මා හද තුළ ඔබ 10

තඹරු දිවාකර ගේ කාමරයට යන විටත් ඔහු රෝද පුටුවෙහි හිඳ ජනේලයෙන් පිටත බලා ගෙන කල්පනාවෙහි නිමග්න ව සිටියේ ය. සාමාන්‍යයෙන් නිදන්නට යන්න පෙර තාත්තා ගේ කාමරයට එබී ඔහු සුවෙන් නිදි දැයි බලනා එක තඹරු ගේ පුරුද්දකි. රිය අනතුරෙන් ඔහු එක්තැන්වී වසර ගණනාවක් ගෙවී තිබිණි ද, කුරුලු කූඩුවක් වන් සිය පවුල උඩු සුළඟකට හසු වී කලබැගෑනියකට පත් වූයේ ඔහු ගේ වරදින් වී ද, ඊට පෙර ළමා විය අමතක කරන්නට තඹරු කැමති නැත. ඒ යුගයෙහි ඔවුන්ට අයිති වී සිටි ඇගේ තාත්තා තවමත් මහා ආදරණීය චරිතයක් ව ඇගේ සිතේ මතු මහලේ විරාජමාන වෙයි. ඒ තාත්තා සිය පැටවුන් දෙදෙනාට ද ඔවුන් ගේ මවට ද සතුට සැපත තනා දෙන්නට පේ වූයේ ය. තාත්තා ඇසුරේ සුරතල් වූ, සෙල්ලම් කළ, සාප්පු සවාරියේ ගිය, විනෝද ගමන් ගිය මතක කැබලිති, පිළිවෙළක් නැතිව තඹරු ගේ සිතෙහි ඉසිර විසිර තිබේ. ඒ මතක කැබලි එක්කාසු කොට කිසි සේත් පිළිවෙලැති අතීතයක නටඹුන් හෝ නිර්මාණය කර ගත නො හැකි ය. නමුත් එහෙන් මෙහෙන් ඇහිද ගත යුතු ඒ සුන් බුන් පවා ඇය මහත් තෘෂ්ණාවෙන් සිය හදවතෙහි සුරැකි ව තබා ගෙන හිඳී. මේ තාත්තා ඒ තාත්තා නොවේ. නමුත් මේ තාත්තා ඒ තාත්තා නොවේ කියා ද කිව නො හැකි ය.

“තාත්තෙ..තාම නිදි නැද්ද…”

ඉතා මන්ද්‍ර ස්වරයකින් ඇසූ පැනයට වී ද දිවාකර තිගැස්සී ගියේ ය. ඔහු පමණකුදු නොව සිය හඬින් තඹරු පවා වෙව්ලා ගියා විය යුතු ය. ඒ තරමට ඒ හඬ ඇයට ආගන්තුක විය.

“නෑ…නින්ද ගියෙ නෑ. මං ඉතිං මේ හඳ එළිය දිහා බලං හිටිය”

පපුව සූරා දමනවා වන් රිදුමක් තඹරු ට දැනිණ. දැන් ඉන්න තාත්තා ගේ ශරීර ප්‍රමාණය ඉස්සර සිටි තාත්තා ගෙන් බාගයක්වත් නැත. එන්න එන්න ම ඔහු කෘෂ වෙයි. අම්මා ඔහු ගේ බත් පතට කිසිදු අඩුවක් නො කරන බව තඹරු දනී. ඇය තවමත් ගෙදර සියල්ලන්ට පෙර බුද්ධ පූජාව සේ තාත්තා ගේ බත් පත බෙදා වෙන් කරන්නේ පුරුද්දට මෙනි. නමුත් දැන් දැන් ඔහු අනුභව කරනුයේ ඉතා ස්වල්ප ආහාර ප්‍රමාණයකි.

“අදත් බත් එක ඉතුරු කරලනෙ. ඉන්න මං කටවල් දෙක තුනක් කවන්න”

කියා රන්මුතු ඇතැම් විට ඔහු ට බලයෙන් ම බත් කටක් දෙකක් කවයි. එවැන්නක් දිවාකර තදින් ම ප්‍රතික්ෂේප කරන්නේ ය. අතීතය අමතක නැත ද රන්මුතු දැන් හැසිරෙන්නේ අමතක සෙයිනි. නමුත් එහෙම බොරුවට රඟපාන්නට හෝ දිවාකර ට සිත් දෙන්නේ නැත. රන්මුතු ඉදිරියේ දී තවමත් දිවාකර ට ඇදෙස කෙළින් බැලිය නො හැකි ය. ඒ වරදකාර හැඟීම ඒ තරම් ප්‍රබල ය. ඔහු දැන් කළ වැරදි වලට දඬුවම් වින්දා ඇති යයි රන්මුතු සිතයි. ඔහුට මෙහෙම වුණ එක හොඳ වැඩේ යයි ඇය මොහොතකටවත් සිතා නැත. නමුත් සොබා දහම අප කරනා දේ ගැන බලා සිටින බව ද කොයියම් මොහොතක හෝ ඒ වැරදි වලට දඬුවම් විඳින්නට සිදු වන බව ද ඇය විශ්වාස කරයි.

“ඇඳට යමු තාත්තෙ. ඇස් පියාගෙන ඉන්නකොට නින්ද යයිනෙ”

රන්මුතු රෝද පුටුව යහන වෙතට හැරවූවා ය.

“මං මේ බලං ඉන්නෙ අන්තිමට ඇස් පියවෙන දවසක් වෙනකල් බබූ…ආයෙ ඇස් ඇරෙන්නැති දවසක් වෙනකල්. මගෙ ඇස් ඇරුන කියල ඇති පලක් නෑ ඕගොල්ලොන්ට අමතර වදයක් මිසක්”

“තාත්…තෙ…මොනාද අනේ කියන්නෙ…අම්ම කොච්චර දුක් විඳලද තාත්තව මේ ගානට සනීප කර ගත්තෙ…අපිට ඕනෙ තාත්ත හොඳට කාල බීල සාමාන්‍ය තත්වෙට පත් වෙනව දකින්නයි”

දිවාකර දිගු සුසුමක් හෙළුවේ ය. තඹරු ඔහු ට යන්තම් නැගී ඇඳට මාරුවන්නට වාරුවක් වූවා ය.

“සුන්බුන් ටික එකතු කරල වෑල්ඩින් කරල පාස්සල ගත්තට…දැන් එතන ජීවිතයක් නෑ පුතා. එක අතකට මට දැන් සැනසීමෙන් යන්න පුළුවන්. ඔය දෙන්න ලොකුයි. මට විශ්වාසයි ඔය දෙන්න අම්මව බලාගනී. මල්ලි වුණත් මාත් එක්ක තරහෙන් හිටියට අම්මට ආදරෙයි. මං හැම දේම ලබාගෙන හැම දේම නැති කරගත්ත අසාර්ථක මිනිහෙක්”

තඹරු තාත්තා ගේ දෙපා ආවරණය වන සේ පොරෝනාව එළුවා ය. වැරදි කළ මිනිසුන්ට වෙන මොනවායින් නැත ද සිය හෘද සාක්ෂියෙන් ගැලවීමක් නැති ය. දිවාකර ද උදේ දිවා රැයේ ගිනි ගොඩක දැවෙයි. අවසානයේ සිය පව් කඳට කර ගසන්නට ඉතිරි වූ දරුවන් ද බිරිඳ ද දකිත්දී ඔහු ට වාවා ගත නො හැකි වෙයි. දිවියෙහි අරුත නිවැරදි තැනින් අල්ලා නොගෙන මංමුලා වීම කෙනෙකුට ජීවිතය තුළ විය හැකි බරපතල ම ඛේදවාචකය යයි ඔහු ට හැඟෙන්නේ දැන් ය.

තඹරු ජනේල පියන්පත් වසා විදුලි පහන් නිවා කාමරයෙන් නික්මුණා ය. ඇයත් රන්මුතුත් එක කාමරයක නිදති. මීට ටික කලකට මත්තෙන් සඳැස් ද සමගින් ඔවුන් තිදෙනා ම නිදා ගත්තේ එක කාමරයක යුගල යහන් දෙකක් එකට ලං කොට තබා ගෙන ය. ඒ ඊටත් පෙර ඔවුන් හතර දෙනා ම එකට සැතපුණු කාමරයයි. මුලින් ම ඒ කාමරයෙන් පිටත් වූයේ තාත්තා බව තඹරු ට මතක ය. ඒ කාලේ අම්මා හා තාත්තා අතර පැවති බහින්බස් වීම් ගැන ඇයට අවබෝධයක් වූයේ නැත. දැන් නම් මතකයක් ද නැත. නමුත් තාත්තා නැති යහනේ, ඇයත් මල්ලීත් දෙපසින් තබා දෑතින් තුරුලු කොට ගෙන අම්මා කඳුළු සැළු බව නම් කිසි දා අමතක නොවෙනා ලෙස ඇගේ මතක ඉතිහාසයෙහි තැන්පත් වී තිබේ. අම්මා මල්ලී ව ඔවුන් දෙදෙනා ගෙන් ඉවත් කොට, තනිව නිදන්නට වෙනම කාමරයකට දැමූයේ “කොල්ලො ලොකු වෙන්න ඕනෙ පිරිමි පෞරුෂයක් එක්ක” කියා කියමිනි. මල්ලී නැතිව නිදන්නට වීම මුල දී තඹරු ට සාංකා හැඟීමක් ඇති කළේ ය. රන්මුතු ට තඹරු වෙනුවෙන් වෙන ම කාමරයක් දිය නො හැකි විය. ඒ මතු මහලෙහි වන්නේ කාමර තුනක් පමණක් වන නිසාවෙනි.

තඹරු යහනට එන විට රන්මුතු නින්දට ප්‍රවේශ වෙමින් සිටියා ය. බිත්තිය අයිනෙහි වැතිර, ඇය ඊට පිටදී සිටිනා බටර් පාට ටෙඩියා දෙස හොරැහින් බැලුවා ය. ඌ තුරුලු කොටගන්නට උපන් සිතිවිල්ල ගැන බියෙන් ඇය තදින් ඇස් පියවා ගත්තා ය.

තරු ඇස් ඇත්තා උදේ මත්තෙගොඩ බස් නැවතුමේ සිටියේ ය. එහි කෙටි තාප්පයකට පිට දී ගෙන සිටි කඩවසම් ඉලන්දාරියා තඹරු දුටුවන ඉදිරියට ආවේ ය. ඔහු ගේ ජයග්‍රාහී සිනහව ලොකු හපන් කමක් කළා වන් එකකි. තඹරු මුණිවතින් බස් එකට නැගෙනා පෝලිමට වූවා ය. ඔහු ඇය පිටුපස ට විය. මොනවා කීවත් වැඩක් නැති එකේ මේ දඩබ්බරයා ට කිසිත් නො කියා ඉන්න එක හොඳ යයි තඹරු ක්ෂණික තීරණයකට ඇවිත් සිටියා ය. නමුත් පෝලිම හෙමිහිට ඉදිරියට යන විට “මොනාද මේව කරල බලාපොරොත්තු වෙන්නෙ” කියා නො අසා සිටින්නට ඇය අපොහොසත් වූවා ය. සිනහවක් මිස ඒ වෙලාවේ ඔහු පිළිතුරක් දුන්නේ නැත. බස් රියෙහි යුගල අසුනක හිඳ ගත්තා ට පස්සේ ඔහු මුලින් ම සිහිපත් කළේ ඇගේ අම්මාවයි.

“ඔයාගෙ අම්ම ශෝක්… මං හරි ආසයි එයාට”

ඒ නම් කොල්ලන් කෙල්ලන් ඉදිරියෙහි පෙන්වන මායාවක් යයි හිතන්නට තඹරු කැමති වූවා ය. පිරිමි චාටු කතා වලට අහු නොවෙනා එක ඇගේ හැටියකි. ඇතැම් විට ඇත්තට ම පිරිමියෙකු ලබා දෙන ප්‍රශංසාවක් වුව හදවතින් ම විඳ ගන්නට ඒ නිසා ඇයට නො හැකි වී තිබේ. අප නො සිතුවාට ළමා වියෙහි බිඳීම් මිනිස් ආත්ම මත ඒ තරම් දරුණු තුවාල සිදු කරන්නේ ය. ළමයින්ට තේරෙන්නේ නැත යන අදහසින් වැඩිහිටියන් ගන්නා යම් යම් ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල නිකුත් වන්නේ, බොහෝ විට ඒ ළමයින් වැඩිහිටියන් වන විටයි.

“අපේ අම්මගෙ වෙනසක් නෑ. කොයි අම්මත් ඔය වගේ තමයි”

“එහෙමද..”

සමනල් ගේ ස්වරයෙහි පසුබෑමක් විය. කවුළුවෙන් ඉවත බලා සිටි යුවතිය, ඒ ස්වරයෙහි වූ ශෝක මිශ්‍ර බිඳුණු බව නිසා ම හැරී ඔහු ගේ මූණ දෙස බැලුවා ය.

“ඇයි ඔයාගෙ අම්ම ඒ වගේ නෙවේද…”

“දන්නෑ”

දෙතොල් මත්තෙහි සිනහවක් වූවා ට ඒ කෙටි වචනය කඳුළු වලින් පෙඟී තිබුණේ ය. තඹරු සිය දෑස් කුඩා කළා ය.

“ඒ කිව්වෙ…”

“මගෙ අම්ම ගැන මට තියන මතකය ගොඩක් ඈත එකක්”

“සොරි…අම්ම නැති වෙලාද…”

“මට නැති වෙලා. එයා ලෝකෙ කොහේ හරි රටක කාත් එක්ක හරි ඇති…මං ඒ ගැන දන්නෑ. ඒත් හැමදාම අම්ම කෙනෙක් ගැන මතකය…අම්ම කෙනෙක් නැති අඩුව කොච්චර හිතට දැනි දැනී තිබුණද කියන එක හුම්මානෙ වගේ එළියට ආව ඔයාගෙ අම්ම නිසා. එයා පුතා කියල ආදරේ හිතෙන විදිහට කතා කරපු හැටි…මං ෆෘට් සැලඩ් එක කනකල් මං ළඟට වෙලා හිටපු හැටි…ඒව හරි සාමාන්‍ය දේවල් වුණාට හරි බරට මට දැනුණ. අම්ම කියන්නෙ සසරක් කියල එෆ් බී එකේ ශෙයා වෙනව දකිද්දි ඒ කියන්නෙ මොකද්ද කියල හරියට තේරුණේ නැති වුණාට…ඔයාගෙ අම්ම එක්ක කතා කරනකොට ඒක දැනුණ. ඒත් සසරෙන් එතෙර වෙන්න තියා ජීවිතෙන් එතෙර වෙන්නවත් දරුවො බාධාවක් කරගන්නැති අම්මලත් මේ ලෝකෙ ඉන්නව තඹරු. අනිත් අම්මල දකිනකොට ඒ ළමයි අසරණ වෙනව”

“අම්ම කතා කරන්නැද්ද…”

“ම්හු. එයා මාව අරං ගියානං…කොහේ කොතනක හරි දුක් විඳ විඳ අමාරුවෙන් ජීවත් වෙන්න හරි එයා මාවත් අරං ගියානං…මං මීට වැඩිය කැමතියි”

උදේ පාන්දර ම ඒ තරම් සංවේදී කතාවක් ඇද ගත්තේ අපරාදේයි තඹරු ට සිතිණ. අනිත් අතට ඒ සිතිවිල්ල මැඩගෙන, මේ කොල්ලා ඇයට ප්‍රවේශ වනු වස් ඇය සංවේදී කළ හැකි පාරක් සොයනවා විය නො හැකි ද යන සිතිවිල්ල නැගී සිටියේ ය.

“ආදරේ සැක කරන එක…අවිශ්වාස කරන එක…හරි වැරදියි පුතා…”

අම්මා ගේ වදන් ඒ සියල්ල යටපත් කරගෙන උදම් රළක් සේ නැගෙන්නට විය. තඹරු වීදුරු කවුළුවෙන් පිටතට මුහුණ හරවා ගත්තා ය. ඇයට වේගයෙන් ඇස් පිය සැලේ. එහෙම වෙන්නේ කඳුළක් පිටතට එන්නට පොරබදන විට බව ඇය දනී. ගැහැනු මිනිසුන්ට ඕනෑ තරම් කතා තියෙන්නට පිළිවන. ඔවුන් සතුටෙන් ජීවත් විය යුතු බවත් ඇත්ත ය. නමුත් දෙමාපියන් නිසා දරුවන් කිසි දා නො බිඳිය යුතු ය. සුළං කපොල්ලක වෙසෙමින් හෝ සිය දරුවන් ළයෙහි හොවා රැක ගැනීමේ වගකීමෙන් දෙමාපියෝ බැඳී සිටිති. ඒ, දරුවන් මෙලොවට ගෙන ඒමෙහි ලා වගකිව යුත්තේ ඔවුන් වන බැවිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles