සෙනසුරාදා උදය පායා ආවේ ම තෙතබරිතව ය. අහස අළු පාට ඝණ රෙද්දක් පොරවා ගෙන සිටියේ ය. විටින් විට පොද වැහි වැස්සේ ය. විටෙක ඒ පොද අනෝරාවන් වලට හැරිණි. මම ලොකු වීදුරු ජනේල ළඟට වී සිතුවමක් වන් පිටත දර්ශනය දෙස බලා ගෙන සිටියෙමි. සීතල නිසා තාත්තා ඇඳට වී සිටියේ ය. අක්කා ද කාමරයේ යහන කොනකට වී දුරකතනය ට මූණ ඔබා ගෙන සිටියා ය. පියගැට පෙළෙහි උස් අඩි පාවහන් ගැටෙනා හඬක් ඇසිණ. සාරියට උස් අඩි පාවහන් දමන්නේ අම්මා ය. නමුත් ඇය කාලයකින් මතු මහළට ආ බවට මතකයක් මට නැත. මා තරමක් තිගැස්සී ගියේ ඒක ය.
“කෝ මේ ගෙදර කට්ටිය නැද්ද…”
එය තරමක් සමච්චල් සරකින් නැගුණ ප්‍රශ්නයකි. අම්මා ගේ හඬ මතු මහළෙහි දෝංකාර දුනි. කොහොමටත් ඇයට තියෙන්නේ උස් ගොරෝසු පිරිමි හඬකි. තාත්තාත් අක්කාත් කාමර වලින් පිටතට ආවේ එකට ම ය.
“මොකෝ නැත්තෙ…මේ ඉන්නෙ ගෙදර කට්ටිය”
කැත්තට පොල්ල වාගේ වී ද තාත්තා ගේ හඬ බෙහෙවින් නිවුණේ වී ය. ඒ හඬෙහි සිනහවක් තැවරී තිබුණ ලෙසක් මට දැනිණි.
“ඊයෙ කාත් එක්කද කොෆී ශොප් එකක කෝපි බිව්වයි කියන්නෙ…”
අක්කාත් මාත් මූණෙන් මූණ බලා ගත්තේ ඇස් එළියට දමා ගෙන ය. පාදාන්තයෙන් ඇරඹුණු ගින්නක් මගේ කේශාන්තය තෙක් බුර බුරා නැගෙන්නට ගති. ලී මෝලක් වගේ මගේ ම හදවතේ ශබ්දය මට ඇසිණි.
“ඒ ගැන ප්‍රශ්න කරන්න ඔබතුමීට අයිතියක්වත් ඒවට උත්තර දෙන්න මං බැඳිලවත් නෑ. ඇයි…”
තාත්තා ඍජු පිළිතුරක් දුන්නේ ය.
“මට ඕන විදිහට මං මනුස්සයො ආස්සරේ කරනව. යාළුවො ආස්සරේ කරනව. ඒව ඔහේට කිය කියා කරන්න ඕන කියල හිතං ඉන්නවනං වැරදිලා”
“නෑ නෑ ඔයා කවුරු ආස්සරේ කර ගත්තත් මට කමක් නෑ. මං මේ බැලුවෙ පරණ මගුලකට ආයෙ කපුකමක්වත් කෙරෙනවද කියලයි”
අම්මා එසේ කීවේ අක්කා දෙසට නෙත් කොන් බැල්මක් හෙළමිනි. මගේ මුවග මටත් හොරෙන් මඳහසක් පිපිණි.
“මොකද්ද අම්මෙ ඒ කියපු කතාව..”
අක්කා ඉස්සර වාගේ අවිහිංසක ව සිටියේ නැත.
“නෑ ඉතිං කියන්න බෑනෙ…ඔයා හස්බන්ගෙ ගෙදර නොයා මෙහෙම මෙහෙට වෙලා ඉන්නෙ මොකක් නිසාද කියල අපි දන්නෑනෙ. ඔයාගෙ තාත්තටත් ඒ දවස් වල හරියට ඕන වුණේ අර කැම්පස් කාරයට ඔයාව දෙන්නනෙ”
“එදා මට තීරණයක් ගන්න කොන්දක් නොතිබ්බ වරදට තමයි මේ පනිශ් වෙන්නෙ”
අක්කා ගේ ඇස් වලින් කඳුළු නොව ගින්දර පිට වූයේ ය. තාත්තා අසුනෙන් නැගිට අම්මා ඉදිරියට ම ගියේ ය.
“කුණු කතා කියන්නෙපා වජිරපානි. ඒ කුණු කට තියාගන්න ඕගොල්ලොංගෙ කුණු දේශපාලනේට. තමුංගෙ දුවට නේද ඔය තරං පහත් විදිහට කතා කරන්නෙ…අම්ම කෙනෙක් වගේ වැදගත් විදිහට හැසිරෙන්න”
“වැදගත්..දැං ඔයාගෙ දෝණියන්දැ මේ වැදගත් විදිහටද හැසිරෙන්නෙ…වැදගත් ගෑනු ළමයෙක් තමුන්ගෙ මහත්තය දාල මෙහෙම ඇවිත් ඉන්නවද…මට කෝල් කරල ඇහුව ඒ මිනිස්සු. මෙයාගෙ මේ හැසිරීම මොකද්ද කියල. මෙහෙම ගියොත් ඒ මිනිස්සු මෙයාව දික්කසාද කරල දායි”
“දාපුදෙං”
අක්කා එසේ කීවේ මුරණ්ඩු ලෙස වී ද ඉතා පහළ ස්වරයකිනි.
“අනේ…ඔයාගෙ මහලොකු මස්සිනාටයි බෑනටයි ඕන කුදයක් ගහගන්න කියන්න වජිරපානි. උන්ට දික්කසාද කරන්න කියන්න මගෙ කෙල්ලව. කමන්නෑ. මට වැඩි නෑ මගෙ දරුවන්ව. උන් ඉන්නෙ සතුටෙන් නෙවෙයිනං…මගෙ බෑණල සක්විති රජවරු වුණත් මට කමක් නෑ. මං ඒ ගෙවල් වලටම ගිහිං මගෙ කෙල්ලො අරං එනව. මිනිස්සු නැතුව හරි උං සතුටෙන් ඉන්නයි ඕනෙ. මං මගෙ ළමයින්ට උගන්නල තියනව. උන්ට මේ ලෝකෙ කොතනට ගියත් වැදගත් විදිහට රස්සාවල් කරගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කාටවත් අත නොපා. දූෂණ වංචා වලිනුයි නීති විරෝධී ජාවාරං වලිනුයි සල්ලි හම්බ කරන ගෙවල් වලට හිඟමනේ යවන්නෑ මං මගෙ කෙල්ලන්ව”
“යස තාත්ත”
අම්මා ගස්සා ගෙන යන්නට ගියා ය. අපි තුන් දෙනාම ඇය ගිය පසු අප දෙස බලා සිනහ වීමු. නමුත් ඒ සිනහවන් යට නියත වශයෙන් ම ගින්දරක් වූයේ ය.
ඊට පස්සේ ද අක්කා අම්මා අරබයා ඉතා හිතුවක්කාර ලෙස හැසිරුණා ය. පෙර කිසි දාක නොවූ විරූ ලෙස ඇය සමගින් එකට එක කීවා ය.
“අර මහ උන්දා තමයි මට මගෙ ළමයි නැති කළේ. බහුබූත ඔළුවට දාල උංව එයාගෙ පැත්තට නම්ම ගත්ත. උන්දැට නෙවෙයි ඩිමෙන්ශියා හැදෙන්න තිබුණෙ මට. අනේ ඇත්තමයි මට පිස්සු හැදෙයි මෙහෙම ගියොත්නං”
අම්මා වියරු වැටී වාගේ කියවූවා ය. අක්කාගේ විවාහය දෙදරීම ඇයට යම් කිසි විදිහකට බලපෑමක් වෙමින් තිබෙන්නට ඇත. නමුත් අක්කා මේ වතාවේ කිසි සේත් අම්මාට බුරුලක් පෙන්වූයේ නැත.
“නංගි දිහා බලාගෙනවත් හැදෙනව ඉසුරි. පොලිටික්ස් ගැන අපි දෙන්න හැම තිස්සෙම රණ්ඩු වුණත් තිසුරි ඔයා වගේ මුරණ්ඩු නෑ. තේරුමක් නැති සම්බන්දකං ඇති කරගෙන නෑ. එයා දන්නව වැදගත් විදිහට හැසිරෙන්න”
අම්මා ගේ ඒ කතාව ගැන මතු මහළට ඇවිත් මාත් අක්කාත් හොඳට ම සිනහ වීමු.
“අන්තිමට එයා හොඳ දුව. මං තමයි වැරදි”
අක්කා බොරුවට අමනාපයක් පෙන්වූවා ය. අම්මාට තවමත් මා සැක කටයුතු පුද්ගලයෙකු වී නොසිටීම ගැන සැනසීමක් නො දැනුණා කීවොත් මුසාවකි. විශේෂයෙන් මා ප්‍රවේසමෙන් විදුර ව ඇසුරු කළේ අම්මාට හොඳ දුවක වීමේ අරමුණක් ඇතිව නොවේ. ඔහු අවදානමක හෙළීමෙන් වැළකීමේ අරමුණෙනි. වෙනත් පෙම්වතුන්ට වාගේ මගේ අතින් අල්වා ගෙන නිදහසේ පාරවල් ගානේ ඇවිදීමේ හැකියාවක් ඔහු ට නොවන බව මම දැන සිටියෙමි. බොහෝ දෙනෙකු විදුර වරදත්ත යනු කවුරුන්දැයි පුද්ගලයෙකු වශයෙන් දැන සිටියේ නැත. මගේ අම්මා වුව මූණට හමු වුණත් ඔහු කවුදැයි හඳුනන්නේ නැත. ඒ තරමට ඔහු ගේ රූපය අප්‍රකට ය. දේශපාලකයන්ට වහ කදුරු වූයේ ඔහු ගේ නම යි. විදුර මා කෙරේ ප්‍රවේසම් සහගත වූයේ යම් කිසි දවසක මේ සම්බන්ධය නිසා මට මතු විය හැකි ගැටළු පමා කරවනු වස් ය.
“ඔක්කෝටම ඉස්සෙල්ල ඔයා හොඳට ෆයිනල් එග්සෑම් කරං ඉන්නෝනෙ. මොන විදිහට හරි ඔයාට සම්බන්දයක් තියනව කියල දැන ගත්තොත් ඔයාගෙ අම්ම ඒ කවුරු එක්කද කියල හොයන්නැතුව ඉන්නෑනෙ. අන්න එදාට විදුර වරදත්ත කියන නම ගෑවිලා තියනව කියල දැන ගත්තොත් එයා පරල වෙන එක නවත්තන්න බෑ. එහෙම දෙයක් වෙලා ඔයාගෙ වැඩ අවුල් කර ගන්න තරමට අපි කලබල වෙන්න ඕන නෑ”
විදුර දැරුවේ එවන් අදහසකි.
“ඒ වුනාට මාත් ආසයි ඉතිං…ඔයාගෙ අතේ එල්ලිල ඉඳහිට හවසක හරි චූටි රවුමක් ගහන්න”
එවන් වෙලාවක මම මගේ ඇත්ත ම හිත බොරු නෝක්කාඩුවක දවටා එළියට දමමි.
“ඔයා පව් තිසූ”
විදුර සුසුමකින් තැවුල් සඟවයි. නමුත් මට ඔහු වෙනුවෙන් ද ඔහු ට මා වෙනුවෙන් ද ඇතැම් හිතුවක්කාර හැඟීම් මෙල්ල කර ගෙන සිටිත හැකි වන්නට ඇත. විදුර කියනවා වාගේ අර්බුධ පමා කර ගන්නා එක හොඳ ය. අඩු තරමින් එතකොට දුරින් හිඳ හෝ ආදරයෙන් හදවත් පුරවා ගෙන සිටිත හැකි වේ.
ඒ වැස්ස දිගට ම පැවතිණ. විශ්ව විද්‍යාලයේ දේශනයක් අවලංගු වූ ආසන්න දිනෙක පිටත් වීමට පෙර මම නිකමට විදුරට ඇමතුමක් ගතිමි.
“මං එන්නද ඔෆිස් එකට. හුඟක් දවසකින් ආවෙ නෑනෙ…”
“දැං මං ඔෆිස් එකේ නෑ කෙල්ල. ආටිකල් එකකට ඩීටේල්ස් ටිකක් හොයන්නත් එක්ක වේලාසන බෝඩිමට ආව”
“එහෙනං එහෙට ඒන්නං”
වෙනදාට අසීරුවෙන් හෝ පනවා ගත් ස්වයං වාරණ මත පිහිටන්නට බැරි වූවා ද ඕනෑ නැති වූවා ද කියා මා දන්නේ නැත. කොහොම වුණත් මට ඔහු දකින්නට ම ඕනෑ විය.
“මං පරිස්සමට එන්නං”
විදුර කිසිත් කීවේ නැත. නමුත් මා හමු වෙන එක ගැන ඔහු ගේ අකමැත්තක් නොවූ බව මම දනිමි. මෝටර් රථය සෝදා පිරිසිඳු කරන්නට සේවා ස්ථානයට දමා එතැන් සිට කැබ් රියක් ගෙන මා බෝඩිමට යත්දී විදුර මේසය ළඟ වාඩි වී ලියමින් සිටියේ ය. මා දැක අසුනෙන් නැගිට පෙරට පැමිණි ඔහු මහානර්ඝ වස්තුවක් සෙයින් මා වැළඳ ගත්තේ ය. “කෝපි බොමු” යයි ඔහු මුමුණා කියන තෙක් ම, කොයි තරම් වෙලාවක් ද මන්දා මම ඇස් පියාගෙන තදින් ඔහු බදා වැළඳ ගෙන ම සිටියෙමි.
“මං හදල දෙන්නං”
දඟකාර දැරියක සේ කුඩා මුළුතැන්ගෙයට ගිය මම හීටර ජෝගුවට වතුර දමා කෝපි හා සීනි ලං කොට ගතිමි. හිතේ සතුට වාං දමමින් තිබුණේ ය. එය පුදුම නිදහස් හැඟීමකි. විදුර මා පිටුපසින් විත් බඳ වටා දෑත් දමා යළිත් මා වැළඳ ගත්තේ ය.
“මෙහෙම හිතුවක්කාර ගමං ඇවිත්…අන්තිමට මේ අහිංසක කොල්ලට චෝදනා කරන්න එපා”
ඔහු ගේ දෙතොල් මගේ ගෙල පිටුපස සීතලට තැවරිණ. මගේ බඳ වෙලා ගෙන තිබි ඒ දෑත් මම මගේ දෑතින් පිරිමැද්දෙමි.
“මං පොඩි ළමයෙක් නෙවේ. වෙන්න පුළුවන් ඕන දෙයක් වෙච්චදෙං. මොනා වුණත් ඒ නිකංම නිකං හැඟීමක් නිසා නෙවෙයි ආදරේ නිසයි කියල මං දන්නව”
“ලියන්න ගත්තත්…ඉස්සර වගේ නෙවේ තිසූ…දැං මොකද්දෝ දෙගිඩියාවක් දැනෙනව. ඔයා මතක් වෙනව. ඔයා දාල යන්න බෑ වගේ හැඟීමක් එනව. මගෙ ඇඟ ඇතුළෙ හිටිය යකෙක්ටවත් බය නැති ජර්නලිස්ට් එක පොඩි කෙල්ලෙක් නිසා හිත ගස්සගෙනද කියල හිතනකොට මට තනියම හිනා යනව”
අප කෝපි බීවේ සෝෆාවේ උනුන්ට ලංව හිඳ ගෙන ය. අපේ ශරීර දෙක එක ට ස්පර්ශ වී එක ම උෂ්ණත්වයකට එළඹී තියෙන්නට ඇත. හදවත් ස්ඵන්දනය වූයේ ද එක ම රිද්මයකින් කියා සිතමි.
“ෆයිනල්ස් ඉවර වුණ ගමං අපි මැරි කරමු. ඔයා කොච්චර හතුරෙක් වුණත්…ඊට පස්සෙ අපෙ අම්මට කරන්න දෙයක් නෑනෙ”
“මාව බැඳල ඔයාට ගොඩක් දුක් විඳින්න වෙයි මැණික. මේ පේනව නේද මගෙ ජීවිතේ…”
ඔහු මගේ උරහිස වටා අතක් දමා ගෙන මූණට එබුණේ ය. විදුර ගේ තොල් කොනක් ගැස්සී යනු මම දුටිමි.
“දුකක් කොහෙද…මේක සීතල පුළුන් කුට්ටියක් වගේ සනීප හැඟීමක් දෙන ජීවිතයක්. මං ආසයි ඒකට. ඔයා ලියනකල් ඔයාට කරදර නොකර මගෙ වැඩක් බලා ගන්න මට පුළුවන්. අපිට බබාල ඉන්න කාලෙක වුණත්…ලියනකල් එයාලව ඔයා ළඟට එවන්නැතුව බලාගන්න ඕනෙ මං. තාත්ත ලියනෝනෙ පුතේ කිව්වහම එයාලත් තේරුං ගන්න බබාල විදිහට හදමු. තාත්ත ලියනව දකින එකයි ඒ ලියන ඒව කියෝන එකයි තරං දේව කාරියක් අම්මටත් තව නෑ කියල දවසක බබාල තේරුං ගනියි”
“අනේ ඔච්චර හීන දකින්න එපා රත්තරං…”
“අපි බය නැතුව හීන දකිමු. මං මේ හීනෙට හරි ආදරෙයි. ජීවත් වුණත් මැරුණත් අපි එකට ඉඳියි. ඒක නිසා අපි මේ හීනෙ දකිමු”
වැස්ස හයියෙන් වැස්සේ ය. රොටි හදන්නට විදුර යෝජනා කළේ ය. ලූණු හා අමු මිරිස් ලියා දමා බිස්කට් වගේ කර කොට ඔහු හැදූ රොටි තරම් රස රොටියක් මට වෙන කොතැනකදීවත් කන්නට ලැබී නැත. එදා කන්නට බැරි වුණ එකේ මගේ කට්ට සම්බලය මෙදා ඔහු රස කරමින් කෑවේ ය.
“එක්කො දැම්මම ඇවිත් මං මෙහෙ පදිංචි වෙන්නද…යන්න හිතෙන්නෑ මට ලෝබයි අප්ප”
ඔහු යන්නට කියත්දී මම කීවෙමි. වැස්ස තුරල් කරන බවක් පේන්නට තිබුණේ නැත. මේ වැස්ස නො නවතින අනෝරාවක් වෙනවා නම් යයි යටි හිතේ රහසිගත පැතුමක් වන්නට ඇත. මම තව තවත් ඔහු ට දැවටී සිටියෙමි. අකුණු පුපුරා අක් වැහි වැටිණ. ගෙදර යාම ගැන මට කිසිදු වගක් වූයේ නැත. නමුත් විදුර නැගිට පිටතට යන්නට සූදානම් වූයේ ය.
“යං මං ඔයාව සර්විස් ස්ටේශන් එක ළඟට දාල එන්නං”
“එපා. ඒක ඩේන්ජරස්. තව ටිකකින් මං කැබ් එකක් දාගන්නං”
“මේ වැස්සෙ…කළුවරත් වැටිල…ඔයාව තනියම යවන්න බෑ”
“මට ඔයා දාල යන්න බෑ වගේ”
කියමින් මම තව හුඟක් වෙලා ඔහු ගේ ගෙලේ එල්ලී ගෙන සිටියෙමි. වැහි සීතල උණුහුම් හාදු වලින් සමනය වෙන්නට ඇත. කෙසේ වෙතත් අවසන මා යා යුතුව තිබිණ. සේවා ස්ථානය ළඟ දී මා ඔහු ගෙන් මිදුණේ සමුගැනීමක් නැති ජීවිතයක් ඉක්මනින් උදා කර ගත යුතු යයි අධිෂ්ඨානයෙනි.
“පරිස්සමෙං යන්න. ගිහිං මට කෝල් කරන්න”
“ඔයත්. අනේ ස්පීඩ් ඩ්‍රයිව් කරන්නෙපා. මතක් කරල කෑම එකක් අරං යන්න. ආයෙ මං එහෙ එන්නෙ යන්න නෙවේ. අපි එන දේකට මූණ දෙමු”
“හ්ම්. එග්සෑම් ඉවර කරං ඉමුකො. නැත්තං මාත් එක්ක පාඩං කරන්න වෙන්නෑ ඔයාට”
ඔහු මඳහසකින් මගේ නළලත හාදුවක් තැබී ය. සමු ගැන්ම ඒ තරම් වේදනාවක්ව ඉන් පෙර මට දැනී නැති බව විශ්වාස ය. එක සිරුරක් තුළ එකට ගැහැනු හදවත් දෙකක් බලහත්කාරයෙන් ශරීර කූඩු දෙකකට වෙන් කළා වන් සෝදා පාළුවක් දරුණුවට මට දැනිණ. ආයේ ගෙදරට එන තුරුත් අප සිටියේ දුරකතනය ඔස්සේ එකට සම්බන්ධ වී ගෙන ය.