සඳ ගංතෙර – 16

“ඔයා ඉන්නේ නම් වීරයා වගේනෙ”

දුලන්‍යාට එසේ කියන්නට සිතිණ. බිරිඳකට සැමියා ඕනෑම වන මොහොතේ එසේ මඟ හරින්නට බැරි වග කියා ඇය ඉන් අනතුරුව තර්ක කරන්නට පටන් ගත්තා ය.එහෙත් ඔහු හෝ ඇය එසේ තර්ක කරන්නේ කිසිම හේතුවක් රහිතව වග ඇයට අමතක ව තිබුණි. අඩුම තරමේ ඔහුට පෙම්වතියකවත් නැත. සිටියත් වෙනත් යුවතියක නාමයෙන් මෙසේ රණ්ඩු අල්ලන්නට ඇයටද හේතුවක් නැත.

“බය දේට බයයි කියන්න එපැයි.”

මත ගැටුම් අවසන් කරන්නට සිතමින් සඳරැස් එසේ පැවසී ය. එහෙත් ඒ වතාවේ දුලන්‍යාට පවසන්නට තිබුණේ වෙනත් කතාවකි.

“ඒ වුණාට, මං හිතුවේ වීරයෙක් කියලා.”

වීරයෙකු වන්නට ඕනෑම මොහොතක හැකි ය. නමුත් තම අති සමීපතමයන්ගේ නාමයෙන් තරුණයෙකුගේ ඇසට කඳුළු ඉනිය හැකි අවස්ථා ඕනෑ තරමට එන බව සඳරැස් විස්තර කළේ ය. ඇය අසා හුන්නා ය. කොල්ලන්ට අඬන්නට තහනම් නැතැයි ඔහු කියන්නේ තරමක කෝපයෙනි. එතරමට කේන්ති දෙයක් ගන්නට නොපැවසූ බව කියන්නට දුලන්‍යාට ඕනෑ විය.

එහෙත් ඔහුට අඬන්නට නැවතත් අවස්ථාවක් පැමිණෙමින් තිබිණ!

දස මසක් තිස්සේ මඟ බලන්නට කටයුතු සිදු කළ සුරඟන මුලින්ම දකින මොහොත එතරමට  සංවේදී එකක් විය හැකි බව ඔහු දැන සිටියේ ය. නමුත් මේ මොහොත මෙතරමට සුන්දර වේයැයි සඳරැස් සිතා තිබුණේ නැත.

බිළිඳිය ප්‍රවේසමින් දෝතට අලුත් මාමාගේ දෙතොල් පෙති ලිහී සිනාවක් නැගී ආයේ ය. දුලන්‍යා ඒ මොහොත පරිස්සමෙන් කාච ගත කළා ය. ඇගේ කුඩා ලෝකයට මේ චරිත දෙක පිවිසියේ අලුතින් ය. නමුත් මේ මාමා සහ දියණිය ඇගේ මුළු ලෝකයම උඩුයටිකුරු කරන්නට සමත් චරිත දෙකක් වන බව ඇයට විශ්වාස ය.

“මම දැන් ඔයාට නෙමෙයි වැඩියෙන්ම ආදරේ කියන්නද මගෙ මූණ දිහා බලන්නේ”

අසීරුතා මැද වුවත් තාරකා මල්ලීගෙන් ඇසුවේ ආදරයෙනි. දියණියකට අම්මා තරමට ආදරය කරන මාමා කෙනෙකු ලැබීම තරම් සුන්දර දෙයක් නැති බව ඇය හොඳින් දන්නී ය. මල්ලී සහමුලින්ම වෙනස් මිනිසෙකු කරන්නට මේ කුඩා දෑසට හැකිවේවායි ඇය ප්‍රාර්ථනා කළා ය. දියණියක තාත්තා කෙනෙකු තනන්නේ මලක් ලෙස බවත් ඒ මලෙහි පෙති තලා දැමීමේ වගකීම කොලුවකු හිමිකරගත යුතු නැති බව ඔහු ගත යුතු බව තාරකා විශ්වාස කරන්නට වූවා ය. දුලාජ් සහ දියණියගේ බැඳීම දෙස බලා හිඳිමින් මල්ලි ඒ පාඩම ඉගෙන ගත යුතුම වේ.

“මං දැන් තමයි අක්කා ඔයාට වැඩියෙන්ම ආදරේ.”

සඳරැස්ට ඇත්තේ ආදරණීය කටහඬකි. නමුත් ඔහු මේ තරමට ආදරණීය දේවල් පවසා ඇස කඳුළු නැංවීම ඕනෑවට වැඩි බව දුලන්‍යා කල්පනා කළා ය. ඔහු කිසිවක් ගණන් නොගන්නා සෙල්ලක්කාර රළු කොලුවෙකු ලෙස හැසිරෙද්දි ඔහුට මුහුණ දීම පහසු වේ. නමුත් ඔහු මේ තරමට ආදර ගුලියක් බවට පත් වෙද්දී ඇය නිරුත්තර වී යයි.

“ඔයා අම්මා කෙනෙක් වෙන්න විඳපු හැම දුකක්ම සතුටක්ම මං බලාගෙන හිටියේ. මං ඔයාට ආදරෙයි අක්කා දැන් වෙනදටත් වඩා. අම්මා කෙනෙක් වෙන්නෝන ඔයා වගේ අය.”

අම්මා කියන්නේ ද ගැහැනියකට බවත් ඇයද සම් මස් ඇට නහර වලින් නිර්මාණය වූ අයකු බවත් ඕනෑවට වඩා කැපකිරීම් කරමින් ඇය දියව යා යුතු නැති බවත් ජීවිතයේ නිදහස සහ තමන්ගේ අයිතිවාසිකම් තෝරා ගන්නට ඇයට ද අයිතියක් ඇති බවත් සඳරැස්ට ඉගැන්විය යුතු බව දුලාජ් සිතී ය. නමුත් මේ ඒ සඳහා මොහොතක් නොවේ. ආදරය පිරී ගිය මොහොතකි. සඳරැස් වඩාත් මෘදු තරුණයෙකු වෙමින් සිටින්නේ දියණිය හන්දා බව සිතන්නට දුලාජ්ට ඕනෑ විය. හදවතට දැනෙමින් තිබූ අනෙක් කාරණාව පිළිගන්නට ඔහු වැඩිමහල් සහෝදරයකු ලෙස කැමති වූයේ නැත.

“එයා හරි ෂෝක් අක්කේ.”

නිදන බිලිඳියගේ කම්මුලක් මෘදුව පිරිමදින අතර දුලන්‍යා කියන්නී ය. ඇගේ දාරක ස්නේහය දකිද්දී කියන්නට ආ වචන සඳරැස් ගිල ගත්තේ ය. දුලන්‍යා කුඩා කෙල්ලකි. රිද්මි වැනි යුවතියන්‍ට කරන සරදම් ඇයට ගැළපෙන්නේ නැත. 

“ක්ලිනිකල් පටන් ගත්තම බබ්බු එපා වෙන කාලෙකුත් එයි.”

අක්කාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් නගරයට යන අතර සඳරැස් දුලන්‍යාට පැවසී ය. හිතට එන හැම දෙයක්ම අසන්නට පුරුදු වී සිටි දුලන්‍යා වහා ප්‍රශ්නයක් ඇසී ය.

“අයියා කොහොමද ඒක දන්නේ? මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් එක්ක යාලු වෙලා හිටියද?”

අනවශ්‍ය ප්‍රශ්න නොඅසන්නේනම් මැනවි බව කියා ඕනෑ තරම් කෙල්ලන්ට බැන ඇති බව සත්‍යයකි. එහෙත් මේ දැරිවිය ඇස් කරකවා අසන  ප්‍රශ්න මගහරින්නට ඔහුට සිතෙන්නේ නැත.එක්තරා කාලයක එවැනි පෙම්වතියක වූ බව ඔහු පැවසී ය. ඔහුට පෙම්වතියන් කී දෙනෙකු සිටියාදැයි අසන තරමේ තරහක් ඇයට ඇති වේ.

“එයා මගෙන් හැම තිස්සෙම අහනවා ඕස්ට්‍රේලියානු කළු වැඳිරියක් වුණත් එයාට ආදරෙයිද කියලා. ඒ ගමන මම වැඩේ අත් ඇරියා.”

සඳරැස් එසේ කියා ඔහුගේ අපූරු සිනාව හෙළයි. රිය පදවමින් හිනැහෙන කොලුවෙකු මනස්කාන්ත දර්ශනයකි. එහෙත් හුරතල් වන්නට සිතුණු දුලන්‍යා තොල නොපිට පෙරළා අනෙක්පසට හැරුණා ය.ඇය දුකට පත් කරන්නට ඔහු අකමැති ය. ඒ හන්දා ඒ කතාව කියන්නට සිතේ. නමුත් පෙම්වතෙකු සිටින තරුණියකට ආදරය කළ තවත් කතාවක් ඇයට කියන්නට ඔහුට නොහැකි ය.

ප්‍රේමය මොනතරමේ හැඟීමක්දැයි සිතන්නට නොහැකි තැන ඔහු සිරව සිටියේ ය. මේ ප්‍රේමය ඇයට කියන්නේ මොන මොහොතකදැයි මේ මොහොතේ ඔහුට ඇති විශාලම ගැටළුව ය. සමරන්නට වටිනා දවසක එය පැවසීම හොඳදැයි ඔහු සිතී ය.

(සඳ ගංතෙර සක්මන් කරන මිතුරියනි, ඔබේ අදහස ලියා යන්න. ලබන සතියේ සිට අපි ටිකක් දිග ගමනක් ඇවිදිමු.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles