ඔස්ටින් රිය නැලැවිල්ලේ හෙමිහිට ඉදිරියට ධාවනය වෙමින් තිබිණ. එය පදවා ගෙන යන විහාර වෛශාක්‍ය අමරසිංහ ගීයක් උරුහම් බෑවේ ය. ඒ ගීතය කුමක් දැයි තාලය අනුව නිගමනයකට එන්නට බැරි තරමට මා හිටියේ සසැලී ය. මේ රියෙහි මීට පෙර මා ඔහුත් එක්ක ගොස් නැතිවා නොවේ. මේ ගැස්ම එහෙම දේකට අදාල වූවක් නොවේ. නමුත් මේ ගමන ඒ හැම ගමනකට ම වඩා වෙනස් ය. දැනුම් දීමකින් තොර ව විශ් යූ වෙත පැමිණි විහාර මගේ අතින් ඇද ගෙන ගොස් මා රියට නැංවූයේ කොහේ යනවාද කියා හෝ මට කියන්නේ නැතිව ය.
වින්ටේජ් මන්දිරයේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූ රිය ඉතා හුරුබුහුටි ලෙස ඇසිල්ලකින් පෝටිකෝව වෙත ඇදිණි. අවුරුදු දහ අටේ විස්සේ දඟකාර කොලුවෙකු සේ රියෙන් පැන ගත් විහාර කඩිනමින් විත් රිය දොර හැර මට පිටතට ඇරයුම් කළේ ය.
“අප්පූ…මේ මිස්ට බොන්න දෙයක් ලෑස්ති කරන්න”
මගේ අතින් ඇද ගෙන ම වාගේ ගෙතුළට ගොඩ වෙන ගමන් ඔහු කෑගෑවේ ය. සැබවින් හදවත අමුතු රිද්මයකට ගැහුණේ ය. ඒ බියකට නොවන බව දනිතත් නො එසේ නම් කුමන හැඟීමක් අරබයා දැයි මම නො දැන සිටියෙමි. මේ මා පැමිණ නැති තැනක් නොවේ. එදා ඔහු බීමත්ව උන් සැඳෑවේ ද තනිව මෙහි විත් ඔහු ගේ හිසේ දෙහි ගල්වන්නට තරම් එඩිතර වූ කෙල්ලට මේ මොහොතේ කුමක් සිදු වී ඇත් ද?
ඔහු කෙලින් ම මා ගෙන ගියේ සිය නිදන කාමරයට යයි සිතිය හැක. එකෙනෙහි විනිවිද පෙනෙන බීමක් සහිත උස වීදුරු දෙකක් බන්දේසියක තබා ගෙන පැමිණි ගෘහ සේවකයා දුටු මසිත අපහසුතාවයක් අත්වින්දේ ය. පිරිමියෙකු ගේ කාමරයට කිසිදු වගක් නැතිව පැමිණි ගෑනු ළමයෙකු ගැන ඔහු ට වුණත් කැමති පරිදි සිතිය හැකි ය. වෙන කවර තැනකදී රැඩිකල් චරිතයක් ඉස්මතු කර ගත්ත ද මේ වෙලාවේ මම සම්ප්‍රදායික ගෑනු ළමයා ම වීමි. ඒ නිසා ම දෝ මේ මොහොත තුළ විහාර ගැන ඉසියුම් නො රිස්සුමක් මා තුළ මතු ව ආවේ ය. නමුත් එය කිසි සේත් වචන වලට පෙරලා ගැනීමේ පොහොසත් කමක් මට වූයේ නැත.
“අපේ මිස්…”
මා දැක සේවකයා ළෙංගතු සිනහවක් නගා ගත්තේ ය. ඒ සිනහව මගේ අපහසුතාවය මඳක් තුනී කරන්නට ඇත. නමුත් ඔහු ට සිනහවක් දෙන එක මට හිතූ තරම් පහසු වූයේ නැත. විහාර ගේ දෑස් මා ලුහුබඳිමින් තිබිණ. මම පුළුවන් තරම් ඒ දෙස නො බලා ඉන්නට තැත් කළෙමි. අද ඔහු ගේ හැසිරීම ද බැල්ම ද මුළුමනින් වෙනදාට වඩා වෙනස් ය.
මම බීම උගුරක් තොල ගෑවෙමි. එය ලෙමන් යුෂ වීදුරුවකි. උත්සාහයෙන්වත් නගා ගත නො හැකි වූ මන්දහාසයක් ඒ තකහනියේ මගේ රතදර අතරට ආවේ ය. ලෙමන්!
“මං යන්න හදන්නෙ”
ප්‍රථම වතාවට විහාර මට කතා කළ වචන ටික ඒ ය. අඩු තරමින් රිය තුළදීවත්, යන්නේ කොහේ දැයි මා විමසා සිටියදී වත් ඔහු වචනයක් හෝ පැවසුවේ නැත.
ඔහු යන්නට සූදානම් වන බව කාමරයට ඇතුළු වෙත්දී ම මට අනුමාන කළ හැකි විය. ඇඳුම් කට්ටල කිහිපයක් යහන මත නවා තිබුණි. එදිනෙදා අවශ්‍ය වෙන දත් බුරුසුව, දන්තාලේප ටියුබ් එක, රැවුල බානා කුඩා මැෂින් එක, හෙයා බ්‍රශ් එක, සුවඳ විලවුන්, ආෆ්ටර් ශේව් හා හෙයා ක්‍රීම් බෝතල පවා පිළිවෙලකට ඇඳ මත විය.
“මේ සැරෙත් මාස ගාණකට අතුරුදන් වෙන්නද කොහෙද යන්නෙ”
මගේ හිත මට කොඳුරා කීවේ ය. මම ඉක්මනින් ලෙමන් යුෂ උගුරු කිහිපයක් පාණය කළෙමි.
“රෑට ෆ්ලයිට් එක”
ලෙමන් යුෂ වලින් නිවිය නො හැකි පිච්චීමක් උගුරේ හට ගති. ඒ ලෙමන් යුෂ උගුර එක වර නො ගිලී හිර වූයේ ය. විහාර කළු පාට බැගේජයක් තුළ සිය අඩුම කුඩුම ටික පිළිවෙලකට ඇසිරී ය. පසෙක ලියකියවිලි සහිත ෆයිල් එකක් තිබෙනු මට දකිත හැකි විය.
මම අඩක් හිස් කළ වීදුරුව කුඩා මේසය මත වූ ටේබල් මැට් එක මතින් තබා යහන කොනක හිඳ ගතිමි. කියා ගන්නට අසා ගන්නට අපමණ දේවල් හිත ළඟ පෙළ ගැසී තිබිණි ද වචනයක් පිට කර ගන්නට බැරි වෙන මොහොතවල් අපේ ජීවිත වෙත ඇතැම් විට එළඹේ.
“මං පුළුවන් තරං ඉක්මනට එන්නයි යන්නෙ ශික්ෂා. අමේලි මට කිව්වෙ එයාට ඩිවෝස් එක දෙනවනං දුවව මට දෙනව කියල. ඒ කියන්නෙ මේක එක විදිහක ගනු දෙනුවක්”
ඔහු ගේ තොල් කොනක් අවඥාවට වාගේ ඇද විය. අම්මා කෙනෙකුට දික්කසාදය වෙනුවෙන් හිලව්වට දියණිය අහිමි කර ගත හැකි ද යන පැනය මගේ හිතේ ඇඳී මැකී ගියේ ය. අවස්ථානුකූලව ලෝකයේ ඕනෑ ම දෙයක් වෙනස් විය හැක. අපට කිසිවක් විනිශ්චය කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැතැයි හිතේ එක පැත්තක් හෙමිහිට කොඳුරා මට කීවේ ය.
“ඔයා දන්නවද ශික්ෂා…අපි කාට හරි ආදරේ කරනව කියන එක අපිට සාමාන්‍ය දෙයක්. ඊට වඩා අපි ගැස්සිල යන්නෙ…අපිට දරා ගන්න අමාරුයි වගේ දැනෙන්න ගන්නෙ වෙන කෙනෙක් අපිට ආදරේ කරනවයි කියල දැනෙද්දි. ඇත්තටම ලෝකෙ තියන ලස්සනම හැඟීම ඒක. මං ඒ හැඟීම දරුණුවට ම වින්දෙ ඔයා විහාර වෛශාක්‍යගෙ ලිරික්ස් ගැන කතා කරපු දවසෙ”
මගේ මූණට ලේ පුරා ඒවා පුපුරු ගසන්නට විය. මේ දැනුත් එදා විහාර නෙරූඩා ගේ කවි පොත දී ගිය වෙලාවේ දැනුණු කැළඹීම මා කළඹන්නට විය. මම හැකි තාක් හිස බිමට හරවා ගතිමි.
“නාකපන වැහි වහිද්දිත් ඒ වතුර පොදක් එකතු කර ගන්න බැරි වැවක් කොචච්ර අසරණ වෙයිද කියල හිතා ගන්න පුළුවන්ද…මහ සාගරයක් වගේ ආදරයක් ඇස් ඉස්සරහ තියෙද්දිත් ඒකෙන් වතුර දෝතක් ගන්න අයිතියක් නැති මිනිහෙක්ට දැනෙන හැඟීම ඔයා ළඟදි හැමදාමත් මට දැනුණා ශික්ෂා. ඒ අසරණකම කවදාවත් මට කවියකින් සින්දුවකින් නෙවෙයි නවකතාවකින්වත් ලියල පැහැදිලි කරන්න තේරෙන්නෑ. ආදරෙයි කියල කියන්නවත් අයිතියක් නැති මිනිහෙක් ළඟ මේ ටික කාලෙට ඔයා කෙල්ලෙක් විදිහට උහුල ගත්ත හැම දේම මට නොදැනුණා නෙවෙයි. කරන්න දෙයක් තිබුණෙ නෑ විතරයි. ඇත්තටම අතින් අල්ලගෙන හැමදාම යන්න බැරි ගමනක අතර මගක ඔයාව අත් අරින්න මං බය වුණා. හැඟීම් වලට ඉඩ දුන්නනං අමාරුවක් නැතුව ඒක කරන්න තිබුණා. ඒත් හැම වෙලේම දුවත් එක්ක කම්පෙයා කරල ඔයා ගැන හිතන්නයි මට ඕන වුණේ. මගෙ දුවට වෙනවට අකමැති දෙයක්…මගෙ දුව දවසක පිරිමියෙක් නිසා විඳිනවට අකමැති වේදනාවක් ඔයාට දෙන්න මට හිත හදා ගන්න පුළුවන් වුණෙ නෑ. නූරිගෙ වෙඩින් එක දවසෙ ඔයා කෙත්මින් එක්ක සතුටෙන් ඉන්නව වගේ පෙන්නනකොට…ඒක බොරු රඟපෑමක් කියල මට නොතේරුණා නෙවෙයි. ඒත් ඒ වෙලාවෙ මං යන්න තීරණේ කළේ ඒක යන්න ම ඕනෙ ගමනක් නිසා. අනික ඔයාට තීරණයක් ගන්න තරං නිදහසක් මං නැති අතරෙ ලැබෙන නිසා. කෙත්මින් නැතත් වෙන කෙනෙක් එක්ක හරි ඔයා සතුටෙන් ඉන්න ඕන කියන එක මං පිළිගත්ත නිසා. අමේලිගෙන් ඩිවෝස් එක ඉල්ලන්න තරං සෙල්ෆිෂ් වෙන්න ඒ වෙලාවෙ කොහොමත් බැරි බව මං දැනං හිටිය. ඔයා මෙහෙ ආව කියල අප්පුගෙන් දැන ගත්ත වෙලේ හිතේ ඈතක එළියක් පත්තු වුණා තමයි. ඒත් ලංකාවට එද්දිත් ඔයා මාව හිතේ තියං හිටිය කියල ඇස් දෙකෙන් ම දැක්කට පස්සෙ මං පිස්සෙක් වුණා. ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියල මගෙ හිත කෑ ගහල අඬද්දිත් මට කරන්න දෙයක් තිබුණෙ නෑ. ඔයාට තරං ආත්ම ශක්තියක් ඇත්තටම මට තියෙන්න නැතුව ඇති. ඊට පස්සෙ අයිතියක් ගැන හිතන්නෙම නැතුව මං ඔයාගෙ ගෙදරට ලං වුණේ…මට වගේම ඕගොල්ලොන්ටත් මාව ඕන කියල දැනුණ නිසා. අපිට පුළුවන් තරං කාලයක් අපිව දරා ගන්න හිත හිත හදා ගත්ත නිසා. ඇත්තටම අමේලි මෙහෙම ප්‍රපෝසල් එකක් ගෙනෙයි කියල මං හිතුවෙ නෑ කවදාවත්. ඒත් ප්‍රශ්නෙ මං හිතුවෙ නැති තරං සංකීර්ණයි කියන දේ දැනෙන්නෙ දැන්…”
ඇතුළාන්තය දඩස් ගා ගැහෙනවා මට දැනිණ. නෙතු පියන් ඔසවා මා ඔහු දෙස බැලූයේ සැලකිය යුතු තරම් වෙලාවකට පස්සේ ය. අමේලි ගේ වෙන් වීමත් එක්ක ඒ කතාව එතෙකින් අවසන් කළ හැකි යයි මම සිතා ගෙන සිටියෙමි. නමුත් එය එසේ නොවේ කියා දැන් ඔහු කියයි.
“අමේලි දූව මට දුන්නොත්…මං එයාව මගෙ ඇස් දෙක වගේ බලා ගන්න ඕනෙ ශික්ෂා. එයා මගෙ දුව. ඔයා දන්නව දුවෙක්ට තාත්තව කොච්චර ඕනෙද කියල. මං ඉපදෙනකොටම අම්ම නැති කර ගත්ත පුතෙක්. ඒක නිසා වෙන්නැති අමේලිගෙන් දුව උදුර ගන්න කවදාවත් මට හිත හදා ගන්න බැරි වුණේ. අම්ම නැති අඩුව පිරිමහන්න අපේ තාත්ත කුඩම්ම කෙනෙක් ගෙනාව. ඒකෙන් මට මගෙ තාත්තත් නැති වුණා. තාත්තගෙන් මං සෑහෙන්න ඈත් වුණා. දවසක මගෙ දුවටත් ඒක වෙන්න දෙන්න හිතන්නවත් මට බෑ ශික්ෂා”
මම දෙතොල් තද කොට සිනහවක් පෑවෙමි.
“ඔයා හරි හොඳයි විහාර. මටත් ඔයා වගේ තාත්ත කෙනෙක් ඕනෙ”
කියා කියන්නට මට උවමනා විය. මගේ තාත්තා එදා එහෙම හිතුවා නම්…එහෙනම් අපට ඔහු අහිමි වන්නේ නැති වන්නට තිබිණ.
දරා ගත නො හැකි චිත්ත පීඩනයක් මා තුළ විය. මම යහනෙන් නැගිට විහාර ගේ ජනේලය වෙත ගියෙමි. පිටත මොන විදිහේ දර්ශනයක් වී ද කියා මට පෙනුණේ නැත. මගේ හද තුළ වූයේ දරුණු කුණාටුවකි. ඇස් පියන් කඳුළු පටලයකින් බොඳ වී යමින් තිබිණ. මා පිටුපසින් විහාර ගේ දෑත් මගේ බඳ වට එතෙත්දී ඒ කඳුළු වලාකුළ තවත් දරා ගත නො හැකි ව කඩා ගෙන වැටුණේ ය.
“ඔයා දන්නවද මං ඔයාට කොච්චර ආදරේද කියල”
එහෙම කියමින් ඔහු මගේ කන් පෙත්තත් කම්මුලත් අතරේ ගෙල පාමුල සංවේදී ම තැනක සිය දෙතොල් පෙති තැබුවේ ය. ඇස් දෙක පියවුණේ හිතා මතා මා එහෙම කළ නිසා නොවේ. පිරිමියෙකු ගේ කාමරයක මේ විදිහට තනි වීම අනාරක්ෂිතය කියා සිතුණේ ද නැත. ඒ මොහොත තව තවත් දිගු වෙනවා නම් කියන බලාපොරොත්තුව පමණක් ඒ වෙලාවේ මා ජීවත් කරවන්නට ඇත.
“මට ඕනෙ මං ආදරේ කරන ඔයාටවත් මගෙ දුව අසෙලියාටවත් කවදාවත් අසාධාරණයක් නොවෙන තීරණයක් ගන්න ශික්ෂා… පුළුවන්නං ඔයා මාව තේරුං ගන්න බලන්න”
මගේ දෑත් ඔහු ගේ දෑත් තදින් අල්ලා ගත්තේ කොයි වෙලාවේ දැයි මතකයක් පවා මට වූයේ නැත. මම ඒ වමත මගේ දෝතින් ම වැළඳ ගෙන අත් බාහුවෙහි මූණ තද කර ගතිමි.
“ඊයෙ රෑ ගොඩක් වෙලා මං අමේලි එක්ක කතා කර කර හිටිය. අන්තිමට අපි තීරණයක් ගත්ත…අසෙලියාට කවදාවත් අපි දෙන්නවම නැති නොකර ඉමු කියල. දුව අපි දෙන්න ළඟම මාරුවෙන් මාරුවට තියා ගමු කියල. කොහොමත් එයාගෙ ස්ටඩීස් වෙන්නෙ එහෙ නිසා ස්කූල් පීරියඩ් එකේ දුව එයා එක්ක ඉන්න වෙනව. වැකේශන් වලට මං ළඟට එක්ක එනව. දුවටවත් ඔයාටවත් එතකොට අසාධාරණයක් වෙන එකක් නෑ”
“ඔයා හිතනවද…ඔයා හිතනවද මං එයාට….”
“නෑ දරුවො නෑ”
විහාර මාව ඔහු දෙසට හරවා මහිස සිප ගත්තේ ය.
“ජරා මිනිහෙක් නිසා නංගිගෙ බඩට ආපු දරුවට ඉපදෙන්නත් කලින් මෙච්චර ආදරේ කරන ඔයා මගෙ දුවට වෙනසක් කරන එකක් නෑ. ඒත් ඔයා වුණත් තාම පොඩි කෙල්ලෙක්. මෙහෙම දරා ගෙන හිටියට ඒ දරා ගැනීමට වුණත් සීමාවක් තියනව කියල මං දන්නව. ඒ සීමාව පුපුරන්න ඇරල ඔයාව නැති කර ගන්න මට ඕන නෑ. මට ඔයාව ඇත්තටම ඕන ශික්ෂා. ඒක නිසා මං හැම දේම පිළිවෙල කරගෙන එනකල් ඔයා මං වෙනුවෙං බලං ඉන්න. ඒ ඇවිත්…හෙමිහිට අපි අම්ම එක්ක මේ ගැන කතා කරමු. ම්…”
එක වර හැඬීම සහ සිනහ වීම කියනා දෙක ම සිදු වෙත්දී හිතක් වුණත් ව්‍යාකූල වෙයි. මා සිටියේ සිහිනයක පා වෙනවා වැනි තත්වයක ය. විහාර ගේ කලමනා සූදානම් කර ගන්නට උදව් කිරීමෙන් පස්සේ ඔහු මාව නැවත විශ් යූ වෙත ඇරලන්නට සූදානම් වූයේ ය. වැස්සක් වගේ හඬා ගෙන මා ඔහු ගේ පපුවට බර වූයේ ඒ වෙලාවේ ය.
“ආයෙත් මට ඔයා නැති වෙන්නෑ නේද විහාර…මේ සැරේනං එහෙම දරා ගන්න මට පුළුවන් වෙයි කියල මං හිතන්නෑ. මගෙ අම්මට ඉන්නෙ මං විතරයි විහාර. මගෙ නංගිට වුණත් දැං ඉන්නෙ මං විතරයි. අනේ ඒ අසරණයන්ට මාව නැති කරන්න එපා. ඔයා ආයෙත් ආවෙ නැති වුණොත්…මේ ජීවිතේ අල්ලං ඉන්න තවත් මට පුළුවන් වෙයිද කියල මං දන්නෑ”
“සුදූ..මැණික…රත්තරං…මේ අහන්න…”
විහාර මාව සිය දෝතින් තුරුලු කොට ගත්තේ ය.
“පුළුවන් කමක් තිබුණනං මං ඔයත් එක්කම යනව. මේක විතරයි මං තනියම යන ගමන. ආයෙ අන්තිම ගමන යනකල් ඔයාව දාල කොහෙවත් යන්නෑ. ප්‍රොමිස් යූ…ගිය ගමං මං කතා කරනව. පැයෙන් පැයට කතා කරනව. ආයෙ ඔයා ළඟට එන්නෙ ඔයාට විතරක් අයිති විහාර කෙනෙක්. ආවට පස්සෙ ගොඩක් දේවල් තියනව කරන්න. අපි ඒ ගැන පස්සෙ කතා කරමු. අදට විතරක් මට ඔයාව ගිහින් බස්සන්න දෙන්න…ම්…”
“අනේ මාව දාල යන්නෙපා විහාර” කියා මගේ ඇතුළාන්තය ඉකි ගසා හඬමින් තිබිණ. සමු ගැනීමක් කියන්නේ ඒ සා මරණීය වේදනාවක් බව ඒ වන තුරු මා දැන සිටියේ නැති බව විශ්වාස ය.