සියක් සියපත් 19

සදාතන කහවණුගොඩ යමක් වැටහෙන්නට ගත් කාලයේ පටන් ජීවිතය ඉතා ප්‍රවේසමෙන් අත පත ගාන්නට උත්සාහ කළ තැනැත්තෙකි. විශේෂයෙන් ම හදවතක් සමග ගනුදෙනු කළේ ඒ වූ කලී බිඳිය හැකි බඳුනක් බව කල් ඇතිව ම දැන ගෙන වාගේ ය. අම්මා අකාලයේ ම මරණයත් එක්ක යන්නට ගිය දවසේ ඔහු ට ඒ ගැන ඒ තරම් අවබෝධයක් වූවා නොවේ. අක්කා හඬනවා දකිත්දී හෝ හඬන්නට ඕනේ කියා ඔහු ට සිතුණේ නැත. අම්මා ගේ දෙණ සතපා තිබූ පෙට්ටිය ළඟ බිම හිඳ ගෙන ඔහු සනාතන හා මළ ගමට ඇවිත් සිටි කුඩා ළමයින් කිහිප දෙනෙකු සමග සෙල්ලම් කළේ ය. අම්මා මිය ගියා ය කියන කාරණය බරපතල ලෙස ඔහු ගේ ළමා මනසට ගොඩ වන්නට වූයේ ටිකෙන් ටික ය. මඳින් මඳ ය. දවසින් දවස ය. වසරින් වසර ය. අම්මා මිය ගිය එක ගැන ඔහු  හඬනා විට මළගමෙන් වසර කිහිපයක් ගත වී තිබිණ. ඒ හැඬුම තනිව කොට්ටය බදා ගෙන හැඬූවකි. එතකොට සනාතන හා සදාතන දෙදෙනා ට වූයේ පොදු එක කාමරයකි. එහි තට්ටු ඇඳක ඉහළ හා පහළ ඔවුන් ගේ යහන් විය. සදාතන හිටියේ පහළ ඇඳේ ය. සනාතන උඩ තට්ටුව ඉල්ලා පෙරළි කළ නිසා එය ඔහු ට ලබා දෙන්නට සදාතන නිහඬ ව එකඟ වී සිටියේ ය.

ඊට පස්සේ ඔහු ට රිදුණේ තාත්තා වෙනත් ස්ත්‍රියක සමග සම්බන්ධයක් පවත්වනවායි දැන ගත් අවස්ථාවේ ඒ ගැන නොව, ඒ ගැන අක්කා මදිරා කඳුළු සළනවා දැක ය. ලෝකයේ ඔහු වැඩියෙන් ම ආදරය කළ ගැහැනුන් දෙදෙනා මායා සහ මදිරා ය. ඔවුන් දෙදෙනා වෙනුවෙන් යමක් කර ගත නො හැකි වීම ගැන සංකාමය සන්තාපයක් සදාතන ගේ පපුවේ සෑහෙන කලක් යන තුරු පැවතිණ.

ඔහු මිනිසුන් සමග ගනුදෙනු කළේ සීමිතව ය. ළමා වියේ ලැජ්ජාව හැරුණු විට, වැඩිහිටියෙකු වන විට ආඩම්බරයේ සළුවෙන් වසා ගත්තා වූ භීතියක් ඔහු ට තිබිණ. ඒ හදවත් බිඳේවී යන භීතිය ය. අම්මා යන්න ගිය නිසා ඔහු ගේ හදවත බිඳී තිබිණ. අක්කා රිය අනතුරකින් එක්තැන් වූවාට පස්සේ ඒ බිඳීම් වඩාත් ගැඹුරු හා වේදනාකාරී විය. මිනිසුන්ගේ හිත් රිද්දන්නට බැරි කමක් ඔහු ට තිබිණ.ඒ නිසා ඔහු වැඩිපුර මිනිස් ඇසුරට නො ගියේ ය. ලෝකය එය අහංකාර කම ලෙස නාමකරණය කළහ. නමුත් සැබවින් ඔහු තුළ වූයේ බැඳීම් නිසා ඇති වන්නා වූ බිඳීම් ගැන බියකි. සිය හදවත සේ ම අන් හදවත් ද අත් හැරී බිඳෙනවාට ඔහු රිසි වූයේ නැත. ඒ නිසා ම බිඳෙන හදවත් සමග කටයුතු කළේ ඉතා සීරුවෙනි.

මුල් හමුවේ දී ම ඔහු ගේ හිත තුළට රිංගා ගන්නට සියපත් සියුම් වූවා ය. නමුත් වියානා කෙනෙකු ගැන, කවදාවත් නොදුටු වියානා කෙනෙකු ගැන, වචනයකුදු නොබිනූ වියානා කෙනෙකු ගැන බියක් ඔහු ගේ හද කොනක කණාමැදිරි එළියක් සේ ගැස්සෙමින් තිබිණ. ගෑනු ළමයින් දෙන්නෙකු ගේ ම හිත් බිඳින්නට බැරි දෙගිඩියාවක් ඔහු ට දැනුණේ ය. නමුත් සියපත්, ආදරය කියන්නේ නො ඉවසිලිමත් මිහිරක් බව ඔහු ට කියා දෙමින් සිටියා ය. 

සනාතන ට මේ බව කියා වියානා ගැන ගැටළුව විසඳා ගෙන ඉන්නට මුලින් ම ඔහු හිතුවේ ඒක ය. කවදාවත් දැක නැති වියානා කෙනෙකු නිසා ඔහු ට සැබවින් දැනුණ ස්ත්‍රිය අහිමි කර ගත යුතු නැති බව දැන සිටියේ වී ද සියපත් වෙත මුලුමනින් නිරාවරණය වීමට නම් වියානා නොමැති ලෝකයක ඇය වෙත නිර්ව්‍යාජ බලාපොරොත්තුවක් පිරිනැමිය යුතු යයි ඔහු විශ්වාස කළේ ය. 

තවමත් පෙම්වතියක වී නො සිටිය ද ඇය පෙම් කරනා පුරුෂයෙකු සියපත් ගේ හිතේ ජීවත් වූයේ ය. ඔහු ට නියත රුවක් නොවී ය. ඒ රුව කාලය හා අත්දැකීම් සමග වෙනස් විය. ඇතැම් විට නවකතාවක් කියවත්දී එහි පෙම්වතා ලෙස ඇය මවා ගන්නා ලද්දේ එකී පිරිමියා ය. විවිධ ක්ෂේත්‍ර වල ජනප්‍රිය වී සිටි, බොහොමයක් ගැහැනු ළමයින් ගේ උන්මාදනීය ප්‍රේමවන්තයා වී සිටි කිසිවෙකු කෙරේ ඇය ආශක්ත වූයේ නැත. ඒ වෙනුවට ඇය ගේ ම වූ කෙනෙකු සිතේ සිටියේ ය. ඉඳ හිට හමු වෙන විශේෂ ඇතැම් පුරුෂයෙකු සමග ඇය ඒ රුව සසඳා බැලුවා ය. නමුත් කුමක් හෝ අඩුපාඩුවක් තිබිණ. 

“අනේ මෙයා හරි පර්ෆෙක්ට් ගෑනිනෙ…පර්ෆෙක්ට් කොල්ලෙක්වම හොයන්න. නස්රුදීන්ට වෙච්ච දේ තමයි දවසක වෙන්නෙ”

මිතුරිය හිරුෂි ඇතැම් විට ඔච්චම් කළා ය. 

“මං පර්ෆෙක්ට් නැතුවැති. මං හොයන එයත් පර්ෆෙක්ට් වෙන්න ඕන නෑ. ඒත් එයා මට දැනෙන්න ඕන. මගෙ හිතට විතරක් නෙවෙයි…ඇට මස් ලේ නහර වලට ම දැනෙන්න ඕනෙ. ලෝකෙට පේන දුර්වලකං ඕන තරං එයා ළඟ තියෙන්න පුළුවන්. ඒත් මට ඒ කිසි දෙයක් අදාල නැති වෙන්න ඕන එයා ළඟදි. දුර්වලකං මහ ගොඩක් එක්ක හරි මට එයාව දරා ගන්න පුළුවන් කියල හිතෙනවනං…එයාගෙ පැත්තකිං සෑහෙන දුරක් යන්න පුළුවන් කියල හිතෙනවනං…ඕන තරං වෙලා එයා දිහා බලං ඉන්න පුළුවන් කියල හිතෙනවනං…පැලෙන්න ආදරේ කරන්න පුළුවන් කියල හිතෙනවනං…එයා තමයි මං වෙනුවෙන් මැවුන කෙනා. කවදහරි එයා ළඟ ගැස්සිල නතර වෙනකං මට වෙන කවුරුවත් ළඟ කාලෙ ගත කරන්න ඕන නෑ”

සියපත් සිය මුළු හිත ම විවෘත කළේ හිරුෂි අසල ය. ඇගේ පෙම්වතා ගේ මිතුරෙකු විසින් ගෙන එනු ලැබූ ප්‍රේමාරාධනයක් ද සියපත් ඉතා විනීත ලෙස ප්‍රතික්ෂේප කොට සිටියා ය.

“ඉගෙන ගන්නෙත් නැත්තං…රස්සාවලුත් නැත්තං…කවුරු හරි ජොබ් එකක් තියන ඉන්න තැනක් හදාගන්න පුළුවන් මිනිහෙක් හොයල බැඳ ගන්න එකයි අපි වගේ කෙල්ලො කරන්න ඕනෙ බුද්ධිමත් වැඩේ සියා”

අස්ථාවර දේශයක, දූපත් මානසිකත්වයක් කර පින්නා ගෙන අවිනිශ්චිත ගමනක් යමින් හිඳිනා තුරුණු පරපුරකට සිය ජීවිතය ගැන ගත හැකි ප්‍රාථමික ම තීන්දුව එයයි. නමුත් සියපත් ඊට වඩා දුර හීනයක් දුටුවා ය. වැටුපක් ලබනා පිරිමියෙකුට බැඳී කෙසේ හෝ තුන් වේල කනවා කියන මූලික බලාපොරොත්තුවට වැඩි ඉලක්කයක් ඇයට තිබිණ. කවුරුන් හෝ පිරිමියෙකු හා විවාහ වෙනවාට වඩා, හදවතට දැනෙනා පිරිමියෙකුට ප්‍රේම කිරීමේ උමතුවක් ඇයට තිබිණ. ඇතැම් විට ඒ ඇය කියවූ පොත් වල දී හමු වූ චරිත නිසා හිතේ පිළිසිඳ ගත්තා වූ අදහසක් වන්නට පුළුවන. සියපත් සිය සිහින ගැන ආශාවකින් දවසට ඇහැ ඇරියා ය. හැබෑ ලෝකයේ එතෙක් හමු නොවූ, සාහිත්‍ය නිර්මාණ අතරේ හමු වී සිටි නමක් ගමක් රුවක් නොමැති මිනිසෙකු හදින් දරා ගෙන අවිනිශ්චිත ගමනක් යමින් සිටියා ය.

ඇයට ඔහු හමු වූයේ කහවණුගොඩ මැදුරේ දී ය. එක ම ඩිම්බයක් විභේදනය වීමෙන් ජනිත වූ සමරූපී නිවුන් තරුණයන් දෙදෙනෙකු අතරින් ද ඇය සොයමින් සිටියේ එක් අයෙකි.  ඇය ආශා කළ පිරිමි ලක්ෂණ හමු වූයේ සදාතන කහවණුගොඩ වෙතිනි. 

නමුත් අප ඉතා ආශා කරන දේවල් පවා හඹා යත්දී පළා යා හැකි බව මේ මොහොතේ ඇය පසක් කොට ගත්තා ය. හඹා යනවාට වඩා නතර වී එකී මොහොත විඳ ගැනීම තුළ ශාන්තියක් වන්නේ ය. අනිත් අතට සදාතන කියන්නේ දුරින් හිඳ බලා සතුටු විය හැකි මිස ඇයට නෙලා දෝතින් ගත හැකි මලක් නොවේ!

“සනාතන සර්ල වගේ අයගෙ යෝජනාවක් ගැන බලාපොරොත්තුවකින් හරි කැමැත්තකින් හරි ඉන්න තරං අපි ලොකු මිනිස්සු නෙවෙයි සර්”

සදාතන වෙතට සමච්චල් සිනහවක් හෙළා රිය කවුළුවෙන් ඉවත බලා ගෙන බෝ වෙලාවකට පස්සේ සියපත් කෙඳිරිලි හඬකින් මිමිණුවා ය. නමුත් ඉතා උස් වූ අවධාරනාත්මක හඬකින් ඇය ඒ තමන් වෙතට ධාරණය කරන්නට වූවා ය. උකුලෙහි වන බෑග් එක තුරුලු කොට ගත් යුවතිය ගේ සියුමැලි අතක් සිය අතින් අල්වා ගන්නට උපන් සිතිවිල්ල සදාතන ඒ මොහොතේ යටපත් කොට ගත්තේ ය. 

මන්දාරම් වූ අහස හෙමිහිට කඳුළු කැට හළමින් තිබිණ. මග දෙපස පහන් කණු වල වීදි ලාම්පු ද කඩ සාප්පු වල පහන් එළි ද දැල්වෙන්නට විය. අඳුරු ගුලි සේ ඒ මේ අත ඇවිද ගිය ගැහැනු මිනිසුන් ද ඔවුන් ගේ හිස් සෙවන කරමින් ඉහලා තිබූ පට කුඩ ද දැකිය හැකි වූයේ බොඳ වූ සිතුවමක් ලෙසිනි. සියපත් සේ ම සදාතන ද මන්දාරම් අහස වාගේ බුම්මා ගෙන තම තමන් ගේ කල්පනා ලෝක වල පත්ලට කිමිදෙමින් තමන් ගේ ම වූ රහස් ලෝක අත පත ගාමින් සිටියහ. ගුරු පාර ළඟ දී සියපත් ව නො බස්වා ගේ ළඟට ඇය කැටිව යන්නට සදාතන දැරූ උත්සාහය ඇය වැළැක්වූවා ය.

“එපා එපා සර්. එතන හරව ගන්නත් හරි අමාරුයි. සර් දැන් යන්න. මට ඔය චුට්ට යන්න පුළුවන්”

සියපත් බෑග් එකට අත ඔබා කුඩයක් ඇද පිටතට ගත්තා ය. ඒ අනුව ඇගේ කැමැත්ත සිදු විය. සදාතන රිය හරවා ගන්නා විට ම සුපුන් ගේ යතුරු පැදිය ඇවිත් එතැන නතර වූයේ ය.

“මොකද්ද හලෝ මේ ලැජ්ජ නැති වැඩේ…බොසාල එක්ක කාර් වල රවුං ගැහුව කියල උං තමුසෙලව ඔය කාර් වලින් ගෙදරට කැන්දං යයි කියලනං හිතන්නෙපා හරිද..”

සියපත් ඔහු ට රැව්වා ය. සදාතන රියෙහි පැති වීදුරුවෙන් මේ දර්ශනය නරඹමින් රිය යන්තමින් ඉදිරියට  ගනිමින් සිටියේ ය.

“සුපුන් මේ…ඔහේ මගෙ තාත්ත නෙවෙයිනෙ. මං ගැන බලාගන්න මගෙ අම්මයි තාත්තයි ඉන්නව. ඔයාගෙ වැඩක් බලං ඉන්න හොඳේ”

කට තද කර ගෙන සියපත් හෙමිහිට එසේ කීවේ සදාතන ට වෙනසක් නො හැඟෙන ලෙස ය.

“මොකද්ද හලෝ මගෙ වැඩක් බලා ගන්න කියන්නෙ…මට අදාල දේ තමයි ඔය කිව්වෙ. නිකං මෝඩ වෙන්න එපා සියපත්. අපි බඳිමු. හැබැයි ඔහොම එක එකා එක්ක රට වටේ නටල ඇවිත්නං මගෙ කරේ එල්ලෙන්න හිතං ඉන්නෙපා”

සියපත් සමච්චලයට සිනහ වූවා ය.

“ඇයි ඇයි මොකද හිනා වෙන්නෙ…හිනා වෙන්න දෙයක් කිව්වෙ නෑ. හැබැයි ලොකු සීන් වලින් ආවොත්නං වැඩ වරදින්න පුළුවන් සියපත්. ගෙදර එකෙක්ටවත් යහතින් ඉන්න දෙන්නෑ”

සදාතන රියෙහි පැති වීදුරුව පහත් කරමින් රිය මඳක් පසුපසට ගත්තේ ය. 

“ඇයි සියපත්…”

“නෑ සර්…මුකුත් නෑ..සර් යන්න”

ඇය එසේ පවසා බිම බලා ගෙන ගුරු පාරට හැරුණා ය. සුපුන් යළි කුමක් හෝ කියා ගෙන ආවොත් කුඩයෙන් ම පහර දෙනවා යන දැඩි සිත ඇය කෙරේ විය. සුපුන් ද යතුරු පැදිය පණ ගැන්වූයේ ය. සදාතන හෙමිහට රිය පෙරට ගත්තේ ය. එයට වෙට්ටුවක් ද දමා ගෙන යතුරු පැදිය දුම් දමා ගෙන මහ හඬක් නගමින් ඇදී ගියේ ය.

“ඇත්තමයි අදනං කුඩේ කැඩෙනකං හරි ගහනව කියලයි හිතං හිටියෙ. ආව මෙතන මංගල යෝජනා අරගෙන…මහ මිනිස්සුන්ගෙන් කකා අතනිං මෙතනිං සිගරට් කොටේ උර උර ඉන්නෙ…ගෑනු ගන්නයි හිතේ තියෙන්නෙ”

සියපත් පුපුරා හැළුණා ය. මංජරී පොත මත මූණ තියා ගෙන සිනහ වූවා ය.

“කහවණුගොඩ නිවුන්නෙක් ඩයමන්ඩ් රිං එකක් දීල ප්‍රපෝස් කරලත් රිජෙක්ට් කරපු අපේ අක්ක…මේ ගංජා සුපුන්ට කැමති වෙයි…නේහ්”

“මිනිස්සුංව එයාලගෙ වත් පෝසත්කං වලින් තක්සේරු කරනව නෙවේ නංගි. එහෙම බැලුවොත් අපිත් කවුද…ඒත් මිනිස්සුන්ට වෙන මොනා නැතත් මනුස්සකං තියෙන්න ඕන. මනුස්සකං වලින් පිරුණහම ඒ මිනිස්සු හරියට දේව ආත්ම වගෙයි දැනෙන්නෙ. ඇත්තටම මට කහවණුගොඩ පවුලෙ හැමෝවම දැනෙන්නෙ එහෙම. මේ මෝඩ බක පණ්ඩිතය..ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම බෑ කියද්දිත් තේරුං ගන්නෙ නැතුව පාට් දාගෙන පස්සෙං එනව. මොන වදයක්ද…අර සනාතනගෙ ප්‍රපෝසල් එකට බෑ කිව්වට පස්සෙ ඒ අයිය පැත්තකට වුණ ඩීසන්ට් කම බලන්නකො. ඒකට මේ මෝඩ මැරයො…ළමයින්ට මොනා නැතත් උගන්නන්න ඕන විනීත මිනිස්සු විදිහට ජීවත් වෙන හැටි. අනිත් මිනිස්සුන්ගෙ කැමැත්තට අකමැත්තට ගරු කරන හැටි”

සියපත් සිටියේ සැබවින් කේන්තියෙන් පුපුරු ගසමිනි. සුපුන් ගේ ප්‍රේමාරාධනය දැන් දැන් තර්ජනයක් බවට පත් වෙමින් තිබේ. ඔවුහු ගමේ හැම නොහොබිනා වැඩකම පෙරමුණේ සිටිනා මිනිසුන් අතරේ සිටිති. ඒ නිසා ම එක්තරා ආකාරයක බියකින් ඔවුන් කෙරේ හැසිරෙන්නට අනිත් මිනිසුන්ට සිදු ව තිබේ. සුජීවා නිතර කියන්නේ ද සුපුන් ලා සමග පැටලෙන්නට ගිය හොත් ශාන්ත ට කරදරයක් වනු ඇති බවයි. මේ තරමින් හෝ කර බා ගෙන ඉන්නට සියපත් ට සිදුව තිබෙන්නේ එබැවිනි.

බෑගය තුළ වන ජංගම දුරකතනය හැඬවෙනු ඇසුනෙන් සියපත්  එය පිටතට ගත්තා ය. සදාතන ගේ නම තිරය මත දැක ඇය තිගැස්සුණා සේ ය.

“සර්..”

“ගෙදර ගියා නේද”

“ඔව් සර්”

“හරි. මං බැලුවෙ අර මනුස්සය ආයෙ ආවද කියලයි. ගෙදර කියල ශුවර් නේ…”

එවර නම් සියපත් ගේ මුහුණට සිනහවක් ආවේ ය. එ් කිංකිණි සිනහ සර සදාතන ගේ සවනෙන් රිංගා පපුව මත්තේ කරනමක් ගැසුවේ ය.

“ඔව්. සර් පරිස්සමට යන්න”

ඒ වචන ටික කොතැනක සිට පැමිණියාද කියා සියපත් දන්නේ නැත. ඒ ස්වරය සිය පපුවේ කොතැනක හැපුණාද කියා සදාතන ට වැටහුණේ ද නැත. නමුත් ඔවුන් දෙදෙනා ගේ ම හද ගැස්මේ වෙනසක් ඇති වී තිබිණ. දෙතොල් මත්තේ එක ම විදිහක මඳහස් රැල්ලක් සරැලි නැගුවේ ය. මුලින් අනෙකා දුරකතන සම්බන්ධය බිඳ දමතැයි දෙදෙනා ම බලා සිටියහ.  ඒ තත්පර වීමෙන් පසු සිනහ සරක් සමග දෙදෙනා ම එසේ කළේ එකට ම ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles