ජීවිතේ එන ඕනෑම අභියෝගයක් ජයගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න.

එදිනෙදා ජීවිතයේදි අපිට ඕනෑ තරම් ගැටලු ඇතිවෙනවා.සමහර වෙලාවට අපි ඕනෑවට වඩා කලබල වෙලා මේ ගැටලු උග්‍ර අතට හැරෙන අවස්ථාත් නැතුවාම නෙමෙයි.ඉතින් ඔබට එන ගැටලු වලට හරියට මුහුණ දෙන්නෙ කොහොමද කියලා තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

හැකි තරම් සන්සුන්ව සිටින්න

ගැටලුවක් ආව වෙලාවට ඕනෑවට වඩා ඒකට ප්‍රතිචාර දක්වන එක අපි කවුරුත් කරන සාමාන්‍ය දෙයක්.හැබැයි නරක සහ වැරදි තීරණ ගන්න මේක ලොකු හේතුවක් වෙන්න පුලුවන් .ඉතින් ගැටලුවක් ආවම ඒක නිරාකරණය කර ගන්න කලින් ඔබ ඔබේ සිතිවිලි පාලනය කරගෙන සන්සුන් වෙන එක ඉතාම වැදගත්. එසේ සන්සුන් වී ඔබට මේ ගැටලුවට මුහුණ දිය හැකි බවට අධිශ්ටානයක් ඇති කරගැනීම තවත් වැදගත්

ගැටලුව හඳුනාගන්න

ගැටලුවක් විසඳන්න කලින් ඔබ විසින් ඒ ගැටලුව ඇතිවුනේ කොහොමද කියලා හිතලා බලන්න ඕනේ.ඒ වගේම එහි ඔබේ කොටස වෙනුවෙන් වගකීම බාර ගන්න කිසිම වෙලාවක පැකිලෙන්න එපා.ඔබ එය ප්‍රතික්ෂේප කරනවා නම් , ඔබ අන් අයට දොස් පවරමින් , ගැටලුවේ වගකීම අන් අය මත පටවමින් සිටිනවා නම් ගැටලුව තවත් උග්‍ර වෙනවා මිසක් ඔබට එය විසඳාගන්න නම් වෙන්නෙ නෑ.ඒ නිසා ගැටලුවක් ඇතිවුනාම මොහොතක් සන්සුන් වෙලා ඒ ගැටලුව ඇතිවුනේ කොහොමද කියලා හිතලා බලන්න අමතක කරන්න එපා

සෘණාත්මක සිතුවිලි

මෙය ඔබේ ගැටලු තවත් උග්‍ර කරවන හේතුවක්. ඔබට මේ ගැටලුවට මුහුණ දෙන්න බෑ කියලා හිතෙනවා නම්, මේ තමයි මනුස්සයෙකුට ඇතිවෙන්න පුලුවන් විශාලම ගැටලුව කියලා හිතෙනවා නම් , ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා හිතෙනවා නම් , මෙවැනි සිතුවිලි ඔබේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම වෙනුවට ඔබව මානසික වශයෙන් තවත් පහලට ඇද දමනවා. ඒ නිසා සෘණාත්මක සිතුවිලි වලින් හැකි තරම් ඈත් වෙලා ගැටලු වලට මුහුණ දෙන්න ඔබ අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕනේ

ඔබ ගැන විශ්වාස කරන්න

ජීවිතයේ ඇතිවන ඕනෑම ගැටලුවකට විසඳුම් තියෙනවා.අවශ්‍ය වෙන්නේ ඔබ සන්සුන් වී කල් වේලා ගෙන එයට සරිලන විසඳුමක් සොයාගැනීමයි.මෙහිදී අනිවාර්යයෙන්ම ඔබ විසින් ඔබ තුල ඇති ශක්තිය විශ්වාස කරන්න ඕනේ.ඔබට මේ ගැටලුවට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් කියන විශ්වාසයේ ඉඳන් අදාල ගැටලුව නිරාකරණය කරගන්න ආරම්භ කරන්න.එවිට ඔබට ඔබේ ගැටලුවට මුහුණ දීම එතරම් අමාරු වෙන්නෙ නෑ.ඔබේ විශ්වාසය වැඩි කරගැනීමට ඔබ මීට පෙර සාර්ථකත්ව ගැටලුවකට මුහුණ දුන් ආකාරය සිහිපත් කරන්න ඔබට පුලුවන්

විසඳුම

ඔබේ ගැටලුව විසඳන්න අවශ්‍ය පියවර ගන්න දැන් ඔබට පුලුවන් . එහිදි ගැටලුව සමඟ ධනාත්මකව කටයුතු කරන්න ඔබ වග බලාගන්න ඕනේ.ඒ වගේම එයට බියවීම , කලබල වීම ඔබ කල යුතු නැහැ.ගත හැකි හොඳම ආකාරයේ විසඳුමක් මේ වනවිට ඔබට ගත හැකි නිසා එයට ප්‍රමාද වෙන්න එපා.ඒ වගේම එහිදි කිසිවෙක් ඔබෙන් සමාව ගනියි , ඔබට උදවු කරයි කියලත් බලාපොරොත්තු වෙන්න එපා.බාහිර දේවල් ඔබට බලාපොරොත්තු තබාගන්න නොහැකි නිසා ඔබම ඔබේ ගැටලුව තුල සිට එය නිරාකරණය කරගන්න උත්සහ කරන්න

ඉදිරියට යන්න

සමහර විට ඔබේ ගැටලුව විසඳෙන්න කල් ගත වෙන්න පුලුවන් .නමුත් ඒ නිසා ඔබ මතම රැඳෙමින් , ඒ ගැනම සිතමින් සිටිය යුතු නෑ. ඔබ ඔබේ අරමුණු වෙනුවෙන් කැපවෙන්න.ගැටලුව විසඳාගත හැකි බව පමණක් විශ්වාස කරන්න .බොහෝ ගැටලු වලට කාලය යනු හොඳම විසඳුමක්.එබැවින් ඔබ බිය විය යුතු නෑ.

විවේක ගන්න

මේ කියන්නේ ඔබ සැලකිය යුතු මට්ටමේ තරමක් විශාල ගැටලුවකට මුහුණ දුන් පසුව තත්වය ගැන.එවැනි ගැටලුවක් අවසානයේදි ඔබ ඔබටම විවේකයක් දෙන්න අමතක කරන්න එපා.මොකද මේ වෙද්දි ඔබේ මනස ඉතා වෙහෙස වී , ඔබට සිතින් මෙන්ම ගතිනුත් විඩාවට පත් වෙලා ඉන්න පුලුවන්. ඒ නිසා ඔබේ මානසිකත්වය යහපත් කරගත හැකි ක්‍රියාකාරකම් වල යෙදෙමින් තරමක් විවේකයෙන් සිටින්න උත්සහ කරන්න

ඔබට ගැටලුවක් ආවම මෙන්න මේ පියවරයන් අත් හදා බැලුවොත් ඔබට පහසුවෙන් ඒ ගැටලු වලට මුහුණ දෙන්න පුලුවන් .ඉවසීම , සන්සුන් වීම සහ ධනාත්මකව සිතීම ආදි දේවල් ජීවිතයේ ඕනෑම අවස්ථාවකදි අපිට වැදගත් වෙනවා.ඉතින් එදිනේදා ජීවිතයේදි ගැටලු ඇතිවීම බොහොම සාමාන්‍ය දෙයක් නිසා ඒ සමඟ ඉතා ප්‍රවේසමින් කටයුතු කරන්න ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ.

Related Articles

Don't Miss


Latest Articles