ඊට මොහොතකට කලින් මා හිටියේ මට ම වලකා ලිය නො හැකි කළු කුහරයක් තුළ ගිලී යමිනි. ඒ අන්ධකාරයක් බව මම දැන සිටියෙමි. එය කිසි සේත් මගේ පාලන කලාපයෙන් තොර බවත් මට දැනෙමින් තිබිණ. එහෙම වෙලාවක අපට කළ හැක්කේ ගිලෙන අගාධයක ගිලී වැටෙන ප්‍රපාතයක වැටෙන්නට හරිනා එක ය. ඕනෑ නම් එකී කිඳා බැසීම දෙස අපේ ම හිතේ පසෙකට වී බලා සිටින්නට පුළුවන. මා කරමින් සිටියේ එයයි.
තාත්තා කියන්නේ ද මගේ පාලන කලාපයෙන් බැහැර ව සිටි තැනැත්තෙකි. මට ඔහු කෙතරම් ඕනෑ වී ද මගේ කර ගත නො හැකි බව එක්තරා වයසක දී මම අවබෝධ කොට ගතිමි. අප තරු වලට කොයි තරම් ආසා වී ද, නො දන්නා කමට පුංචි සා වියේ දී තරු ඉල්ලා අරගල කළ ද, කවදාවත් ඒවා ලබා ගත නො හැකි බව දවසක වටහා ගන්නා සේ ය. තාත්තා මට ඈත අහසේ දිළිසෙන තරුවක් වූයේ ය.
ගෑනු ළමයෙකු ගේ ජීවිතයේ ප්‍රථම පෙම්වතා වනුයේ තාත්තා ය. මට ය කියා ද එහි වෙනසක් නො විණ. ඔහු මගේ පුංචි ලෝකයේ වීරයා විය. මහා වීරයා විය. වීරයෝ ද මියෙති. ඒ වාගේ තාත්තා මගේ හදවතේ මීට කලින් ම මිය ගොස් සිටියා දැයි මට හරියට ම කිව නො හැක. එය එසේ වන්නටත් පුළුවන. නො වන්නටත් පුළුවන. කෙසේ වෙතත් ප්‍රේමවන්තයා නම් මිය ගොස් සිටියේ ය. අලුතෙන් පෙම්වතෙකු ජීවිතයට ඈඳා ගන්නට මට තිබූ ලොකු ම බාධාව තාත්තා බව ඉඳුරා කිව හැක. තාත්තා පෙම්වතෙකු ගැන මගේ කෙළි සිත බිය පත් කොට තිබුණේ ය. පෙම්වතුන් වූ කලී ලං ව හිඳ දිනෙක අප තනි කොට දමා යන ආදරවන්ත මිනිසුන් කොට්ඨාශයකැයි මගේ සිත උකහා ගෙන තිබුණේ ය. අම්මා වාගේ එවන් වියෝවක් දරා ගන්නට මට නො හැකි වෙතැයි තිබූ බිය සැක නිසා මම ආදරවන්තයෙකුට මගේ ජීවිතයේ හතර මායිමට එන්නට නො දුන්නෙමි.
ලෙමන් සුවඳ හාදයා ආවේ කොහොම කොතනකට ද කියා මට සිතා ගත නො හැක්කේ ඒක ය. දැන්, මේ දැනුත්, පරක් තෙරක් නො දන්නා අගාධයක ගිලී යමින් සිටියදී මා ඉදිරියේ ඔහු පෙනී සිටිය මොහොත මම හයියෙන් අල්වා ගතිමි. එය හරියට ගිලෙන්නට යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වාගේ දෙයකි. ඔහු ගේ ගැඹුරු දෑස් යුග මා තිගස්වා අවදි කරන්නට සමත් විය.
“මොකද වුණේ තාත්තට…අසනීපෙන් හිටියද… මං දැනං හිටියෙ නෑනෙ නංගි…”
හයියෙන් අඬන්නට ඕනේ කමක් මට දැනිණ. ඒ වදන් සරෙහි ඒ තරම් කරුණාවක් තිබුණේ ය. පොඩි එකෙකු වුව දයාව ආදරය කරුණාව ඇති තැනක වෙළෙන්නට දෙවරක් හිතන්නේ නැත. ආදරය කියනා මායාවෙන් ද පිරිමින් කියනා මායා කරුවන් ගෙන් ද හැකි තාක් ඈත් වෙමින් සිටි යුගයක අවසානයේ මට ඒ අගාධ දෑස් මග හැර ගන්නට කිසිදු උවමනාවක් දැනුණේ නැත.
“ටිකකට කලින් මේ පැත්තට එන ගමන් මං විශ් යූ එක ළඟ නතර වුණා. ශොප් එකත් වහල සුදු කොඩියකුත් දාල තිබුණ නිසා අර අල්ලපු ගෙදර ලේඩිගෙන් ඇහුව. එයා තමයි කිව්වෙ ශික්ෂාගෙ තාත්ත නැති වෙලා නිසා ශොප් එක වහල කියල”
එසේ නම් ඔහු තොරතුරු දැන ගෙන ඇත්තේ නූරි ගේ මව ගෙනි. නූරි ද පසු ගිය දින දෙකේ ම මා හා හිඳ ගෙදර ගියේ භූමදාන කටයුතු වලින් පස්සේ ය. ඒත් යළි රෑ වී මෙහි එන පොරොන්දුව මත ය.
“තාත්ත කොහොමද නැති වුණේ..කොච්චර කාලයක් අසනීපෙන් හිටියද…ඒ කිසි දෙයක් අපි හරියට දන්නෑ…එක සැරයක් හොරු අරං ගියා වගේ එයා අපිට නැති වුණා. දැන් නැත්තටම නැති වුණා. එච්චරයි දන්නෙ. මේක හීනයක් වගෙයි…මේක ඇත්තක් නොවී හීනයක් ම වෙනවනං කොච්චර හොඳද…”
“තාත්ත කෙනෙක් නැති වුණාම ඒක දරුවෙක්ට කොහොම දැනෙනවද කියල මං හොඳට දන්නව. මාත් ඒක විඳල තියන නිසා. ඒත් ඇයි තාත්ත ගැන දැනං හිටියෙ නෑ කියන්නෙ…එයා හිටියෙ ඔයාල එක්ක නෙවේද…”
මම නැහැයි කියන්නට හිස සැළුවෙමි. ඉස්කෝලේ යත්දී මිතුරියක සමග පමණකුදු නොව ගුරුවරියක සමග වුව මම තාත්තා ගැන කතා කරන්නට නො රිසි වීමි. ඔවුන් ඔහු ගැන විමසත්දී මම නො රිස්සුම් වීමි. නමුත් දැන් මට තාත්තා ගැන කතා කරන්නට ඕන කමක් දැනේ. ලොකු ම ලොකු ඕන කමක් දැනේ. මේ දින දෙකෙහි අසීරුවෙන් හිතේ හිර කර ගෙන උන් බොහෝ දේවල් වලට, සොරොව් බිඳ ගෙන දෙගොඩ තලා වාං දමන වැවක් සේ ගලා යන්නට උවමනා වී තිබේ.
“තාත්ත අපෙන් වෙන් වෙලා යනකොට මට අවුරුදු දහයක්වත් නෑ. ඇයි එයා ගියේ කියල අදටත් මං දන්නෑ. එහෙම දෙයක් අම්මගෙන් අහන්න තරං ආත්ම ශක්තියක් කවදාවත් මට තිබුන්නෑ. තාත්ත ගියා කියල මට පේන්න කවදාවත් අම්ම අඬල නෑ. එහෙම වෙනකොට මං හිතල තියනව අම්මට කවදාවත් තාත්ත ගැන දුක දැනිල නෑ.. කවදාවත් තාත්තව තියා ගන්න ඕන වෙලත් නෑ..ඒකයි තාත්ත යන්න ඇත්තෙ කියල. ඒ වුණාට මේ දවස් දෙකේ මං තේරුං ගත්ත…අම්ම තරං වෙන කවුරුවත් තාත්තට ආදරේ කරල නෑ කියල. ඒක වෙනම ආදරයක්…ආදරේනං අපි ළඟ ඉන්න කියල බල කරන්නෙ නැතුව…සතුටෙන් ඉන්න තැනක ඉන්න ඉඩ ඇරපු ආදරයක්…තාත්ත ගැන මට දුක නෑ නෙවෙයි…ඊට වඩා දැං මට අම්ම ගැන දුකයි. ඊටත් වඩා අර ආන්ටි ගැන දුක හිතෙනව. මං නොදන්න නංගි කෙනෙක් මට ඉඳල කියල අද දැන ගන්නකොට…මේ කිසි දෙයක් දරා ගන්න එක ලේසි නෑ…හරි අමාරුයි…”
අම්මා ඉඟුරු දැමූ තේ බන්දේසියක් ගෙන අප වෙත ආවේ ඒ වෙලාවේ ය. ඇගේ ඇස් වල දැන් කඳුළු නැත. බන්දේසිය විහාර වෙත පාමින් අම්මා මඳහසක් පෑවා ය. මට යළිත් හැඬුම් ආවේ ය.
“අඬන්න එපා බබා දැං”
අම්මා ගේ ස්වරයේ අන්ත අසරණ බවක් තැවරී තිබිණි. නමුත් ඇය පෙන්වන්නට උත්සාහ කළේ ශක්තිවන්ත බවකි.
“අම්මෙ මේ…විශ් යූ එකේ කස්ටමර් කෙනෙක්. මේ සර් දැන් ශොප් එකට ඇවිත්…තාත්ත ගැන දැනගෙනයි ඇවිත් තියෙන්නෙ…”
මම හැඬුම පාලනය කර ගැනීමේ උත්සාහයකින්, උගුර යටින් කියා ගතිමි.
“හරි කණගාටුයි අම්මෙ. ශික්ෂා මේ මට තාත්ත ගැන කිය කිය හිටියෙ”
“ජීවිතේ එහෙම තමයි පුතා. අපි අද ඉඳල හෙට යන මිනිස්සු. මට ඕනෙ දැං මෙයා හිත හදා ගන්න. ශික්ෂා කියන්නෙ මාත් එක්ක ගහක් ගලක් වගේ ජීවිතේ දරා ගත්ත දරුවෙක් පුතා. ඒත් මන් දන්නව…එයා දැන් ඉන්නෙ පුපුරල ගිහිං…අපි මේ වෙලාවෙ තමයි හයියෙන් ම ජීවිතේ අල්ල ගන්න ඕනෙ. චුට්ටක් මෙයාට ඒක තේරුං කරල දෙන්න පුතා”
එහෙම වගකීමක් ඔහු ට දෙන්නට තරම් අම්මා ඔහු කෙරේ විශ්වාසය තැබුවේ ඇයි කියා මම නො දනිමි. ඒ ඇය ඔහු ව දුටු ප්‍රථම වතාව ය. මා අනිත් කිසිවෙකු ඉදිරියේ නො හෙලූ කඳුළක් විහාර ඉදිරියේ හෙලීම ගැන අම්මා වෙනසක් සිතුවා වත්ද? නැත්නම් මිනිස් හදවත් අතරේ සංසරණය වන බැඳීම් තරංග පිටතින් බලනා මිනිසුන් ට ග්‍රහණය වීමේ හැකියාවක් වන්නේ ද?
“ඔයත් තේ එකක් බොන්න”
“එපා”
“කන්නෙ බොන්නෙ නැතුව ඉඳල කොහොමද දරුවො…”
“බොන්න බෑ අම්ම”
අම්මා නික්ම ගියේ තේ එකක් වුව මා තදින් ප්‍රතික්ෂේප කළ නිසා ය. එදා රෝහලට ගිය වෙලාවේ සිට මේ වන තුරු මා කෑමක් නොකෑ බව මට සිහි විය. නූරි කිහිප වරක් බත් කටක් දෙකක් බලයෙන් වාගේ කවා ගත්තා ය. නොකා ඉන්නට මට ඕනෑ නැතත්, කෑමක් ගැනීමේ සිතක් ඇති වන්නේ ම නැත.
“මෙහෙමයි නංගි”
විහාර තේ කෝප්පය අතින් ගෙන වඩාත් මා දෙසට හැරී හරි බරි ගැහුණේ ය. මම, තඩිස්සි වූ ඇස් පියන් පත් බිමට බර කර ගතිමි.
“හැම ඉන්ඩිවිජුවල් මනුස්සයෙක්ටම එයාගෙම වෙච්ච කතාවක් තියනව. ඒ කතාව ඇතුළෙ එයා හරි. එයා සාධාරණයි. ඒක නිසාම අපි අනිත් මිනිස්සු හරිද වැරදිද කියන දේ හිතල වැඩක් නෑ. විවේචනය කරල වැඩකුත් නෑ. මන්නං හිතන්නෙ දුක් වෙලා වැඩකුත් නෑ. ඒත් අපිට එහෙම වෙන්න අමාරුයි. ඒ අපිත් මිනිස්සු නිසා. අපිට දැනෙන නිසා. අපි විඳින විඳවන නිසා”
අනන්තයක සිට ඔහු ළඟින් ලෙමන් සුවඳක් දැනුණේ ඒ වෙලාවේ ය. මම තිගැස්සී ගියෙමි. තිගැස්සී ගිහින් අවදි වීමි. මට ඔහු ව හරියට දැනෙන්නට වූයේ එතකොට ය. ඒ අගාධ දෑසේ ගැඹුරු පත්ලේ නිදන් ගත දුකක් වන බව සිහිපත් වූයේ ඉනික්බිති ය.
“සමහර දේවල් තියෙනව..තේරුං ගන්න හරි අමාරුයි…තාත්ත හරිද වැරදිද කියල හොයන්න යන්න එපා. ඒකෙන් ඔයාගෙ හිත කලකිරෙන එක විතරයි වෙන්නෙ. කොහොමත් දැන් එයා හැබෑවට නැති කෙනෙක්. මිනිස්සු සැනසීමෙන් ඉන්න තමයි ඕනෙ ශික්ෂා. අපි ළඟ නැති වුණත් සතුටෙන් ඉන්නයි ඕනෙ. ඒ අතින් ඔයාගෙ අම්ම හරියටම හරි. මට ඔයාගෙ අම්ම ගැන හරියට ආදරේ හිතුණ. මෙහෙම මිට මොළවගෙන ඉද්දි විතරක් නෙවෙයි…”
එවර ඔහු සිය අතක ඇඟිලි මා ඉදිරියේ මිට මෙළවූයේ ය.
“මෙහෙම අත් ඇරියමත් ළඟ දැවටෙන ආදරයක් තමයි අපි හොයන්න ඕනෙ. සැනසීම තියෙන්නෙ එහෙම හිතක් ළඟ”
මා හිටියේ ඔහු ගේ ඇස් දෙක ඇතුළේ කිමිදී ගෙන ය.
“මට තේරෙන්නැත්තෙ…ඇයි තාත්තට ඊට පස්සෙ මාව දකින්නවත් ඕන වුණේ නැත්තෙ කියල…”
විහාර එක එල්ලේ මගේ ඇස් අල්වා ගෙන ම සිටියේ ය. ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයා ගන්නට ඔහු අපොහොසත් වන්නට ඇත.
“ම්..බොන්න…”
කියා ඔහු ඊළඟට සිය තේ කෝප්පය මවෙත පෑවේ ය. හදවත භූමි කම්පාවකට හසු විය.
“බොන්..න…”
ඒ ඇස් වල එල්ලී ගෙන ම මම මිමිණුවෙමි. ඔහු ඇස් වලින් ද ඉඟි කරමින් අඩක් බී නිම කළ තේ කෝපප්ය යළිත් මවෙත පෑවේ ය. ඉතින් මට නොබී බැරි විය.
හිත් අහස වසා ගෙන උන් බොහෝ අඳුරු වලා ඈතකට ගසා ගෙන ගියා සේ දැනෙන්නට ගති. හිතේ වූ තද බද ගතිය එහෙ මෙහෙ වී ලිහිල් බවක් දැනෙන්නට ගත්තේ ය. මම ඉතාමත් හෙමිහිට ඒ තේ බාගය තොල ගාන්නට වූයෙමි. සැබවින් එය ඉක්මනින් ඉවර වෙන එක ගැන ලෝබ කමක් වාගේ හැඟීමක් ද මට විය.
ත්‍රීරෝද රියකින් විත් නූරි අපේ ගේ දොරකඩ බැස ගත්තේ ඒ වෙලාවේ ය.
“සර් ආව කියල අම්ම මට කිව්ව. ඒ වෙලාවෙ මං නානව. අපරාදෙ…දන්නවනං මට සර් එක්කම එන්න තිබුණ”
“ඕගොල්ලො සර් කියනකොට මිනිස්සු හිතයි මං මේ ටියුශන් ගුරුවරයෙක් කියල”
යන්තම් නෙතගින් වට පිට බලමින් විහාර ඉතාමත් හෙමිහිට කීවේ ය. මේ මළ ගෙයක් බවත් අමතක කරමින් නූරි හඬ නගා සිනහ වූවා ය. අහළ පහළ වූ ඇස් කිහිපයක් නො රිස්සුමකින් වාගේ ඇය වෙත හැරෙනු දැකිය හැකි විය. නූරි අත් දෙකෙන් ම මුව වසා ගෙන අප ඉදිරියට පුටුවක් ඇද වාඩි වූවා ය.
“මෙයා හොඳ උදැල්ලක් හොය හොය හිටියෙ…ආයෙ සර් එන්න කලින් වළක් කපාගෙන හැංගෙන්න කියල. ආ සොරි සොරි..සර් නෙවෙයි”
නූරි නැවත ද අතින් මුව වසා ගත්තා ය. මම දෙතොල් තද කර ගෙන සිනහව හංගමින් බිම බලා ගතිමි. ඒ වෙලාවේ එතැන වළක් හාරා ගෙන හැංගෙන්නට තරම් ඒ මොහොත උණුහුම් විය. විහාර ගේ ඇස් මා වසා පායා ඇති බව බිම බලා උන්න ද මට දැනිණ.
“හැබැයි අර…මෙයාගෙ ක්‍රශ් එක කව්ද…විහාර..විහාර වෛශාක්‍ය කියන්නෙ මං තමයි කියල සර් නොකියා කියල ගිය විදිහට මන්නං මාර කැමතියි. මූ හිටියෙ මේසෙ යට හැංගිලා..අපරාදෙ මට ෆොටෝ එකක් ගහල තියා ගන්න බැරි වුණානෙ”
මගේ කුඩා සිරුර තුළ සංසරණය වන සමස්ථ රුධිර පරිමාව ම මුහුණට ඒකරාශී වී ඒ හැටි කම්මුල් පුපුරු ගැසුවා ද නො දනිමි. අඳුරු වලා මුළුමනින් පහව ගොස්, ඒවා අස්සේ හිර වී උන් සැබෑ මා ගොඩ විත් තිබිණ. ජීවිතය කියන්නේ ගලන් යන ගඟක් වාගේ ඉදිරියට යන ගමනකි. ඊළඟ වංගුවෙන් එහා තියෙන්නේ කොයි වගේ ලෝකයක් ද කියා අවතීර්ණ වන තුරු ම අප දකින්නේ නැත. ඒ ගමන ඔහේ යා යුත්තේ එබැවිනි. නිදහසේ යා යුත්තේ එබැවිනි. හිස් අතින් යා යුත්තේ එබැවිනි.