක්කෙනාට වෙනස් විදිහට දැනෙන්න පුළුවන්”

මල්ලී ගේ වෘත්තීය ගමන ගැන මා හිත හදා ගත්තේ ලෝචන විසින් කිහිප වරක් එවැනි දේශන පැවැත්වීමෙන් අනතුරුව ය. ලෝචන මදුරාපුර කියන්නේ ජීවිතය දෙස සාධාරණ නෙතකින් බැලූ මිනිසෙකු බව ඔහුව ඇසුරු කරන්නට ගෙන කෙටි කලක් යන විට මට වටහා ගත හැකි විය. ඕනෑ ම නරකක පවා ඊට ඉවහල් විය හැකි හේතුවක් දකින්නට ඔහු ට හැකි විය. ලිං මැඩියෙකු සේ සමාජ අවබෝධයක් නැති ජීවිතයක් ගත කළ මට ඔහු ප්‍රදීපාගාර ආලෝකයක් සේ පාර පෙන්වූයේ ය. 

දවසින් දවස අපේ බැඳීම වයස්ගත වන විට මට ඔහු ගැන වූ අවබෝධය ද දැඩි වෙමින් තිබිණ. මේ ගැන වෛද්‍ය පීඨයේ මගේ මිතුරු අනාගත වෛද්‍යවරු වෛද්‍යවරියන් යම් යම් අදහස් පල කළහ.

“ගෙවල් වලින් දැන ගෙන කැමැත්ත දුන්නට පස්සෙ අෆෙයා එකක කිසි ගතියක් නෑ”

යන්න පොදුවේ බොහොමයක් දෙනා දැරූ මතය ය. 

“ඔහොම හැම දවසකම මීට් වෙන්න ගියාම ටික කාලයක් යනකොට කසාද බැඳපු එවුන් දෙන්නෙක්ට වගේ සාමාන්‍ය දෙයක් වෙයි. ඒ කියන්නෙ කිසි එක්සයිට්මන්ට් එකක් නැති අෆෙයා එකක් වෙයි”

යනුවෙන් ද ඇතැමෙක් පැවසූහ. මා ඇති තැන ද නැති තැන ද අපේ ඇසුර ගැන ඔවුන්ට නොයෙකුත් මතිමතාන්තර තිබිණ. නමුත් ලෝචනව මුණ ගැහෙන හැම වතාවක් ම මට අලුත් හමුවක් වූ බව කිව යුතු ය. ඒ වාගේ ප්‍රේමයක් හිතින් පතා සිටියා වූ ද නමුත් ප්‍රායෝගික ව අත් විඳිය නො හැකි වූ ද තරුණියක හිතින් මට ඊර්ෂ්‍යා කළ බව මම දනිමි. ඔවුන් ප්‍රසිද්ධියේ කී ඇතැම් කතාවක් තුළ එවැනි අදහසක් ඔවුන්ටත් නො දැනී සැඟවී තිබිණ. එසේ ම මගෙන් ප්‍රේමය විමසා සිටියා වූ වෛද්‍ය ශිෂ්‍යයන් කිහිප දෙනෙක් ම ලෝචන ව විවේචනය කළහ. ඒ සියල් අවස්ථා වල මා කළේ සිනහවකින් කර බා ගන්නා එක ය. 

මිනිසුන් ව බාහිරින් දැක විවේචනය කිරීම හා නිගමන වලට එළඹීම බරපතල වරදක් විය හැකි බව  මදුරාපුර මැතිණිය මට නිහඬ ව උගන්වා තිබුණා ය!

මල්ලී උසස් පෙළ විභාගය ලියනා විට මා වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවියකි. ඒ වසර දෙකක කාලය තුළ මහ ගෙදරත් සමග වූ අපේ සම්බන්ධතා සම්පූර්ණයෙන් ම වාගේ නැති වී ගොස් තිබිණ. ඉඳ හිට මග තොට දී ලෝචන හැරෙන්නට වෙනකෙකු මට නම් මුණ ගැසුණේ ද නැත. මල්ලී සිර ගත කරන්නට ඔවුන් දැරූ අප්‍රසන්න උත්සාහය නොවන්නට මා ඉඳ හිට හෝ එහි ගොස් එන්නට තිබිණ. 

“දොස්තර කෙනෙක් වෙන්න පාස් වුණත් හරි නිබ්බුතාට අං ආව”

කියා මහ ගෙදර ගැහැනු අසල්වැසි කාන්තාවකට කියනු ලැබ, අම්මාට එය ආරංචි වී තිබිණ. නමුත් මා එවැන්නක් මත හිස ඉදිමවා ගන්නට තරම් මුග්ධ කෙල්ලක නොවන බව මම දැන සිටියෙමි. මුල අමතක වුණා යයි ඔවුන් නොයෙක් අවස්ථා වල පවසා තිබිණි ද මට මුල මැද අග වශයෙන් අපේ යටගියාවේ අංශුවකුදු අමතක වූයේ නැති බව ඉඳුරා දනිමි. සිදු වූයේ ඔවුන් යනු ඇසුරු කිරීමට තරම් නොවන නොමිනිස් ගති ඇති මිනිසුන් සේ අපට දැනීම ය.

“අවන්තට කාල ඉන්න බෑ දැන්. එක තැනක රස්සාවක්වත් නොකර රස්තියාදු ගගහ ඉන්නවනෙ. මං බිස්නස් එකක් කරගෙන යන එකටත් පැලෙන්න යනව කියල කොල්ලො මට කිව්ව. අවන්තය දැන් අම්බානක බොනවලු”

මල්ලී ඒ ආරංචිය කියනා විට අම්මා ද සිටියා ය. 

“බීල හෙන චොරයක්ලු. සල්ලි ඉල්ලල රණ්ඩු වෙනවලු ගෙදර. දුන්නැති වුණාම පිස්සු කෙළිනවලු. බඩු පොළොවෙ ගහල අරව මේව”

ඉස්සර අප දර මඩුවේ දුක් විඳින යුගයේ දීත් අම්මා සිය සහෝදරයින් දෙදෙනා හිස් මුදුණේ තබා ගෙන සිටියා ය. මා නොව ඔවුන් ගැන ආඩපාලි කීවේ මල්ලී ය. විටෙක ඒවා සමච්චලය පිරි ඇනුම්පද විය. මල්ලී එහෙම කළේ මට වැඩි සමාජ අවබෝධයක් එකලත් ඔහුට වූ නිසා ය. මිනිසුන් ඇසුරු කිරීමෙන් ම ඔහු මිනිසුන් යනු කවුදැයි හඳුනා ගත හැකි ඉවක් වර්ධනය කර ගෙන සිටියේ ය. ඒ කාලේ මල්ලී මහ ගෙදරට දොස් කියත්දී  මල්ලීට බැණ වැදුණ අම්මා දැන් එහෙම කරන්නේ නැත.

“අනේ දෙයියනේ තමංගෙ එකෙක්ට නෙවෙයි හතුරෙක්ට වුණත් විපතක් වුණහම හොඳ වැඩේ කියන ජාතියෙ මිනිස්සු නෙවෙයි අපි. ඒ වුණාට ඒ කොල්ලව කාල දැම්මෙ අපේ මලයම තමයි. පොඩි කාලෙ ඉඳලම ඌව නරක් කළා. ඌ කරන වැරදි වලට දඬුවම් කරනව වෙනුවට කළේ ඒව හංගගෙන පිට මිනිස්සු ඉස්සරහ ඌ මුරුංගා අත්තෙ නග්ගපු එක. ඒවයෙ විපාක තමයි ඔය”

“වටෙංම සල්ලිත් ණයට අරංලු. දැන් ණයකාරයො එනවලු මහ ගෙදරට”

අම්මා කම්මුලේ අතක් තබා ගත්තා ය. සිය දරුවන්ට හරි යත්දී සහෝදරයා ගේ දරුවන්ට වැරදුණා කියා සතුටු වන සිතක් අම්මා ට නැත්තේ ය. නමුත් ඒ කාලේ දී අපට නැති දේවල් අවන්තලාට දෙන එක ගැන නීලිකා නැන්දලා බෝ උද්දාමයෙන් කතා කළ හැටි මට මතක ය. ඔවුන් ඔහු ව හැදුවේ රජ පැටවෙකු සේ සැප සම්පත් දෙමිනි. නමුත් මානව ගුණයෙන් පිරිපුන් මිනිසෙකු ලෙස ඔහු දැඩි කරන්නට ඔවුන් ට හැකි වූයේ නැත.

“මං මහ ගෙදර පැත්තෙ ගිහිං එන්නං. හොඳ නෑනෙ මොනා වුණත්”

අම්මා එහි යන එක ගැන අපේ කිසිදු විරුද්ධත්වයක් වූයේ නැත. පසු දා ම ඇය එහි ගොස් ද තිබිණ. ගෙදර ඉස්සරහා වීදුරු ජනේලයක් කුඩු වී ඇති බව ද පුටු කිහිපයක් කැඩී පිටුපසට දමා තිබූ බව ද අම්මා කීවා ය. නීලිකා නැන්දා දැඩි හිත් වේදනාවකින් කඳුළු සලමින් අම්මා එක්ක කතා කොට තිබිණ.

“කුඩම්මත් හොඳටම ලෙඩින් වැටිල. කියෙව්ව ඉතිං මං නිකමටවත් ඒ පැත්තෙ ගියෙ නැති එක ගැන. නිබ්බුතාට ඇවිත් එයාව බලල යන්නයි කියලත් කිව්වෙ”

“නෑ නෑ සුදූ යන්න ඕන නෑ”

මල්ලී වහා සිය විරෝධය පෑවේ ය. අම්මා මල්ලී ට එකඟ නැති බැල්මක් හෙළුවා ය.

“ගිහිං ආවට කමක් නෑ ඉතිං. මොනා වුණත් අපි අවුරුදු දහ අටක් වැටිල හිටිය තැනනෙ”

“අනේ අම්මෙ මේ. අපි නිකං පිණට වැටිල හිටියෙ නෑ. ඒක අපිටත් අයිති තැන. බලන්නකො තව වැඩි කල් නොයා මං නඩු දාල අපේ කොටස අර ගන්නෙ නැද්ද කියල”

අම්මා ගේ මූණේ ශෝචනීය බවක් විය. ඇය රිදවන්නට ඕනෑ නැති වී ද මල්ලීව මම හිතින් අනුමත කළෙමි.

“ගිහිං එන්න ඉතිං. ඔය වයසක මිනිස්සුත් එක්ක මොන තරහ පිරිමැහිල්ලක් ද නේද…”

මේ ගැන කී විට ලෝචන කීවේ එහෙම කතාවකි.  මල්ලී ගේ ද හිත හදා තියා ඉන් පසු දිනෙක මම අම්මා එක්ක මහ ගෙදර ගියෙමි. ආච්චි මමී ඈ බලන්නට මා ගිය එක ගැන සතුටු වෙනවා වෙනුවට කළේ ආඩපාලි කියනා එක ය.

“උඹ මදුරාපුරලගෙ ලේලි වෙන්න යනව කියලත් ආරංචියි අපිට. දොස්තර කෙනෙක් නිසා උඹව උන්දැල පිලිගනී. හැබැයි දොස්තර කෙනෙක් වෙනකල් උඹල වැටිල හිටියෙ අපේ තැනයි කියන එක අමතක කරන්න එපා”

එදා මා ඇය ට බැණ පන්නා ගැනීම ගැන කේන්තිය හිතේ තියා ගෙන ම සිට මට අතීතය මතක් කර දෙන්නට ඇතැම් විට ආච්චි මමී උත්සාහ කරන්නට ඇත. වසන්ති පුංචී මූණිච්චාවට සිනහ වී වචනයක් දෙකක් කීව ද ඇගේ හදවත මා ගැන සතුටු නොවන බවක් මට දැනිණ. චංචලා නො ගැලපෙන සබඳකමක පැටලී ඇති බව රහසින් මට කීවේ නීලිකා නැන්දා ය. 

“කෙල්ලව හරියට එහෙ මෙහෙ අරං ගිහිං තියනව. අන්තිමටලු දන්නෙ බැඳපු මිනිහෙක් කියල. දැන් ඉතිං මොනා කරන්නද…මදැයි කෙල්ලෙක්ව හදපු හැටි”

ඔවුන් උනුන්ට රහසෙන් අප සමග උනුන්ගේ නුගුණ කියමින් චෝදනා කළහ. මා කළේ ඒ කිසිදු කතාවකට හ්ම් මිටි හෝ නො තබා අසා සිටිනා එකයි. 

“ඇත්තද නීලිකෝ අවන්ත දැන් හොඳටම බොනවයි කියන්නෙ” කියා අම්මා ඇසූ විට ඇය කීවේ, 

“මොන පිස්සුද අක්කෙ…ඔය කොල්ලොත් එක්ක පාටියකට එහෙම ගියාම පොඩ්ඩක් බොනව. කොල්ලො එහෙම නැද්ද අක්කෙ..අනික ඔය රහ මෙරක් කටේ තියන්නෙ නැති ගෑනු වගේ පිරිමි ඉන්නව නේද…විස්වාස කරන්න හොඳ නැත්තෙ උංව තමයි. කන බොන මිනිස්සු අවංකයි”

කියා ය. මම සිත යටින් සිනහ වීමි. ඇතැම් විට ඇය ට ඕන වන්නට ඇත්තේ ඒ ඔස්සේ ලෝචන ව විවේචනය කරමින් මගේ හිත රිදවීම වන්නට ඇත.

කුස්සිය මිදුලෙන් ඔබ්බට බට විට අපේ දර මඩු නිවස තිබූ ඉසව්ව පෙනේ. තව ටිකක් ඉදිරියට ඇවිද ගියේ නම් මට එතැනට ළඟා විය හැකි ය. මගේ මුළු ළමා වියත් නව යෞවනයත් ගෙවී ගිය, එක අනපේක්ෂිත රැයක ගිනිබත් වූ ඒ ගෙදර ඇති තැනට ගොස් හිත රිදවා ගන්නට මට ශක්තියක් වූයේ නැත. ඇතැම් විට දැන් එය බිමට සමතලා කොට ඒ මත වල් ද බිහි වී තිබෙනු ඇත. ඇතැම් විට අප ගිය පසු ඔවුන් එය පිළිසකර කොට නැවතත් දර පොල් කොළ දමනා මඩුව ලෙස භාවිතයට ගන්නවා විය හැක. ඒ කෙසේ වීද මගේ මතක පුරාණයෙහි අපේ ගේ ලෙස ඇඳී ඇති සිතුවම වෙනස් කර ගන්නට මට ඕනෑ වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles