දෙහිතක කතාවක් 11

කැළුමිණී උන්නේ කඳුලු ගංගාවක ගිලෙමිනි. ගෙදර හිඳින්නට බැරි නිසාවෙන් බස් රියේ පැය ගාණක් අසුන්ගෙන ආවද මහන්සිය දැනුනේ ගතට නොවේ සිතටයි. උදා අරුණලු සෙමෙන් සැරේ සීතල දෙණියායට පාත් වෙමින් තිබුනද සිත තිබුණේ මියගියාක් මෙන් නිසොල්මනේය. අවදිවෙන්නට කිසිත් බලාපොරොත්තුවක් නැතිවය. ඒ මියගිය සිත උඩ හැරදමා ආ වේදනාකාරී මොහොතක මතකය බිඳෙන් බිඳ යලිත් දිග හැරෙමින් තිබුණි. 

“ඔයා කොච්චර කිව්වත් මට අමතක කරන්න බෑ ඔයා මට බොරුවක් කිව්ව කියල. මම අමීශා එක්ක යාලු උනේ ඒ නිසා. එයා පොඩ්ඩක්වත් බොරු කියන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපි ඩිවෝස් වෙමු. ප්ලීස් මේ ගැන මාත් එක්ක ආයෙමත් කතාකරන්න එපා”

ප්‍රභාත් උන්නේ තමාට කිසිසේත්ම සමාව දෙන අදහසකින් නොවන බව කැළුමිණීට පැහැදිලිය. එහෙත් වසර හතරකට පමණ එහා අතීතයක හැරදමා ආ සබඳතාවයක නටඹුන් වර්තමානයේදී ගොඩ ගැනීමෙන් පලක් වේද?

ඒ පැනය නැවත නැවත අසමින් කැළුමිණී උත්සහ කලේ ප්‍රභාත්ගේ සිත තමා වෙත නම්මා ගැනීමටයි.

“ඇයි ප්‍රභාත් ඔයා මේ අවුරුදු හතර පහකට කලින් කතාවක් අල්ලගෙන මාත් එක්ක රණ්ඩු වෙන්න හදන්නේ? හරි ඇත්ත මං නිම්න ගැන ඔයාට නොකිව්ව එක වැරදි. මට තිබුණා ඒක ඔයාට කියන්න. ඒත් මම එහෙම නොකලෙ ඔයා මම වෙන කෙනෙක් එක්ක යාලුයි කියල දැනගෙන මේ සම්බන්ධෙ නතර කරාවි කියන බයට මිසක් ඔයාව රවට්ටන්න හිතාගෙන නෙවි ප්‍රභාත්. අනේ ප්ලීස් මම කියන දේ අහන්න. මේ වතාවට විතරක්වත් මට සමාව දෙන්න. මම මැරි කරාට පස්සෙ කවදාකවත් ඔයාට බොරුවක් කියල නෑ ප්‍රභාත් ඔයා හොඳටම ඒක දන්නවනෙ. ප්ලීස් අනේ මම කියන දේ අහන්න”

හඬා වැලපී බිම වැටී ප්‍රභාත්ගේ දෙපා අල්ලාගෙන අඬමින් හුන් කැළුමිණී වෙත ප්‍රභාත් පා කලේ සමච්චල් සහගත සිනහවකි. ඒ ආදරය බිඳක්වත් තැවරුණ සිනහකවත්, අඩුමතරමේ අනුකම්පාව බිඳක්වත් තැවරුණක් නොවන බව හඳුනාගන්නට කැළුමිණීට අපහසු වූයේ නැත.

ප්‍රභාත්ගේ සිත තුල තමා වෙනුවෙන් දැන් එක බිඳක්වත් ආදරය ඉතිරි වී නැති බව කැළුමිණීට තේරුම් ගන්නට අපහසු නොවේ. එහෙත් ඒ වූ පමණින් තමාට මේ විවාහයත් ජීවිතයත් හැරදමා යන්නට හැකිවේද?

නිම්න යනු තමාගේ අතීත පෙම්වතාය. ජීවිතයේ බොහෝ දේ පලමුවරට විඳගත්තේ ඔහු සමගය. පලමු හාදුව පමණක් නොව පලමුවරට සයනය බෙදාගත්තේද ඔහු සමගය. ඒ ඇරයුම ආ පලමු දවස කැළුමිණිට අද මෙන් මතකය.

“මම ඔයාව අතාරින්න හිතාගෙන බලන් සම්බන්ධයක් පටන් ගත්තෙ නෑ කැළුම්. එහෙම එකේ ඇයි ඔයාට බැරි මාත් එක්ක නිදහසේ තැනකට ගිහිල්ල පොඩ්ඩක් කතා කරන්න”

නිම්න උන්නේ ඔහුගේ සුන්දර මුහුණ අමනාපයේ වලාකුලුවලින් වසාගෙනය. ඒ බලාහිඳින්නට අපහසු දසුනක් වුවද ඔහු විසින් ගෙන එන ඒ ඇරයුම බියක් සැකක් නැතුව මුලු හදවතින්ම පිලිගන්නට හැකි මොහොතක තමා එදා නොඋන් බව කැළුමිණීට මතකය.

“මට හරි බයයි නිම්න. ගෙදරට ආරංචි වෙයි, අඳුරන කෙනෙක් දකීවි කියල”

තනිවෙන්න ආසාවක් නොතිබුනා නොවේ. එහෙත් ජීවිතයේ පලමුවරට මේ විඳින්නට යන හැඟීම ගැන තිබුනේ බියකි. කුහුලකි. එය සිත කිතිකවන අතරම සිත බියපත් කරන්නකි.

“ගෙදරට ආරංචි වෙන්න විදියක් නෑනෙ රත්තරන්. අපි යන්නේ කෝසලයගෙ අයියගෙ ගෙස්ට් එකටනෙ. ඌ කවදාවත් කාටවත් ඔය ගැන කියන්නෙ නෑ. අනික ඌ දන්නවනෙ මාව. මම යාලුවෙලා ඉන්නෙ ඔයා එක්ක කියලත් ඌ දන්නවා”

එදා නිම්නගේ මුවින් නිකුත්වුන ඒ වදන් මහමෙර සේ විශ්වාස කර ගිය ගමන නැවතුනේ ඉන්පසු බොහෝ වර ඔහු සමග එසේ ගොසිනි. නිම්න සමග තිබූ ආදරය අවසන් වූයේ කාලයේ බලපෑමෙනි. නිම්න විදෙස්ගතව අධ්‍යාපනය ලබන්නට ගිය පසුත්, තමා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට වූ පසුත් බිඳී ගිය එකී ප්‍රේමය මෙසේ කෙදිනක හෝ පාරාවලල්ලක් වී අවුත් තමන්ගේ ජීවිතය දවා හලු කරවාලනු ඇතැයි තමා නොසිතුවාය.

එහෙත් නොසිතූ දෙයම අද සිදු ව තිබේ.

ප්‍රභාත්ව හමුවූයේ රැකියා ස්තානයේදීය. ඉතා කෙටි ආදර සබඳතාවයක ප්‍රතිපලය මත විවාපත් වෙද්දීත් තමාට පෙර ප්‍රේම සබඳතාවයක් තිබූ බව පවසා තිබුනද ඔහු සමග කිසිත් කායික ඇසුරක් තිබුනා යැයි පවසන්නට සිත දිරිමත් කරගන්නට කැළුමිණීට හැකි වූයේ නැත. එසේ කීම ඒ සබඳතාවය බිඳ දැමීමට හේතුවක් වනු ඇතැයි යන බිය එදා සිත තුල තිබූ බව කැළුමිණීට තවම මතකය.

එහෙත් සියල්ලම මේ තරම් දුර යන්නට හේතුවක් වූයේ තමා විසින් එදා ගන්නා ලද ඒ තීරණයම නොවේද කියා සිතෙද්දී කැළුමිණීට සිතුනේ අම්මාත් තාත්තාත් රිය අනතුරකින් මිය යද්දී තමාව මෙලොව තනි නොකර ඔවුන්ට තමාවද කැටුව යන්නට තිබුණා නොවේදයි කියාය.

 එහෙත් ජීවිතය අප වෙත ගෙන එන්නේ අප බලාපොරොත්තු වන දේවල්ම නොවේ. නොඑසේනම් කිසිදිනක නිම්න විසින් තමාව රැගෙන ගිය ඒ ගෙස්ට් හවුසියේ මිතුරා ප්‍රභාත්ගේ මිතුරෙකු වේයැයි තමා පැතූ බවක් කැළුමිණීට මතක නැත.

“ඔයා කොච්චර කිව්වත් මට අමතක කරන්න බෑ ඔයා මාව රැවැට්ටුව කියල. මම මොනතරම් ආදරෙන්ද ඔයාට සැලකුවෙ. පහුගිය අවුරුදු ගානෙම එක දවසක්වත් ඔයාට හිතුනෙ නැද්ද මාව මෙහෙම රවට්ටන එක වැරදි කියල”

ප්‍රභාත්ට කෝප ගන්නට හේතුවක් තමා විසින් සැදුව බව නොරහසකි. එහෙත් මේ තරම් දඬුවමක් දෙන්නට තරම් තමා වරදක් කරාද? විවාහයට පෙර තමාට තිබූ පෙර සබඳතාවයකින් යම් කොටසක් තමා සැඟවූ බව ඇත්තකි. එහෙත් විවාපත් ව ගෙවුණු අවුරුදු කිහිපය පුරාවටම තමා විසින් කිසිම දිනක ඔහුව නොරැවටූ බව කැළුමිණීට ස්තිරය.

ඉතින් මෙසේ තමන්ව දික්කසාද කරන්නට තරම් ප්‍රභාත්ට සිතක් ආවේ ඇයිදැයි කියා තේරුම්ගන්නටවත් නොහැක.

අතීතයේ ගිලීහුන් සිත පියවි ලොවට ආවේ නැන්දණියගේ වදන් ඔස්සේය.

පබෝධා උන්නේ බොහෝ සාංකාවෙනි. කැලුමිණීගේ පියා තමාට සිටි එකම අයියාය. අයියාත් අක්කාත් රිය අනතුරකින් මිය පරලොව යද්දී කැළුමිණී විශ්ව විද්‍යාලයේ අවසාන වසරේය. එතනින් පසු වූ තනි වූවද රැකියාවක් සොයාගෙන අනතුරුව විවාපත් වී තමාගේම කැදැල්ලක වසන්නට යන තුරුම කැළුමිණී හැදුනේ වැඩුනේ තම සෙවණේය. කිසිදිනක විවාපත් නොවන හැඟීමකින් සිත ඔද්දල් කරගෙන උන් තමා ජීවිතයේ සතුටක් කියා වින්දානම් ඒ කැළුමිණී යහපත්ව ජීවිතය ගත කරනවායැයි සිතා හුන් කාලයේ බව පමණක් මතකය.

එහෙත් අඬා වැලපෙමින් තමාට දුරකතන ඇමතුමක් දී “නැන්දෙ මම ටික දවසකට ගෙදර එන්නද?” කියා ඇසූ කෙල්ල මෙතරම්ම පැනයක ගිලී හිඥ්ඩිනු ඇතැයි තමා කිසිසේත්ම නොසිතුවාය. නොපැතුවාය. අම්මාත් නැති කෙල්ලට උන් එකම අම්මාත් තාත්තාත් තමාය. කාත් කවුරුවත් නැති තමා වෙනුවෙන් මතක බණක් හෝ කියන්නට මෙලොව හිඳින එකම තැනැත්තිය කැළුමිණීය.

ඉතින් මව්වත් ගුණයෙන් සහ ආදරයෙන් ඇයව වැළඳගන්නා හැරෙන්නට කල හැකි වෙන හොඳ විසඳුමක් පබෝධා දැන උන්නේ නැත.

“පුතාට හොඳට නින්ද ගියාද රෑ?”

ඒ ඇරඹුම අරගත්තේ වෙනත් දෙයක් අසා හිත රිද්දනු බැරිකමට මිස මේ සා විසාල ගැටලුවකට මුහුණ දුන් කෙල්ලකට නින්ද යන්නේ නැතිබව නොදන්නා හන්දා නොවේ.

“මට ඉතින් ආයෙ කවදාවත් සැනසීමෙන් ඇස් පියාගන්න පුලුවන් වෙයිද කියල දන්නෙ නෑ නැන්දෙ”

දිගු හුස්මක් අවසානයේ කැළුමිණී විසින් කියන්නට යෙදුණු ඒ වදන් හිත කීරිගස්සන තරම් සීතලකින් යුතුය. ඒ මේ උදෑසන දෙණීයායේ අහසට උඩින් ඇවිත් හිඳින මිහිදුම් වලාවට වඩා සීතලය. කටුක, ඇඟ මත කටු මෙන් ඇණෙන සීතලකින් යුතුය.

එහෙත් මේ ඒ සීතල මව්වත් උණුහුමින් නිවාලිය යුතු මොහොතක් බව් අපබෝධා නොදන්නවා නොවේ. උදෑසනම දොවා ගෙදරටම ගෙනවිත් දුන් එලකිරි වලට කුරුඳු කැබැල්ලක් දමා එලකිරි වීදුරුවක් සකසා ගත්තේ එකී සීතල ගතෙන් මෙන්ම සිතෙන්ද පලවාදමනු පිණිසය.

එකී කුරුඳු සුවද කාමරය සිසාරා හමායන්නක් වුවද වෙනදාක මෙන් ඒ සුවඳට ඉව අල්ලමින්, සෙමෙන් එලකිරි වීදුරුව තොල ගාමින් ගෙමිදුලේ උඳුපියලිය බිස්ස මත පිණි පාගමින් ඇවිදින සිතක් මෙවර කැළුමිණීට තිබුනේ නැත.

“පුතා ප්‍රභාත් පුතාට කතා කරාද?”

පබෝධා කතා කරේ මද ස්වරයකිනි. ඒ වදන්වල වූයේ මව්වත් ගුණ උතුරායන මුදු සුවදැති හැඟීමකි. එය සිත සනසන්නට මෙන්ම සිත වෙඬරු පිඬක් මෙන් උණු කරවන්නට හේතුවක් වන බව දැන හුන්නාක් මෙන් කැළුමිණී ඒ වදන් අවසන් වන්නටත් පෙර හඬා වැටුණාය. ඒ පබෝධාගේ එක් උරහිසකින් හිස තබාගෙන කඳුලු වැස්සක් වස්සවමිනි.

“ප්‍රභාත් ආන්ස්වර් කරන්නෙවත් නෑ නැන්දෙ. මම දාපු මැසේජස්වත් එයා බලල නෑ. කොටින්ම මම ඇයි ගෙදර නැත්තෙ කියලවත් එයා බලල නෑ

අනේ නැන්දෙ මම එයාට වරදක් කරල නෑ නැන්දෙ. ඇයි නැන්දෙ මටම මෙහෙම උනේ?”

ඒ පැනයට දියයුතු පිලිතුරක් නොමැති තැනම පබෝධා කරේ ඒ හිස සිඹිමින් ඇයගේ පිට පිරිමැදීමය. ඒ මේ වේදනාව සහමුලින්ම නිවාලන්නට හේතුවක් නොවන බව දැන උන්නද කතරකට වැටෙන පොද වැස්සකට වුව කතරම් කෙතරම් සංවේදීද වබ පබෝධා ජීවිතයෙන් උගෙන තිබුණාය.

ඉතින් මේ ඒ උගත් පාඩම් ක්‍රියාවෙන් ඔප්පු කල යුතු නිමේෂයන්‍ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles