සූර්‍යයා තිබුනේ දිවා කල අහසේ මුදුනටම වීය. ඒ ඉර අව්ව කෙතරම් තදින් මුහුණත් ගතත් නහවමින් තිබුනද සිසිමාධවී උන්නේ ළිඳ ලඟට වී දරුවන්ගේත් කෝසලගේත් රෙදි පෙරෙදි ටික සෝදා දමමිනි. කෝසලත්, දරුවනුත් උදේ රැයින්ම ගෙදරින් පිටව යන හන්දා උදෑසනට මොනවා හෝ සුලු දෙයක් හදා, දහවල් වෙද්දී ගෙවල් දොරවල් අස් කර, ඉස්කෝලෙ අහවර වී එන දරුවන්ට කන්න දවල්ට උයා අවසන් වෙද්දීත් වේලාව එක පහුවෙනවාමය.
ඉතින් හැමදාම රෙද්දක් පෙරෙද්දක් හෝදගන්න ඉඩක් කඩක් ලැබෙන්නෙ මේ මහ දවාලේ ගිනි ආවේ තපිමින් ය.පුරුදු වෙලාම හන්දා ගාණක් නැතුව උන්නට හවස් වෙද්දී හිස කැක්කුමක් අල්ලන්න ඉඩක් තිබෙන බව සිසිමාධවී නොදන්නවා නොවේ.
මේ ඉතින් කවදා කල වැඩ රාජකාරිද කියා සිසිමාධවීට කල්පනා නොවූ අවස්තාවක් නැති තරම් ය. උසස් පෙළ පංති යන කාලයේ රසායන විද්‍යා අතිරේක පංතිය අසල වූ වාහන වැඩපොලේ වාහන පින්තාරු ශිල්පියෙකු ලෙසින් සේවය කරමින් හුන් කෝසලගේ මනස්කාන්ත දෙනයන අසල දෙනෙතත් අනතුරුව සිතත් නතර වූ අයුරුත්, ඒ සම්බන්ධය අහුවීමෙන් අනතුරුව පංතියාම තනනම් වූ අන්දමත්, සඳ අහසට නොආ රැයක කෝසල නිවස අසලට ආ අයුරුත් සිසිමාධවීට මතක් වුනාය.
අම්මාත් තාත්තාත් දුන් සැප දෙන්නට තමාට බැරි බව එදා කෝසල කිව්වද තමා උන්නේ ආදරයෙන් අන්ධ වී බව සිසිමාධවීට තේරෙන්නෙ දැන් ය.
“මට සැපක් නෙවෙයි රත්තරන් ඕන. ඔයා ළඟට වෙලා ඉන්න තියෙනම් මට ඕන දුකක් විඳින්න හැකි යැයි” කීමේ ආනිසංස විඳින්න වෙලා තිබෙන්නෙ දැන් උනත් සිසිමාධවීට කෝසල ගැන අහිතක් හිතන්න බැරි තරම් කෝසල අපූරු මිනිසෙකි. සුරා සූදුවට ලොල් නැති කෝසල හම්බ කරන හැම සතේම ගෙනත් තබන්නේ තමන්ගේ අතේ බව සිසිමාධවී නොදන්නවා නොවේ. කෝසල අවුරුදු ගණනාවක හිඳ අඳින කමිස කලිසම් පවා දැන් ඇත්තේ අතටම හේදී ගොස් දිරාපත් වී නමුත් බෝනස් හම්බුන විගස ඔහු තනන්නේ තමන්ට සහ දරුවන්ට ඇඳුමක් කැඩුමක් ගෙනවිත් දෙන්නය. ඉතින් මොන දුකක් වින්දද කෝසල ගැන අහිතක් හිතන්න හිතට ඉඩ දෙන්න සිසිමාධවීට නොහැක.
තුන් වේල කන්නට තිබුනාට එය කරගන්නටත් කෝසල කොපමන නම් මහන්සි වෙනවාද යන්න අලුත් දෙයක් නොවේ. කිසිම අධ්‍යාපනයක් නැති හන්දාම ගෙදර දොරේ වැඩ බලාගනිමින් සිසිමාධවීගේ ගෙදර ඉද්දී වාහන පින්තාරු ශිල්පියෙකු ලෙස කෝසලට ගෙදර ඉන්නට ලැබෙන්නෙ පෝය දවසටත් නත්තල් නිවාඩු කාලයටත් පමණි. කිසිත් පවුල් පාලනයක් ගැන අදහසක් හෝ දැනුමක් නොවූ නිසාවෙන් එක ළඟ අවුරුදු දෙකක උපන් දරුවන් දෙදෙනා ඉගෙනුම ලබන්නේද එක ලඟ පංති දෙකකය. එක දෙක පංතිවලදී ගෙනියන්නට තිබෙන දෑත්, පංති ගාස්තුද, ස්පෝට් මීට් ගාස්තුද එක්කහු වූ විට කෝසල උපයන මුදල මෙන් දෙතුන් ගුණයක විය හියදම් ඇත.
රස්සාවක් නොකරන එකේ කෝසලට හැකි උදව්වක් දෙන්න හිතාගෙන සිසිමාධවී දන්න දන්න විදියට ගෙදර පර්චස් තුනක පමණ ඉඩක් කෑල්ලේ හැකි එලවලුක් දෙකක් කරගෙන තිබේ. ඒ අඩුම තරමේ එක වේලකට හෝ පිරිමැහෙන්නට බණ්ඩක්කා කරලක් දෙකක්, වම්බටුවක්, තක්කාලි ගෙඩියක් දෙකක්, මිරිස් කරලක් දෙකක් කඩාගන්නා අදහසිනි.
ගෙදර ඉන්නා කාලයේ අම්මා එක්ක ෆුඩ් සිටියටවත් නොගිය තමා දැන් ඉරිදා පොලේ කරක් ගසා සොයාගන්නට හැකි ලාබම එලවලුද, මාලු ලෑල්ලෙන් ගත හැකි ලාබම මාලු වර්ගයද සොයන්නට තරම් දැන මුත්තියක බව සිසිමාධවී සිහිකරන්නේ හදවතින් පතුළින් නැගී අවුත් පිටතට පනින විසල් සුසුම් පොදක්ද සමගිනි.
ඉස්සර නම් ඇඳුමක් ඕනා යැයි සිතූ ඉක්මනින් එය ගන්නට පුලුවන්කම තිබුණත් ඉරිච්ච ඇඳුම් කිහිපවරක් එළලමින්ද අඳින්නට හැකි බවත්, එහෙම අඳින මිනිසුන් ඕන තරම් මේ ලෝකයේ හිඳින බවත් සිසිමාධවී කාලයත් එක්කම ඉගෙන ගත්තාය.
“කරවිල කන්න බෑ අම්මෙ තිත්තයි” කියා කියූ සුවපහසු ජීවිතයක් හැර දමා ඇවිදින් කරවිල කරියයි බතුයි එක්ක පමනක් වේලක් පිරිමහ ගත් අවස්තාද ඇති බව සිසිමාධවී පසු ගිය වසර හත අට පුරාවටම ඉගෙන ගත්තාය. මේ මොහොතේ මේ ළිඳ ළඟ ගිනි අව්වේ තපමින් රෙදි හෝදන්නේ ගෙදරදී වොශින් මැශින් එකට රෙද්දක්වත් දා නැති කෙල්ලක බව අමතක කරන්නට නොහැක.
“මාත් එක්ක මේ දුක් විඳින්නෙ නැතුව ඔයා ආපහු යන්න මධූ, හරියකට නිදාගන්න තැනක් නැතුව ඔයා මෙහෙම දුක් විඳිද්දි මට මම මහ පවක් කරගත්ත කියල හිතෙන්නෙ. මොන දේ උනත් ඔයා ආපහු ආවොත් අම්මල බාර නොගෙන ඉන්න එකක් නෑ” කියා කෝසල විවාහ වූ මුල් කාලයේ කිව්වේ වතාවක් දෙකක් නොවේ. විදුලි පංකාවක් නැති ගෙදරට ඇති එකම කාමරයේ මදුරුවන්ද, රස්නෙයද නිසා නින්දක් නැතුව එහෙ මෙහෙ පෙරලි පෙරලි ඉද්දී කෝසල එය කිව්වේ හඬන්නට තරම් හඬකින් බව සිසිමාධවීට අද මෙන් මතකය. එහෙත් ආදරය වෙනුවෙන් හැර ආ සැප සම්පත් ද, මව් පිය ආදරයද වෙනුවෙන් කෝසලව තනි කර යන්න තමා කිසි විටක උත්සහ කලේ නැති වග සිසිමාධවී දනී.
ඒ වූ කලී ඇත්තක් වුණත් මදුරුවන් කන අතරවාරයේ වුවත් තමා අනෙක් පස මෙලොව කෙල්ලකට ලබා ගත හැකි හොඳම ආකාරයේ ආදරයක් හෙමින් හුස්ම ගන්නා බව අමතක කරන්න සිසිමාධවී කිසිවිටක කටයුතු කරේ නැත.
ජීවිතයේ වඩාත්ම දුකක් වින්දේ චනුක හම්බුවෙන්නට ඉද්දීය. ගෙදර උන්නා නම් අම්මා විසින් පිස දෙන රසවත් උණුහුම් ආහාර කොතෙකුත් රස බලන්නට තිබුනාද කියා සිතමින්, උදයේම ඇහැරී වමනේ දමමින්ම, කන්නට ආසා බොහෝ දේ අමතක කර බත් සමග තිබෙන එලවලුක් ඒදා උයා පිහන් කන්නට වූ කාලයේය. රජයේ ඉස්පිරිතාලෙක ලෙඩෙක් බලන්නට ගිය අවස්තාවක පවා අපහසුවෙන් මෙන් උන් කෙල්ලක, දරුවා ලැබෙන්නට අනේක විලිරුද විදිමින්, රජයේ රෝහල්වල අපිරිසිඳු වැසිකිලි භාවිතා කලේ තමන් විසින්ම කැමැත්තෙන් අත පොවා නෙලා ගත් ඉරණමට බැණ නොවදිමිනි.
“ඔයාට මේව පුරුදු නෑ කියල මං දන්නවා මැණිකෙ” කියා කෝසල කිව් බොහෝ අවස්තාවල “මෙහෙම තැන්වල කොච්චර ගෑණුන්ට ළමයි හම්බුවෙනවද?” කියා කියන්නට තරම් එතරම් අඩුවයසකදී සිසිමාධවී පරිණත වී උන්නෙ ඒ වනතුරුත් ඉහිලූ දුක් කන්දරාව හන්දාය.
ගෙට ඇති එකම කාමරයේ දැන් තමාත් කෝසලත්, දරුවන් දෙදෙනාත් නිදාගන්නේ ගුලි ගැසී මෙන් ය. දරුවන් දෙදෙනා ඉපදුන පසු කෝසල සහ ඔහුගේ මිත්‍රයෙක් එකතු වී ගේ කෑල්ල වයරින් කරගත්තායින් ගෙදර විදුලි අර්බුධය පිරිමසාගන්න හැකි වීම වාසනාවකි. එහෙත් බිල් එන්නේ වාසනාව දෙපිටින් යන්නට මෙන් එන්න එන්න වැඩිවෙමිනි. අල්ලපු වැටේ හිඳින කෝසලගේ මහ ගෙදරත් මේ ගෙදරත් සමෝසමේ පාවිච්චි කරන ළිඳ තියෙන හන්දා වතුර එහෙමකට කියා ගැටලුවක් නොවුණද වතුර පනිට්ටුවක් රැගෙන එළියෙ කක්කුස්සියට යන්නට වූ මුල් දිනයේ තමා එහි ගියේ කොපමණ හිරිකිතයකින්ද කියා සිසිමාධවීට මතකය.
ඒවා දැන් ඉතින් අතීත කතාය. මේ දැන් තමාට උරුම ජීවිතයය. මෙවන් ජීවිතයක් නැති මිනිසුන් කොපමන ඉන්නවා ඇතිදැකි කියා හිත සනසගන්න සිසිමාධවී උත්සහ කරන්නෙ වෙන කරන්න දෙයක් නැති හින්දාමය.
“කෝසල අර වැඩේ ගැන මොකද කිව්වේ?”
සිසිමාධවී මෙලොවට ආවේ ඒ කට හඬය ඇසීය. එහා පැත්තේ හිටවා ඇති කරපිංචා ගහ අද්දරට වී මේ පැත්ත බලාගෙන අඬගහන්නේ අම්මාය. කෝසලගේ අම්මාය. ඔය අහන්නේ අක්කාව බලන්නට මනමාලයෙක් එනවාය කිව් හන්දා ගෙදර එලියෙ තින්ත ටිකක් ගා දෙන්න පුලුවන්දැයිකෝසලගෙන් අහන්න යැයි කියු කාරණාවය.
ඇත්තටම සිසිමාධවීට කෝසලගෙන් ඒ ගැන අහන්න මතකයක් තිබුණේ නැත. ඊයෙත් රැයේ දෙගොඩහරියක ආ මනුස්සය බත් කටවල් දෙක තුනක් බඩට දාගෙන ළිඳෙන් වතුර පනිට්ටු දෙක තුනක් ඇඟට දාගෙන නිදියන්න ගිය එකේ ඕව කතා කරන්න වෙලාවක් තිබුණෙම නැත.
“ඒයෙ එයා එද්දි හොඳටම රෑ වෙලානෙ අම්මෙ. මට අහන්න උනේ නෑ. අද කළින් එනව කිව්ව, මං අහල කියන්නම්”
“ඒ මිනිස්සුත් ඉරිද එනවය කිව්වෙ. තින්ත වේලෙන්නත් දවස් දෙකක් විතර යන එකේ බ්‍රහස්පතින්දවත් කරගන්න වෙයි. නිවාඩුවක් දාන්න කියල ඔය ළමයවත් කෝසලට මතක කරල දෙන්න” කියාගෙන අම්මා ආපසු යන්න හැරුණාට ආපස්සට තිබූ අඩිය හරවනවාත් සිසිමාධවී බලාගෙනය.
“අනික්කෙක ළමයො සෙනසුරාදා දිහාට මට වම්බටු මෝජුවක් දාලා දෙන්නකො. ඔය ළමයට හොඳර හදන්න පුලුවන් එකේ. මං අරන් දෙන්නම් ඕන කරන කළමණා ටික. ඔන්න එහෙනං කාරණා දෙකම අමතක කරන්න එපා හොඳේ” කියා අම්මා ආපසු ගෙට යද්දීත් සබන් ගගා උන් අතින්ම නලලට වැටිච්ච දහඩිය බිංදු ටික පිසදමා ගත් සිසිමාධවී ආපහු කල්පනාවට වැටුණාය.
නිවාඩු දාලා ගේ පේන්ට් කරල දෙන්නය කිව්වට එක දවසක් නිවාඩු දාන එකම කොච්චර පාඩුවක්ද කියා අම්මලා දන්නේ නැත. කෝසල වැඩ කරන්නෙ එහෙමකට කියා ලොකු ගැරජයක නොවෙන හන්දා සේවකයන් ඉන්නේද අතලොස්සය. කොච්චර වැඩ තිබ්බද, අතමිට මුදල් තිබුණද අයිතිකාරයා කුම්මැහියෙකු බව කෝසල කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. එහෙව් මනුස්සයෙක්ගෙන් නිවාඩු ඉල්ලන්න කියා කටක් ඇර කෝසලට කියන්නේ කොහොමද කියා අම්මලා හිතන්නෙ නැත.
අනික ඔය කළමණා දෙන්නම් කියා කිව්වට අන්තිමේ ඔක්කොම
කළමනාද,මුදල්ද, මහන්සියද දරාගෙන මෝජුව හදන්න වෙන්නේ තමාට බව සිසිමාධවී දනී. මේ එහෙම හදන කීවෙනි මෝජුවද කියාත් මතක නැත. අක්කා බලන්නට මනමාලයෙක් එන එක සැරේට සිසිමාධවී ලව්වා මොනවාහෝ ඉස්තරම් කෑමක් හදාගන්න අම්මා හැමදාම වළිකන බව කෝසලටත් අලුත් දෙයක් නොවේ. එහෙත් ඕව හාරවුස්සන්න ඕන ඒව බව ඔහු නොසිතයි.
“මේ ඉඩමෙ ගෙයක් හදං, ළිඳත් පාවිච්චි කරන්න දුන්න එකම
මදිය” කියා කෝසල පිට කරන්නේ ඒ සිතුවිල්ල බව දන්න හන්දාම සිසිමාධවීත් මුකුත් කියන්නෙ නැති තරම් ය.
හෝදපු රෙදි ටික මිරිකා වේලෙන්නට වැලට දමා පිටිපස්ස දොරෙන් ගෙට එද්දීම “අම්මේ බඩගිනියි” කියා කෑගසමින් ආවේ චානුකත්, දෙව්මිත් ය.
චානුක ඉන්නේ තුනේ පංතියේය. දෙව්මි දෙකේය.
“බත් බෙදල තියෙන්නෙ පුතේ. ඇඳුම් ගලෝල එන්නකො. නාලම කමු ඈ” කියාගෙන ඉස්කෝලෙ ගෙනියන කෑම පෙට්ටි බෑග් එකෙන් ගන්නා අතරම සිසිමාධවී දෙන්නාගේම ශිෂ්‍ය වාර්තා පොත්බලන්නේ පංතිභාර ගුරුවරු මොකක් හෝ පණිවිඩයක් තිබේනම් එහි ලියා එවන බව දන්නා නිසාවෙනි.
“කාලා නාමුකො අම්මෙ, බඩගිනියි” නාන්න හොරා චානුක ඇවිත් එහෙම කියන්නෙ ඕනවටත් වඩා හුරතල් මූණකිනි. දෙව්මි නම් ඒ අතින් වතුරේ සෙල්ලම් කරන්න හපනෙකි.
“අපෝ පුතේ හොඳ නෑනෙ එහෙම. ඇඟේ දූවිලිනෙ. මගෙ රං පැටිය
ලෙඩ වෙයි අන්තිමේ. ටක්ගාලා නාලා අපි කමු ඈ. මං කවන්නම්කො දෙන්නටම”
සිසිමාධවී කියන්නේ දෙන්නාවම හුරතල් කරමිනි. අවුරුදු විසි අටේදී අම්මා කෙනෙක් වෙන්න උනාට, චානුකගේත් දෙව්මිගේත් හිසකේ වලින් එන තවමත් අත නොහැරුණ කිරි සුවඳ හිතේ ඇති සියලු සංකා දුරුකරවන්නක් බව සිසිමාධවීට සිතේ.