නිලැසි -20

“ඔයා මේ දැන් ගෙදර යන්න ඕන අක්කා මේ දැන්..”

නිම්නගේ කෝපාවිෂ්ඨ ස්වරය නිලැසිගේ කාමරය පුරා පැතිරී ගියේ ය.ඒ හඬට තිගැස්සුණු දිගැසි සේම රසාදරී මහත්මිය ද නිලැසිගේ කාමරයට දිව ආහ.රශ්ම් හුන්නේ නිම්නව සන්සුන් කරන්නට තැත් දරමිනි.නිලැසි යහන මත හිඳ ගෙන මල්ලී දෙස බලා සිටියේ ගිනි පුලිඟු විසි වන දෑසකිනි.

“මං අක්කා..මමයි මේ ගෙදරට මුලින්ම ගෙනාව ළමයා.මේ ගෙදර මහා මන්දිරයක් වෙන්න කලින් අම්මයි තාත්තයි එක්ක පුලුවන් විදියට ජීවත් වුණේ මං.ඔයාලට කොයින්ද මාව එළවන්න හයියක්.”

වඩා තියුණුව පැතිරුණු ඇගේ හඬ නිම්නව කම්පනයට ලක් නොකළේ ය.ඔහු අක්කාට අවඥා බැල්මක් හෙළී ය.

“ඔව් හරි! මේවා තාත්තා අමාරුවෙන් ගොඩ නගපුවා.ඒත් තමුන්ගෙ හැසිරීම ආපහු තාත්තව හිටපු තැනටම ඇදලා දානව.ඒක සහතිකයි.ඒ නිසා කරුණාකරලා මොළේ පාවිච්චි කරනව.”

නිම්න එසේ කෑගසද්දී නිලැසි හඬමින් අම්මා වැළඳ ගත්තා ය.රසාදරී කිසිදු හේතුවක් නොදැන ද දෑසින් කඳුළු වගුරවමින් බලා සිටියා ය.මේ ඈත තිස් දෙවසරකට පෙර අතට ගත් මිණි කැටය ය.නිල් පැහැ දෑස් විවර කරමින් ඈ දෙස බැලූ දියණිය පැය ගණනක් පුරා විඳි වේදනා ක්ෂණයකින් අමතක කර දැමීමට සමත් වූවා ය. “එයාට තියෙන්නේ නිල්ම නිල් පාට ඇස් දෙකක්..” රාජේන්ද්‍ර අතට දියණිය දුන්නේ එසේ කියමින් බව රසාදරීට අමතක නොවේ.දියණිය නිලැසි නම් වීමේ කතාව එය බව රාජේන්ද්‍ර රූපවාහිනී වැඩසටහන් ගණනාවක ද ඔහුගේ ප්‍රසංගවල ද පවසන අන්දම ඇය ඒ සමඟ සිහි කළා ය.නිලැසි මොනතරම් මුරණ්ඩු වුව ද රසාදරී ඈ දරා ගන්නේ අර මුල්ම බැල්ම සිහි කරමිනි.ප්‍රථම ප්‍රේමය තරමටම ප්‍රථම දරුවා හදවතෙහි වැඩි ඉඩක් රහසින් අයත් කර ගන්නා බව ඇය දනියි.නිම්නගේ හා දිගැසිගේ කුඩා වරදකට පවා කිපෙන විට නිලැසිට ඕනෑම මොහොතක සමාව දෙන්නට රසාදරී නොපැකිළුණා ය.

“අක්කට ගෙදරින් යන්න කියන්න පිස්සුද පුතා?”

රසාදරී නිම්නගෙන් ඇසුවේ කෝපයෙනි.

“මෙයා ඇයි මෙහෙ ආවේ?”

නිම්න එසේ අසද්දී රසාදරී තම නෙත් රශ්මි වෙත යොමු කළා ය.සෑම නැන්දම්මා කෙනෙකු මෙන්ම ඇගේ සැකය රශ්මි වෙත යොමු විය.අත නෑර එකට සිටි සහෝදරයන් වෙන් වෙන්නට නෑනලා හේතු වන බව රසාදරීට සිතුණේ ක්ෂණයකිනි.

“රශී දිහා මොනවද බලන්නේ? අක්කට ඒ ප්‍රශ්නෙට උත්තර තියනවද අහන්නකො අම්මා..”

දිගැසි ඒ මොහොතේ රශ්මි අසල සිට ගත්තා ය.අම්මා මෙතැන වෙනත් ගැටළුවක් ඇද ගතහොත් අක්කා ඒ සෙවණැල්ලට මුවා වී පලා යන බව දිගැසි නොදන්නවා නොවේ

“මට තිසරු එක්ක ඉන්න බෑ..”

නිලැසි තම ගැටළුව සෘජුව ඉදිරිපත් කළා ය.ඒ ඇයිදැයි අසන්නටවත් හදිසි නොවූ රසාදරී දියණිය වැළඳ ගත්තා ය.

“මට හිතුණා අර මොරවක අම්මන්ඩි මුනුබුරෝ ගැන කිය කියා පුතාට රිද්දනව ඇති කියල.ඇයි මගේ පුතේ,ඉන්දියාවට හරි ගිහින් ප්‍රශ්නයක් තියනම් විසඳා ගන්නකො..”

සැබෑවටම තමන්ට එවැනි ගැටළුවක් නොමැති වුව ද එරන්ද ගැන කියන්නට ආ අදහස ගිල ගත් නිලැසි අම්මා ලියන පිටපතට අනුව රඟපාන්නට තීරණය කළා ය.ඇය වචනයක්වත් නොකියාම ඉකි ගසන්නට වූයේ එබැවිනි.දරුවෙකු ප්‍රමාද වන ගැහැනුන් අපහාස විඳින්නේ මන්දිරය හෝ පැල්පත අතර වෙනසකින් නොවන බව සිතමින් රසාදරී හදවතින් හඬන්නට වූවා ය.සුවිසල් ධනස්කන්ධයට හිමිකම් කියන්නට උරුමක්කාරයෙකු ප්‍රමාද වීම නිසා මොරවක මහත්මිය විස්සෝපයෙන් වග ඈ සිතුවේ කැට තබමිනි.

අම්මාටත් නිලැසිටත් හඬන්නට හැර නිම්න පිටතට ආවේ දිගැසි සහ රශ්මි සමඟ ය.අක්කා තිසරුව ප්‍රතික්ෂේප කරන්නේ එවැනි හේතුවකටදැයි අනියත සැකයක රතු එළියක් දැල්වූයෙන් ඔහු කම්පාවට පත් විණ.රශ්මි ගැබ්බර වී මාස හයක් පමණ ගෙවී ඇත.අක්කා මේ සම්බන්ධය අරඹා ද වැඩි කලක් නොමැත. රශ්මිගේ ගැබ් ගැනීම නිසා ඇති වූ ශෝකයක් එයට හේතු වූයේදැයි ඔහු තිගැස්මෙන් සිතී ය.

“ඇත්තටම අක්කා බබාලා ගැන ප්‍රශ්නෙකින්ද ඉන්නේ?”

දිගැසි ඒ ප්‍රශ්නයට නිම්න දෙස බලා හිනැහී ය.

“ඇත්තටම කීවොත් තිසරු අයියා බබාලට හරිම ආසයි.මියුරු අයියගෙ බබාලටත් පණ ඇරලනෙ.ඒත් අක්කා කියනවලු එයා දැන්ම අම්මෙක් වෙන්න ලෑස්ති නෑ කියලා.”

දිගැසි එසේ පැවසුවේ සමච්චලයෙනි.පොදු හේතුවක් පෙන්වා අනුකම්පාව අයදින අක්කා ගැන ඇයට ද තිබුණේ වචන කළ නොහැකි කෝපයකි.නිම්න එයට පිළිවදන් දෙන්නට සූදානම් වෙද්දීම ගේට්ටුව නාද වන හඬ ඇසිණ.මඳ වෙලාවකින් කමලා තරප්පු නැග පැමිණියා ය.

“ලොකු මහත්තයා කාමරේද බේබි?”

ඇය ඇසුවේ පොදුවේ ය.රාජේන්ද්‍ර මහතාගේ කාමරයට නොයන ඈ ඔහුට පණිවිඩ යවන්නේ දරුවෙකු අත ය.

“විසිටර් කෙනෙක්ද?”දිගැසි නැගී සිටියෙ එසේ අසමිනි.කමලා හිස වැනුවා ය.

“එරන්ද කියල මහත්තයෙක් ඇවිල්ලා ඉන්නව.ලොකු මහත්තයා වෙලාව දුන්නෙනම් තුනට කිව්වා..”

ඒ වචන නිම්නව ද හුන් තැනින් නැගිටවන්නට සමත් විණ.

“එරන්ද? කෝ ඒ මනුස්සයා?”

ඔහු ඇසුවේ කමලා බිය ගන්වන ස්වරයකිනි.නමුත් මේ ගැහැනිය මේවාට වග කිය යුතු නැති බව සිහි වූ නිම්න යළි ඔහුගේ ළගන්නා ස්වරයට මාරු වූයේ ය.

“කොණ්ඩේ බෙල්ලට වවාගෙන අත් දිග ෂර්ට් ඇඳලා මාලයක් එහෙම දාගත්තු කොල්ලෙක්ද කමලම්මා?”

එරන්ද අසද්දී කමලා හිස වැනී ය.නිම්න සඟවා ගත් කෝපයෙන් නැගණිය දෙස බැලී ය.

“මං බලල එන්නං..ඉන්නකො ඔහොම..”

නිම්න තරප්පු පෙළ බැස යන ආවේගය බලා හුන් රශ්මි ඒ පසුපස යන්නැයි දිගැසිට ඇසෙන් සන් කළේ බියකිනි.නිම්න කරදර සහ ගැටුම්වල පැටලීම ඈ නොඉවසන්නී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content