පෙඟුණු මල් පෙති 23

මිහික නින්දෙන් අවදි වූයේ තිගැස්සීය.

රැයේ සිහින දැකීම මිහිකට ඉතා හුරුපුරුදු දෙයකි. මතක ඇති කාලයේ පටන් සිහින් නොදැක්ක නින්දක් ගැන මතකයක් මිහිකට නැත. සැමදාම නින්දේදී අමුතු ආකාරයේ හීන දකින මිහිකට ඒ සිහින සියල්ලම උදෑසනදීත් ඉතාම හොඳින් මතක තිබේ.

ඇතැම් සිහින සැබෑ ජීවිතයේදී විය හැකි දේවල් දැයි සිතෙන තරමටමට අරුම පුදුම සහහත ඒවාය.

එහෙත් මේ වෙනස්ම දවසකි.

මිහික නින්දට ගියේ හිත බරවය. ඔලුවද බරවය.

පෙරදා හැඬීම නිසා වෙහෙසට පත් හිතත්, මනසත්, ඔලුවත් යම් තරමකට හෝ එක්ලස් කරගනු පිණිස නිදාගන්නට හිතුවද ඒ නින්ද මිහිකට තවත් හිත් කරදර රැගෙන ආවා මිසක සැනසුමක් එහි අසලකවත් තිබුනේ නැත.

අඳුරු ආගාධයක් තුල තමා පහලට පහලට ලිස්සා ගෙන යමින් උන්නාය.

ඒ ආගාධය විශාල බටයක් වැනිය. ඇරඹුමක් අවසානයක් නොමැති, කිසිදු ආලෝකයක් නොපෙනෙන කෑලි කැපිය හැකි අන්ධකාරයක් එහි පිරී තිබේ.

පහලට ලිස්සා ගෙන යමින් හුන් තමා කිසිදු විටක කැගැසුවේ නැති බව මිහිකට මතකය. තමන්ගේ දෙතොල තදින් පියවා දැමුවාක් මෙන් තමා වසා ගෙන හිඳී.

එතරම්ම අන්ධකාර ගැඹුරකට ඇදී යද්දීත් නිහඬව සිටියේ ඇයිද යන පැනය සමගින්ම මිහික නැගිටුනේ තිගැස්සීය.

සියොළඟින්ම දාඩිය වගුරුවා ගෙනය.

අවදි වී මොහොතක් යන තුරුත් මිහිකගේ දෑස්වලට හසුවුනේ ඒ අන්ධකාරයම පමණි. තමා සැබෑවටම අර අන්ධකාර, පතුලක් නොමැති ආගාධයේ ලිස්සා යමින් හිඳින්නේද යන බිය සිතෙ න් නැගී හිඳිද්දි මිහික වටපිට බලන්නට උත්සාහ කරේ ඉතාමත් අපහසුවෙන් දෑස් අන්ධකාරයට හුරුකරගනිමිනි.

කුඩා විදුලි එළියක් නිකුත්කරමින් මේසය මත ඇති සඳ පහන දැල්වේ. ඒ සිතට සැනසුමකි. ඒ අන්ධකාර, ආගාධය තුල තමා සිරවී සිට ඇත්තේ සිහිනයෙන් පමණක බව දැනගැනීම සහනයකි. සැනසුමකි.

මිහික ඇඳෙන් නැගී සිටියේ වේලී ගිය තොලකට තෙමාගන්නට වතුර උගුරක් බොනු පිණිසය.

එහෙත් නැවත මිහිකව තිගස්සවමින් දුරකතනය මහ හඬින් ගිගුම් දේ.

“හෙලෝ”

ජීවිතය වෙනස්වන්නට එක් මොහොතක් වුව ප්‍රමාණවත් බව අනෙකවර අසා තිබුණද, එය අත්දැකීමක්ව තමන්ගේ ජීවිතය උඩුයටිකුරු කරනු ඇතැයි මිහික කිසිදා සිතා තිබුනේ නැත.

ඒ දෛවෝපගත දුරකතන ඇමතුම ආවේ නොසිතූ නොපැතූ මොහොතක ජීවිතයේ සියලුම සැනසුම් සුසුමන් ජීවිතයෙන් එපිටට ගෙන ගොසිනි.

අම්මාගේ දුරකතන ඇමතුමක් යනු ජීවිතය සනසන ඔසුවකි.එය මව් දෙමව්පියන්ගෙන් ඈත්ව ඈත රටක සේවයේ නියුතු ඕනම දරුවෙක් විසින් “එසේයැයි” කියා පිළිගනු ඇත.

ඉතින් සිතෙන් හඬමින්, තැවෙමින්, තිගැස්සී හුන් මොහොතක ආ ඇමතුම මග හැරගන්නට මිහිකට අවශ්‍යතාවයක් නොවීය.

“හෙලෝ අම්මේ…”

එහා පස ඇමතුම නිහඬය.

“හෙලෝ…අම්මේ”

“පුතා මම අප්පච්චි කතාකරන්නේ”

අප්පච්චි තමාව පහසුවෙන් අමතන අයෙකු නොවේ. අම්මා අතේ කීමට යමක් නැත්තම් එහෙට මෙහෙට හුවමාරු කරගත්තාට අප්පච්චි තමාට කෙළින්ම ඇමතූ අවස්තාව ඇත්තේ අතේ ඇඟිලිවලින් ගණන් කල හැකි තරම් අඩුවටය.

සිත තුල බියක සේයාවක් නැඟෙන්නේ ඇයිද යන්න මිහිකට නොහැඟේ. දෙතොල වේලී ගොස් ඇත්තේ එකී බියටද එසේත් නැතිනම් දරාගත නොහැකි සීතලට ද යන්න සැකය.

“ත්ත්…අප්පච්චි ඇයි හදිසියේ”

“පුතා…”

අප්පච්චිද නිහඬය, පුතාද නිහඬය.

කියාගන්නට අපහසු කුමක් හෝ දෙයක් තමා වටා කැරකෙන අයුරු මිහිකට තේරේ. සිහිනයෙන් දුටු අන්ධකාරය සැබෑ ලෝකයට පැමිණ තමා ගිලගන්නට සැරසෙන බවක් සිතේ.

“අප්පච්චි ඇයි? අම්මා කොහෙද?”

“පුතා ඔයාට ගෙදර එන්න පුලුවන්ද?”

“ඇයි අප්පච්චි? අම්මට කරදරයක්ද? ඇයි කියන්නකො”

ඒ පැනය අසන්නට තරම්, එසේත් නැතිනම් ඒ පිළිතුර අසන්නට තරම් තමා අවාසනාවන්ත බව මිහික කවදාවත් සිතා තිබුනේ නැත.

“පුතේ අම්මා නැතිවුණා”

ඒ වචන තමාගේ මුවින් කියන්නට අප්පච්චිවත්, තමාගේ සවනින් අසන්නට මිහිකවත් බලාපොරොත්තු වූවක් නොවේ.

තමා සිහිනයෙන් දුටු ලොවක අඳුරු පතුලක් නොදකින අන්ධකාර ආගාධයක සිරවී පහලට ලිස්සා යමින් හුන් මොහොතක, තමා වෙනුවෙ සෙනෙහසේ දෑත දිගු කරන්නට හුන් අම්මා නින්දේදීම මෙලොව හැරගොසිනි.

හදිසි හදවත් බිඳීමකින් අම්මා මිය ගියේයැයි සිතන්නට, විශ්වාස කරන්නට හැකිද?

මේ ඊයේ තමා සමග කතා කළ අම්මාය.

කෑවාද, බිව්වාද කියා සොයා බැලූ අම්මාය.

කුඩා කල කවි කතා කියමින් තමා සනසවන්නට,නිදිකරවන්නට කටයුතු කළ අම්මාය.

කිරි මාලුත්, ගොටුකොල සම්බෝලත්, අල කිරි හොදිත් සමග බත් අනා කවන්නට තනමින්, කන්නට මැලි කරමින් ඈතට දිව යන සුන්දර අම්මාව මිහිකට තවමත් මතකය.

අම්මා යනු මිහිකගේ ජීවිතයේ හිඳි ආදරයේ ප්‍රතිමූර්තියයයි. සැනසුමේ නිම්නයයි. ඉතින් ඒ නිම්නය වියලී ගොසිනි. තවත් එහි සුවඳ විහිදුවන මාතෘත්වයේ සොඳුරුතම් මල් නොපිපෙන බව තේරුම් ගන්නට තවත් හෝරාවකුත්, කඳුලු ගංගාවකුත් වැය කරන්නටත්, වගුරවන්නටත් මිහිකට සිදුවිය.

ඒ සදාකාලයටම සැඟවී ගොසින් තිබුනේ තමාගේ ජීවිතයේ සැනසුම් සුසුමයි. තමා වෙනුවෙන් නිරතුරුවම ළඟ රැඳී හුන් ආදරයේ සෙවණැල්ලයි.

මිහික හඬා වැළපුනේ කුඩා දරුවෙකු මෙනි.

හදවත සුසානයක් බඳුය.

හදවතෙහි එක් කොටසක් චරිත්‍රා තමාව රැවටීමේ වේදනාවෙන් හඬමින් සිටි මොහොතක ඒ වේදනාව වැඩිදියුණු කරමින් දැනගන්නට ලැබුණු වේදනාව දරාගන්නට නොහැක.

ජීවිතය අප ගෙවන කාලය තුලදී විවිධාකාරයේ වෙනස්වීම් වලට බඳුන්වේ.

අලුත් හැඳුනුම්කම් එකතු වේ. ඇතැම් සබඳකම් දිගු කාලීනව තමා සමග රැඳී සිටිද්දී නොසිතූ නොපැතූ නිමේශයන් වලදී සමහර සබඳතා වලට අපව හැරයන්නට සිදු වේ. මෙය ද ඒ යතාර්තයට මුහුණු දෙන්නට සිදු වූ අවස්තාවකි.

“ජීවිතේ පුතේ අපිට නොහිතපු වෙලාවල් වල ප්‍රශ්න එනවා. සමහර ප්‍රශ්න පුංචි හුලඟක් වගේ. අපිත් බොහොම හයියට දරාගන්ටවා. ඒ පුංචි හුලං පාරවල් වගේ ප්‍රශ්න දාහකට විතර මූණ දෙන්ට වුණාට පස්සෙ අපි හිතන්ටෙවත් නැති වෙලාවක මහ කුණාටු වගෙ ප්‍රශ්න එනවා. 

සමහර වෙලාවට අපි හිත රිද්දගන්නවා අර පුංචි හුලං පාරවල් වගේ ප්‍රශ්න ආවේ ඇයි කියලා.

ඒ හුලං පාරවල් එන්නෙ මහ කුණාටුවක් එන්ට පුලුවන් බව අපිට කියන්ට. ඒ මහ කුණාටුවට හයියට මූන දෙන්ට අපිට පුරුදු කරවන්ට.

අපි ඉපදෙන්නෙ පුංචි තුත්තිරි ගස් වගේ පුතේ.

අම්මා අප්පච්චි සහෝදරයො ඉද්දි ඒ මිනිස්සුන්ගෙ ඇඟේ ඇලි ඇලි අපි ඩිංග ඩිංග උස් මහත් වෙනවා. 

හරියට තුත්තිරි ගස් තමන්ව පහු කරන් යන මිනිස්සුන්ගෙ ඇඟවල් වල එතිලා අලුත් තැනකට ගිහිල්ලා පැලවෙනවා වගේ.

ඒත් අපිට හැමදාම තුත්තිරි ගස් වගේ ඉන්ට බෑ.

අන්න එදාට අපි තේරුම් ගන්ට ඕන අපි කුණාටුවකදි ඉදිරිලා වැටෙන්න ඇහැක් මහ ගහක් වෙනවද? එහෙමත් නැත්තක් වතුර පොදක් නැති කාලෙක වුණත් මල් පුප්පන පතොක් ගහක් වෙනවද කියන එක”

චරිත්‍රා හා විවාහයට පෙර දින රැයේ තම කාමරයට පැමිණ නින්ද යනතුරු හිස අත ගෑ අම්මාගේ ලඟින් එදා ආ සුවඳ මිහිකට තවමත් සිත ඇතුලෙන් විඳින්නට හැක.

බිම වැටුණු කඳුලු වියලී යද්දී මුහුන පිසදා ගත් මිහික හුන් තැනින් නැගී හිඳියේ අප්පච්චි මතක් වීමෙනි.

අප්පච්චිත් අම්මාත් ගෙවූ ජීවිතයේ හැටියට අප්පච්චි මේ මොහොතේ කෙතරම් නම් වේදනාවක් සිත සිරකරගෙන හිඳිනු ඇද්ද යන්න මිහිකට සිතාගන්නට නොහැක.

අප්පච්චි කිසිම විටක තම සංවේදනාවන් එළියට පෙන්නු මිනිසෙකු නොවේ.

තාත්තලා එහෙමමය.

ඉතින් මේ තමා අප්පච්චි ළඟින් හයියට රැඳී සිටිය යුතුම මොහොතයි. අප්පච්චි විසල් ගසක් මෙන් තම පවුලට සෙවණ සලසද්දී අම්මා සිහිල් පවනක් මෙන් අප වටා එතෙමින් හුන් අතීතයකින්, එබඳු සිසිල්මය ගතිගුණත්, ආදරයත් ලඟ රැඳුණු අම්මා නැති වර්තමානයකට ඒම තමාට මෙන්ම අප්පච්චිට විශාල වේදනාවකි. අභියෝගයකි.

පිරිමින්ට හඬා වැටීම නුසුදුසු යැයි කියා කවුරු කියා තිබුණත් මේ වේදනාවන් උතුරා ගලා යන මොහොතකි. පිරිමියෙකු වුවද වේදනාබරිත හිතක් ඇති තැන, තමාව හඬවන්නට දුර්වල කරවන්නට උත්සාහ කරන හැඟුම් දහරාවන්ට හිස නමයි.තමාගේ සිරුර වෙව්ලන බවට මිහිකට දැනුනෙන් දුරකතනය ලිස්සා ඇඳ මතට වැටුණි. නොහඬා සිටින්නට දරන දැඩි උත්සාහයත්, ඒ නිසා මතුව එන ඉකියත් සිරුර දුර්වල කරමින් මිහිකව යටත් කරගන්නට උත්සාහ කරද මේ අප්පච්චි වෙනුවෙන්ම තමා නැඟී සිටිය යුතු මොහොතකි.

තමාගේ මව මියගොස් බැවින්, ඉදිරි දින කිහිපය තුල ලංකාවට යාමට සිදු වන බව පවසා කාර්‍යාලයට පණිවිඩයක් තැබූ මිහික, දුරකතනය අතට ගත්තේ වැඩ කටයුතු කෙරෙන අන්දම ගැන කතා බස් කරනු පිණිස මිතිලට කතා කරන්නටය. 

ගුවන් ටිකට් පතක් හැකි ඉක්මණින් වෙන් කරගන්නට උවමනා වන නමුත් ඒ පිළිබඳව තබා ගත හැකි විශ්වාසයන් අඩුය. දෛවය තමා සමග සෙල්ලම් කරන්නේ අරුම පුදුම විදියකටය. අම්මාව සොරාගත් ඒ දෛවයට, අම්මාට අවසන් සමුගැනීමක්වත් දිය නොහැකි තැනකට තමාව පත් කිරීම අපහසු කාරණාවක් නොවන බව මිහික දනී.

අවසානයට කතා බස් කල මොහොතේත් “දළදා හාමුදුරුවන්ගේ පිහිටයි” පුතේ කියා දුරකතනය තැබූ අම්මා සමුගෙන ගොස් තිබුනේ හදවත පුරා ආදරයේත්, ඒ හා සමානවම වේදනාවේත් බිජුවට පැලකරමිනි.

එකී වේදනාවේ බිජුවට කෙදිනක හෝ උස් මහත් වී අම්මාගේ ආදරය බඳුම සුදු පැහැ සුන්දර මල් හිත පුරා වපුරුවමින් සුවඳ දිදී පිපෙනු ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles