අඹමල්ලෙන් මීගමුවට

සිරි මැණිකා බුලත්කොහුපිටියේ අඹමල්ලෙන් රත්නායක මහත්තයලා ගේ ගෙදරට එක්කගෙන ආවෙ ඩේසි පුච්චා .ඩේසි පුච්චා  එතකොට හිටියේ නුවර මැතියස් මහත්තයා ලගේ ගෙදර.

ජීවරානියො ලෑස්ති වෙයන් උඹේ ඔය කඩමාලු දෙක තුනක් ඔතාගෙන රත්නායක  මහත්තයාගේ ගෙදරට යන්න..

අනේ ඔන්න මටනම් බෑ…ඔය මැණිකා ඉන්නේ. පුච්චට ඔනැන්නං හඩගාන එකනේ ඇත්තේ… ඇයි වදේහ්…

ජීවරාණි ත් එක්ක ඒ වෙනකොටත් කහට පොල් කටු බාගෙකට ගහ මරාගෙන හිටපු සිරි මැණිකා ඩේසි පුච්චා හගිස්සන්ට කලියෙන් ඇන්නෑවේ කියන්නැහේ රෙදි කෑලි දෙකක් බට පොතු පෙට්ටියට ඔබං ඉස්සරහට පලච්චි..

රත්නායක මහත්තයයි ඒ නෝනැයි
ආණ්ඩුවේ කන්තෝරුවක ලියන කියන වැඩ කරන බව දැනගත්තේ සිරි මැණිකා එහේ හිටපු තුන්වැනි දවසෙදි..එතකොට රත්නායක මහත්තයා ගේ පළවෙනි ළමයා වෙච්චි නේත්‍රාට හරියටම තුන් මාසයක් වෙලා තිබිච්චි.

මැණිකා ළමයව උඩ අතට අල්ලා ගනිං….

මාළු ඇඹුල් තියාල් හදනකොට ගම්බිරිස් ගොරකා හරි ගානට ගනිං..

ජාඩි වලට හරි පදමට පණුවො වහනවා කියලා කියන්නේ බොරු බං.. හරියට වහලා පිරිසිදුවට කෑමක් හැදුවහම එහෙම වෙන්නේ නැහැ….

ඔහොම බෑ බං කොප්පරා ටික හරියට කෑලි කපහං..

මැණිකා  බබා අඩනවා වගේ නේද..

එකී මෙකී නොකී දහස් දෙබස් දවස පුරාම සිරි මැණිකාගේ කන් අස්සේ ගිගුං කොර හඩ තැලුවා නොවැ. උදෑනැක්කේ හතරේ කනිසමට ගිනි මෙලවිල්ල පටං ගන්න කුස්සියේ විජ්ජුම්මරේ අහවර වෙන්නේ නෝනයි මහත්තයයි බත් බැඳගෙන කන්තෝරුවෙ රාජකාරියට පිටත් උනයින් පස්සේ..

නේත්තරා මැනිකේ ….. ඔයත් මැණිකේ.. මමත් මැණිකේ..මගේ වස්තු කොටේ….
සිරි මැණිකාගේ ආදර වචන කිරි පැටියව පිපුනු මලක් කෙරෙව්වා…
ඔන්න හාබුං පළගානම කන්නෝනැ.. වස්තුකොටේ ගේ බර අඩු උනෝතින් අම්මි සෝලි දෙයි…..

ඉර නැගලා බැහැල යන  කාරනව ඒ විදියටම චක්කර ගත වෙනකොට මැණිකා  රත්නායක මහත්තයාගෙ වාසස්ථානයට නැතුවම බැරි චරිතයක් වෙච්චි.රත්නායක නෝනා ඉර බැහැගෙන යන වෙලාවට ගෙට ගොඩ වෙන්නෙ දරු පැටියට මව්කිරි ටිකක් කට ගහන්න බලාගෙනමයි. ගොම්මන අහවර වෙලා රාත්‍රිය ගලාගෙන එනකොට
මැණිකාගේ අතින් රස වෙච්ච මාළු දෙක තුනක් කෑම මේසෙ උඩ හිනා වෙනවා.

මක්කෙයි ආයි නා කියාගන්ට රෑ වෙච්චි කොට…. ගෙදර වැඩ හරි හරියට අහවර උනහම හිතට දැනෙන තන් තෝසෙ මාසේ පෝයට පන්සල් ගිහිල්ලා වත් ලබාගන්න බෑ ඕං…

රැහැයියෝ එකා දෙන්නා හඬලන්න  පටන් ගත්තට පස්සේ දිය පොදක් ඔළුවේ හලාගන්න සිරි මැණිකා තනියම හිතුවා.

දවස තිස්සෙම හතිය හරින්න වත් නිච්චි නිනව් නැති වෙච්ච සිරි මැණිකා රෑ ඇදේදි නින්ද හොයාගෙන ගියේ මලා වාගේ.එහෙම  කියලා  රත්නායක මහත්තයා හිනා උනේ ගෙදර පූසි සිරි මැණිකගෙ ඇඳ උඩ රෑ එළි වෙනකොට පැටව් හතක් දපලා  විත්තිය දැන  ගන්නකොට එළි වෙලා තිබිච්ච හින්දයි.

අනේ අප්පේ කොහොමෙයි මං වස්තු කොටේගේ අම්මයි තාත්තයි දාලා ගෙදර යන්නේ..උන්දැලෑ රාජකාරි වලට යන්නේ මං ඉන්න හින්දා නොවැ..සාරි බාරි පටලෝගෙන මොටෝ බයිසිකලේ රාජකාරි ගියාට වස්තු කොටේගේ අම්මා ගතමනාවෙන් භාගයක් කඩේ ණය පොත පියවනවා ඕං…
වස්තු කොටේට කුක්කු ටින්ක ඔල්ටම සුවල්ප සුල්ලියක්ද අප්පේ..
අපේ ගමේ ගෑනු නං පුරෝපු කොත්තමල්ලි බෝතල දෙකත් එක්ක පුන්චි ඈයො පුල්ලෙ මඩුවට  ගාල් කොරලා රබර කෑල්ලට තේ කෑල්ලට  ගාටනවා..
වස්තු කොටේගේ අම්මා හැපෙනවා නොවැ මං ගෙදේ හොහිං එන්ට ඇහුවම…
වස්තු කොටේට කියන්ට අපේ මහත්තෙ අයියගේ ඇට්ටෝං ගෙදේ යන්ටවත් ඇහැක් උනේ නෑ නොවෑ… උන්දැ ඕන්න මට  බැන අඩ ගාලා ලියුම් කරදහියක් එවාලා ආයේ පස් පාගන්ට එපා කියලා .  

සිරි මැනිකා ළිඳ ගාව පන් පැදුරේ සෙල්ලං සල්ලං දලං කෑලි මල්ලක් හලලා ඒ මැද නේත්‍රා ඉන්දෝලා ගෙදර ම වෙල්ලාව දිග ඇරගන්න මේ වෙලාවට හිතේ තියෙන සේරෝම කතා ටික පොඩි එකාට ඇහුනා නැතා තේරුනා නැතා ඔහේ දිගඇරලා දානවා.

හිතේ හිර කොරාන තියෙන කතන්දර ටික බිත්තියකටවත් කියලා දාහං කියලනේ අපේ ජීවරාණියා කියන්නේ..හප්පේ…සත්තම තමා වස්තු කොටේ… ඕන්න  ඔහොම  කිව්වහම නොවැ හත් නමකට සාංඝික දානයක් දුන්නැහේ හිත නිවෙන්නේ…

නේත්‍රාට පංචාලි වෙච්චි නංගි කෙනෙකුත් රත්නායක නෝනා ඊට ටික දොහකට පස්සේ අරගෙන ආවහම සිරි මැණිකාගේ රාජකීය නින්දට නිදි කිරා වැටි වැටි ඇහැරවන ඉන්ට සිද්ධ වුණා.

උදේ පාන්දර ඒ ඈයෝ වැඩට යන්නේ  කොහොමෙයි නිදි මරලා.දෙහෝරාවෙන් දෙහෝරාවට මව්කිරට ලං කොන්න කාලේ නොවැ මාත් ඕසෙට නිදි මැරුවේ.. දැන්නං කුක්කු කොටේ එලිවෙනකං කකුල් දෙකේ ඔක්කොට්ටෙ නැලවෙනවා .. ඒ උනාට ඩිංග එහෙ මෙහෙ වෙච්ච ගමන් ඇහැරෙනවා.පෙළක් විඩේ රත්නායක නෝනා ගාව නිදා ගත්තු දවසට කුක්කු කොටේ රෑට ඇහැරියන් මොර දෙද්දී තමා ඕං රත්නායක මහත්තයා ඇඳේ ඉඳන්ම හූ තියන්නේ
මැනිකා..කිරි බෝතලේ  ගේන්ඩෝ.. කියලා.
මං ගාව උන්නනං ඔය මොන ජර මරයක් වත් නෑ නොවැ. නිදිමරගාතේ දැං ඉතිං හැප්පි හැප්පි පලකො කුස්සියට… උදේ හිට රෑ වෙනකන් පොඩි උන් දෙන්න මාත් එක්ක මයි ඉන්නේ..මොකෝ මීක් ගාලා අඬනවායෑ.. ඒ ඈයො අතට ගිහාම නොව බෙරිහන් දෙන්නෙ..

නේත්‍රා යි පංචාලියි බහතොරන්න ගද්දි මැනිකම්මා නැති ගෙදර වතුර හිස් වෙච්චි පොකුනක් කියලා දැනං උන්නා . අවුරුද්දටම එක සැරයක් විතරක් ගෙදර යන්න මැණිකා හදන හැම වෙලාවකම නේත්‍රාවයි පංචාලිවයි
රත්නායක නෝනා

“අන්න මැණිකම්මා ඔයාලව දාලා යන්නයි යන්නේ “
කියලා  කෙලි පැටව් දුක් ගස්සලා සිරි මැණිකා ගාවට උසච්චි කරලා අරිනවා.

අනේ මැනිකම්මේ….අපිව දාලා යන්න එපෝ…
කියලා මැණිකා ගාව හඬා වැටෙන වස්තු කොටෙයි කුක්කු කොටෙයි බදාන අඩන මැනිකා ගෙදර යන අදහස දවස් නියමයක් නැතුවම කල්දානවා…

ඈ බං , උබේ ඔලුව ඇත්තේ බෙල්ලේ පාලු මකන්ටද… යකෝ.. දෑතේන් කූඩලු පොදි කඩ කඩ රබර් ගස් අස්සේ ගෑටුවේ උබලව දැඩිමේනි කොරන්ට.. දෑහේ බොදවෙද්දිං පා වාරු අහේනි වෙද්දිං බොට කව්ද බොල සේස වෙන්නේ…

සිරිමැනිකා ගෙදර එනකන් බලාගෙන ඉඳලා බැරිම තැන  අඹමල්ලෙන් පල්ලම් බැහැලා අම්පාගලින්  බස් එකට නැගලා උදැහැනැක්කේ ම මීගමුවට පොඩි නෝනා ගෑටුවේ සිරි මැණිකාගේ කල වයස රත්නායක ගෙදරටම දිය වෙන්න අරින්න බැරි හින්දයි.කොච්චරවත් ඒ ගැන හිත ඇතුලේ කටුවක් අනින්නා හේ වද දිදී වද දිදී සිහි කල්පනාවට ම ආපු හින්දයි.

කෑ ගොස්සන් ගහන්න එපා අම්මේ..පොඩි උන්ට උනත් දැන් ඕවා රැලි ඇරලා වටහ ගන්ට ඇහැක් .. ඒ නෝනයි මහත්තයයි වචනෙකින්වත් මගේ හිත රිද්දලා නෑ ඕං.. දැන් මං මෙහෙට වෙලා අවුරුදු දහයක් වෙච්චි . නෝනා මට රත්තරන් වලලු ජෝඩුවක් ගිය සතිය හදා දුන්නා. ගෙදර උන්නා නං ජීවරානියා මගේ බෙල්ල කයි.මං ඒකිගෙ බෙල්ල කයි. අඹමල්ලේ ගේ නාය ගිය වෙලේ මට අවුසදේ වාගේ තිබ්බ පංචායුදෙත් ගිලිච්චි.. අවුරුදු දහ අට වෙනකම් මං  අඹමලු උන්නා.. මට යි කියලා චීත්ත කෑල්ලක් අයිති කොරගන්ට තිබ්බද…
ජීවරාණි යා ඔය ඉන්නේ යාං හෑල්ල හේ අතින් එකයි බඩින් එකයි උකුලේ දෙකයි රදාන… අම්මට තත්තෝසේ මාත් හුජ්ජ ගදේ කද උස්සාන හිටිද්දිද…

ඇයි… බං මෙහෙ පුන්චි ඈයොන්ගේ හුජ්ජ බොට සමන්පිනි පුසබදැ.. මහත්තේ අයියගේ 
ඇට් ටෝං  ගෙදරට නාපු එකට ඌ තාම නොහොදින්… ඒ උනාට  ඌ වැට්ට යන තේ පැට්ටේරියේ ඩෑවර උන්නැහේ කෙනෙක් බොට ජෝඩු කොල්ලා තමා මාව මෙහේ ගෑටෙව්වේ උබව අඩ ගහාන වරෙං කියලා …

අම්මා දැන් ඔය කියන මනමාලයාට වයස කීයෙයි..

ඇයි උබ දාසයේ ලමිස්සියේ..
දැන් බොට කීයද ..

පොඩි හාමි පටලවගෙන ඇවිදිං උන්නු මනමාල මහත්තැන්ට  එහැටි වයසක් පෙනෙන්ට නැති උණාට අවුරුදු හතලිස් පහක්  වෙලා තිබිච්චි.

හතලිස් පහත් වයසක්ද බං මිනිහෙක්ට.පවුලේ එකම දරුවා වෙච්චි.ඊටත් ඌටම කියලා ටැබ්බරයකුත් වෙච්චි .

අම්මා හදන්නේ මාව නාකි යෙකුට පංගරතු කරලා බේරෙන්ට.ටැට්ටරේ උඩ තමා මට දපන්න්ට වෙන්නේ…

සිරි මැණිකාට ජෝඩු කරාපු හුඟක් පරස්ථාවල් සිරි මැණිකා  නානාවිධ කතා කිය කියා මග ඇරියා..අන්තිමේ පොඩි හාමි ආපහු අඹමලු  යන්ට පිටත් වුනේ ලිප් බොක්කේ දාලා  වළංකටු පුච්චලා හරි මං උඹව ගෙදර ගෙන්නනවා මැනිකො කියලයි.

වස්තු කොටේ කෝලේ ගොහින් ඒවි නෝනාකොටේ.. අපි එතකන් නෝනාකොටේගේ   තාත්තිගෙයි අම්මිගෙයි ජංගි කොට ටික හෝදමු කෝ… ඒව ගඳයි අපුච්චේහ්…

කිරිකැටි පංචාලි සිරි මැණිකාගේ කොලොප්පන්  තේරුනා හේ ලිද ගාව පන් පැදුරේ ඉද හිනැහෙයි.

අපේ අප්පේ..ඔය රංකැටි හිනාව නේන්නං මේ මැනිකම්මා ට ගෙදේ නොයන්ට කියන  මන්තරේ….
කිරි කඳුලක් දෙතනෙං නොදුන්නට වස්තුකොටෙයි නෝන කොටෙයි කොයි සන්දියක හරි මගෙම පැටව් වෙලා ඉන්ට නැතෑ..අපේ අම්මට කොහෙද ඕවා තේරෙන්නේ..උන්දැ හදන්නේ වළංකටු පුච්චාලා ගුරු කං කොරාලා මං කැන්දන්ට…..මල්වර නැකත මයේ අකම්පාළු උණාය කියලා ඔය අපේ අම්මා කියෙව්වේ .. නරි නාටක..නැද්ද නෝනා කොටේ…
පිරිමි පරාණයකට හිත නොගිය  ගෑණු පරාණයක්  වෙද නේද නෝනකොටේ.. අපේ ජීවරානියගේ මහතැනගේ මලයා සුදුවා මතකද මයේ මැනිකෙට.. අපේ අම්මේ මාත්  අගිස්සන  දේවල් … නෝනකොටේ එතකොට ඉපදිච්ච නෑඹුලේ නොවැ.. නෝනා කොටේ පොඩියට උන්නු රෑසියා හේ අඩනවා නොවැ..
අඹමල්ලෙ ඉන්න කම්ම ඔය සුදුවා මා පස්සේ ගෑටුවා.. නෝනා කොටේ ලගේ අහා ආවට පස්සේ ලියුම් කරදහිම කීයක් නං එව්වයි කියලද… නෝනා කොටේ ලගෙ අම්මා නොව ඒ දවස් වල මයෙ බෙල්ලේ වායු ගෙඩියට අවුසද කරන්ට මීගමුවේ ඉස්පිටිතාලෙට කැන්දාන ගියේ… මොනව උනත් නෝනා කොටේගේ අම්මා   ජීවරාණියගේ පළාතක තියන්ට බැහැ.. අනේ ඇත්තමයි.
“මැනිකා උඹ සුදුවට කැමතිනම් කියාපං”
කියලා විඩ කීයක් නං කීවද… මගේ මනාපය දැනගන්නට සුදුව මෙහාට ගාටනකොට නෝන කොටේගෙ අම්මයි තාත්තයි දෙන්නම ඔපීසි ගිහින් උන්නා නොවැ… මොකෝ හිනැහෙන්නේ..ඊට පස්සේ වෙච්ච දේ මතකෙයි.. සුදුවා ගෙට ගොඩවෙලා කහට උගුරක් තිබාසෙට දිව ගෑවා ඉතරයි නෝනකොටේ හඬ තලන්නට ගත්තේ නැතෑ රෑසියා පරදන්ට..
ඔන්න ආයිත් හිනැහෙනවා..එදත් ඔහොම හිනැහිලා උන්නා නම් අද මේ මැණිකම්මත්  අම්මෙක් ඕං…. නෝනකොටේ පරක් කරන්ට වඩනකොට නොවැ දෑතට ගින්දර හේ රස්නෙ දැඋනේ.. මං පිස්සියේ වායේ නෝන කොටේ  උස්සාන දංකොටුවෙ ඉස්පිටිතාලේ ට දිව්වා නොවැ.. අපරාදේ කියන්ට බෑ අර දෙමළ දොස්තර මහත්තැන්
නෝන කොටේ හරහට උස්සාලා ගත්තේ මේං මෙහෙම .. නෝනකොටේගේ   අම්මයි තාත්තයි ගෙදේ එද්දි  මං දෙවේල බෙහෙත් දීලත් හමාරයි ඕං…. සුදුවගේ බහ දීමත් හමාරයි කියලා ඊට සුමානෙකට පස්සේ කිව්වෙ නැතෑ.. නරි කෝලං… පොඩි එකෙකුට අසනීප උනහම මගුල් නටන්ට පුළුවන් කාට යැ.. අනෙහ්.. කුද  ගහගන්නට කියලා නොකීවට  ඉතිං … සුදුවා මතක් වෙන වාරයක් ගානේ රබට් කිරි විද්දහේ ඇහේ දැවටෙනවා තාමත්.. ඇසික් විසික්ක උනාම ඒ හැටි රිදෙන්නෙ නෑ ඕං…සුදුවට මනාප කම කියන්න ඇහැක් උනානං…
හා.. හා… මැනිකම්මා පිස්සියේ දොඩෝනවා නෙව..
මේ රෙදි ටික විජානියට හෝදලා චච්චන ගවුමක් දාලා සෝයි වෙලා අපි යං වස්තුකොටේව ඉක්කෝලෙන් ගන්න.. යස වැඩේ තමයි..ඔන්න වස්තු කොටේගේ  යාලුවෝ අහනවලු මං එයාලගෙ අම්ම ද කියලා.. මං අහගෙන වස්තු කොටේගේ  අම්මා කියනවා
ඉතිං ඔව් කියන්න එපා යයි කියලා.. අනේ ඉතිං සත්තෙට.. බුදු හාමුදුරුවන්ගේ බණ ඩිංගිත්ත සත්‍තනම් කොහෙන් කොහෙන් හරි කැරකිලා කාලාන්තරයකට කලින් නෝනකොටෙයි   වස්තුකොටෙයි මා පැටව්ම වෙලා ඉන්ඩත් නැතෑ..  නෝන කොටෙත් තව ටික දොහිකින් මොට්ටසෝරෙ  යං හොදේ….. මදෑ ඔය හුරතල් වෙවී මාත් එක්ක උන්නා..ආආහ්..ඔන්න රෙදි වෙල්ලව ඉවරයි… දැන් අවු අතේ දාමුකෝ… ගෑනු උනාම ඉතිං නිකා ඉන්ට තියෙන්නේ මහ නින්ද නිදියෑවම තමා.. ඒත් ඉතිං නෝනකොටේගේ අපුච්චා මයේ  දෙන ගාවට මූනත්තාඩුව ලං කොල්ලා අහයි

මැනිකා… කෝ තුවාය..මැනිකා කෝ ලැවරියා..කියාලා..

නෝනා කොටේගේ  අම්මා අහයි මැනිකා..දවාලට හාල් හුන්ඩු කීයක් තියන්ට දෑ කියාලා..

මොකෝ හිනැහෙන්නේ.. තේරෙනවද මයෙ අම්මට..ඒක නෙමෙයි..කෝ මයෙ නෝනා කොටේගේ කොක්කා…
අර කුක්කු කූ  ගාන්නේ…. ආ…එයාව තමයි එදා බල්ලො අල්ලලා හිටියේ..
ඔන්න මැණිකම්මා එදා  නෝනකොටේගේ කොක්කා මඤ්ඤ වේලා උන්නු හන්ඳ උනු ජෝ ජෝ දා..ලා… කොක්කගේ පිහාටු ගලෝ…ලා සසම සසට කොක්කා හොද්දක් හද..ලා නෝනා කොටේ ගේ තාත්තට දුන්නා… නොනකොටේගේ   අම්මා ගන්න සුල්ලියෙන් කුක්කු පිටි ගන්න ගියාම කීයැයි සේස වෙන්නේ… ඒ හින්ද නෙව  මැණිකම්මා වත්ත වටේ පීරි ගාලා පලා කොල අල හොයන්නේ…ඉස්සර අපිටනං සත්තෙන්ම බඩට යහමින් දෙයක් දැවටුනේ නැති තරමින්…
අපේ අම්මා කිරි හබරල නැතිකොට වල් හබරල අල තම්බාලා දෙනවා..එව්ව හපලා ගිල්ලොතින් කටයි උගුරයි ඕසෙට කහනවා නොවෑ.. ඉතිං මක් කොරන්ටෑ බුග් බුග් ගාලා අපි වල් හබරල අල නොහපා ගිලිනවා.. ඔය ජීවරාණියනං  කියන්නේ කාලා අහවර උනායින් පස්සේ ඒකිගේ බඩ ඇතුලෙන් කහනවා කියලා. ඒ අතින් නෝනා කොටෙයි වස්තුකොටෙයි කොයි හැටියට වාසනාවන්ද.. අපෙ අම්මා රෑට කන බත් පතෙන් කොටහක් නෙව උදෑනැක්කට මට දෙන්නේ.. පෙලක් දාට පීනු වෙලා නෙව.. බත හෝදලා සෙවල ඇරලා ලුනු ඉහාන මායි ජීවරාණි යයි පොරකකා ගිලිනවා.. අනේ සත්තෙට…  අපේ අම්මා කහට නැති දාට උනුවතුර බීලා රබට් කිරි කපන්ට ගාටනවා. ගංවතුර කාලෙට අපේ මහත්තේ අයියා  කොහොමින් හරි ගහගෙන යන පොල් ගෙඩි ඇද ගන්නවා. එව්වා කාසි කොල්ලා තමා ඒ කාලෙට අපි කහට බොන්ට සීනි ගන්නේ.. වහින කාලෙට කොහෙන්ද කිරි කපන්ඩ..හාඩොක් තමා….
ම්.ම්… ඔන්න හරි. දැන් අපි ගවුම් පොඩියක් දාගෙන කෝලෙ නං..
අනේ …කිරි සිරික්කිය…
ඉතිං නෝනා කොටේ මේ මැනිකම්මා ආච්චියෙක් වෙච්චි දාට නෝන කොටේ බලාගන්නවද…
අප්පේ ……. බෑද…..නැත්තං මං වස්තුකොටේ ගාවට යනවා..
ආ… මොකො බුම්මාන…… හරි හරි මේ මැණිකම්මා වයසට නොගිහින් මේ විදිහටම ඉංචං කෝ…….
එතකොට වස්තුකොටේගේ  අම්මට පාට පාට   සාරි ඇඳලා හැමදාම උන්නැහැකි….
අන්නේ……..මැනිකගේ කිරි හිනාව…

More Stories

Don't Miss


Latest Articles