වාහනයේ දෙපසක අසුන් ගෙන අරවින්දත් කැලුමිනීත් උන්නේ එකිනෙකාගේ ලෝක වල තනි වීය. පබෝද නම් උන්නේ මගින් මිලට ගත් පත්තරයක් කියවමිනි. වාහනය පදවන්නට අරවින්ද වීසින් රියදුරෙකු ගෙන තිබුන නිසා නිදහසේ කල්පනා කරමින් යන්නට එය අරවින්දට පහසුවක් විය.
කැලුමිනී කිසි සේත්ම තමාගේ ආරාධනාව එක පස්‍යින් පිලිගනීවි යැයි කිසිත් බලාපොරොත්තුවක් සිත අස්සෙ තිබුනේ නැති උනද ඇයගේ දෙනෙතින් වැටුණු කඳුලුත් තමාගේ ආදරය ප්‍රතික්ශේප කරන්නට ඇය ගෙන දැක් වූ හේතු කාරණාත් අරවින්දගේ සිත රිදවන්නට සමත් වී තිබුනි.
අනෙක් අතට නිවසට වී කොට්ටයේ මුහුන හොවාගෙන මේ සියල්ල කල්පනා කරමින් ඉන්නට පුලුවන් කම තිබුනා නම් අපූරු වුවද මේ නොගොස් බැරි ගමනකි. එක බැඳුමක් ලෙහා දමනු පිණිස මේ ගමන යද්දී බැඳෙන්නට බලා හිඳින තවත් හිතක් ගැන හිතන්නට වීම කැලුමිනීට දැනුනේ පුදුමාකාර බරක් ලෙසය.
“වෙන දරුවෙක් හදන්න මට ඕන නෑ කැලුමිනී. ඔයා කැමති නම් මම කැමතියි මේ දරුව අපේ කියල හිතන්න”
එවන් දෙයක් කිසි දිනක අරවින්ද වන් මිනිසෙකුගේ මුවින් අහන්නට වේ යැයි කැලුමිනී සිතා තිබුනේ නැත. සඳ කිරණ මැද සිටගෙන තමන් දෙසම බලා උන් අරවින්දගේ තද කලු පැහැ ගඹුරු දෙනෙත් තුල ඔහු විසින් කියු දෙයත් එය හා බැඳුණු හැඟීම් පෙලත් විශ්වාස කරන්නට අපමණ හේතු කාරණා තිබුනද කැලුමිනී උන්නේ ඒ කිසිවක් ඵිලිගන්නට අපහසු බවකිනි.
මේ දරුවාගේ සැබෑ පියා වන ප්‍රභාත්වත් මේ දරුවා ගැන මෙසේ නොසිතුව තැනක අහම්බෙන් ජීවන ගමනේ අපහසුම මොහොතක හමු වූ හිතක් තමා වෙනුවෙන් එවන් වදනක් හෝ කියන්නට සිතීම කැළුමිනී බාරගත්තේ බරපතල ආත්මානුකම්පාවක් සමගිනි.
“අනේ සර්” කියා කඳුලු වැක්කෙරෙද්දී එතනින් එහා තමන් විසින් කිව යුත්තේ කුමක්දැයි කියා සිතාගන්නට කැලුමිනී අපොහොසත් වූවාය. කැලුමිනීගේ දෙනෙත් වලින් ගලා යන කඳුලු බිඳිති හිත කොච්චරක් රිදවූවාද කියා දැන උන්නේ අරවින්දම පමණකි.
“අනේ සර් ප්ලීස් ඔහොම දෙයක් කිව්ව කියලත් අපි අමතක කරමු”
“ඇයි එහෙම කියන්නෙ? මං ගැන අවිශ්වාස හන්දද?”
එහෙත් කැලුමිනී උන්නේ එයටවත් උත්තරයක් දිය හැකි මානසිකත්වයක හෝ වාතාවරණයක නොවේ. හැඬුම්බර බව නිසා උගුරත් ව්‍යාකුලත්වය නිසා මනසත් තිබුණේ ගොලු වීය. ඒ බව තේරුම් ගත්තාක් බඳු නිසාමදෝ සඳ තිබුණේත් වලාකුලු කල සමග සටනින් පරාද වී හෙම්බත්වය.
“මං ඔයා ගැන කවදාවත් වරදක් හිතල නෑ කැලුමිනී. මම මේ තීරණේ ගත්තෙ මේ වෙලාවෙ හිතට ආව දෙයක් හන්ද නෙවෙයි. මම සෑහෙන හිතල කල්පනා කරල බලල ගත්ත තිරණයක්.
ඒ නිසා මාව අවිස්වාස කරන්න එපා”
අරවින්දගේ හඬ තිබුනේ බිඳීය. ඒ කුමක් නිසාද කියා පැහැදිලිතාවයක් නොතිබූ බිඳීමකි.
“මට අවිස්වාස නෑ. මට අවිස්වාස නම් මම සර්ගෙන් උදව් ගන්නෙ නෑනෙ. ඒ උනාට මම කවදාවත් හිතුවෙ නෑ සර් මට එහෙම උදව් කරේ මෙහෙම දෙයක් හිතේ තියාගෙන කියල”
කැලුමිනී එය කිව්වේ චෝදනාවක ස්වරූපයෙන් නොවේ. එහෙත් අරවින්ද එය භාරගත්තේ චෝදනාවක් විලසිනි.
“මම ඔයාට උදව් කරේ කිසිම දෙයක් හිතේ තියාගෙන ඔයා මම උදව් කරන හන්දා ඒ මම අහන දේට කැමති වෙන්න ඕන කියල හිතල නෙවෙයි. මම ඔයාට ඇත්තටම ආදරේ හන්ද. මේ දරුවට මම ආදරේ හන්දා
ප්ලීස් මම ගැන එහෙම හිතන්න එපා”
“මම වරදක් නෙවෙයි කිව්වෙ සර්. මම හිතල කිව්ව දෙයක් නෙවෙයි. අනේ ඒ උනාට අපි මේ කතාව නතර කරමු සර්. ප්ලීස්. මට ඔය සර් අහන දේට කවදාවත් එකඟ වෙන්න බෑ සර්
මම කොහොමද එහෙම දේකට එකඟ වෙන්නෙ? මං කොච්චර වැරදිද සර් සර්ව එහෙම කරදරේකට ඇදල දැම්මොත්. මිනිස්සු මට මොනව කියාවිද? මම කොළඹ ඉඳල ඇවිල්ල සර්ගෙ ජීවිතේ විනාස කරල දැම්ම කියල කියාවි
අනේ සර් මම දැන් කී දෙනෙක් ගෙන් කතා අහල තියෙනවද සර් මම මිනිස්සුන්ගෙ ජීවිතේ විනාස කරල තියෙනවද කියල
අනේ මට හරි බයයි සර් මගෙ ජීවිතේ ඉතුරු කාලෙත් මට මිනිස්සුන්ගෙන් එහෙම කතා අහන්න වෙයි කියල
මම හින්ද කෙනෙක්ගෙ ජීවිතේ විනාස උනා කියල අහන්න වෙයි කියල මට හරි බයයි සර්. මට දැන් ඇත්තටම ඕන මේ දරුව හදන් ජීවත් වෙන්න. කාටවත් කරදරයක් බරක් වෙන්නෙ නැතුව ඉන්න.
මං ගැන වරදක් හිතන්න එපා. මම සර් උදව් කරද්දි ඒ උදව් භාරගත්තෙ සර්ව රවට්ටන්න හිතාගෙන නෙවෙයි. අනේ මං කාවවත්ව රවට්ටල සම්බන්දකම් පටන් ගත්තෙ නෑ සර්.
ප්‍රභාත්…ප්‍රභාත් එහෙම කිව්වට මම කිසිම කෙනෙක්ව රවට්ටල සම්බන්දකම් පටන් ගත්තෙ නෑ”
කැලුමිනී තදබලව බිඳ වැටුනේ ඒ මොහොතේය.
කඳුලු වක්කරමින් උන් ඇයව තදින් පපුවට තුරුලු කරගෙන සනසන්නට හැකියාවක් තිබුනානම් අපූරු බවත් සැනසුමක් බවත් දැන උන්නද එය කල නොහැක්කක් බව අරවින්ද දැන උන්නේය.
එහෙත් කැලුමිනිගෙ උරිස් මත අත තබා ඇයව මදක් තම උරහිසට හේත්තු කරගන්නට කිසිත් බාදා නොවිනි.
“අඬන්න එපා, ප්‍රොමිස් ආයෙ මම ඒ ගැන අහන්නෙ නෑ. මේ කිසිම දෙයක් නොවුන වගේ මම ඉන්නම්”
ඒ පොරොන්දුවකි. කෙදිනකවත් කඩන්නට නොදුන් පොරොන්දුවකි. එබව අරවින්දත් කැලුමිනීත් හොඳාකාරවම දැන උන්හ
සුසුමක් නික්මුනේ දෙපසකිනි. එහෙත් ඒ සුසුම එකම හේතුවක් වෙනුවෙන් දෙහිතකින් නික්මුනකි.
කොලඹ එනතුරුම කැලුමිනීත් අරවින්දත් අතර එහෙමකට කියා කතා බහක් නොවුනහ. එහෙත් එකම අසුනම දෙපස වාඩි වී හිඳ කඳු පල්ලම් අතරින් යද්දී කැලුමිනී වැටුණහොත් ඇයව අල්ලා ගන්නවා යැයි සිතා අසුන උඩ දිග හැරී තිබුණ අරවින්දගේ අත කැලුමිනී නොදැක්කා නොවේ. එහෙත් නොදැක්කා සේ හිඳියාය.
දිවා ආහරය ගන්නට අරවින්දගේ මවගේ නිවසේ පහසුකම් සලසා තිබුනි. අරවින්ද උන් නිසාවෙන් පබෝදා සූරියබණ්ඩාර මහත්මිය සමග නතර වීමට සිතුවාය.
කැලුමිනී උන්නේ කැළඹීමකින් බව අරවින්ද තේරුම් ගත්තේය. ඒ කැළඹීම තමා විසින් පෙර දිනයේ අසන්නට යෙදුන කාරණාව හා සම්බන්ද වූවක්ද නොඑසේනම් තමා සමග ප්‍රභාත් හමුවට එන්නට සිදු වීම නිසා වූවක්ද යන්න කුතුහලය ඇති කරන්නකි.
“ම්ම්ම්… ඔයා තනියෙන් ඉන්න කැමති නම් මම එහයින් ඉන්නම්. ඉවරවෙද්දි මම එන්නම්. මම හසිතට කෝල් එක්ක දීල කිව්ව අපි ඇවිත් ඉන්නෙ කියල”
කැලුමිනී මද සිනා නැගුවෙන් අරවින්ද ඇයව එහි තබා වාහනයට නික්ම ගියේය. කැලුමිනීගේ වාරය නිම වන තුරු බොහෝ වේලා එහි හිඳින්නට වන බව දැන උන්නද කල්පනා ලෝකයක අතරමං වී උන් අරවින්දට ඒ කාලය ගෙවී යනවා දැනුනේවත් නැති තරම් ය.
ආදරය වනාහී අනෙකාව හිමිකර ගැනීමකින් තොරව වුව බැඳෙන්නට හැකිත් බැඳී හිඳින්නට හැකිත් අපූර්ව හැඟීමක් බව අරවින්ද සිතට පහදමින් උන්නේය. එය සිතට වේදනා ගෙනෙන හැඟුම් සමුදායක් වුවත් අරවින්ද ඒ වේදනාව නම් මඩ ගොහොර මත්තෙන් අරවින්දයක්ව පිපෙන්නට වෙර දරමින් උන්නේය. ඒ තමා වෙනුවෙන්වත් කැලුමිනී වෙනුවෙන්වත් නොවේ. එකිනෙකා වෙනුවෙනි.
“අපිට ඉක්මනට ඩිවෝස් එක ගන්න පුලුවන් වෙයි කැලුමිනී. එතකම් තව ටික දවසකට අපි කොහොමහරි හයියට ඉමු. එකාතකින් යන එන එක කොච්චර අපහසු උනත් ඔයා කොළඹ තනියෙන් ඉන්නවට වඩා එහෙ ඉන්න එක හොඳයි
මේ ගිනි කාස්ටකේ හිතත් ගිනි වද්දන එකක්නේ. එහෙ සනීපයිනෙ නේද?”
හසිතානි කිව්වේ සිනාසෙමිනි. සිනහවකින්ම ඇයට ස්තුති කල කැලුමිනි සෙමෙන් ඉවසීමෙන් උසාවියෙන් පිටතට ඇවිද ගියාය. ප්‍රභාත් පැමිණ තිබුනේ තනිවමය. එහෙත් ඔහු සමග කතා කරන්නටවත් ඇය සමග ඔහුට කතා කරන්නටවත් දෙයක් ඉතුරු වී තිබුනේ නැත. මේ මාස ගණනකට පෙර එකම සයනය බෙදාගත් යුවතිපතින් ය. දෛවයේ කුමක් හෝ සරදමක් නිසාවෙන් කුස හොත් දරුවා භාරගත් මවකුත් ඒ දරුවාගේ ලේ අයිතිය අහිමි කල පියෙකුත් ය.
මදක් ඉදිරියට නෙරා ඇති කුස සමස සෙමෙන් ඇවිද යන කැලුමිනීව ප්‍රභාත් නොදැක්කා නොවේ. ඒ කුස තුල හිඳින්නේ තම දරුවා බව දන්නා නමුත් ප්‍රභාත්ට එහි හැඟීමක් වූයේ නැත.
කැලුමිනි බලාපොරොත්තු වුයේ ඇවිද ගොස් අරවින්දගේ රියට නගින්නටය. නිවස බලා හැකි තාක් ඉක්මනින් යන්නය. ගතට දැනෙන්නෙ මහන්සියකි. ඒ මහන්සිය නිවාලනු පිණිස මදක් ඇල වී හිඳින්නටය.
එහෙත් කෝසල එයට පෙර ඉක්මන් විය.
“හහ් මැඩම් මොකද මේ හදිස්සියෙ? කොහෙවත් යන්න නැතුව ඇතිනෙ? පොඩ්ඩක් කතා කරමු නේද?”
ගිලින්නට බැරි කෙල ගුලියක් උගුරේ සිර වී ඇති බව දැනෙද්දී කැලුමිනී අඩියක් පිටුපසට ගත්තාය.
කැලුමිනී ලුහු බඳිමින් හුන් ප්‍රභාත්ගේ දෙනෙත තරම්ම වේගයකින් දෙපා ඒ මොහොතේ ක්‍රියා කරමින් තිබුනි.
කෝසල ඇඟිල්ලක් ඉහලට ඔසවා යමක් කීවේත් එයට බියේ මෙන් පිටුපසට පැන්න වූ කැලුමිනී මුණින් අතට වැටෙන්නට ගියේත් එකම මොහොතකය
එහෙත් සියල්ලටම පෙර “දෛවය” ඉදිරියට අඩියක් තබා තිබුණි.