දෙහිතක කතාවක් 29

“අරවින්ද මහත්තය මේ කෑම බීම නොසෑහෙන ජාතියක් අරගෙන ඇවිල්ලනේ” කියා ඇඳේ ඇලවී කල්පනා ලෝකයක අතරමං වී හුන් කැළුමිනීගේ කාමරයට නෙත යොවා කීවද පබෝධාගේ සිත තිබුනේ වෙන අතකය.

ඒ අරවින්ද සූරියබණ්ඩාර වැනි මිනිසෙකු කැළුමිනී වැනි අසරණ යුවතියක වෙනුවෙන් මෙපමන දේ කරන්නේ ඇයිද කියන ඉසව්වේය. සමාජ අත්දැකීම් බහුලව ඇති වියපත් කාන්තාවක ලෙස තමා කැළුමිණි දෙසත් අරවින්දගේ මේ චර්‍යාවන් පිළිබඳවත් විමසුම් ඇසින් බැලිය යුතු බව පබෝධා දැන උන්නාය.

එහෙත් අරවින්ද සූරියබණ්ඩාර යනු නරක මිනිසෙක්ද? අසරණ යුවතියකට ලං වී ප්‍රයෝජන ගන්නට සිතන අන්දමේ මිනිසෙක්ද? යන පැනය ඒ කිසිම මොහොතක සිතට ගෙන්වා ගන්නට පබෝධාට පුලුවන් හෝ අවශ්‍යතාවයක් හෝ හැකියාවක් තිබුනේ නැත.

කුස්සියේ මේසය මත අරවින්ද විසින් ගෙනා බඩු භාන්ඩ තැබූ පබෝධා ඉස්තෝප්පූව වෙත යද්දීත් සඳරුත් අරවින්දත් උන්නේ ජීප් රිය වෙත පල්ලම් බසිමිනි. අරවින්ද වෙනදාට වඩා මෙහි එන්නෙ යන්නේත්, උදව් පදව් කරන්නේත් වෙනත් දෙයක් සිතේ තබා ගෙන ද කියා අසන්නට හොඳම කෙනා සඳරු බව පබෝධා සිතට කීවාය.

කැළුමිණී නිදි නිසාවෙන් කාමරයෙන් ආවේ නැති වුවද අරවින්ද උන්නේ සතුටෙනි. ඇයව දකින්නට නොලැබුනද ඇය වෙනුවෙන් මෙවන් දෙයක් කරන්නට හෝ ඉඩක් ලැබීම ගැන අරවින්ද සතුටු වූයේය.

“දැන් කැළුමිණී අක්කා එක්ක ඔය ගැන කියන්න හිතන් ඉන්නෙ කවද්ද?”

සඳරු ඇසුවේ කඩයිම් ප්‍රශ්නයකි. එයට පිළිතුරක් නොමැති වුවද සඳරු විසින් මේ මොහොතේ අසන ලද ප්‍රශ්නය කෙදිනක හෝ මුහුන දෙන්නට වෙන ප්‍රශ්නයක් බව අරවින්ද දැන උන්නේය.

“මේ වෙලාවෙ ඒ ළමයට ඔය වගේ දෙයක් කියන එකත් ප්‍රශ්නයක් නේද?”

අරවින්ද එසේ ඇසුවේ කල්පනා බව බැල්මක් දෙනෙතේ අලවාගෙනය. ඒ බැල්ම මතින් සඳරු වෙතින් නෙත් යවන අතරවාරයේම ජිප් රිය පණ ගන්වමිනි. 

“ඕකට ආයෙ වෙලාවක් එනකම් බලන් ඉන්න එකනම් මම හිතන්නේ හරියන්නෙ නෑ”

“ඇයි එහෙම කිව්වේ?”

“මහත්තය හිතනවද මහත්තය කවදාවත් නැතුව මෙහෙ නිතරම යද්දි එද්දි ගමේ මිනිස්සු ඕකට කතාවක් හදන එකක් නැතෙයි කියල?

අනික් එක ඔක්කොටම වඩා ඕක පබෝධා නැන්දාට තේරෙන එකක් නෑ කියල හිතනවද?

අන්තිමේ ඕක මහත්තයට වගේම අක්කටත් ලොකු ප්‍රශ්නයක් වෙලා නවතින්නෙ නිකන් කතා අහගන්න වෙලා”

සඳරු උන්නේ ලොකු කල්පනාවක බවත් මේ වදන් ඔහුගේ මුවෙන් ඇදී එන්නේ හේතුවකට බවත් අරවින්ද තේරුම් ගත්තේය. සඳරු කියූ කතාව බොරුවක් නොවේ. එහෙත් එහෙමයි කියා ඇයව බලන්නට නොගිහින් හිඳින්නටද හැකියාවක් නැත. 

“හස්බන්ඩ් දරුවා ගැන දැනගත්තම වුණත් ආයෙ සෙට්ල් වෙන්න කැමති උනේ නැද්ද?”

නීතිඥ හසිතානි කතා කර එය අසද්දී පවා කැළුමිණීට ප්‍රභාත් විසින් කියූ සෑම වචනයක්ම එලෙසින්ම නැවත නැවත හිස ඇතුලේ රැව් පිලිරැව් දෙන බවක් දැනුනි. එහෙත් මේ ඒ සියල්ල අමතක කර දමා ජීවිතය ඉදිරියට ගෙන යනු පිණිස ප්‍රභාත්ව අමතක කර දමන්නට ගත් තීරණයක පලමු අඩියයි. එහෙම තැනක තමා ඔහුවවත් ඔහු කියූ කිසිවක්වත් මතකයේ තබා ගන්නට හේතුවක් නොමැත. 

“එයාට අමතක කරන්න බැරිලු අර මනුස්සය මම මගේ පරණ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ඉඳපු වීඩියෝස් පෙන්නපු එක. ඒවා අමතක කරන්න බැරිලු. මගේ වරද නිසා තමයිලු ඩිවෝස් එක දාන්නෙ. එයා කියන්නෙ ළමයවත් මම බඩට ගත්තෙ එයාව රවට්ටල කියලනෙ”

කැළුමිණී එය කිව්වේ අනුකම්පා සහගත මද සිනහවක් මුව මත තබාගෙනය. දුරකතන ඇමතුමේ එහා පස රැඳී උන් හසිතානි එය නුදුටුවද ඒ හඬේ තැවරී තිබුණ ගැහැණු හිතක වේදනාව අඳුනගත්තාය.

“මේ වගේ කේස් එකක් මට මීට කලින් ඇවිත් නෑ කැළුමිනී. ඇත්තටම මට හිතාගන්න අමාරුයි මේ වගේ දෙයකට තමගෙ වයිෆයි ඉපදෙන්න ඉන්න ළමයවයි අමතක කරලා වෙන ලේඩි කෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න කෙනෙක්ට පුලුවන් ද කියල.

ඔයාගෙන් අතීතෙ වෙච්ච දෙයක් මත එහෙම හස්බන්ඩ් ට ඕන විදියට ඩිවෝස් එක ගන්න බෑ. ඔයාට ඕන නම් එයා ඔයාගෙ මැරේජ් එක තියෙද්දි වෙන ලේඩි කෙනෙක් එක්ක අනියම් සබඳතාවයක් පටන්ගත්ත කියන කාරණාව අරගෙන අපිට වන්දියකට වුණත්…”

එහෙත් ඒ කතාව ඉදිරියට ගෙන යන්නට හසිතානිට ඉඩක්  දෙන්නට කැළුමිණී ට උවමනාවක් තිබුණේ නැත.අත හරින්නට උවමනා දේ අත හැරිය යුත්තේ යමක් ලබා ගැනීමේ බලාපොරොත්තු තබාගෙන නොවේ. ප්‍රේමයක් ඇති වුනේත් විවාහයකට ගියේත් විශ්වාසයත් ආදරයත් ගෞරවයත් පෙරදැරි කරගෙනය. ඒ සියලු හැඟීම් බිඳ වැටුණ තැන ඇතිවුණ දුක සහ වේදනාව නිවාලන්නට කුමන වන්දියක් ලැබුණත් හැකිවේද?

“අනේ මට එයාගෙ කිසිම දෙයක් උවමනා නෑ මැඩම්. මට ජොබ් එකක් තියෙනව. මම හම්බ කරපුවත් එහෙමම ඉතුරුයි. අනික ඔය දේවල් එයාගෙන් ඉල්ලගෙන අන්තිමේ මම ඒවත් එයාව රවට්ටල ඉල්ල ගත්ත කියල කියාවි. එයාට දරුවත් එපා කිව්ව එකේ කොහොමත් එයා වන්දි දුන්නත් දෙන්නෙ හූල්ලලනෙ. එහෙම සල්ලි මට එපා. මගෙ දරුවටත් එපා. අම්මා විතරක් ඉන්න දරුවො ඕන තරම් මේ ලෝකෙ ඉන්නවානේ. මටත් ඒ ගොඩට අයිතිවෙන එක නම්බුවක් ප්‍රභාත්ගෙ කුණුකතා  අහ අහ ජීවත් වෙනවට වඩා”

“මම තව දෙයක් අහන්න කැළුමිණී මගෙ ගැන වරදක් හිතන්න එපා. ඩිවෝස් එකෙන් පස්සෙ ආයෙ මැරි කරන්න අදහසක් ඔයාට තියෙනවද? එහෙම කෙනෙක් ඉන්නවද?”

ඒ ප්‍රශ්නයට මහ හයියෙන් සිනාසෙන්නට තිබුනානම් අපූරු බව කැළුමිණීට සිතුණි. එහෙත් මුහුණක්වත් දැක නොමැති නීතිඥවරියට ඇසෙන්නට එසේ සිනාසීම නොමනා බව ඇය දැන උන්නාය.

“මගෙ ජීවිතේම විනාස උනේ පිරිමි තුන් දෙනෙක් හන්දා. මගෙ දරුවට තාත්තෙක් නැති උනේ ඒ හන්දා. එහෙම එකේ මම කොහොමද මැඩම් ආයෙ හිතකින් පිරිමියෙක්ව විශ්වාස කරන්නේ?”

කැලුමිණී සමග කල සංවාදය අවසානයේ හසිතානි දුරකතනය අතට ගත්තේ අරවින්ද අමතන්නටය. ඉතා සමීප මිතුරෙක් ලෙස අරවින්දගේ ජීවිතයේ ආදරයේ අතීත කතාවේ අහුමුලු දැන හුන් හසිතානිට කැළුමිණීට උදව් කරන්න යැයි දුරකතන ඇමතුමක් දුන් අරවින්දගේ හඬේ වූ සැඟවුණු ප්‍රේමය හඳුනාගන්නට හැකියාවක් නොතිබුනා නොවේ. “ආයෙ බඳින්න අදහසක් තියෙනවද?” කියා කැළුමිණීගෙන් ඇසුවේත් ඒ නිසාය. 

කැළුමිනී විසින් දුන් පිලිතුර අරවින්ද විසින් දැනගත යුතුය යන කාරණාව හසිතානි සිතට කීවාය.

අරවින්ද ඒ මොහොතේ උන්නේද කාමරයේ සඳලුතලයට වී ඈත අහසේ පායා ඇති සඳ දෙස බලමින්. ඒ සුදු පැහැ සඳ කැළුම් මතින් කැළුමිනීට සිතට එන්නටපාර සකසමිනි.

“ලියවුනා ඔබ ගැන කවිපෙලක්

මැලවුනා රෑ තුන් යාමයක්

හද පලා යන දුක එක්කහු කරගෙන 

ඉන්නවා මම මග බලන්”

කාමරයේ තබා තිබූ මාශල් ස්පීකරයෙන් මෙතුන්ගේ හඬින් ඒ ගීතය ඇහෙන්නටසලස්වා තිබුනේ එහි පද ඔස්සේ සතුටටත් දුකටත් බර ආදරණීය හැඟීම් දරාගන්නට හැකි නිසාවෙනි.

හසිතානිගේ ඇමතුම දුරකතනය මත සටහන් වෙද්දී මුවඟට මද සිනාවක් ආවේ මේ ඇමතුම ඔස්සේ කැළුමිනීගැන යමක් ඇය හා කතාබස් කරන්නට හැකියාව ලැබෙන බව දන්න නිසාවෙනි.

“හෙලෝ”

“හෙලෝ අරා කතාකරන්න පුලුවන්ද?”

“අපිට ඉතින් අවුරුද්දෙ විතර ඉඳල කතාකරන්න පුලුවන් බව උඹල දන්නවනෙ නේද?” අරවින්ද ඇසුවේ සිනාසෙමිනි. 

“අම්මෝ අපි නොදන්නවද ඒක? මම නෙවෙයි ලෝයර් වෙන්න තිබුනෙ උඹ”

කියමින් හසිතානිද ඒ කතාවට එක්කහු විය.

“අරා මං කතා කරේ කැළුමිනී ගැන කතාකරන්න. එයාගෙ ඩිවෝස් එක ගැන කිසිම දෙයක් ගැන කතා කරන්න නෙවෙයි. උඹේ හිතේ එයා ගැන තියෙන අදහස ගැන කතාකරන්න”

වසර ගණනාවක මිතුදමක් කිසිත් බිඳ වැටීමක් නොමැතිව පවත්වාගෙන ආ තැන මෙවන් තේරුම් ගැනීමක් හසිතානිගෙ පසින් අසන්නටලැබීම ගැන අරවින්ද පුදුම වූයේ නැත. එදවස සිටම මිනිසෙකුගේ සිනහවක වෙනසක් පවා හඳුනාගන්නට තරම් තීක්ෂන හැකියාවක් තිබූ හසිතානිට “උඹ ලෝයර් කෙනෙක් නෙවෙයි සීඅයි ඩී එකට යන්න තිබුනෙ” කියා කියූපිරිසේ මුල් පෙල අසුනක තමා උන් බව අරවින්දට අමතක නැත.

“මම අහන්නෙ නෑ උඹ ඒක තේරුම්ගත්තෙ කොහොමද කියලා. ඉතින් උඹ අහන්න තියෙන දෙයක් අහපන්”

“උඹ කැළුමිණී ට් ආදරේ බව මම දන්නවා. කැළුමිණී ගෙ ප්‍රශ්නෙ දැනගත්තට පස්සෙත් උඹ ඒකිට ආදරේ කියන එකගැන මම පුදුම වෙන්නෙ නැ අරා මොකද මම උඹව දන්න නිසා. ඒ උනාට කැළුමිනී ඉන්නෙ සීරියස් හාට් බ්‍රේක් එකක. ඒ ලමය හැම පිරිමියෙක්ටම වෛර කරන තැනක වගේ ඉන්නෙ. එයාගෙ හිත වෙනස් කරලා ආයෙම වෙන මිනිහෙක් නෙවෙයි උඹව විශ්වාස කරන තැනකට අරගෙන එන්න පුලුවන් නම් ඇත්තටම උඹට පින්. ඒ උනාට මං කියන්න ගත්තෙ මේක පුතේ ලේසි ගේම් එකක් නෙවෙයි. ඒ නිසා පරිස්සමෙන් කියලා”

“මම දන්නවා හසිතා. මම ඒක නොදන්නව නෙවෙයි. මගෙ පරණ අෆෙයාර් එක නිසා මම කොච්චර දුක් වින්දද කියල උඹ දන්නවනෙ.මම කොටින්ම කොළඹ දාලා මෙහෙ ආවෙත් ඒ නිසානෙ.

ඒ වෙච්ච දේ එක්ක ලැබිච්ච වේදනාව එක්ක මම තේරුම් ගත්ත ලොකු දෙයක් තිබුනා. ඒ තමයි ආදරේ කරන්න ඕන මුලු හිතෙන්ම, ආයෙ ඒක ලැබෙයි කියල බලාපොරොත්තුවක් නැතුව.

කැළුමිනී හිත වෙනස් කරගෙන මට ආදරේ කරත් නැතත් මම එයාට ආදරෙයි”

“පලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ” කියා මිතුන් කිව්වේ ඒ කතාවම වන්නට හැක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles