හැම දා ම හැම දේ ම එක ම විදිහට පවත්නේ නැත. සියල්ල වෙනස්කම් වලට ලක් වේ. වෙනස් වන ලෝකයෙහි වෙනස් නොවන එක ම දෙය වෙනස් වීමය යනුවෙන් කියමනක් ද තිබේ. නමුත් මේ දේවල් මෙහෙම වෙනස් වේවියි ඩිලන් රණසිංහ කිසි දා නො සිතන්නට ඇත. උදා වෙමින් තිබෙන්නේ කුණාටුවක පෙරනිමිති වී ද එය ආපසු හරවන්නට තරම් උපක්‍රමශීලී වීම මිස අන් යමක් නැතැයි දැන් ඔහු ට සිතෙයි. සිය පුත්‍ර සමනල් ඉදිරියෙහි ඩිලන් අසුන් ගත්තේ යමක් සිදු වෙන්නට යනවා නම් එය වහා ම නතර කිරීමේ දැඩි අධිෂ්ඨානය ඇතිව ය.
“මොනාද මනුස්සයො මේ කරන තේරුමක් නැති වැඩ…කොහෙද දැං ඔය ඉන්නෙ…විකාර නැතුව ගෙදර එනව”
ඩිලන් ගේ වචන අතරේ භීතිය, ත්‍රාසය, කුතුහලය, දෙගිඩියාව, සැකසංකාව, අවිනිශ්චිත බව වන් හැඟුම් රාශියක් විවිධ අනුපාත වලින් සම්මිශ්‍රණය වී තිබිණ. ඒ සියල්ල අභිබවමින් ඔහු ට අවැසි වූයේ සමනල් කෙරේ වන දාරක ස්නේහය ඉස්මතු කොට පෙන්වන්නට ය. කෙළින් ම පියා ගේ දෑස් දෙස බලා ගෙන උන් සමනල් මේසයෙහි ඉදිරියට නැඹුරු වී සිය ප්‍රශ්නය නැවත ද වරක් යොමු කළේ ය.
“කෝ අම්ම…එයාට මොකද්ද කළේ…මට දැනගන්න ඕන එච්චරයි. අම්මව මරල දැම්මද…”
“පිස්සුද අයිසෙ…මොනාද මේ කියවන්නෙ..”
පුටුව මත එතැන ම සිටියාට ඩිලන් හදවතින් සැතපුම් ගණනක් ඈතට විසි ව ගියා සේ ය. තමන්ගේ ම දරුවා මේ විදිහට ඔහු ව සැක කොට ප්‍රශ්න කරනා දවසක් ගැන සිතන්නට කිසි දා ඔහු උත්සාහ කොට නැත.
“තමුන්ගෙ ඔළුවට ඔය වගේ මනස්ගාතයක් දැම්මෙ කවුද කියනව. හිටපු ගමං මොකද්ද මේ විකාරෙ…ඒ ගෑනිට වෙන මිනිහෙක් ඕන වෙලා ළමයවත් අත්ඇරල යන්න ගියා. එදා ඉඳං මමයි තමුන්ව හදාගත්තෙ. අඩුපාඩුවක් නොකර හැම දේම දීල බලාගත්තෙ. එහෙම මගෙං ඔය වගේ ගොං කතා අහන්නෙපා”
එය තරමක් තදින් අවධාරණය කරන්නට තැත් කිරීමකි. ඩිලන් මඳක් සැහැල්ලු වනු වස් අසුනේ හරිබරි ගැහුණේ ය. කෙසේ වෙතත් පියා විසින් තහවුරු කරන්නට උත්සාහ කළා වූ කිසිත් සමනල් ගේ මනසේ ගෑවුණේ හෝ නැති බව ඔහු ගේ ඇස් සාක්ෂි දරයි. ඒ තුරුණු ඇස් හිස් වූවා නොවේ. ඒවායෙහි වූයේ ද්වේශයකට ආසන්න බවකි.
“බලනව තමුසෙගෙ හැටි”
එවර ඩිලන් මාතෘකාව වෙනස් කරමින් සමනල් විනිවිද බැලුවේ ය.
“තමුසෙ මෙතන කවුද…සීඊඕ…බලනව ඒ වුණාට තමුසෙ ඔෆිස් ඇවිත් ඉන්න හැටි…ඩෙනිම් කලිසමක් ඇඳං…අයන් කරපු නැති ශර්ට් එකක් ඔහේ උඩිං දාං…බොත්තං ඇරගෙන…හරියට ප්‍රෙස් එකේ වැඩකරන කොල්ලෙක් වගේ. අතීතෙ කූරු ගෑව කියල ලැබෙන දෙයක් නෑ සමනල්. අපි මුස්පේන්තු වෙලා යන එක විතරයි වෙන්නෙ. ඒක නිසා ඔය මනස්ගාත නතර කරල ගෙදර එනව. මං හොයාගන්නංකො තමුසෙගෙ ඔළුවට ඔය විසබීජ දාන්නෙ කවුද කියල”
ඩිලන් අසුනෙන් නැගිටගන්නට ගියේ ය. සමනල් ගේ දෑස් ජීවිතය අයැදිමින් පියා ගේ මුහුණ මත නතර විය.
“තාත්තෙ…”
ඒ වචනය ඇතුළෙ ඉකිබිඳුම් සරක් තැවරී තිබිණ. ඩිලන් පුටුව මතට වැටිණ.
“මට කියන්නකො තාත්තෙ අම්ම කෝ කියල. ඔයා එයාට මොනා කළා වුණත් කමක් නෑ. මං ඒව ගැන ආයෙ කාත් එක්කවත් කතා කරන්නෙ නෑ. ඔයාට දඬුවම් කරන්න හිතන්නෙවත් නෑ. මට ඕනෙ අම්ම විතරයි. එයා මේ රටේ හරි වෙන රටක හරි ඉන්නවනං මට කියන්න. මටවත් අම්මටවත් ඔයාගෙ බිස්නස්වත් සල්ලිවත් මුකුත්ම එපා. ඔයා ඒ හැම දේම තියාගෙන මට අම්ම විතරක් දෙන්න. ඕගොල්ලො අම්මගෙ ජීවිතේ දැනටමත් නැති කරල ඉවරනං මට ඒකත් කියන්න. ඊට පස්සෙ මං හිත හදාගන්නං”
සමනල් ගේ ඇස් අග්ගිස්සේ ගැබ්බර කඳු බින්දු දෙකක් එල්ලිණ. ඩිලන් ගේ පපුව පිච්චී ගියේ ය. නමුත් ඔහු ඒ බවක් සමනල් ට තබා තමන්ට ම වුව දැනෙන්නට හැරියේ නැත.
“පිස්සුද පුතා. ඔයා හිතන විදිහෙ දෙයක් වෙලා නෑ. කොච්චර ඇහුවත් මට ඊට වැඩිය දෙයක් කියන්න ඇත්තෙත් නෑ. අතන මෙතන දුක් විඳින්නැතුව ගෙදර එන්න”
“තාත්තෙ”
නැවත ද නැගිටින්නට ගිය ඩිලන් ගේ අතක් සමනල් වහා අල්වා ගත්තේ ය.
“අම්ම මගෙ ළඟ නැති වුණ දා ඉඳලම මං දුක් තමයි වින්දෙ. හිනා වෙලා හිටියට මං සතුටෙන් හිටියෙ නෑ. ඔයා දන්නවද…ඔයා දන්නවද මං රෑට නිදියන්න ගිහිං කොච්චරනං අඬල තියනවද කියල. ඇයි ඔයාට බැරි මට මගෙ අම්මව විතරක් දෙන්න. මට එයාව බලාගන්න පුළුවන් තාත්තෙ”
යමක් කියන්නට ඩිලන් ට ඕන විය. නමුත් ඔහු ගේ උගුර මුළුමනින් හිර වී අවහිර වී තිබුණේ ය. සිය සුරතේ එල්ලීගෙන හිඳිනා සමනල් ගේ දෑත් වල ග්‍රහණය ලිහිල් වෙත්දී ඩිලන් අඩියක් පෙරට තියා ගත්තේ ය. ඔහු කුටියෙන් නික්මුණේ පහසුවෙන් නොවේ. බර වූ හදවතකිනි. මේසය මත ඇතිරූ වීදුරු තලාව මත්තට සමනල් ගේ ඇස් දෙකෙන් ගිලිහුණ කඳුළු බින්දු දෙකක් පතිත වූයේ ය.
තඹරු ගේ කුටිය ඉදිරියේ දී එදෙස බලන්නට ඩිලන් ට අමතක විය. නමුත් තඹරු නම් ඉතා හොඳින් බලා සිටියා ය. ඔහු ඉදිරියට ගොස් කමිස කොලරයෙන් අල්වා කම්මුලට ගසන්නට ඇත්නම් ඇගේ කේන්තිය මඳක් තුනී කොට ගත හැකි වනු ඇත. අනුන් ගේ ජීවිත වල අයිතිය ඔහු අතට දුන්නේ කුවුරුන්දැයි ඉනික්බිති අසා ගන්නට තිබුණොත් ඇති ය.
පුවත්පත් බෙදාහැරීමේ කළමනාකාරවරයා තඹරු ගේ මේසය ඉදිරියේ අසුන් ගත්තේ උද්‍යෝගයෙනි. මැදි විය පසු කර යන පුරුෂයන් ළාබාල තරුණියන් ගේ සමාගමය ප්‍රිය කරනා බව තඹරු අත්දැකීමෙන් වටහා ගත්තේ ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් වෙත පැමිණි ඉකිබිති ය. එහි බොහෝ වැඩිහිටි කලමණාකාරවරුන් ගේ තත්වය එසේ ය. හිනා වී සුහද ව කතා කළාට කිසිදු අඩුවක් නොවෙන බවත්, ඉන් සිය සේවය වඩා සක්‍රිය ලෙස කරගත හැකි වන බවත් පසක් කර ගැනීමෙන් පසු තඹරු ඒ ගැන සිතුවේ ම නැත.
ආගිය තොරතුරු කතා කිරීමෙන් පස්සේ ඔවුහු ආයතනයට ඍජුව ම අදාල කාරණා කිහිපයක් ගැන වෘත්තීය මට්ටමෙන් සාකච්ඡා කළහ. වටින් ගොඩින් තඹරු මාතෘකාවට පිවිසියේ ඉනික්බිති ය.
“එම් ඩී සර් සෙකනඩ් මැරේජ් එකක් කරගත්තෙ ඇයි මිස්ටර් සේරසිංහ…ඒ මුල් වයිෆ් එච්චර හොඳ කෙනෙක් නෙවේද…”
“හප්…පේ…කවුද කියන්නෙ උදාරි මැඩම් නරකයි කියල”
සේරසිංහ අසුනේ හරිබරි ගැසුණේ තලු මරන්නට ඕපාදූපයක් බන්දේසියක ම තබා පිළිගන්වනු ලැබීමෙන් ඇති වූ, ගිජු ලිහිනියෙකුට ගොදුරක් ලැබුණා වන් ප්‍රීතියෙනි.
“නෑ නෑ කවුරුත් එහෙම කිව්වෙ නෑ. ඒත් ඉතිං කෙනෙක් සෙකන්ඩ් මැරේජ් එකකට යන්නෙ ෆස්ට් එකේ මොකක්හරි අවුලක් වුණොත්නෙ. මිස්ටර් සමනල් ෆස්ට් මැරේජ් එකේ පුතා කියල දැනගත්ත නිසයි මට එහෙම අහන්න හිතුණෙ”
“ඒක පරණ වෙච්ච දිග කතාවක් තඹරු”
තඹරු ගේ තුරුණු හදෙහි බලාපොරොත්තුවක් තිගැස්මක සරින් තටු සැළුවේ ය. ඇය මේසය මත වූ හතරැස් වීදුරු වතුර බෝතලය මුවට හලාගෙන උගුරු කිහිපයක් බීවා ය.
“මැඩම් අතුරුදහන් වුණා. මොනා වුණාද කියල දෙයියො තමයි දන්නෙ. අපේ සර් නොකරපු දෙයක් නෑ. පොලීසිය පුළුවන් තරං හෙව්ව. සාස්තර ඇහුව අංජනං එළි බැලුව. ලොකු බෝධි පූජා කළා. බාරහාර වුණා. පන්සල් විතරක් නෙවෙයි සර් කෝවිල් පල්ලි නොගිය තැනක් නෑ. මැඩම්ගෙ නමින් රට ගිහින් තිබුණෙනං නෑ. වෙන නමකින් රටින් පැනගන්න ඇති කියල තමයි සැක කළේ. කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා. අන්තිමට ඉතිං අත්ඇරල දැම්ම. වෙන මොනා කරන්නද…”
“ඇත්තටම එහෙමද වුණේ…”
“ඕක තමයි වුණේ. රත්තරං නෝනා. කොහොම මෙහෙම හැංගිලා ගියාද එහෙමනං ඒකට හේතුව මොකද්ද කියල කාටවත් හිතා ගන්නවත් බැරි වුණා”
තඹරු ගේ බලාපොරොත්තු උපන් ගෙයි ම මිය යන්නට හැදුවේ ය. සැබවින් ම සිදු වූයේ එසේ ද? ඇතැම් විට සේරසිංහලා දන්නවා ඇත්තේ එපමණක් විය හැක. ඇතැම් විට ඇත්තට ම සිදු වූයේ එසේ වන්නට ඇත. නමුත් උදාරි සිය පුත් සමනල් ට එතරම් ම ස්නේහයෙන් සිටියා නම් බාහිර බලපෑමකින් තොරව ඔහුව හැර යන්නට හැකි ද? දිවාකර ගේ ව්‍යාපාරය මරා දැමූ ඩිලන්, ලෝකයට සාක්ෂි ඉතිරි නොකර උදාරි ව මරා දැමුවා කියා සිතිය නො හැකි ද?
ඒ සේරසිංහ අවංකව ම දන්නා ප්‍රමාණය බව තඹරු ට සහතික ය. එසේ නම් තව දුරටත් තොරතුරක් සොයා ගත හැක්කේ කාගෙන් ද?
දස වසරකට ඉහත අතීතයේ දී වළ දැමූ සිදුවීමක් යළි මතුපිටට ආවේ කෙසේදැයි ඩිලන් දස අතේ සිතුවේ ය. මිණී වළවල් හාරනා කබරයන් ඕනෑ තරම් සිටිනා බව ඔහු දනී. නමුත් දස වසරකට පස්සේ වළවල් හාරන්නට තරම් දුගඳක් කබරයන්ට දැනෙන්නේ නැත. පරණ වී ගිය වළක් හාරන්නට වෙහෙසී ඔවුන්ට වේලක් පිරිමසා ගන්නට හෝ හැකි වන්නේ ද නැත.
දිවාකර!
ඒ නම ඩිලන් ගේ ආත්මය පත්ලෙන් නැගී සිටියේ හී ගසක් මෙනි. උදාරි ව සොයා ගන්නට එදා උවමනා වූයේ ඔහු ට ය. දිවාකර කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබත්දී ඩිලන් වරක් එහි ගියේ ය. ඊට පස්සේ ද තොරතුරු සොයා බැලුවේ ය. දිවාකර වැඩි කලක් ජීවත් නොවනු ඇති බව තොරතුරු සැපයූ සියල්ලන්ගේ ම අදහස විය. ඒ නිසා ඩිලන් ට සැනසිල්ලේ හිත හදාගත හැකි විය. රන්මුතු සිය කුඩු පට්ටම් වී ගිය සැමියාගේ සිරුර සමගින් ඔට්ටු වන තරම ද ඔහු ට ආරංචි විය. ජීවිතය රැක ගත හැකි වී ද සදහට ඔහු ඇඳකට සීමා වන අබ්බගාත ජීවිතයක් වනු ඇති බව තොරතුරු සැපයූවන්ගේ අදහස විය. කාලයකට පසු ඩිලන් ට දිවාකර අමතක ව ගියේ ය. මතක් කරන්නට හේතුවක් වූයේ ද නැත. නමුත් මේ හදිසියේ, දියෙන් මතු වූ රිටක් සේ ඔහු හදවතේ මතු වී සිටී.
තඹරු පියුම්රා දිවාකර!
තඹරු ගේ පෞද්ගලික ලිපි ගොනුව විමසත්දී ඒ වාසගම ඩිලන් ගේ බොටුවෙන් අල්වා මිරිකා දැමී ය. ඔහු ගේ හුස්ම හිර වූයේ ය. මුළු සිරුර අකර්මන්‍ය ද දැඩි ද විය. තමන් සිහිසුන් වීමට එනවා සේ දැනී ඩිලන් මේසය මතින් හිස තියා ගත්තේ ය.