ගෞරවනීය සමුගැනීමක් ඇති තැනක ප්‍රේමයෙන් බැඳෙන්න – Human Errors

ජීවිතය තාවකාලික සාදයක් බව අපි බොහෝ දෙනෙක් හිතනවා. කසාදයත් දික්කසාදයත් සාදයක් බව සිතන්නට යාම බහුතරයක් කරගන්නා වරදක්.

ප්‍රේමයට සීමාවන් තියෙනවා ද?

නැහැ!

නමුත් අපි කිසිම කෙනෙකුට එක වතාවකදී දෙදෙනෙක්ට ආදරය කරන්නට බෑ. හැඟීම් ඉපදීම ස්වභාවිකයි. Open relationship සහ Open Marriage කියන දේ පවා මේ වෙද්දී අපේ රටටත් ආගන්තුක දෙයක් නෙවෙයි. ඒත් එවැන්නක් කරන්නට හැකි ඔබේ සහකාරයා හෝ සහකාරිය දැනුවත් කරමින්. අනුමැතිය සහ කැමැත්ත ලබා ගනිමින්.

රැවටීම ඇත්තේ ඉන් බොහෝ ඈත සීමාවක. 

ස්වාධීන රූපවාහිනිය හරහා දින කිහිපයකට පෙර විකාශනය වූ Human Errors ඔබ හැම කෙනෙකුම පාහේ නරඹන්නට ඇති. Mini Tele series වර්ගයට අයත් මේ නිර්මාණය බොහෝ දෙනෙක් ආදරයෙන් වැලඳ ගත්තා.රවටමින් රැගෙන යන අනියම කොහොමටත් රහ නැති කටුක යථාර්ථය ඒ ජනප්‍රිය වීමට හේතු වන්නට ඇති.

හෙට දිනක් පෙර මඟක් 

නොමැතිව ද

ප්‍රේමයක් පිළිසිඳ ගත හැක.

එහෙත් ඔබේ පරිමාව තීරණය කරනුයේ

ප්‍රේමයේ අතුරු ඵල මඟිනි 

ඒ බොහෝ දෙනෙකු වටහා නොගන්නා සත්‍යයක්. සම්මතයක් හෝ අසම්මතයක් හෙට දින ගැන කිසිම අදහසක් නැතිව හට ගන්නට හැකියි. නමුත් අසම්මතයක් වැලඳ ගන්නේ නම් ඔබට එය දරා ගතහැකි පරිමාව තීරණය කරන්නටම වෙනවා. ඔබේ පරිමාව විතරක් නෙවෙයි, ඔබේ පවුල ගැන ද ඔබට තීරණය කරන්නටම සිදු වෙනවා.

සුපුන් රත්නායකගේ අධ්‍යක්ෂණයක් වූ Human errors රචනා කළේ රසික සුරවීරආරච්චි විසින්. දසුන් පතිරණ, චමත්කා ලක්මිණි, සිනෙති අකිලා, තීක්ෂණ ශ්‍රී විජේසිංහ සහ තවත් නළු නිළියන් කිහිප දෙනෙක් මෙයට දායක වෙන්නේ අති විශිෂ්ට රංග ප්‍රතිභාවකින්.

යශෝධ සහ නිශා අසම්මතය වැළඳ ගත් ප්‍රේමවන්තයන් යුවළක්. නිශා කුඩා පුතෙකුගේ මවක්. යශෝධගේ බිරිඳ සිටින්නේ දරුවෙක් බිහි කරන්නට ඔන්න මෙන්න තබා. යශෝධ සහ  නිශා මිතුරන් පිරිසක් සමඟ නමුණුකුල චාරිකාවකට සහභාගී වෙන්නේ ඒ අතර.නමුත් ඔවුන්ගේ ගමනාන්තය මිතුරන් සමඟ නිම වෙන්නේ නෑ. නිල නොලත් මධුසමයක් ගෙවන්නට යන ඔවුන්ගෙ අසම්මත ප්‍රේම කතාවට හදිසියේ මහා කුණාටුවක් පිවිසෙනවා.

මේ කොටස් අටක කෙටි ටෙලි නාට්‍ය මාලාවක් නිසා කතාව ඔබට කියමින් spoil කරන්නට අදහසක් අපට නැහැ. ස්වාධීන රූපවාහිනියේ YouTube නාලිකාවට පිවිසී ඔබට මේ නාට්‍යය නරඹන්නට පුලුවන්.

සැබෑවටම ආදරය කරන අයගේ ආදරය සෙල්ලමකට ගැනීම විශාල වරදක්. සමහර බොරු වසා ගන්නට බොරු දහසක් කියන්නට සිදු වෙනවා.නමුත් කර්මය බූමරංගයක් වෙද්දී තාවකාලිකව අත අල්ලා ගන්නා ප්‍රේමයන් ඉතිරි වන්නේ නැහැ.

ගෞරවනීය සමුගැනීමක්

ලැබිය හැකි අය සමඟ

ප්‍රේමයෙන් බැඳෙන්න.

එවිට මතකයන්

සුන්දර වනු ඇත.

මෙය ඕනෑම ප්‍රේම කතාවකට පොදු දෙයක්. ඕනෑම බැඳීමකට පොදු දෙයක්. සරාගය උතුරා හැලෙන තැනක පවා ප්‍රේමය ඉතිරි විය යුතුමයි. අනෙකාට ගෞරවය ද අනෙකාගේ ආත්ම ගෞරවය රැකීමේ අදහස ද ඉතිරි විය යුතුමයි.

මේ ටෙලි මාලාවේ අවසාන පහක් වූවා. එය තරමක වෙනස් වැඩක්. අසම්මතය හෝ සම්මතය තුළට වී ප්‍රේමය සාදයක් කරගත් ඔබ ඒ අවසාන පහෙන් තෝරා ගන්නේ මොන අවසානය ද නැවත නැවතත් සිතා බලන්න. ප්‍රේම කිරීම කියන්නේ සිරුර පාවිච්චියට ගැනීමට ඉඩ තැබීමක් පමණක්ම නොවන බව ද අමතක කරන්නට එපා.

ඔබ ප්‍රේමය තුළ තනි වන්නේ

අනෙකා ඔබ සමඟ  නැති විට නොව

ඔබ ද ඔබ සමඟ නොමැති වීමෙන් ය.

කිසිම හේතුවකට ඔබ ඔබව නැති කරගන්න එපා. ප්‍රේමය හෝ ජීවිතය තුළ Errors වෙන්න පුලුවන්. ඒත් ඒවා නිවැරදි කර ගත හැකි මට්ටමකට කරන්න.

Related Articles

Don't Miss


Latest Articles