සඳයුරු ‘තාත්තා’ කියනවා වාගේ දැනී කාශ්‍යප ගේ පපුවේ පැත්තක හිරි වැටීමක් ඇති විය. ඔහු එතැන අතින් පිරිමදිමින් බැල්කනි වැටට බර වී ගෙන අහසත්, සයුරත්, එක යායට පෙනෙන කොළඹ නගරයත් දෙස බලා සිටින්නට වූයේ ය. බලා සිටියාට ඒ කිසිත් හිතේ කොතැනකවත් රඳන්නේ නැත. නෙළුම් පතක් මතට දිය වැටෙනවා සේ රූරා යයි.
දැන් ඔහු සන්සුන් වෙමින් හිඳී. අභ්‍යන්තරය නිසල වෙමින් තිබේ. දික්කසාද තීන්දුව ස්ථිර වශයෙන් ලැබීමෙන් පසු බේබදු ජීවිතයෙන් ද හෙතෙම ටික ටික මිදුණේ ය. දැන් මෙතැන සිට ආපසු හැරී බැලීමේ දී දුෂ්කර වූ මගක් ඔස්සේ වෙහෙසකර ගමනක් විත් විඩා නිවන්නා බඳු හැඟීමක් කාශ්‍යප ට දැනේ. ඔහු නළල රැලි නංවා ගෙන වෙරල දෙස බලා සිටියේ ය. රැල්ල විත් හැපුණාට කිසි දා වෙරළේ නතර වන්නේ නැත!
චමත්කාරය සොයා විත් ජීවිතයේ සුමට සැනසිලි ස්වභාවය අහිමි කර ගත්තා යි දැන් ඔහු ට දැනේ. නමුත් ආපසු හැරී ඒ මාවතේ ම පිය නගන්නට පිළිවන් කමක් නැත. විවාහය සේ ම එකට ජීවත් වීම ද ප්‍රේමයේ චමත්කාරය විනාශ කර දමන්නේ යයි කාශ්‍යප ට සිතේ. ආරාධනා සමග ගෙවුණු යුග දිවියෙහි කිසිදු රළු පරොළු බවක් වූයේ නැත. එතැන සිට ඔහු බලා සිටියේ දුරින් උන් සෞභාග්‍යා දෙස ය. හැමදාම එසේ බලා සිටියා නම් චමත්කාරය විනාශ වන්නේ නැත. දුරට පෙනෙනා, නෙතු අදහනා අසිරිය සඳක වුව ළඟට නැත!
සෞභාග්‍යා ට ඔහු ද ඔහු ට ඇය ද පෙනෙන්නට බැරි තරම ය. ඔහු ගේ ඇවතුම් පැවතුම් හැසිරීම් ඇයට ද ඇගේ චර්යා ඔහු ට ද පිළිකුල් ය. ඔවුන් මොනවා කළත් එහි හොඳක් අනෙකා ට පෙනෙන්නේ නැත. ඔවුන් උනුන් රුස්සන්නේ නැත. ඉවසන්නේ නැත. විශ්වාස කරන්නේ නැත. අනෙකා වෙනුවෙන් කැපවීමක්, අවනත වීමක්, නම්‍යශීලී වීමක් වෙන්නට රිසි ද නැත. එනයින් එතැන එක ගමනක් තිබිය නො හැකි ය.
කාශ්‍යප සෞභාග්‍යා නො දැනුවත්ව ම බටහිර රටක ආයතනයකට අනුයුක්ත වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටියේ ය. දැන් ඔහු ට ඕනෑ විනිර්මුක්ත වීමකි. සියල්ලෙන් ඈත් ව තට්ට තනියම හුදෙකලා දිවියක් ගත කරමින් තනිකමෙන් වියරු වැටෙන්නට ඔහුට ඕනෑ වී තිබේ. බිඟුනි හා සඳයුරු, එසේ සිතත්දී මුලින් ම හිතට එන සිතිවිලි අංකුර වේ. නමුත් ඔවුන් වූ කලී වතාවක් ඔහු විසින් අත් හැර දමා පැමිණි බැම්මක් බව ඔහු ගේ ම යටි හිත සිහිපත් කරයි. ආරාධනා ළඟ දී ඔවුන් තමන් ළඟ සිටිනවාට වඩා සුරක්ෂිත බව ද කාශ්‍යප දනී. දරුවන් වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සපයා ඔවුන් ආරාධනා ළඟ තැබීම තරම් යහපත් තීරණයක් වෙන ඇතැයි ඔහු නො සිතයි. අනිත් අතට ආරාධනා තුළ ඔහු පිළිබඳ අනුකම්පාවක් හෝ ශේෂ ව නැති බව ද කාශ්‍යප වටහා ගෙන සිටී. ඇයගේ පෙන්වන්නට තරම් වරදක් නොවූ බව ද ඔහු ඒ විවාහය පුරා ම ඇයට කළේ හතුරුකමක් බව ද, ගමනාන්තයේ දී දැන් ඔහු ට පැහැදිලි ය.
“මං එළියට යනව. රෑ වෙයි. එළියෙන් ඩිනර් ගන්න. නැත්තං මොනා හරි උයාගන්න වෙයි”
කියමින් සෞභාග්‍යා නික්ම ගියා ය. උපේක්ෂා සහගත දෑසකින් බලා සිටියා මිස කාශ්‍යප කිසිත් කියන්නට ගියේ නැත. කිසිත් කීවාය කියා පලක් ද නැත. සෞභාග්‍යා ව ඔහු ට ඕනා ලෙස හැඩගැස්විය නො හැකි ය. එක්කෝ ඔහු ඇගේ විලාශය ට හැඩගැසිය යුතු ය. නොහොත් මේ බැම්ම බිඳ දමා අභිනික්මන් කළ යුතු ය. මෙලොව මිනිසුන් දෙදෙනෙකු කිසි ලෙසකින්වත් එක වාගේ නොවන බව දැන් ඔහු ට වැටහේ. විවාහයක් කියා කියන්නේ දෙයාකාරයක මිනිසුන් දෙදෙනෙකු එක අච්චුවකට දමා එක විදිහේ මිනිසුන් දෙදෙනෙකු කරනවාට කියන තවත් නමත් නොවේ. සම්බන්ධයක් තුළ දී එකිනෙකා ගේ වෙනස් කම් වටහා ගෙන ඒවාට ගරු නො කරන්නේ වී නම් ඒ සම්බන්ධය දුර දිග ගෙන යා නො හැකි වනු ඇත. කාශ්‍යප විවාහය තුළදී කළේ ආරාධනා ඔහු ට ගැලපෙන කෙනෙකු නොවන බව සිතමින් මනසින් සෞභාග්‍යා සෙවීම ය. ඇය හමු වූ කල කළේ ඇගෙන් ආරාධනා වැනි සුවච කීකරු බිරිඳක සෙවීම ය. ඒ නිසා සම්බන්ධතා දෙක ම අසාර්ථක කර ගැනීම ය. දැන් ඔහු ට ඕන වී තිබෙන්නේ සියලු සම්බන්ධතා බිඳ දමා හුදෙකලාවේ ජීවත් වන්නට ය. ඒ ජීවිතය තුළ දී මොනවා වේවි ද කවුරුන් හමු වේවි ද කියා සිතන්නට කලබලයක් ඔහු ට නැත. හිස් වීම මුලින් ම කළ යුතු ය. හිස් වූ කල එහි ඕනෑ ම දෙයක් පිරිය හැක!
බිඟුනි ට යන්න ඕනා කීවේ පානදුරේ වෙරළට ය. ඒ ඇය වඩාත් කැමති තැනකි. කාශ්‍යප සිටියදී කිහිප විටක් ගිය ද ඉන් පසු ඈ එහි ගෙන ගියේ නැතැයි ආරාධනා ට ද සිහි විය. පුංචි උන්ගේ හිත් වලට කා වැදුණු දේවල් පහසුවෙන් අකා මකා දැමිය නො හැකි ය. වෙරළ තීරයේ දී කවීශ්වර ගැවසුණේ දරුවන් දෙදෙනා සමග පමණ යයි කිව හැකි තරමි. ඔහු ඔවුන් සතුටු විය හැකි උපරිමයෙන් ඔවුන් හා කෙළි දෙළෙන් ගත කළේ ය. ආරාධනා ගැන නම් උනන්දුවක් දැක්වූයේ ම නැත. ඇදෙස බැලුවේ හෝ නැතැයි කිව හැකි තරම ය. කවීශ්වර සිතුවේ ඔහු ගේ යෝජනාව ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූයේ ඔහුට අකමැති නිසා නම්, දුරින් හිඳිනා එක හොඳ ය කියා ය. එක යෝජනාවක් නිසා ඇය ළමයින් දෙදෙනා ද ගෙන සැනසුම් පායෙන් ගියා ය. අඩු තරමින් ඔවුන් තිදෙනා ඇස ගැටෙනා මානයක හෝ සිටිත යුතු ය. ඔවුන් නැති සැනසුම් පායට අඩිය තියන්නට බැරි තරමට කවීශ්වර ගේ සිත බිඳී ගොස් තිබේ. දරු දෙදෙනා ගේ හුරතල් හඬවල් නෑසෙන සැනසුම් පාය හිස් ය. ආරාධනා දැන් ගෙදර නැති බව සැනසුම් පායේ වැලි කැටයක් ගානේ දැනුම් දී සිටී. ඒ පාළුව ගැන කියන්නට තරම් කවීශ්වර වචන දන්නේ නැත. ඇය සිටිත්දී පිරී තිබුණු යමක් දැන් හිස් ව ගොස් තිබේ. ඒ හිස් බව සැනසුම් පායේ පමණකුදු නොව ඔහු ගේ පපුව පත්ලෙන් පවා දැනේ. අයිති කර ගන්නට ගොස් සදහට අහිමි කර ගන්නවාට වඩා දුරින් හෝ තිබෙනවායි දැනෙන හැඟීම ජීවත් වීමට හේතුවක් විය හැක!
“මේ දවස් දෙක තුනට දුව ඇදිල ගිහින්නෙ”
රාජිකා මැණිකේ ඒ කීවේ ආරාධනා දුටු මොහොතේ පටන් කියන්නට මුව නලියෑ යමකි. වෙරළාසන්න බොජුන් හලෙහි දී කෑම ගන්නා ගමන් සිටි කවීශ්වර ගේ නෙතු වහා ඇය මත නතර විය. ආරාධනා සිටියේ අම්මා දෙස බලා ගෙන ය. ඇගේ මුහුණේ ලස්සන සිනහවක් තිබිණි.
“අනේ මන්දා…වෙනද වගේම කනව ඉතිං”
බොරුවක් බව දැන දැන ම ඇය තරමක ලැජ්ජාශීලී බවකින් එසේ කියා බත් පත දෙස බලා ගත්තා ය. හරි හැටි අහරක් කුසට වැටුණේ ම නැති බවත්, එක් තැන් කර ගන්නට බැරි තරමට හිත විසිරී ඇති බවත් නො කියා හිතේ ගිල ගන්නට ඇයට සිදු විය. කවීශ්වර ගේ ඇස් තව දුරටත් ඇය මත ම නතර වී තිබිණ. සැබවින් ඇගේ මුහුණේ පිරුණු බව හෙදී ගොස් ඇතිවා සේ ඔහු ට ද මුල් වරට දැනිණ. ඉන් පසු මොනවා කතා බහ කළ ද ආරාධනා සිටියේ වෙනම ම සිතිවිලි ලෝකයක ය. තමන්ගේ ගෙදර, තමන්ගේ අම්මා තාත්තා සහ සහෝදරයා අතරේදී වුව ගජධීර පවුලේ අය අතරදී දැනෙනා මේ නිදහස් හැඟීම දැනෙන්නේ නෑ නොවේදැයි ඇයට සිතිණ. එය අව්‍යාජ වූ සම්බන්ධයකි. හිතට නිදහස් ව දැනෙනා බන්ධනයකි. මොකක්දෝ හේතුවක් මත උපන් දා පටන් උන් ගෙදරදීත් ඇයට ඒ නිදහස් හැඟීම නොදැනේ. ජීවත් වෙනවායි දැනෙන පිරුණු බව නො දැනේ. බිඟුනිට ද එසේ ය. දිනකට කිහිප වරක් ම “දැන් ඉතින් මෙහෙ හිටිය ඇතිනෙ. අපි ගෙදර යංකො” කියා ඇය ඇවිටිලි කරයි. ඇයට ගෙදර යනු සැනසුම් පාය ය. මේ සංකා හැඟීම නො කියා කියන්නේ ආරාධනා ට ද දැන් ගෙදර යනු සැනසුම් පාය බව නො විය හැකි ද?
“මොකද කොල්ල කියන්නෙ…”
තාරා එසේ ආරාධනා විමසූයේ බිඟුනි පාසල් ගෙන යන්නට උදේ කවීශ්වර ඇවිත් ගියාට පස්සේ ය. සඳයුරු වඩා ගත් වන තවමත් ආරාධනා රිය නික්ම ගිය මග දෙස බලා ගෙන සිටියා ය. ඇය බිඟුනිව රියට නංවත්දී වුව කවීශ්වර ඇදෙස බැලුවේ නැති තරම ය. සඳයුරු වෙත විත් ඔහු වඩා ගෙන සිප ගත්තේත් ආරාධනා නො දන්නවා සේ ය. සඳයුරු වඩා ගත්දී ඔහු ගේ අතක් යන්තම් ඇගේ අතක ස්පර්ශ විය. වෙනදාත් ඕනෑ තරම් එවන් දේවල් සිදු වී ඇතිවා විය හැක. නමුත් මේ මොහොතේ ඒ ස්පර්ශය ගින්දරක් සේ ඇයට දැනිණ. ඊටත් වඩා ආරාධනා පිච්චුණේ එකෙනෙහි “සොරි” යයි ඔහු කී වචනය නිසා ය. එසේ කීවේත් යන්තමින් හෝ ඇදෙස බලා නොවේ.
“මුකුත් නෑ අක්කෙ”
ආරාධනා අඩ සිනහවක් නගා ගෙන මිමිණුවා ය. නමුත් ඇගේ ඇස් වල යටපත් කර ගන්නට තැත් දරනා කතාවක් වන බව තාරා ට නො දැනුණා නොවේ.
“එක අතකට ඒකා මොනා කියන්නද ඉතිං…මූණට දමල ගහනව වගේ ගෙදරින් දොට්ට බැහැල ආවට පස්සෙ…එහෙම දෙයක් කියපු මෝඩකම කියල දැන් තැවෙනව ඇති. අවුරුදු ගාණක් හිටිය වගේ ඕක හිතේ තියාගෙන ම හිටියනං ඉවරයි කියල හිතෙනව ඇති. පව්..”
ආරාධනා ගේ පපුවේ හෘත් පේශි නාය යාම සිදු වූයේ ඒ වෙලාවේ ය. ඇගේ රවුම් ඇස් වඩාත් විසල් වී තාරා දෙස බලා ගති. එක මොහොතකින් ඒ උඩු තොල මත දහදිය බින්දු කිහිපයක් ද නැගී ආවේ ය.
“මොකද්ද ඒ කතාව…අවුරුදු ගාණක් හිටිය වගේ කියපු එක…”
“ආ නෑ…ඒක මේ නිකං කියවුණේ…”
තාරා ඉවත බැලුවා ය. නමුත් ආරාධනා ඇය විනිවිද දකිමින් සිටියා ය.
“නිකං වෙන්න බෑ අක්ක”
“නිකං බං…කටට ආවට කියවුණ”
තාරා එහෙම බොරු රංගනයක් කළේ ම ආරාධනා ගේ අවධානය වැඩිපුර ඒ කෙරේ යොමු කර ගන්නට ය. එය එසේ ම විය.
“මට ඇත්ත කියන්න. මොකද්ද ඔයා ඒ කියන්න ගියේ…මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ අක්කෙ…”
ආරාධනා ගේ ඇස් වල ද ස්වරයේ ද හැඬුම්බර බැගෑපත් බවක් විය. මේ ඒ ගැන කියන්නට හොඳ ම වෙලාව බව තාරා ට දැනිණ.
“කවීශ්වර උඹ ගැන හිතුවෙ මීට අවුරුදු ගාණකට කලින්. ඒත් ඒකාගෙ හිතේ තියෙන දේ කියා ගන්න උඹෙන්වත් කාවිගෙන්වත් කවදාවත් අනුබලයක් ලැබුන්නෑ. අන්තිමට උඹ කාශ්‍යපව බඳින්න කැමති වුණා. ඒ හැම තැනකදිම කවීශ්වර ට සිද්ද වුණේ ඌගෙ හැඟීම් පාලනය කර ගෙන පැත්තකට වෙන්න. මුළු හිතෙන්ම ඌ ඒක කළා. ඔයා කාශ්‍යප බැඳල ඒ ගෙදර හිටියයි කියල කවී බැල්මකින්වත් ඔයාට වරදක් කරල නෑනෙ”
‘අනේ නෑ’ යි කියන්නට ආරාධනා ට ඕන විය. නමුත් උගුරෙන් වචන පිට කර ගත හැකි වූයේ නැත. එනයින් ඕ යන්තම් හිස දෙපසට සැළුවා ය.
“ඉතිං ඒකනෙ. කාලයක් තිස්සෙ ඇත්තටම හිතට දැනිච්ච ආදරේ හිතේම ගුහාවක් අස්සෙ හංගගෙන හිටපු කොල්ලට…අන්තිමට උඹ මෙහෙම කළාම හිතෙන්න ඇති අපරාදෙ අන්තිමට හරි එහෙම දෙයක් කිව්වෙ කියල”
“ඔ..ඔයා…කොහොමද…ඕව දන්නෙ…”
හිතට දිරි වඩා ගෙන අවසන ආරාධනා මුව විවර කළා ය. තාරා කට කොනකින් සිනහ වූවා ය.
“මං මුල ඉඳන්ම දැනං හිටිය. ඒත් කාශ්‍යප එක්ක ඔයා හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගෙනියනව වගේ පෙනුණ නිසා කවදාවත් ඒව ඔයාට කියන්න ඕන වුනෙ නෑ අරා. දැං වුණත්…ඒක මටත් හොරෙන් කටෙන් ලිස්සල ගියා. දැන් මේව ගැන අර කොල්ලත් එක්ක රණ්ඩු කරන්න යන්නෙපා. කවී යෝජනාවක් කළා උඹ ඒකට අකමැති වුණා කොල්ල ඒක පිළිගත්ත. එච්චරයිනෙ…දැන් ඔය පරණ දේවල් වැඩක් නෑ”
නමුත් තාරා කිව් තරම් පහසුවෙන් ඒ කිසිත් අත් හැර අමතක කොට දමන්නට එදා ආරාධනා ට හැකි වූයේ නැත. ඇය දිවා කාලය ගෙවා ගත්තේ පිස්සුවෙන් සේ ය. සඳයුරු නිදි කරවා ගන්නට ඇය ලොකු උත්සාහයක් දැරුවා ය. ඔහු නිදි මතක ලකුණක් හෝ නො පෙන්වත්දී, කවදාවත් නැතිව සැර වූවා ය. සඳයුරු ඇදෙස බලා සිටියේ ඒ සැර දැමීම තේරී හඬන්නට ඔන්න මෙන්න ව වාගේ ය. එකෙනෙහි ඇය බිළිඳු පුතුන් පපුවට තුරුලු කොට ගත්තා ය.
“අනේ සොරි මගෙ මැණික…අම්මිගෙ ඔළුව පුපුරන්න එනව වගෙයි පැටියො. සුදූ චුට්ටක් දොයියන්න…අම්මි එක්ක තරහ වෙන්න එපා…අම්මි ආයෙ බණින්නෑ මැණිකට…”
ආරාධනා ගේ ඇස් ඇය නො දැන ම තෙත් වී ද තිබිණ. බෝ වෙලාවකට පස්සේ සඳයුරු නිදා ගත් ඉක්බිති, තවත් සන්සුන් ව සිටිත නො හැකි ව ඇය කවීශ්වර ගේ දුරකතනයට ඇමතුමක් ගත්තා ය.
“ඔයා බිඟුව ගන්න යනව නේද කවීශ්වර…”
“ඔව්”
එපමණකි. ඒ තනි වචනයේ රළු පිළිතුර ඇයට තව දුරටත් කතා කරන්නට අනුබල දුන්නේ නැත.
“හරි එහෙනං…නැත්තං මං යන්නයි ඇහුවෙ”
කියා ඕ දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය.
බෙංගාල බොක්ක සේ දරුණු පීඩන අවපාතයක් ඇගේ හදවතේ විය. කාමරයේ ඒ මේ අත සක්මන් කරනවා මිස වෙන කරන්නට යමක් තිබුණා නොවේ. තාරා කී ඇතැම් දේවල් ඇගේ හිත පුපුරුවා හරින්නට හදයි. ඇය කියනා පරිදි ඉතා ඈත අතීතයේදීත් කවීශ්වර ඇයට පෙම් කොට තිබේ. ආරාධනා දන්නා පරිදි ඇය පිරිමින් දෙදෙනෙකුට දෙවරක දී පෙම් කළා ය. පළමු ප්‍රේමය විශ්ව විද්‍යාලයේ දී ය. දෙවැන්න විවාහයෙන් පසු කාශ්‍යප ට ය. නමුත් ඒ පෙම් කතා දෙක ම ඒක පාර්ශ්වීය ඒවා ය. ඔවුන් දෙදෙනා ම කිසි දා ඇයට පෙම් කළේ නැත. ඒ අනුව මෙලොව කිසිදු පිරිමියෙකු ගේ ආදරය නො ලැබූ ගැහැනියක ලෙස ආරාධනා ඇය ගැන සිතමින් සිටියා ය. එය අති විශාල වූ රිදුමකි. නමුත් දැන් හදිසියේ ම අලුත් ආරංචියක් ලැබෙන්නේ වසර ගණනාවක් තිස්සේ ඒක පාර්ශ්විකව ඇයට පෙම් කළා වූ කවීශ්වර කෙනෙකු ගැන ය. එය විශ්වාස කළ හැකි ද? එය විශ්වාස කළ යුතු ද? එය අවිශ්වාස කරන්නේ ඇයි? ආරාධනා උත්තර නැති ප්‍රශ්න ගොන්නක් මැද්දේ අන්ත අසරණ වී සිටියා ය.