ඉරිසියාව

බ්‍රියට්‍රිස් ආන්ටිගේ සද්දේ ඉස්තෝප්පුව පැත්තෙන් ඇහෙනකොට මම යන්න ආව ගමන නවත්තලා කාමරේම හිටියා. උදේ පාන්දර අපේ ගෙදර එන්නේ, සවින්ත ගැන මොකක් හරි කියලා අම්මගේ ඔලුවත් අවුල් කරලා, අය්යවත් අවුස්සලා, තාත්තා ට හවස් වෙනකල් කල්පනා කරන්න මාතෘකාවක් හදලා දෙන්න කියලා මම හොඳටම දන්නවා. සවින්ත බ්‍රියට්‍රිස් ආන්ටිගේ දුවගේ විශ්ව විද්‍යාලයේ දේශකවරයෙක් විදියට සේවය කරන්න පටන් අරගෙන තවම යන්තම් සති දෙකයි. ඒ සති දෙකට බ්‍රියට්‍රිස් ආන්ටි දවස් තුන හතරක් අපේ ගෙදර දුවගෙන ආවේ සචින්ත ගැන ඕපාදූප හොයාගෙන.  

“අම්මෝ… නයනා… කෙල්ල කසාද බඳින්න ඉන්න මහත්තයා අපේ කෙල්ලගේ කැම්පස් එකේ උගන්නන ඇවිල්ලා…”

“බුදු අම්මෝ… උගන්න එන්නේ මොඩ්ලින් ශෝ එක්කට යන්න වගේලූ… කෙල්ලෝ ඇස් උඩ තියන් ලු ඉන්නේ….”

“දන්නවද නයනා…ඒ බැජ් එකේ කෙල්ලො එක්කෙනාට එක්කෙනාට හොරා සචින්ත පුතාව සෙට් කරගන්න දත කනවලු… සමහරු දවල්ට කෑම පවා ගේනවලු…”

“අද කෙල්ලෙක් කලන්තේ දාලා…සචින්ත පුතාගේ කාර් එකේ දාගෙන ඉස්පිරිතාලෙ ගෙනිහින් තියෙන්නේ…පැය තුනකට පස්සේලු ඇවිල්ලා තියෙන්නේ…”

ඔය විදියට එක එක කතා කප්පරක් බ්‍රියට්‍රිස් ආන්ටිට තිබුණා. ඔය හැම කතාවක්ම අහගෙන ඉඳලා අතාරින්න අපේ ගෙදර හැමෝටම පුළුවන් කම තිබුණා. මං ඒ විස්තර සචින්ත එක්ක කිව්වේවත් නැහැ. පටන් ගත්ත ගමන්ම රැකියාවේ කලබල ඇති කරන්න මට හිතුනෙත් නැහැ. 

 අය්යා නම් කලේම බ්‍රියට්‍රිස් ආන්ටිට උසුළු විසුළු කර කර ඒ කතා රඟපාපු එක. ඒත් ගිය සෙනසුරාදා වුණ සිද්දියට පස්සේ මුලු ගෙදරම ගිණි ගත්තා.

“නයනෝ.. උඹලා මගේ උන් නිසයි මම මේ කියන්නේ… ඔය කසාදේ කරන්න කලින් දෙතුන් පාරක් හොයලා බලන්න වේවි… සචින්ත කියන හාදයා , කෙල්ලොන්ගෙන් හෙලුවැලි පින්තූර ඉල්ලලාලු… “

එදාට පස්සේ අපේ ගෙදර ගිණි ගත්තා. මම සචින්තව මුණ ගැහෙන එකත් අම්මලා ප්‍රශ්න කරන්න ගත්තා. සචින්තගේ රැකියාව, පෙනුම, පවුල, වාහනේ හැමදේම අම්මලට ප්‍රශ්නයක් වෙන්න ගත්තා. අය්යා  ඉරිදා හවස  සචින්තගේ බෝඩිමට ගිහින් ප්‍රශ්නයක් ඇති කරගෙන තිබුණා. සචින්ත සඳුදා දවසම මට කතා  කලේ නැහැ. අද මම සූදානම් වුණේ සචින්තව බලන්න බෝඩිමට යන්න. ඒත් උදේ පාන්දරම වැඩේ නැවතුණා.

බ්‍රියට්‍රිස් ආන්ටි යන සද්දේ ඇහුණා. මම එහෙමම ඉස්සරහට ආවා. අම්මා හිටියෙර් අඬ අඬා. 

අය්යා අම්මා අඬන එක ගැන කෑ ගහ ගහ හිටියේ.

“ඇයි අම්මේ ?”

“දුල්‍යා මේ… හොඳ හිතින් අරූ එක්ක තියෙන සම්බන්ධේ නවත්තලා දානවා….”

“ඒ මොකටද එහෙම කරන්නේ ? අපි සචින්තව දන්නේ කොච්චර කල් ඉඳන්ද අය්යේ ? බ්‍රියට්‍රිස් ආන්ටි කියන එව්ව අපි එච්චර විශ්වාස කරන්න ඕනිද ? .. අනෙක, සචින්ත ඔයාගේ යාලුවා..”

“යාලුවා නෙවෙයි ඌ මාලුවා… උඹේ පණ්ඩිත කතා වලින් වැඩක් නෑ..  “

අය්යා මගේ ෆෝන් එක ගත්තා. ප්‍රශ්නේ විසඳගන්නකල් ගෙදරින් එලියට බහින්න තහනම් කිව්වා. මම නොකා නොබී හිතුවක්කාර වෙනකොට බැණුම් අහන්නේ මල්ලී  අම්මා නිසා මම වේලකට බත් කටක් වෙන්න විතරක් කෑවා. සචින්ත මාත් එක්ක අමනාපෙන් ඉන්නවා වුනත්, මෙච්චර මෙහෙම මම අතුරුදන් වෙන එක දරාගන්න පුළුවන් වෙන එකක් නෑ. 

දවස් තුනක් ගෙවුණා. ඊළඟ සෙනසුරාදා බ්‍රියට්‍රිස් ආන්ටි ආයෙම ඇවිල්ලා මොනවා හරි කියලා යනවා ඇහුණා. ඒත් අම්මලා මට මුකුත් කිව්වේ නෑ. 

හවස හයට විතර වාහනයක් මිදුලේ නැවතෙනවා ඇහුණා. සචින්ත ..,

අය්යා සචින්තගේ කමිසෙන් අල්ලලා තල්ලු කරනකොටමයි, මම ඉස්තෝප්පුවෙන් මිදුලට බැස්සේ. මං අය්යව පැත්තකට ඇදලා දාලා සචින්තගේ ඉස්සරහින් හිටගත්තා.

“දුල්‍යා… කෝ ෆෝන් එක… ඇයි මට මෙහෙම කරන්නේ ? ..”

හුස්ම ගන්නවත් ඉඩක් නොදී සචින්ත එහෙම අහනකොට අය්යා ආයෙම කෑ ගහගෙන ආවා. ඒත් සචින්ත මාව අතෑරියේ නැහැ. තාත්තා අය්යව පැත්තකට කලා. සචින්තට ගෙදරට එන්න කිව්වා. මං සචින්ත ළඟින්ම වාඩි වුණා.

සිද්ද වුණේ මොකක්ද කියලා තාත්තා දින වකවානු එක්කම කියනකොට සචින්ත පුදුමෙන් අහගෙන හිටියා. අය්යා කෑ ගැහුවා රඟපාන්න එපා කියලා.

තාත්තා හැමදේම කියලා ඉවර වුණාම සචින්ත නැගිට්ටා.

“අංකල්.. ඔය කීව බ්‍රියට්‍රිස් ගේ ගෙදර යමු…”

 එතකොට නවය හමාරට කිට්ටුයි. සචින්ත එහෙම විශ්වාසෙන් කියලා ඉස්සර වෙනකොට අය්යත් ටිකක් සන්සුන් වුන බව පෙනුනා. අම්මයි, තාත්තයි  මායි කාර් එකට නැග්ගා. අය්යා බයික් එකේ ආවා.

සචින්ත ව දැක්කම බ්‍රියට්‍රිස් ආන්ටි ගැස්සුණ බව මම හොඳටම දැක්කා. මම සචින්තගේ අතින් තදට අල්ලගත්තා.

“කෝ.. දුව ඉන්නවද ගෙදර ?”

සචින්ත දැඩි ස්වරයකින් අහනකොට, බ්‍රියට්‍රිස් ආන්ටි එහෙට මෙහෙට කැරකුණා. නැති කලබලයක් පෙනුනා.

“බ්‍රියට්‍රිස් අක්කේ.. දුවට එන්න කියන්න පොඩ්ඩක්.. මේ ප්‍රශ්නේ මෙහෙමම විසඳගන්න අපිට…”

තාත්තා එහෙම කියනවත් එක්කම තනුරි නංගි එලියට ආවා. සචින්ත දැක්කම තනුරි සතුටින් කෑ ගහගෙනමයි අපි ළඟට ආවේ.

“සර්… අම්මෝ.. මෙහෙ ? මං ඒත් බැලුවා කවුද කියලා …”

තනුරි එහෙම කියනකොට, ඒ හඬේ තිගැස්මක්වත් තිබුණේ නැහැ.

“තනුරි… මං ඔයාගෙන් නේකඩ් ෆොටෝ ඉල්ලුවද ? ඔයාහේ යාලුවන්ගෙන් ඉල්ලුවද ? ඔයාලාගෙන් කවුරු කවුරුද මට දවල්ට කෑම ගෙනල්ලා දුන්නේ ? කවුද මගේ කාර් එකෙන් හොස්පිටල් ගෙනිච්චේ ?’

තනුරි බය වෙලා පස්සට ගියා. සචින්තගේ හඬට මාත්  ගැස්සුණා.

“සර් ?”

“ඔයාලගේ අම්මා ඇවිල්ලා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ ගෙදර කියලා තියෙන කතා ඔය … අම්මාගෙන් අහන්නකෝ..”

සචින්ත දැඩිවම කිව්වා. බ්‍රියට්‍රිස් ආන්ටිගේ මූණ විරූපි වෙලා තිබුණේ.  තනුරි දිගින් දිගටම ඒ ගැන අහනකොට බ්‍රියට්‍රිස් ආන්ටි අඬාගෙන ගෙදර ඇතුලට දිව්වා. තනුරි  ඒ පස්සෙන් දුවලා ආයේ ඉස්සරහට ආවා.

“අනේ අම්මා මුකුත් කියන්නේ නෑ සර්… මං අම්මට කිව්වා දුල්‍යා අක්කගේ බෝයි අපේ ලෙක්චර කරනවා, කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ එහෙම කියලා … අනෙක් කතා නම් මොකක්වත් දන්නේ නෑ.. “

සචින්ත ආපහු හැරුණේ අපේ දිහා බලන්නේවත් නැතුව. අපිව ඇරලලා වාහනෙන් බහින්නේ නැතුව ඉන්නකොට අය්යා සචින්තව බලෙන්ම වාහනෙන් බස්සවා ගත්තා. අම්මා සචින්තගේ නළල ඉම්බා.

“බත් ටිකක් කාල , රෑට මෙහෙ ඉඳලාම යන්න පුතේ.. දැන් දහයටත් වුණානේ… කොල්ලා උන්නගෙන් භාගයක් නෑ…”

සචින්ත අම්මාට එකඟ නොවී ආයෙම හැරෙන්න ලෑස්ති වුණා.

“දුල්‍යාගේ ෆෝන් එක දීපං එයාට..”

අය්යට ඇඟිල්ල උරුක් කරලා කිව්වා. අය්යා සචින්තව බඳාගෙන ගේ ඇතුලට ගියා.

“ඉඳපං ඉඳපං.. හිතේ වේදනවට බෙහෙත් දෙන්නම්.. නලුවෙක් වගේ මස්සිනෙක් හැන්ඩ්ල් කරලා මීට කලින් අත්දැකීම් නෑනේ බං.. ෆර්ස් ටයිම් නේ.. සමාවෙයං ඉතින්… ආයේ උඹ එපා කිව්වත්, දුල්‍යා උඹේ… හරිනේ …”

තාත්තා අම්මාත් එක්ක කතා කර කර කුස්සියට ගියා. 

මම එහෙමම මිදුලේ ගල් බංකුවෙන් ඉඳ ගත්තා.

“ඔයා මාව විශ්වාස කල බව මම දන්නවා දුල්‍යා… මට අනෙක් අය වැඩක් නැහැ…”

සචින්ත මගේ ලඟින් වාඩි වුණා. මම පැත්තට හැරිලා කම්මුලක් ඉම්බා.

“අඟහරුවාදා ඉඳලා මගේ ෆෝන් ඕෆ්. සෙනසුරාදා වෙනකල් මොකද මාව බලනන නාවේ ?”

ඇස් දෙක එලියට පන්නගෙන මම එහෙම අහනකොට , සචින්තගේ හිතට සැනසීමක් දැනෙන්න ඇති බව මූණෙන්ම පෙනුණා. 

ආදරේ එහෙමයි….!!

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles