කාගේ වරද ද ?

නිරංජලාගේ අම්මයි තාත්තායි සිර ගත වෙලා තිබුණේ මිනීමැරුම් නඩුවකට වැරදිකාරයෝ වෙලා. අම්මවයි තාත්තවයි පොලිසියෙන් අරගෙන් ගියපු දවස නිරංජලා ට හොඳට මතකයි. එතකොට නිරංජලා අට වසරට පාස් වුණා විතරයි. 

එකපාරටම අම්මවයි තාත්තවයි අහිමි වුනාම නිරංජලාගේ වගකීම් බාරකෙරුනේ ආච්චිටයි සීයාටයි. ඒ වගේම මාමයි නැන්දයි දෙන්නත් නිරංජලා ගැන හොයලා බලන වගකීම් වලින් මිදුනේ නැහැ.  ඒ තරම් කාලයක් ගමේ තිබුණ පිළිගැනීම් නැති වෙලා ගිහින් , ජීවිතේ අඳුරු කාලෙකට වැටුණ හැටිත් නිරංජලා ට හොඳටම මතකයි.  

එදාට පස්සේ ඉඳන් නිරංජලා ට ඉස්කෝලේ ගමන එපා වෙන්න කාරණා එක පිට එක යෙදුණා. ඉස්සෙල්ලාම වුනේ යාලුවෝ ටික නිරංජලා ගෙන් ඈතට වුණ එක. ඊට පස්සේ ඒ යාලුවන්ගේ අම්මලා තාත්තලා මඟදී නිරංජලා මුණ ගැහුණත් මඟෑරලා යන්න තම තමන්ගේ ළමයින්ට කියලා දුන්නා. ඊටත් පස්සේ අඩු ලුහුඬුකම් වුණේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන්.  

ඊට පස්සේ නිරංජලා ඉස්කෝලේ යන්නම බැහැ කියලා නැවතුණා. ආච්චියි සීයයි ඒ උන්න ගෙවල් ඉඩම් එක්කම විකුණලා දාලා අලුත් පදිංචියකට ගියා.

නිරංජලා ලා අම්පාරට ආවේ එහෙමයි. ඊට පස්සේ නිරංජලා ව ගමේ ඉස්කෝලේට ඇතුල් කලා. නිරංජලා නිදහසේ ඉගෙනගත්තා. නගරේ ඉස්කෝලේ වගේ සුව පහසුකම් නැතුවට නිරංජලා ට හිතේ සැනසීමෙන් ඉගෙනගන්න වැඩ කටයුතු කරගන්න ලැබුණා. 

අනෙක් ළමයි අම්මලා තාත්තලා ගැන ආදරෙන් කතා කරනකොට නිරංජලා ගේ හිතේ අම්මයි තාත්තායි ගැන තිබුණ හැඟීම තරහක් වෙලා ඉස්මතු වුණ එක විතරයි වුණේ. 

ආච්චියි සීයයි අම්මලව බලන්න බන්ධනාගාරෙට ගියා වුනත් නිරංජලා ට ඒ කිසිම දවසක අම්මලද බලන්න යන්න උවමනාවක් තිබුණේ නෑ. 

” එයාලා නිසා මගේ ජීවිතේ විනාශ වුණා… මගේ ඉස්කෝලේ  , මගේ යාලුවෝ, ඔක්කොම  නැති වුණා… අනේ ආච්චි අම්මා … මට ඒගොල්ලන්ව දකින්නවත් ඕනි නෑ… ආයේ මට කතා කරන්නවත් එපා…”

හිතේ තිබුණ තරහව, වෛරය වචන වෙලා ඉස්  ඉස්සෙල්ලම එලි බහිනකොට නිරංජලා දහය වසරේ. ඒ වෙද්දීත් නිරංජලා ගේ අම්මලාගේ දඬුවම් අවසාන වෙන්න තව වසර එකොළහක් විතරම තිබුණා. 

එදා නිරංජලා ගේ ඇස් වල  තිබුණ වේදනාව එක්කම කෝපයත් පැහැදිලිවම දැක්ක නිසා නිරංජලා එක්ක ආයෙම ඒ ගැන කතා නොකර ඉන්න නිරංජලා ගේ ආච්චියි සීයයි තීරණය කලා. 

ඊට පස්සේ නිරංජලාට ඇහෙන්න ඒ ගෙදර අම්මා තාත්තා ගැන කතා වුනේවත් නෑ. ඒකෙන් නිරංජලා ගේ මානසික සැහැල්ලුව වැඩු වුනා. 

අහන විමසන අයට අම්මයි තාත්තයි නැති වෙලා බව කියන්නත්,  ආච්චියි සීයයි එක්ක අම්පාරේ ආවේ අම්මලා නැතුව එහෙ ඉන්න හිත හදාගන්න බැරි නිසා බවත් කියන්න නිරංජලා ඉස්සර වුණා.  

නිරංජලා සාමාන්‍ය පෙළ සමත් වුනේ ඒ පාසැලේ ඉහලම සාමාර්ථ එක්කල. ඉන් එහාට අම්පාර ජාතික පාසැලට ඇතුලු වෙලා විද්‍යා අංශයෙන් උසස් පෙල කරන්න නිරංජලා ට ඉඩ ලැබුණා. 

ආච්චිගෙයි සීයාගෙයි බලාපොරොත්තු ඉහළින්ම ඉශ්ඨ කරන ගමන් නිරංජලා උසස් පෙළ ඉහලිණ්ම සමත් වුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබන ගමන්. 

නේවාසිකාගාරයේ ඉන්න පුලුවන් කම තිබුනත්, නිරංජලා ආච්චියි සීයයි එක්ක එකට ඉන්න පුළුවන් වෙන විදියට ඇනෙක්ස් එකක්ම මිලදී ගන්න තීරණය කලා. අම්පාරේ ගෙවල් අයෙම  විකුණලා  නිරංජලා ලා පේරාදෙණියේ ආවා.

කැම්පස් ජීවිතේ ඇතුලෙත් සුපුරුදු විදියට නිරංජලා කිව්වේ එකම කතාව. දෙමාපියන් අහිමි තරුණියක් වීම ඇයට කිසිම වෙලාවක වේදනාවක් නොවෙන බව ඇගේ හැසිරීම් වලින් අනෙක් අය කියවා ගත්තත් ඇයට ඒ බව වගක්වත් වුනේ නැහැ. ඇය දැනගෙන හිටියා අම්මලා ගේ අතීත කතාව දැනගැනීමේ වේදනාවට වඩා වේදනාත්මක යමක් නැති වග නිරංජලා දැනගෙන උන්නා. 

අවුරුදු කිහිපයක් ගත වුණා. නිරංජලා වෛද්‍යවරියක් විදියට පත්වීම් ගත්තා. ඒ අතරේදී නිරංජලා ගේ අම්මටයි තාත්තටයි නිදහස ලැබුණා. 

නිරංජලා ගෙදර ආවේ යක්ශ ආවේශ වෙලා. 

” සුදු දුව… ඊයේ අම්මටයි, තාත්තටයි නිදහස ලැබිලා.. සීයා කොළඹ ගියේ ඒ වැඩටත් එක්කම … මං අම්මලට් මෙහෙ එන්න කියන්නද දුව …?”

ආච්චිගේ ජංගම දුරකථන ඇමතුම ට පස්සේ නිරංජලා වැඩ කලෙත් නොසන්සුන්කමින්. කොහොම හරි ශිෆ්ට් එකත් හිතවත් වෛද්‍යවරයෙක් එක්ක මාරු කරගෙන නිරංජලා ගෙදර ආවා. 

“ආච්චී …”

“ඇයි මේ වේලාසන සුදු දුව …. ? අද නයිට් කිව්වා නේද ?”

“මං කොහොමද එහෙට වෙලා හිතේ සැහැල්ලුවෙන් වැඩ කරන්නේ ආච්චී ..? මට ඒ දෙන්නගේ මූණවත් බලන්න ඕනි නැහැ…. ඒ මිනීමරු මිනිස්සු නිසා මං විඳපු දුක් කන්දරාව මට අමතක කරන්නද කියන්නේ ? අනේ ප්ලීස් .. මම මෙහෙන් යන්නම්.. ඊට පස්සේ ආච්චියි සීයයි ඒ දෙන්නව මෙහෙ ගෙන්නගන්න….”

නිරංජලා ආවේගෙන් කෑ ගැහුවා. 

“සුදු දුව .. මේ අහන්න..”

“අනේ ආච්චී . මොන දේ වුණත් ඒගොල්ලෝන්ට කතා බහ කරලා විසඳගන්න පුළුවන් දෙයක් වෙන්නැති නේද ? .. ඇයි එහෙම කලේ ආච්චී එයාලා… ඒ මනුස්සයාව මරලා එයාලා… ඒකත් මනුස්සයා ගේ ගෙදරටම ගිහිල්ලා…….”

ආච්චී ලොකු හුස්මකුත් එක්ක පුටුවේ වාඩි වුනාම නිරංජලා සන්සුන් වුනා. 

” සුදු දුව …  මෙච්චර කල් ඔයාට නොකියපු කතාව එහෙනම් මම ඔයාට් දැන් කියන්නම්.. ඔයාගේ අම්මා මගේ දුව … මට මගේ දරුවා මෙච්චර අසාධාරණයක් විඳිනවා බලාගෙන ඉන්න බැහැ ….” 

නිරංජලා ඇස් දෙකත් ලොකු කරගෙන එහෙමම පුටුවට වැටුණා.

“අම්මයි තාත්තයි එදා ඒ මිනිහාහේ ගෙදර ගියේ ඔයා හින්දා සුදු දුව … ඔයා යාලුවෝ එක්ක ට්‍රිප් එකක් ගියා මතකද අට වසරේදි ….?”

නිරංජලා ඔලුව වැනුවා. 

” ඒ ගමන ගිය වාහනේ කොන්දොස්තර තමා ඔය මිනිහා …. ඒ මිනිහ දෝණි නාන වෙලාවක දෝණිගේ වීඩියෝ එකක් අරගෙන.. ඒක පෙන්න පෙන්න තාත්තාගෙන් සල්ලි ඉල්ලුව.. මුලදි ඉල්ලන ඉල්ලන ගනා දුන්නත් පස්සේ අම්මලාට තේරුණා මේක එහෙම පිරිමහන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා .. ඉල්ලන ලොකු ගානක් දීලා ඒ වීඩියෝ එක ඉල්ලගෙන එන්නයි ගියේ.. ඒත් එතනදී වෙච්ච සිද්දිය එක්ක ඒ මිනිහා වැටිලා.. ඒ මිනිහා ගැන බලන්න නැවතෙන්නේ නැතුව,  තාත්තා ෆෝන් එකයි ලැප් එකයි ගෙනල්ලා ගිණි තිව්වා… පස්සේ බැලින්නම් ඒ මිනිහා මැරිලා…..  ඒ මිනිහාගේ හැත්ත බුරුත්තම එකතු වෙලා අම්මවයි තාත්තවයි පැටලුව  ඒකට සුදු දුව … ළඟ පාතක  සීසීටීවී වල අම්මලා ඒ මිනිහා එක්ක බහිබස් වෙවී ගේ ඇතුලට යනවා පෙනුනා.. 

ඒ මනුස්සයා තාත්තා ට කතා කරලා තියෙන බව ඔප්පු වුනා.. ඒත් ඒ  කතා බස් වලට අදාල සිද්දිය තාත්තා කවදාවත් කිව්වේ නැහැ… ඒ හින්දාම ඒ පැත්තේ කතාව ඔප්පු වුණා… තාත්තා ඒ මිනිහාගේ ලැප් එක ෆෝන් එක අරගෙන කාර් එකට නඟින සාක්කි තිබුණා.. ඒ මිනිස්සු තව බොරු කියලා තිබ්බා…”

ඉන් එහා කිසිම දෙයක් නිරංජලා ට ඇහුණේ නැහැ. 

ඇස් නිලංකාර් වීගෙන එනකොට නිරංජලා පුටි වියලට හේත්තු වුණා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles