ඒ තරම් ප්‍රීතිමත් වූ ඉරිදාවක් සියපත් ගේ දිවියට ඉන් පෙර උදා නොවූ තරම ය. ඇය උදෙන් ම ගේ අස් කොට අතු ගා පිරිසිඳු කළා ය. කඩයප්පන් හදනා වැඩත් එක්ක සුජීවා ගෙන් ගෙදර ඒ වාගේ වැඩ අතපසු වන්නේ නිරායාසයෙනි. කොහොමත් ඇය ගේ දොර ලස්සනට තබා ගැනීම ගැන ඒ තරම් උනන්දු වූ කෙනෙකු නොවේ. දියණිවරු දෙදෙනෙකු සිටිනා මවක වශයෙන් කුඩා කල ම ඒ වාගේ කටයුතු දූවරුන්ට පැවරීමෙන් ඇය නිදහස් වූවා ය. පවුලේ හතර දෙනෙකුගේ බඩ සරි කරනා ප්‍රශ්නය තුන් තිස් පැයේ හිස මත තබා ගෙන සිටිනා ගැහැනියකට ගෙවල් වල හැඩ වැඩ කියන්නේ කොහෙත් ම අදාල දෙයක් නොවේ. ශාන්ත ට රැකියාව අහිමි වී යාමෙන් පස්සේ ඔහු යමක් ඉපයූවේ කුළී වැඩකට කිසිවෙකු කතා කළොත් ය. ඒ අතරේ සුජීවා කෑම හදන ගෙවල් වල උයන්නට ගියා ය. දාන මාන ආදියට අත් උදව් දෙන්නට ගියා ය. ඇය දැන ගෙන සිටියේ උයන පිහන කෑම හදන දෙයක් පමණක් වන නිසා, මුදලක් උපයා ගත හැකි වූයේ එවැනි වැඩකිනි. එතකොට ඇයට ගෙදර වැඩක් පළක් කෙරුණේ ම නැත.
“පොඩ්ඩක් ගේ මිදුල අතුගාගන්න මැණිකෙ”
කියා පාසල් නිවාඩු දිනෙක නම් ඇය සියපත් ට කීවා ය. අම්මා හා තාත්තා එක් ව එදා වේල හොයා ගන්නට විඳිනා දුක් ගැහැට ගැන අවබෝධයක්, හය හතර තේරෙන්නට පටන් ගත් දා පටන් දැක අවබෝධ කොට සිටි ඕ, අම්මාව ගෙදර වැඩ වලින් නිදහස් කිරීමට හැකි හැම විට ම උත්සාහ කළා ය. පුංචි කමට ගේ මිදුල් අතු ගා රෙදි හෝදා වේලා, නංගී එක්ක ඇය ද නා පිරිසිඳු වී හවසට අම්මා තාත්තා එන තුරු බලා සිටින්නට ඇය පුරුදු වෙමින් සිටියා ය. ඇතැම් විටෙක අම්මා වෙහෙස වී ගෙදර ආ විට ළිප ගිනි මොළවා වතුර කේතලය ළිප තබා තේ සෑදුවේ ද සියපත් ය.
ඇය කවදත් නංගී ව ඒ වැඩ වලින් නිදහස් කළා ය. ඔවුන් දෙදෙනා අතරේ වයස් පරතරය අවුරුදු හතරක් වී ද සියපත් හැම විට ම නංගී ගැන සිතුවේ ඇය අත දරුවෙකු හා තමන් මහ ගැහැනියක සේ ය. ඒ අනුව ළමා වියේ පටන් ඕ පවුලේ වගකීම් හිස මත දරා ගත් දැරියක වූවා ය. කල් ගත වී ශාන්ත හා සුජීවා කඩයප්පන් හැදීම රස්සාව කර ගත්තාට පස්සේ ද ඇය ගේ මිදුල් වල පිරිසිඳු කම ගැන වද වූයේ ම නැත.
සියපත් රැකියාවට යන්න පටන් ගත්තා ට පස්සේ ඒ පැරණි අබලන් ගෙදර සිමෙන්ති පොළොව කොස්සක් දැක්කේ ඉරිදාට පමණි. සතියේ අනිත් දින වල ගෙදර ආ වෙලාවේ පටන් සියපත් ට කඩයප්පන් විකිණීමෙන් තොර හෝරාවක් හෝ වූයේ නැත. එතකොට යන්තම් කුණු ටික අතු ගා ඈත් මෑත් කරනවා පමණි. මේ නිසාවෙන් ඉරිදා උදේ වරුව ම ගෙදර වැඩ වෙනුවෙන් වෙන් කරන්නට ඇයට සිදු වේ.
“අපි අද දවල්ට හොඳට උයමු. නංගිත් ගෙදරනෙ. ෆ්‍රයිඩ් රයිස් හදල…චිකන් කරි එක සැරට උයල…අල හොද්දකුයි…මිටි කිරි දාන පිපිඤ්ඤා සලාදෙකුයි…ම්…තව ඕන්නං මාළුමිරිස් ටිකක් පුරෝල උයමු. චොක්ලට් අයිස්ක්‍රීම් එකකුත් ගේමු හොඳේ”
පරිසිඳු කිරීම් වලින් පසු දිය නා ගෙන විත් සියපත් සුජීවා ට ද ශාන්ත ට ද ඇසෙන සේ කීවා ය. සුජීවා සිටියේ හවස ආප්ප හදන්නට පිටි ඒදමිනි.
“කොහොමත් කන විදිහට කන දේවල් අපිට බලා ගන්න පුළුවන් පුතේ. ඔය සල්ලි නිස්කාරණේ නාස්ති කරගන්නැතුව බැංකු පොතක් ඇරල දාගන්න”
ශාන්ත ඒ කීවේ පෙර දා රාත්‍රියේ පටන් සිතමින් උන් දේ ය. සුජීවා ඇය ගේ එකඟතාවය හඟවනු වස් හිස සැළුවා ය.
“ඉතිං අනේ මිනිස්සු හම්බ කරන්නෙ වියදං කරන්නනෙ. අපි හැමදාම දුක් වුණේ ලස්සනට කාල ඇඳල ඉන්න වියදං කරන්න අපිට සල්ලි නැති එක ගැනනෙ”
සියපත් ගත් කටට ම කීවා ය. සල්ලි තිබුණා නම් කරනවානේ කියා ඇය සිතා ඇති දේවල් වල ලැයිස්තුව දැන් සිහිපත් කර ගත නො හැකි තරම ය. ඒ තරමට ම සියපත් ගේ සිත පෙර දා සැඳෑවේ සිට අදහා ගත නො හැකි ප්‍රීතියකින් වාං දමමින් තිබේ. ඒ තරම් විශාල වැටුපක් ඒ ලියුම් කවරය තුළ තිබේවියි ඇය නිකමට හෝ සිතුවේ නැත.
“ගණං කරල බලන්නැද්ද…”
ගෙදර කන්තෝරු කාමරය ලෙස භාවිතා කරන ඉස්සරහා කාමරයට කැඳවා සියපත් ගේ මාසික වැටුප ලබා දුන් සදාතන, ඇය අත්සන යොදත්දී ඇසුවේ ය. ගෙදර සේවය කරනා පුද්ගලයන් ගේ ද වැටුප, ආයතනයේ ගිනුම් අංශය විසින් උනුන් ගේ බැංකු ගිනුම් වලට බැර කරනු ලැබේ. නමුත් සියපත් ගේ ගිනුම් තොරතුරු ලබා ගැනීම අතපසු වූවා ද හිතා මතා ම ඔහු ඒ ප්‍රමාදය සිදු කළා ද කියා සදාතන පවා හරියට ම දන්නේ නැත. ඔහු ගේ ප්‍රශ්නයට යුවතිය ඉක්මන් සිනහවක් පා බිම බලා ගත්තා ය.
“තෑන්ක් යූ සර්”
එපමණක් පවසා කන්තෝරු කාමරයෙන් නික්මුණ ඕ, ඒ කවරය විවර කොට බැලුවේ ගෙදර පැමිණි පසුව ය. සිය ප්‍රථම රැකියාවේ මුල් ම වැටුප ලෙස එපමණ මුදලක් ලැබෙනු ඇතැයි සියපත් සිහිනයෙන් හෝ සිතා තිබුණේ නැත. හිරුෂි ගේ පුංචි අම්මා වන ලලිතා ගුරුගේ පවසා තිබුණේ වැඩ වල තත්වය මත සුදුසු වැටුපක් ගෙවනු ඇති බවයි.
“සමහර විට වැරදිලාද දන්නෑ පුතේ. ලෙඩෙක් බලා ගන්න ගෑනු ළමයෙක්ට තියා ලොකු තනතුරක් දරන නෝනා කෙනෙක්ටවත් එච්චර පඩියක් දෙයි කියල හිතන්න බෑ”
ශාන්ත එසේ කීවාට පස්සේ සියපත් හිතා ගත්තේ සඳුදා උදේට වැඩට ගිය ගමන් සදාතනගෙන් ඒ ගැන විමසා සිටින බවයි. ඒ නිසා අර කෑම වේල වෙනුවෙන්වත් ඕ කවරයෙන් මුදලක් නො ගත්තා ය.
“හෙට ශුවර් කර ගත්තහමම අපි හොඳ ඩිනර් එකක් ගමු”
“ඔය ගාන නැතත් ඔය ගානෙන් බාගයක් තිබුණත් ඇති දරුවො. කීයක් හරි එකතු කරගෙන මගෙ මැණික අතට කරට රත්තරං බඩුවක් හදාගන්න. අපිට ඉතිං යන්තං කන්න දෙනව මිසක් එහෙම දෙයක් කරන්න බෑ කියල පුතා දන්නවනෙ. කවදහරි දීග යන දාක තමුන්ගෙ රත්තරං බඩු ටිකවත් හදා ගෙන තිබුණොත් ලොකු දෙයක්නෙ”
ආප්ප ඒදන ගමන් සුජීවා ගවුම් උරහිසෙන් නෙත කඳුළක තෙත මාත්තු කළා ය.
“අනේ මං රත්තරං බඩු වලට ආස නෑනෙ අම්මෙ. ඒක නිසා මට ඒව ඕන වෙන එකක් නෑ”
“ඒ වුණත් වැදගත් ගෑනු කෙනෙක් ළඟ කන කර ටිකක් තියෙන්න ඕන පුතේ. දීග ගිය දාක ඒ ගෙදර අයගෙන් කතන්දරයක් නාහ ඉන්න වුණත් තමුන්ට කියල දෙයක් අරං යන්න ඕන”
සියපත් ඒ ගැන අම්මා සමග වාද කර ගන්නට නො ගොස් නිහඬ වූවා ය.
“පුතාට ඔය රස්සාව හොයල දීපු යාළුවගෙයි එයාගෙ පුංචි අම්මගෙයි ගෙදරට කේක් ගෙඩියක්වත් අරං ගිහිං එන්න ලබන සතියෙවත්”
ශාන්ත දියණියට යුතුකමක් මතක් කොට සිටියේ ය. තාත්තා ගෙදර වියදමට සිය වැටුප යොදා ගන්නට එකඟ නොවෙන නිසා, ඒ මුදල් එකතු කොට මාස කිහිපයකදී ඔවුන් දෙදෙනා වෙනුවෙන් හන්දියෙන් කඩ කෑල්ලක් කුළියට ගෙන දෙන්නට සියපත් හිතා ගත්තා ය.
ඉරිදා දවස බෙහෙවින් දිග යයි කහවණුගොඩ මැදුරේ ඇත්තන්ට දැනෙමින් තිබිණ. සමහර මිනිසුන් හිටියත් නො හිටියා සේ ය. ඔවුන් ඉන්නවාද නැතිද කියා හෝ විශේෂයෙන් විමසා බැලිය යුතු ය. නමුත් සමහර මිනිසුන් එහෙම නැත. සියපත් කියන්නේ මඩටත් නො දැනෙන්න මතුපිටට විත් පිපුණ පියුමක් වන් යුවතියකි. කහවණුගොඩ මැදුරේ දී ඇය කනට ඇහෙන්නට කතා කළේ හෝ මදිරා ළඟදී පමණි. පොළොවටවත් නො දැනෙන්න ඇවිදින, හුළඟටවත් නො දැනෙන්න හුස්ම ගන්න, ඉතා සියුමැළි ගෑනු ළමයෙකු වූ ඇය නැති දවසක අඩුව අභිමානවත් කහවණුගොඩ මැදුරට දැනෙතැයි සියපත් සිහිනයෙනුදු නො සිතයි. මදිරා මුළු දවසේ ම ඇඳ මත වැතිර නවකතා පොතක් බැලුවා ය.
“අක්කට පාළුනං ඉරිදටත් අර ගර්ල්ට වැඩට එන්න කියන්න. අපි එයාට හොඳ සැලරි එකක් දෙනවනෙ”
එදා දවසේ තුන් වන වරට ද මදිරා ගේ කාමරයට පැමිණි සදාතන, කේන්ති මූණක් හදා ගෙන කීවේ ය. මදිරා පොත පසෙක තබා මල්ලී ගේ අතකින් අල්වා ගත්තා ය.
“මේ ටික කාලෙට ඔච්චර නපුරු වුණේ කොහොමද කොල්ලො…ඔයා ඉස්සර ඔහොම නෑ”
“නෑ ඉතිං…”
යමක් කියන්නට පටන් ගත්තා ට කුමක් කිව යුතු දැයි සැබවින් සදාතන දැන සිටියේ නැත. ඔහු ට දැනුණේ අක්කා ගේ කාමරය පමණකුදු නොව මුළු ගෙදර ම අමුතු පාළුවක ගිලී ගොස් ඇති බවකි. ඒ පාළුව ඔහු ගේ පිරිමි හදවතටත් බෝ වෙමින් තිබේ. සනාතන කතා කළ වෙලාවේ මිතුරන් සමගින් ක්‍රිකට් තරගය නරඹන්නට ගියා නම් මේ තත්වය වෙනස් වන්නට තිබිණැයි දැන් ඔහු ට සිතෙයි.
“සතියකට දවසක් නිවාඩුවක් ගන්නැතුව බෑනෙ මල්ලා. අනික ගෑනු ළමයෙක්නෙ. එක පැත්තකින් ටයර්ඩ්. රිෆ්‍රෙශ් වෙන්න වන්ස් අ වීක්වත් නිවාඩුවක් ඕනෙ මනුස්සයෙක්ට”
“නෑ මං කිව්වෙ ඔයා අද පාළුවෙන් නිසා”
“ඒකට කමක් නෑ. මට වුණත් සියපත්ගෙ අගේ වැඩියෙන් දැනෙනව එක දවසක් හරි එයා නැතුව ඉඳල ආයෙ එනකොට. ලේසියෙන්ම ඕන තරං ලැබෙන දේවල් වල වටිනාකම අඩු වෙනවනෙ”
එතකොට සියපත් ඉරිදාට නිවාඩු ගන්නේ අපිට වටිනාම පෙන්වන්නද යන සිතිවිල්ලෙන් සදාතන සිය කාමරයට ගියේ ය. සඳුදා උදේ සිට ම ඔහු ලකලැහැස්ති වී ඉස්සරහා පැත්තේ ගැවසුණේ ය. හදවත යමක් බලාපොරොත්තු වෙන නො ඉවසිල්ල දැනුණත්, ඒ කුමක්ද කියා සිත විමසන්නට තරම් ඔහු තමන්ට අවංක නොවී සිටියේ ය. කන්තෝරු කාමරයේ සක්මන් කරමින් සිටිනා අතරේ සියපත් බියෙන් වාගේ එහි එබුණේ සදාතන තිගස්වාගෙන ය.
“ගුඩ් මෝනිං සර්”
“ගුඩ් මෝනිං”
ඔහු ගොරෝසු හඬක් මවා ගත්තේ ය. කෙසේ වෙතත් හෝරා ගණනාවක් පුරා ඔහු ගේ හුස්ම හිර කරන්නට තැත් කළ අපහසුව එක නිමේශයෙන් කොහේ අතුරුදන් වූයේ ද කියා සොයා ගත නො හැකි බව ඔහු මැනවින් වටහා ගත්තේ ය.
“සර්..”
සියපත් කාමරය ඇතුළට, මේසය වෙතට මෘදු පියවර තැබුවා ය. සදාතන සිය අසුන වෙතට ගොස් එහි හිඳ ගෙන කැරකී මේසය දෙසට නැඹුරු වූයේ ය.
“යස්”
සනාතන වාගේ “සර් කියන්න තහනං හරිද” කියා විහිළුවටවත් කියා ගන්නට තමන්ට බැරි ඇයි දැයි මේ අව් අස්සේ ම ඔහු ට හිතෙමින් තිබිණ.
“සර්…සොරි මෙහෙම කියනවට…සැලරි එකේ…මොකක් හරි මිස්ටේක් එකක් වෙලා නේද…”
“මිස්ටේක් එකක්…”
සදාතන ගේ ඇස් හැකිළිණ. දන්නා අතීතයේ ඔහු අතින් එහෙම වරදක් වී නැත. එහෙම වරදක් වෙන්නට විදිහක් ද නැත. කෙසේ වෙතත් සියපත් උරයේ එල්ලා ගෙන උන් බෑග් එකට අත ඔබා වැටුප් සහිත කවරය පිටතට ගත්තා ය. අනතුරුව එය සදාතන වෙතට දිගු කළා ය. ඔහු එය අතට ගන්නට ඉක්මන් වූයේ නැත.
“ඇයි මොකද්ද වෙලා තියෙන්නෙ…”
“සර්..මං හිතන්නෙ…වැරදිලා…මට මෙච්චර ලොකු සැලරි එකක් ලැබෙන්න විදිහක් නෑනෙ. සර් ආයෙ චෙක් කරන්න”
සදාතන ට කාරණය වැටහුණේ එතකොට ය. සිනහවක් නැගෙන්නට ආව ද ඔහු එයට අවසරයක් දුන්නේ නැත. එනයින් ලා හසරැල්ලක් පමණක් දෙතොල් ඔස්සේ හමා ගියේ ය. ඔහු එක එල්ලේ ගෑනු ළමයා දෙස බලා සිට ඇති බව සිහිපත් වෙත්දී සදාතන අසුනෙන් නැගී සිටියේ ය.
“මිස්ටේක් එකක් නෑ. ඒ ඔයාගෙ සැලරි එක”
ඊළඟ මොහොතේ සදාතන හිටියේ සියපත් ඉදිරියේ අත් දෙක පපුව මත බැඳ ගෙන ය. ඇය ඉතා හොඳින් ඔහු නිරීක්ෂණය කරමින් සිටියා ය. සිහින් වූ කළු කොටු ඇඳුණ කොටු රූල් පොතක පිටුවක් වන් සුදු කමිසයක දිග අත් වැලමිට තෙක් ඔසවා ගෙන සිටි ඔහු ගේ රැවුල් කොණ්ඩ පෙර දා කප්පාදු වී ඇති බව ඇය ස්ථිර කර ගත්තා ය.
“ඉලක්කං ගාණකට සීමා කරන්න බැරි තරං අපිට අක්කව වටිනව. එයාට සතුට ගෙනත් දෙන්න පුළුවන් ඔයාට විතරයි. ඒ වෙනුවෙන් ඕනම දෙයක් අපි කරනව. ඕන තරං ඔයාට ගෙවනව”
“සර්…”
ඒ ආමන්ත්‍රණය වෙන අවස්ථා වලට වඩා තරමක් ස්ථාවර වන්නට ඇත. සියපත් සදාතන ගේ ඇස් දෙස කෙලින් බැලුවා ය. ඇගේ පපුවට කුමක් හෝ රිදුමක් දැනෙමින් තිබිණ.
“මං ආවෙ ජොබ් එකකට තමයි. ඒත්…මදිරා අක්කව දැක්කට පස්සෙ…අනේ සර් එයාට මගෙ හිතේ තියන ආදරේට මිලක් නියම කරන්න මට ඕන්නෑ. මදිරා අක්කා සතුටෙන් ඉන්නව කියන දේ පෙන්නල සර්ලගෙන් මට තරම් නැති සැලරි එකක් ගන්න ඕන නෑ සර් මට…අපි දුප්පත් වුණාට…මනුස්සකම් සල්ලිවලට විකුණන මිනිස්සු නෙවෙයි”
අන්තිම ටික කියා ගෙන යත්දී මුල දී තිබුණ දිරිය සියපත් වෙත වූයේ නැත. ඒ වචන දිය වී යමින් තිබිණ. ඇස් වලට කඳුළු පිරී ගෙන එන බව දැනී ඕ වහා බිම බලා ගත්තා ය. සදාතන දෙනෙත් පුරා ඇදෙස බලා ගෙන ම සිටියේ ය.
“කවුද කිව්වෙ මනුස්සකම් සල්ලි වලට ගන්නව කියල…ම්…එහෙම ඔයා දුන්නත්…ඒ මනුස්සකමට ගෙවන්න තරං අපි පෝසත් නෑ. ඒක නිසා ඔය සැලරි එක ගන්න. ඒක ඔයාට අයිති දේ”
තවත් ටික වෙලාවක් බිම බලා ගෙන සිටි ඇය කඳුළ ඇස් තටු ගසා මිරිකා හැර මඳහසකින් සදාතන දෙස බැලුවා ය.
“සොරි සර්…තෑන්ක් යූ සර්…”
එකෙනෙහි ආපසු හැරුණු ඕ බිම බලා ගෙන සන්සුන් ගමනින් මදිරා ගේ කාමරය වෙත ගියා ය. යළිත් අසුන් ගත වූ සදාතන අතකින් නිකට පිරිමදිමින් කල්පනාවකට වැටුණේ ය. කඳුළු වලට පෙඟුණ ඒ ඇස් තටු මේ දැනුත් ඔහු කළඹයි!