“නංගි” කියාගෙන කුමිල පියවරක් ඉදිරියට තැබුවේය.. ඒ හඬ ඔස්සේ හැරී බැලූ මෙනුක හනි හනික පියවර තබා විසිත්ත කාමරය හරහා අරුණලී වෙත එන්නට කටයුතු කරේය.
“එන්න එපා” අරුණලීගේ හඬ සිහින්ව නමුත් වඩා ශක්තිමත්ව විසිත්ත කාමරය සිසාරා ගියාය. ඒ මොහොතකට එහි කුණාටුවකට පස් ඇතිවන අන්දමේ මහා නිහඬ බවක් මවාලමිනි. ආරියරත්න යුවලත් පීරිස් යුවලත් උන්නේ කිව යුත්තේ කුමක්ද කල යුත්තේ කුමක්ද කියා සිතාගන්නට අපහසු තැනකය. මේ මෙනුකගේ කීම නිසාවෙන් යොදාගත් හමුවකි. අරුණලී බොහෝ සෙයින් වේදනාවට පත්ව හිඳින බව දන්නවා වුවද පීරිස් යුවලගේ කීම අහක දමන්නට නොහැකි බව ආරියරත්න යුවා සිතුවහ.
“බබා ප්ලීස් මං කියන දේ අහන්න”
“එක වචනයක් කියන්න එපා. එක අඩියක් තියන්න එපා” හැඬෙන්නට ගියද ඒ හැඬුම් මහා අපහසුවකින් මැඩ පවත්වාගනිමින් අරුණලී කියද්දි උන් තැනම නතර වෙනවා හැරෙන්නට කර හැකි වෙන යම් දෙයක් මෙනුකට මතක් වූයේ නැත.
උඩු මහලේ සිට පහලට ඇදෙන ලී තරප්පු පේළියේ මැදක් හරිය තෙක් ඇවිද විත් උන් අරුණලී දෙනෙත් හැර දෙපස සිසාරා බැලුවේ මේ සියල්ල ඇත්තටම සිදුවෙනවද කියා සිතමිනි. කිසිම දිනක ආයෙම දකින්නට බලාපොරොත්තු නොවූ ඔහුව තමන්ගේ නිවසේම මෙසේ දකින්නට ලැබීම සැබෑවක් යැයි විශ්වාස කරන්නට හැකිද?
“තමුසෙ මහ ජරා මිනිහෙක් ඕයි. තමුසෙට මාව මෙහෙම රවට්ටන්න උවමනා නම් ඇයි මාව කසාද බඳිනව කියල පොරොන්දු වෙලා වෙඩින් එක දවසෙම මගෙ නෑයො යාලුවො ඔක්කොම ඉස්සරහ මාව මෙහෙම අමාරුවක දැම්මෙ? තමුසෙ ආදරෙයි කියල කරේ බොරුවක් නෙවෙයි කියන්නද දැන් මේ ආවෙ? මොකද්ද මං තමුසෙට කරපු වරද? අවුරුදු ගාණක්, තමුසෙ ලංකාවෙවත් නැතුව, කැම්පස් එකේ කොල්ලො අනන්ත පස්සෙන් එද්දි තමුසෙ වෙනුවෙන්ම බලාගෙන ඉඳපු එකද?
ඊයා ඕයි ඊයා. මට අප්පිරියයි තමුසෙ එක්ක මම යාලුවෙලා හිටිය කියල මතක් වෙද්දිත්.
ආයෙ මෙහෙ එන්නවත් මට කතාකරන්නවත් එපා.මම තමුසෙ එව්ව එක මැසේජ් එකකටවත් රිප්ලයි කලේ නැත්තෙ මට තමුසෙව ඒ තරම් අප්පිරිය නිසා. ආයෙ එන්න එපා මගෙ දෑහැට පේන්නවත්.
මාව හොයාගෙන එන්නවත් මට කතාකරන්නවත් එපා”
මෙනුක මොන මොනවදෝ පවසමින් තමා පසුපස එන බව දැනුනද අරුණලී ඒ කිසිවකට අවධානය යොමුකලේ නැත.මේ කිසිවකට තව දුරටත් අවධානය දිය යුතු යැයි ඇයට සිතුනේද නැත.
ඒ වදන් පවසා අවසානයේ මෙනුක කියන්නේ කුමක්ද කියාවත් අසන්නට නොනැවතී අරුණලී පඩි දිගේ දුවගොස් කාමරයට වැදී දොර වසා ගත්තේ මහ හඬිනි. ඒ එතෙක් වේලා නිවස පුරා පැතිරී තිබුණ නිහඬතාවය බිඳ දමමින් අලුත් නිහඬතාවයකට ඉඩ සලසමිනි.
“මම එන්න කලින්ම ඉතින් කිව්වා මෙහෙම දෙයක් වෙයි කියල” ආරියරත්න උගුර පෑදුවෙ නිහඬතාවය බිඳ දමමිනි. ඒ වදන් ඔස්සේ එතෙක් වේලා බිමට බර වී තිබුන දෙනෙත් ඔසවා ආරියරත්න දෙස බැලුවද ආරියරත්න උන්නේ මෙනුක දෙස හෝ වෙනත් කිසිවෙකු වෙත දෙනෙත නොරඳවාගෙනය.
“අනේ මන්ද මට තේරෙන්නෙ නෑ මොනවයින් මොනව කරන්නද කියල” පීරිස් මහත්මිය ආරාධනයකින් තොරවම සාලේ සැටිය මතට කඩා වැටුණාය. නෑයන් ඉස්සර ලැජ්ජ වෙන්නට වූවා යැයි අරුණලි කීවද එය ආරියරත්න පවුලට පමණක් නොව තමන්ටද පොදු බව පීරිස් මහත්මියට අමතක නැත. අරුණලීට වූ ලැජ්ජාව විවාහය මගදී බිඳ වැටීම පමණකි. තමන්ට එසේද? දැනටම මිනිසුන් මෙනුක සහ ඔහුගේ විවාහය බිඳ වැටීමට පාදක වූ හේතුව ඈඳාගෙන කතා හදන බව පීරිස් මහත්මිය නොදන්නවා නොවේ.
“ළමයිගෙ ජීවිත ගැන උනත් අපිට ඕන හැටියට තීරණ ගන්න පුලුවන් කමක් නෑනෙ” කියා සුභා පැවසුවේ කුමක් හෝ කිව යුතුයැයි සිතූ නිසාවෙනි.
අරුණලී සහ මෙනුකගේ විවාහය බිඳ වැටුණේ මෙනුකගේ පැත්තේ ප්‍රශ්නයකින් වුවත් එහි ලැජ්ජාව අරුණලීව වසා නොගනී යැයි කිව නොහැක. විවාහයක් මෙසේ මග බිඳ වැටීම ගැහැණු ළමයෙකුගේ ජීවිතය අනාගතය මහත් විනාසයකට ඇද දමන්නට හේතු වනවා යැයි සිතූ පරිසරයක ඉපදුණ ජීවත්වුණ සුභාට අරුණලී ගැන බය සිතුනද ලැජ්ජාවෙන් මිදෙනු පිණිස යැයි කියා අරුණලීව එවන් මිනිසෙකු හා යැවිය හැකිද?
“මං නම් හිතන්නෙ අපි තව දුරටත් ඉතින් මේ ගැන කතා කරල තේරුමක් නෑ කියල. එන්න කලින්ම මම ඔය ගැන කිව්වට ඉතින් පිලිගත්තෙ නෑනෙ. දැන් ඉතින් ඇහැටම දැක්කනෙ වෙච්ච දේ”
කියා ආරියරත්න එතනින් නික්ම ගියේ කතාව නිමකර “දැන් ඉතින් ආපු අතක් බලාගෙන ගියානම් හොඳයි” කියා නොකියා කියමිනි.
“මැරෙන්න තිබුණ නම් හොඳයි නේද? මට එපා වෙලා තියෙන්නෙ දැන් මේ ජීවිතේ” අරුණලී උන්නේ අවසිහියෙන් මෙන් තමන් සමගම කතා බස් කරමිනි.
පැය ගණනක් තිස්සේ කඳුලු හෙලා අවසානයේ ඇඟ පත සෝදා ගන්නට ගිය අරුණලී කාමරයට එන විට සුබා ඇය වෙනුවෙන් උණුසුම් කෝපි කෝප්පයක් සකසා තිබුනි. ඒ උණුසුම ලඟ හැඬීමෙන් බැරැන්ඩි වූ හඬකින් අරුණලී හිත සමග නැවත නැවත කතා කරාය.
“එයා එහෙම් මනුස්සයෙක් වෙච්ච එක මට ප්‍රශ්නයක් නෑ.. ඒ උනාට ඒ හැමදේම මගෙන් හංගල, මාව මැරිකරන්න හිතපු එක. මං කොහොමද විශ්වාස කරන්නෙ එහෙම එයාට මාව රවට්ටන්න පුලුවන් කියල? අනේ මට පිස්සු හැදෙන්නද යන්නෙ?. මං මොකද්ද කරන්න ඕන?
මං කොහොමද මෙනුක නැතුව ඉන්නෙ? . ඒ උනාට මම කොහොමද ආයෙ එයාඑක්ක ඉන්න තියා එහෙම හිතන්නෙවත්? බලද්දි මං විතරනෙ රැවටිල තියෙන්නෙ. හැමෝම එක්කහු වෙලා මාව රවට්ටල.
අනේ ඇයි මට මෙහෙම උනේ? මං කොච්චර බෝයිස්ල යුනි එකේදි මගෙ පස්සෙන් ආවත් මම කවදාවත් බැල්මකින්වත් එයාලට අනුබලයක් දීලා නෑ. මං හැම තිස්සෙම හිතුවෙ මෙනුක තමන්ගෙ ගෙදරිනුත් ඈත්වෙලා මේ රටක දුක් විඳින්නෙ අපි දෙන්නගෙම අනාගතේ හන්දනෙ කියල.
අනේ කොහොමද මෙනුක ඔයා මාව මෙහෙම රැවැට්ටුවෙ. මෙච්චරම ලොකු බොරුවක් කරේ?”
“අක්කේ” කියා සඳලිනී කතා කරේ අරුණලීගේ කාමරයේ දොරකඩ අසල දෙනෙත් විසල් කරගෙන බලා හිඳිමිනි. ඇඟ පත හෝදා ගනිද්දී තෙමුණ කෙස් කලඹ පිට දිගේ විසුරුවාගෙන ඇඳ මත ඉඳගෙන අත පය සොලවමින් අක්කා තමන් සමගම කතා කරමින් හිඳින යුරු දුටු සඳලිනී යමක් තේරුම් ගත්තාය.
අක්කා ඉන්නේ යහපත් මානසිකත්වයකින් නොවේ. මේ ප්‍රශ්නයට උත්තරය මෙනුක අයියාව සහමුලින්ම මතකයෙන් අතුගා දැමීම බව දන්නා නමුත් එය පහසුවෙන් කල හැකි දෙයක් නොවන බව සඳලිනී දනී. එහෙත් ඒ හැරෙන්නට කල යුත්තේ කුමක්ද කියා සිතාගන්නට නොහැක.
අරුණලී හිස හරවා දොරකඩ දෙස බැලුවේ සඳලිනී දෙවතාවක් පමණ කතාකල පසුවය. ඒ හිස් බැල්මකිනි. එහෙත් ඒ හිස් බැල්ම අඩියේම “අනේ ඇයි නංගි මට මෙහෙම උනේ?” කියා ඉකි ගසා හඬන අසරණ කෙල්ලකගේ ආත්මයක් සිර වී හිඳින බව සඳලිනී දුටුවාය.
“අඬන්න එපා අක්කේ” කියා සඳලිනී අරුණලී ව බදාගත්තේ ඕනෑතරම් හඬන්නට අවකාශ සලසමිනි. අක්කා කෙතරම් පිලිවෙලකින් ජීවිතය ගෙන ගියාද කියා තමා තරම් දන්න වෙන කිසිවෙකුත් හිඳින්නට නොහැක. මේ තරුණ ජීවිතය පුරාවටම අක්කා ආදරය කරා පමණක නොව සිතුවානම් සිතුවේ පවා මෙනුක අයියා ගැන පමණක්ම බව සඳලිනීට නොරහසකි. එවන් වූ පිරිසිඳු හිතකින් ප්‍රේම කල අක්කාට මුහුණ පාන්නට වූයේ කෙතරම් වේදනාබර ඉරණමකටද?
විදේශ රටකම ඉපිද එවන් රටකම අධ්‍යාපනය ලබමින් උස් මහත් වූ යුවතියකට පිරිමි ලමුන් අතර වූ මෙවන් සබඳතා මෙන්ම ආදරය ඇතිවිය හැකි විව්ධාකාර ඉසව් ගැන කුතුහලයක් තිබෙන්නට නොහැකි බව ඇත්තකි.. ඔවුන් ඉපදෙන්නේම එවන් සබඳතා බහුලවම දකින්නට ලැබෙන, ඒවාට තහනමක් නොමැති ලොවකය. එහෙත් අක්කා ඇතුලු සමස්ත ලාංකික යුවතියන් උදෙසා එය එසේ නොවේ.
අනෙක් අතට ආසියාතික රටක බොහෝ සාරධර්ම, චාරිත්‍ර වාරිත්‍ර වලට යටත්ව ජීවත් වන ගමක ඉපදුන තමන් සහ අක්කාට පමනක් නොව විදෙස් රටක උපන්නෙකුට වුවද මෙවන් රැවටීමක් දරාගත නොහැකි බව සඳලිනී සිතෙන් පිලිගත්තාය.
“අනේ මට හරිම ලැජ්ජයි නංගි. මිනිස්සු මං ගැන මොනව හිතනව ඇතිද? මට හරිම අප්පිරියයි නංගි මාවම. මට ඊය කියල හිතෙනව මාවම. මට මගේ ඇඟ කපාගන්න හිතෙනව නංගි. මම මම මොනවද කරන්නෙ?”
“දැන් නිදාගන්න අක්කෙ.. අපි හැමදේම හෙට කතා කරමු. අපි මේව ඔක්කොම හෙට කතා කරමුකො. ඔයා දැන් නිදාගන්න”.
එහෙත් නින්දක් අරුණලී අහලටවත් ආවේ නැතැයි කියන්නට හැක. තමන් වසරක් ගණනාවක් පුරාවට නිදාගත් කාමරයේ ජනේලයෙන් පිටත පෙනෙන අන්ධකාර අහස තරම්ම තම සිතත් ජීවිතයත් අන්ධකාරවී ඇති මොහොතක නින්දක් කෙසේ ලබන්නද?
තමාට අදක් නොමැත. හෙටක් ද නොමැති වී ඇත. මේ තමාගේ කියා කිසිවෙකුත් නැති ලොවක තමා තනි වී ඇති බවක් දැනෙද්දී දුවගෙන ගොසින් අම්මාගේ තුරුලට වී හඬා වැටෙන්නට තිබුනා නම් හිත සනසා ගන්නට තිබුනා නොවේද? එහෙත් එය අම්මාවත් තව තවත් දුකක හෙලන්නට හේතුවක් වනවා නොවේද? තම ඉවසා හිඳිය යුත්තේ ඒ නිසාවෙන් නොවේද?
නිදහස්, නිස්කලංක හෙටක් යනු ඒ හිනයක් නොවේද? ඒ සිතූ පරිද්දෙන්ම තමාට එසේ කල නොහැක. අරුණලී එතරම්ම වේදනාබර අන්ධකාර කල්පනාවක ගිලී ඉද්දී මෙනුක උන්නේ අවසිහියෙන් මෙනි.
ඔස්ට්‍රේලියාවට ආවද කිසිම මොහොතක අරුණලීව රවටන්නටවත් ඇයව අත හැර දමන්නටවත් අදහසක් හිතේ කිසිසේත්ම නොවූ බව මෙනුකට ස්තිරය. එහෙත් ජීවිතය තමාව ගෙන ගියේ හදවත කියූ මාර්ගයේ මිස බුද්ධියෙන් හෝ සිහියෙන් සිතා බලා නොවේ. එකම හිතක් අරුණලී වෙත පිරිනැමූ අපරිමිත ආදරයකින් මත් වී ඉඳිද්දී ඒ හිතේම අනෙක් පාදාසයම රමිත්ගෙන් ලද නුහුරු ඇසුරට ලං වූයේ ඇයිද කියන ප්රශ්නය මෙනුක මේ දෛවෝපගත රැයේ නැවත නැවත සිතුවේය.
මේ හැම තැනකදීම සම්පූර්ණ වැරැද්ද භාරගත යුත්තේ තමා බව මෙනුක නොදන්නවා නොවේ තමාට මහමෙරක් තරම් ආදරය කල අරුණලීව මෙතුවක් කාලයක් රවටන්නට වීම ජීවිතයේ කිසිම දවසක කිසිවෙකුත් තමාට සමාව නොදෙන අන්දමේ වරදක් බව මෙනුක දනී.
“දැන් උඹ මොකද්ද කරන්න හිතාගෙන ඉන්නෙ?”
“මටවත් තේරෙන්නෙ නෑ බං මම මොකද්ද කරන්න ඕන කියල”
“තේරෙන්නෙ නෑ කියලහිතල ඉතින් උඹදැන් මෙහෙම ඉඳල හරියන්නෙ නෑනෙ බං. මම අනිද්දා ආපහු යනව.මම කියන්නෙ උඹත් වරෙන් යන්න.මෙහෙ ඉඳිය කියල කොහොමත් කිසිම දේක වෙනසක් වෙන්නෙ නැති එකේ හිත නිදහස් කරගෙන මේ දිහා අලුත් විදියකට බලන්න හරි උඹ ආයෙ මාත් එක්ක යන්න වරෙන්. අනික මම නං කියන්නෙ උඹ ගිහින් අරූගෙන් අහපන් ප්‍රශ්න විසඳගන්න මනුස්සයො විදියට ඕන තරන් විදි තියෙද්දි මෙහෙම බල්ලෙක් වගේ හැසිරුනේ ඇයිද කියල”
“රමිත්ගෙ වරදක් නෑ බං. මමයි වැරදි. සීයට සීයක්ම වරද මගේ අතෙ තියාගෙන මම කොහොමද උගෙන් එහෙම අහන්නෙ”
“එහෙනං මචං අර කෙල්ලටයි ඒකිගෙ පව්ලෙ උන්ටයි හිත හදාගන්න ඉඩ දීලා උඹ පැත්තකට වෙයන්.කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන ගමන් යන්න බැරි බව දැනටම වෙච්ච එව්වයින් උඹට තේරෙන්න ඇතිනෙ. ආයෙ ඒකම කරල වෙනස් උත්තරයක් ලැබෙයි කියල හිතන්න එප”
කුමිල එතනින් වදන අවසන් කලද ඒ වදන් අවසානයේ රැඳී තිබුන බරපතලබාවය මෙනුක නොහැඳිනුවා නොවේ. එහෙත් එය කරන්නට තියා සිතන්නටවත් හැකි දෙයක් ද?
අරුණලීව රැවටූ බව ඇත්තක් වුවත් කිසිම දිනක ඇයව අත හරින්නට, අනාදරයකින් සලකන්නට අදහසක් නොතිබුන බව දන්නේ තමා පමණකි. එහෙත් එක ඔප්පු කර පෙන්වන්නට හැකි දෙයක් නොවේ. කටින් කියූ පමණින් කිසිවෙකු විශ්වාස කරන දෙයක්ද නොවේ.
එහෙත්…එහෙත් අරුණලී නොමැති ජීවිතාක්, ලෝකයක් ගැන සිතන්නටවත් පුලුවන් ද?