රැවටීම..

මලිත් රැකියාව කලේ නිවෙසින් දුර බැහැරව. ඒ පෞද්ගලික සමාගමක  අලෙවි විධායකවරයෙක්  විදියට. මලිත්ගේ බිරිඳ සඳලි. දෙන්නා විවාහ වුනේ පාසැල් කාලයේම ඉඳලා තිබුණ ආදර සම්බන්ධතාවයක ප්‍රතිපලයක් විදියට. විවාහ වෙනකොට මලිත්ට හරි හමන් රැකියාවක් තිබුනේ නැහැ. සඳලි ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කලා. විවාහ වෙලා මාස දෙකකින් විතර තමයි මලිත්ගේ අලුත් රැකියාව ලැබුනේ. ගෙදරින් දුර බැහැර යන්න වෙන නිසා සඳලි නම් ඒ රැකියාවට ඒ තරම් කැමති වුනේ නැහැ. ඒත් මලිත් තීරණය කරා රැකියාව ටික කාලයක් හරි කරලා මුදල් උපයගන්න.

ඊට පස්සේ සඳලිව සදලිගේ අම්මලාගේ ගෙදරත්, මලිත්ගේ අම්මලාගේ ගෙදරත් මාරුවෙන් මාරුවට හිටියා. මලිත් ඉන්න දවස් වලට මලිත්ගේ මහ ගෙදර ආවා. මලිත් නැති දාට සඳලි ඇගේ මහ ගෙදර ගියා.  ඒ අතර වාරයේ සඳලි ඇඟලුම් කර්මාන්තශාලාවේ රැකියාවටත් ගියා.දෙන්නා ඉතා සැහැල්ලුවෙන් ජීවිතේ ටිකෙන් ටික ගොඩ නඟා ගන්න ගමන් හිටියේ.

මලිත්ගේ රැකියාවට මාස දහයක් යනකොට මලිත් ලීසින් ක්‍රමයට ගෙවන්න මෝටර් බයිසිකලයකුත් ගත්තා. සඳලිත් මලිත්ගේ රැකියාවට ආඩපාලි කියන එක නවත්තලා , මලිත්ට දියුණු වෙන්න උදව් කරන්න පටන් ගත්තා. තනිකම දරාගෙන දවස් ගෙවන්න හුරු වුනා. කොයි තරම් කාර්‍යබහුල වුනත්, දෙන්නා රෑට පැයක් හමාරක් කතා කර කර ඉන්න අමතක කලෙත් නෑ. ඒ නිසා සඳලිත් තනිය හුරු වෙමින් ජීවත් වෙන්න පුරුදු වුනා.

මලිත්ට කාංචනා මුණ ගැහෙන්නේ භාණ්ඩ රගෙන එක් වෙළඳසැලකට ගිය අතරවාරයේ. කාංචනා ඒ වෙළඳසැලේ හිමිකාරිනිය. එක් දරු මවක් වුන ඇය සැමියාගෙන් වෙන් වෙලා තනිව ජීවත් වෙන බව මලිත් දෙවෙනි ගමන් වාරයේම දැනගත්තා. තමන් විවාහක බව සඟවලා කාංචනා එක්ක කතා කරන්න තුන් වෙනි ගමන් වාරයේ ඉඳන් මලිත් පටන් ගත්තා. ඒක සැලසුමකින් සිදු වුන දෙයක් නොවුනත්, දෙන්නා ජංගම දුරකතන අංක හුවමාරු කරගත්තා. මලිත් කාංචනාගේ පුතාටත් මොනවාහරි අරගෙන යන්න පුරුදු වුනා.

සතියක් විතර  යනකොට රෑට රෑට මලිත්ට ඇමතුමක් ගන්න කාංචනා ඉස්සර වුනා. දරුවා නිදි කරවලා රෑ නවය පහු වුනාම ගන්න ඇමතුම නිසා සඳලිගෙයි මලිත්ගෙයි ඇමතුම විනාඩි දහය පහලොවකට සිමා වුනා.  මුල් දින කිහිපයේ සඳලි හිතුවේ මලිත්ට ඇත්තටම වෙහෙස නිස ඔහු ඇමතුම විසන්ධි කරනවා කියලා. ඒත් හදිසි සිතුවිල්ලකට ඇය පැය භාගෙකට විතර පස්සේ මලිත්ට ඇමතුමක් ගන්නකොට ඇමතුම රැඳී සිටින ඇමතුමක් (වේයිටින් කෝල්) ලෙසින් වැටුනා.

ඊටත් පැයකට විතර පස්සේ මලිත් සඳලිට ඇමතුමක් ගත්තා. සඳලි ඒ වෙනකොට හිත රිදවගෙන, අඬලා හිටියා.

“සඳලි .. ඔයා අඬලාද?”

“නෑ ..”

” නැති වෙන්නේ කොහොමද? ඔයාගේ කට හඬ වෙනස් නේ..”

“එහෙම දෙයක් නෑ ..”

“මොකද ළමයෝ කියන්නකෝ..”

මලිත් සඳලිගේ වෙනස දන්න නිසාම ඉතාම ඉවසීමෙන් කතා කලා.

“මට කිව්වේ මහන්සියි නිදාගනවා කියලානේ… වේයිටින් කෝල් කියලා වැටුනේ…”

” යාලුවෙක් කතා කලා සඳලි .. අලුත් බිස්නස් එකක් ගැන කියන්න .. ඒක මඟ ඇරගන්න බැරි නිසා බැරි මරගාතේ කෝල් එකේ හිටියා… නැත්නම් ඌ හිතනවනේ මගේ උනන්දුවක් නෑ කියලා.. කොහොම හරි ගේමක් ගහලා සල්ලි හොයාගෙන අපි දෙන්නාට එකට ඉන්න දවසක් හදාගන්නනේ මම මහන්සි වෙන්නේ සඳලි..”

සඳලි සුසුමක් හෙලුවා. කවදාවත් මලිත් තමාව රවටන්නේ නැහැ කියන විශ්වාසයට ඇය ඉඩ දුන්නා.

මලිත් එදයින් පස්සේ කාංචනාට වෙන අංකයක් දුන්නා. සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන අලුත් සිම්පත දාගත්තා.

“ඔයා නිකන් බෝඩින් වලට සල්ලි දිදී ඉන්න ඕනි නෑ මලිත් .. අපේ කඩේ පහල කාමරේ තියෙනවානේ..ඔයා ඇවිල්ලා ඉන්න….”

කාංචනා එහෙම කිව්වම මලිත්ට ඒ ඉල්ලීම ඉවත දාන්න හිතුනේම නැහැ. තවම විසි ගනන් වල උන්න කාංචනාගේ රූපේ ගැන වගේම ඇය එක්ක සම්බන්ධතාවයක් දුර දිග ගෙනියන්නත් මලිත්ට ලෝබකමක් දැනෙමින් තිබුනා.

මලිත් සතියකට පස්සේ කාංචනාගේ ගෙදර  නැවතුනා. කාංචනා මලිත්ටත් එක්කම කෑම හැදුවා. සමහර දවස් වල රෑට කෑම කවන්න පවා ආවා. එහෙම දවස් වල රැය දෙන්නටම නිදි තිබුනේ නැහැ.

කාංචනා මලිත්ගේ ජංගම දුරකතනයට සඳලිගෙන් ආව ඇමතුමකට පිළිතුරු දෙන සිදුවීම වුනේ ඒ අතරේ.

“ඔයා කවුද?”

සඳලි ඇහුවා.

“ඔයා කවුද මගෙන් එහෙම අහන්න..”

කාංචනත් අනෙක් පැත්තට ඇහුවා.

“මගේ හස්බන්ඩ්ගේ ෆෝන් එකට ඔයා ආන්සර් කරන්නේ කොහොමද?..”

සඳලි ආයෙම ඇහුවා.

“ඔයාගේ හස්බන්ඩ් වෙන්නේ කොහොමද? මලිත් මැරි කරපු කෙනෙක් නෙවෙයි…”

කාංචනා කඩාගෙන පැන්නා. මලිත් නාලා එනකොට දෙපැත්තම ගිණි අරගෙන ඉවරයි. මලිත් කාංචනා ඉදිරියේ ඇත්ත පිළිගත්තා. කාංචනා යක්ශාවේශයෙන් කෑ ගහනකොට මලිත්ට කරන්න තිබුනේ බලාගෙන ඉන්න එක විතරයි.

කාංචනා මලිත්ගේ ළඟ තිබුන රත්‍රන් මාලය, මුද්ද, වටිනා ජංගම දුරකතනය වගේම අතේ තිබුන මුදල් සියල්ලම බලෙන්ම ඉල්ලගත්තා.ගිණුමේ තිබුන මුදල් පවා අන්තර්ජාලය හරහා ට්‍රාන්සර් කරවගත්තා. ඒ එලෙස නොකලොත් පොලිසි යන බව කියලා මලිත්ව බය කරල.

“දැන් ණය නෑ කියලා හිතාගෙන යන්න .. ආයේ මේ පැත්ත පළාතේ එන්න එපා බොරු කාරයා..?

මලිත්ගේ අතේ ගෙදර යන්න බයික් එකට තෙල් ගහගන්න විතරයි සල්ලි තිබුනේ. කර කියාගන්න දෙයක් නැති නිසාම මලිත් ගෙදර ගියා.

සඳලි ඒ වෙනකොටත් තීරණයක් අරගෙන තිබුනේ.

“මට ඔයාගෙන් අයින් වෙන්න ඕනි..”

සඳලි බොහොම කෙලින් මලිත්ට කිව්වා.

“ප්ලීස් .. මට එක වතාවකට සමාව දෙන්න සඳලි..”

” ආයේ අපි මේ ගැන කතා කරන්න ඕනි නෑ.. කාංචනා හැමදේම කිව්වා…මම හැමදේම දැක්කා..”

සඳලි හිත දැඩි කරගෙන කිව්වා. සඳලිගේ ගෙදර අය සඳලිගේ තීරණය වෙනුවෙන් පෙනී උනන් නිසා සඳලි උන්නේ කොහොමටත් හයියෙන්.

“මට සමාවෙන්න ..”

” මං ඔයාට සමාව දුන්නා..ඒත් ආයේ මට ඔයා එක්ක ජීවිතයක් උවමනා නෑ..”

සඳලි තීරනය වෙනස් නොකරම හිටියා.

කාලෙකින් දෙන්නා වෙන් වුනා. මලිත්ගේ ජීවිතේ අරමුනක් නැතිව එකම තැන නැවතුනා. සඳලි රැකියාව කරගෙන ජීවිතේ ඉස්සරහට යන පාරක් වෙනුවෙන් බලාපොරොත්තු හෙව්වා.

අපේක්ෂා ගුණරත්න 

More Stories

Don't Miss


Latest Articles