මගේ ජීවිතයේ ආදරය කියන එක මට දැනිලා තිබුණේ බොහොම කටෝර වේදනාකාරී දෙයක් විදිහට.කේසර සම්පූර්ණයෙන්ම මගේ ආදර කතාව පුච්චලා අළු කරලා දාලා තිබුණා.කේසර අලුතෙන් පත්තරයක් පටන් අරගෙන තිබුණා.හිතපු නැති විදිහට එයා ඒකෙ වැඩ කරන්න මට කතා කළා.මට හිතාගන්න බැරුව ගියා. මනුස්සයෙක් අතීතය ඒ විදිහට මැරිච්ච විදිහට හැසිරෙන්නේ කොහොමද කියලා. අපි දෙන්නා අතරේ අබමල් රේණුවකවත් ගනුදෙනුවක් තිබුණේ නැති විදිහට කේසර මට පත්තරේ වැඩ කරන්න කතා කරනකොට මට හිතාගන්න බැරුව ගියා.එදා අසාද් ගෙදර ආවහම පුරුදු විදිහට අපි වහලේ උඩදී කන්ජි කෝප්ප දෙකක් එක්ක හම්බවුණා.
මම හිතුවා ඔයා මාත් එක්ක තරහ වෙලා ඇති කියලා.ඇත්තටම මට කියලා යන්න තරම් වෙලාවක් තිබුනේ නෑ.
ඇයි හදිසියේ නුවර ගියේ..
මගේ යාළු ලෝයර් කෙනෙක් ඉන්නවා නුවර.එයාව හම්බවෙලා විස්තර වගයක් කතා කරගන්න ගියේ.මං ඔයාට ඒ විස්තරේ දැන් මුල ඉඳලා කියන්නම්. ලෝයර්ට උනත් ටෙලිෆෝන් එකෙන් මේවා විස්තර කරලා කියන්න බැරි හින්දා තමයි මම එයාව හම්බ වෙලා කියන්න ගියේ.
ම්ම්.. ඩෝරාගෙ ප්‍රශ්නයක්ද..
එතකොට අසාද් එයාගෙ ලස්සන නළු හිනාව දාලා මං දිහා බැලුවා.
ඩෝරා කියන්නේ නඩුකාරයාටවත් විසඳන්න බැරි ප්‍රශ්නයක්..එහෙම කියලා එයා හයියෙන් හිනා වුණා.ඩෝරා කියන්නෙ බාගෙට ඇඳපු චිත්‍රයක්.ඒ චිත්‍රය සම්පූර්ණ කරන්න මට ඕන වුණේ නෑ බානු. ඇත්තටම එයාව අදාල වෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක.
මේක මගේ අයියගේ ප්‍රශ්නයක්.මං ඔයාට එක දවසක් කිව්ව නේද අයියගේ කතාව කියන්නම් කියලා.. ඒක සමහරවිට ඔයා ඉන්න සමාජ තලයේදී ඔයාට ඒක දරාගන්න අමාරු වෙයි. විශේෂයෙන්ම මේක ලංකාව හින්දා.අයියා ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් . දැන් එයා ඔපරේශන්ස් ගොඩක් කරගෙන ගෑනු කෙනෙක් වෙලා ඉන්නේ. එයාට හස්බන්ඩ් කෙනෙකුත් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්න රටේ හැටියට නම් ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.ලංකාවේ නම් තාම මෙහෙම අයගේ මැරේජ් නීති ගත කරලා නෑ.ඒ වගේම ඒගොල්ලන්ට දරුවෙක් හදාගන්නත් බැහැ. මේ වල නීතිමය විස්තර ඔක්කොම මමත් දැනගත්තේ ඊයේ තමයි. අයියටයි එයාගේ පාට්නර්ටයි ඕන වෙලා තියෙනවා ලංකාවෙ දුප්පත් ළමයෙක්ව දරුකමට හදාගන්න අරගන්න.ලංකාවෙ තියෙන කුලවද්දා ගැනීමේ නීතියට අනුව දරුවෙක් ගන්න පුළුවන් නීත්‍යානුකූලව ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි සිද්ධ කරගත්ත විවාහයකදී විතරයි. ඉතිං මම ඊයෙම ඒගොල්ලන්ට කිව්වා ඒගොල්ලන්ට ලංකාවෙන් ළමයෙක් ගන්න හම්බවෙන්නේ නැහැයි කියලා. අනෙක් ප්රශ්නය තමයි ඔයා දන්නවනේ පොඩි කාලෙදිම අම්මයි තාත්තයි දෙන්නා අපිට නැති වුණා කියලා.අයියවයි මාවයි ආච්චි තමයි පොඩි කාලේ ඉඳලම හදාගත්තේ.එයාට පිටරට ජීවිතය හුරු නැති හින්දා එයා අපි දෙන්නාම ලංකාවට ගෙන්නගෙන හැදුව කියන එකත් ඔයා දන්නවනේ. ආච්චි කොහොමත් මෙහේ අදහස් දරන කෙනෙක්.ඒක වැරදියි කියලා මම කියනවා නෙමෙයි.ඇත්තටම අයියගේ ප්රශ්නය ආච්චිට දරාගන්න අමාරුයි.එයා ලංකාවට එන්නේ නැතුව එහාට වෙලා ඉන්නෙත් ඒ හේතුව හින්දා තමයි. අයියගේ මේ හැම වැඩකටම වගේම අයියගේ මේ හැම ලීගල් වැඩකටම උදව් කරන්නේ මම. අයියගේ මේ ප්රශ්නය පටන් ගත්තු දවසේ ඉඳලා ආච්චි අයියත් එක්ක කතා කරන්නේ නෑ. කොච්චර ආච්චිට තේරුම් කරන්න හැදුවත් අයියගේ පිරිමි ශරීරය ඇතුලේ ඉන්නේ ගැහැණියෙක් කියන එක ආච්චි කියන්නේ දෙවියන්ට විරුද්ධවෙලා වැඩ කරන්න ගියහම ඔහොම දේවල් වෙනවා කියලයි.දේව ධර්මය මොකක්ද සොබාදහම මොකක්ද කියන එක මට තේරෙන්නේ නෑ බානු. දෙවියන්ට උනත් සමහර වෙලාවට වැරදෙන්න පුළුවන් කියලා මට හිතුනේ අයියගේ මේ ප්රශ්නය දැක්කහමයි.ඇත්තටම එයා පිරිමි ශරීරයක් ඇතුලෙ හිරවෙලා දුක් විඳින ගෑනියෙක්. පිටින් ඉඳලා බලන කෙනෙකුට නං ඒක මහා අප්‍රසන්න දෙයක් විදිහට පේන්න පුළුවන්. ඒ වුනාට එයාව බොහොම ළඟින් ආශ්‍රය කරන කෙනෙක් හැටියට මට සමස්ත ට්‍රාන්ස්ජෙන්ඩර් පරම්පරාව ගැනම දැනෙනනෙ හරි දුකක්. ඒ ශරීර කූඩු ඇතුලේ ඉන්නෙත් අපි වගේම මිනිස් හදවත් තමයි.ඒගොල්ලොත් ළමයි හදන්න ආසයි, පවුල් වෙන්න ආසයි. හැබැයි සම්ප්‍රදායින් පිට..ප්රශ්නය අන්න එතනයි.
මම අසාත් කතා කරන දිහා බලාගෙන හිටියා.ඇත්තටම එයාගේ ඇස්වල අවංකකම වගේම මේ ප්‍රශ්නෙදි එයා වින්ද පීඩනය හරි ලස්සනට පැහැදිලි වෙලා තිබුණා. සහෝදරයා හැටියට එයාට ඕන වෙන්න ඇති එයාගේ අයියව හරි තැනට ගේන්න. ඇත්තටම අසාද් වගේ සහෝදරයෙක් ඉන්න එක එයාගේ අයියට ලොකු හයියක් වෙන්න ඇති.නැත්නම් ඇත්තට ඒ මනුස්සයා මේ ලෝකෙ තනි වෙච්ච කෙනෙක් වෙනවා. අපේ භාෂාවෙන් කියනවා නම් අසාත් මේ කරන්නේ උඩුගං බලා පීනිල්ලක්..මේ කිසිම දෙයක් මම වචනයෙන් කිව්වේ නැති වුණාට මම එක දිගටම අසාද්ගෙ මූණ දිහා බලාගෙන ඉන්නකොට එයා එකපාරටම හයියෙන් හිනා වුණා.
බයවෙන්න එපා..මට එහෙම දෙයක් තාම වෙලා නෑ..මම සාමාන්‍ය පිරිමියෙක් ..
අපි දෙන්නගෙ හිනාව සමහර වෙලාවට පල්ලෙහාටත් ඇහෙන්න ඇති. අසාද් එයාගේ සව් කන්ජි කෝප්පෙ තිබිච්ච ලොකුම ලොකු වියළි මිදි ගෙඩියක් මට දුන්නා.
කන්න..මං දන්නවා ඔයා මේවට ආසයි කියලා..
වීදුරුවක් බිදෙනවා වගේ මට එකපාරටම මතක් උනේ එදා ඩික්මන් රෝඩ් එකේ මම ත්‍රීවීල් එකක යනකොට බැරිස්ටා එකේ වීදුරු කවුලුව ලග මොනවා හරි බිබී උන්නු කේසරවයි වානිවයි මම දැක්කයි කියලා මතක් උනාමයි.
යන වාහනයෙන් බැහැලා ගිහිල්ලා වානිගෙ බෙල්ලෙන් අල්ලලා ඉඳගෙන හිටපු පුටුවේ ඉන්නකොටම මූණ මේසෙට ඇනගෙන ඇනගෙන යන්න මට හිතුණා. කාලි අම්මගේ වගේ ඇස් දෙක රතු වෙච්ච මගේ මූණ මටම පෙනුනා …
බානු .. මොකද එක පාරටම වුණේ..මොකක් හරි වෙන කල්පනාවක් ඔයා හිටියේ..
අසාද් එහෙම අහනකොට ආපහු මම මේ ලෝකෙට ආවා.ඇත්තටම මට ලැජ්ජ හිතුනා.එක තීරණයක් නැති එක හදවතක් නැති දෙකට දෙවාරණය නැති ගෑනියෙක් මම කියලා මට හිතුනා. පත්තරයක් දිග අරිනවා වගේ තමන්ගේ මුළු ජීවිත කතාවම මං ඉස්සරහ දිග අරින අවංක පිරිමියෙක් ඉන්නකොට වංක වෙවී වංචා කර කර එක හිතක් නැතුව අතරමග මාව අතරමං කරලා දාලා ගියපු මිනිහෙක් ගැන මම මොනවට තැවෙනවද කියලා මට හිතුනා.
ඔයා එවල තිබිච්ච කවි ලස්සනයි.ඔයාට ලස්සනට සිංහල කවි ලියන්න පුළුවන් නේද..
දැන් ඔය මම ලියපු කවි ගැනද කල්පනා කර කර හිටියේ…
අසාද් එහෙම අහනකොට මට හිනා ගියා.
මට සමාවෙන්න.තාමත් සමහර තැන්වලදි මට මාව පාලනය කරගන්න බැරුව යනවා.ඔයා දන්නවනේ කේසරගේ විස්තරේ.ඔයා කියන සමහර දේවල් වලදී කොයිතරම් නරක වුණත් තාමත් මම කේසරව ගලපන්න උත්සහ කරනවා. ඇත්තටම මම වැරදි බව මම දන්නවා.
අසාද් මගේ ඔලුවට අත තිබ්බා.
අසාද් .. ඇත්තටම මට ඔයාගේ අයිය අයියා ගැන දුකයි . ඇත්තටම ඒගොල්ලන්ට ලංකාව ඇතුලෙ නම් ජීවිතයක් නැතුව යයි. මෙහෙ මිනිස්සු හැමදාමත් ට්‍රාන්ස් ල දිහා බැලුවේ වපර ඇහින්…
අපි අන්තිම අවුරුද්දේ ඉන්නකොට ශෝර්ට් ෆිල්ම් එකක් කලා.. තෝඩු කියලා .. ඒක විනාඩි පහක පොඩි එකක්. මුල් හරිය පෙන්නන්නේ එයා පිරිමි ළමයෙක් වුණාට අනික් පිරිමි ළමයි එක්ක කොයි තරම් වෙනස්ද කියන එකයි. හිනා වෙනකොට අතින් කට වහ ගන්නවා.. ඉඳගන්නකොට කලිසම හොඳට හදලා ඉඳගන්නෙ. අනිත් පිරිමි ළමයි ගහගන්නකොට මේ පිරිමි ළමයා හදන්නේ ඒගොල්ලන්ව බේරන්න. අන්තිම කොටසෙදි පෙන්නන්නේ ටීච පන්තියේ හැමෝගෙන්ම අහනවා තමන් ලොකු වුනහම වෙන්න කැමති කවුද කියලා?..
දොස්තරලා ඉංජිනේරුවරු චිත්‍ර ශිල්පියෝ වේදිකා නාට්‍ය ශිල්පියෝ වෙන්න කැමති අය අතර අවසානයේ මේ පිරිමි ළමයාගෙනුත් ටීචර් අහනවා ලොකු උනාම වෙන්න කැමති කවුද කියලා…මේ පිරිමි ළමයා කියනවා
අම්මා කෙනෙක් කියලා ….
එතකොට මුළු පන්තියම හිනාවෙනවා. මේ පිරිමි ළමයා කඳුළු පිරිච්ච ඇස්වලින් ටීචර් දිහා බලාගෙන ඉන්නවා.චිත්‍රපටිය එතනින් ඉවර වෙනවා.
ම්ම්.. මාර ලස්සන කතාවක්.ඉතින් ඕගොල්ලෝ ඒවා තරග වලට ඉදිරිපත් කළේ නැද්ද..
ඇයි නැත්තේ.. ලංකාවේ එක තරඟයකින්වත් දිනන්න බැරුව ගියා..පිටරට තරඟ කීපයකින් නම් සම්මාන හම්බවුණා.. චිත්‍රපටිය දිනපු සම්මාන ගැන පබ්ලි සිටි එකක් දෙන්න විදිහක් නැහැයි කියල සංස්කෘතික අමාත්‍යාංශයෙන් අපිට ලියුමක් ආවා.චිත්‍රපටිය අන්තර්ගත දේ ලංකාවේ සංස්කෘතියට අදාළ වෙන්නේ නැහැයි කියලා ඒ ලියුමේ තිබුණා. ලයිට් නිව්වට පස්සේ ඕන තරම් වැරදි වැඩ කරන මිනිස්සු ලයිට් එලිය තියෙනකොට වැරදි වැඩ කරන්න බයයි කියලා අපි හැමෝටම තේරුණා.
අසාද් මගේ අත තද කරලා අල්ල ගත්තා… ස්තුතියි බානු ඔයා මේ ප්රශ්නය ලස්සනට තේරුම් ගත්තට.ඇත්තටම මම ටිකක් බයෙන් තමයි ඔයාට මේ විස්තරේ කිව්වේ.ඔයා මොන විදිහට මේක තේරුම් ගනීද කියලා හිතාගන්න බැරි හින්දා. ඩෝරා මගෙන් වෙන් උනෙත් ඔය සිද්ධිය හින්දමයි. එයා කැමැති වුණේ නැහැ මගේ සහෝදරයා ඉන්න තත්ත්වයත් එක්ක එයාගේ පවුලට මාව සම්බන්ධ කරගන්න.අයියා මේ විස්තරයක් දන්නේ නැහැ.දන්නවනම් එයා ඉකිගගහා අඩන බව මම දන්නවා.
බානු .. අනිද්දා මට ආපහු යන්න වෙනවා. මගේ නිවාඩු ඉවරයි.
මම අසාද් දිහා බලාගෙන හිටියා. මට ඕන උනා එයාට කියන්න කේසර ආපහු පත්තරේ රස්සාවට මට අඬ ගැහුවයි කියලා.