“ඔයාගෙ නම දිග වැඩි හන්දා අපි සිසී කියල කත කරන්නම්. මම හැමදාම මෙහෙම එන්නෙ නෑ. ගොඩක් වෙලාවට සැලොන් එක වහල යද්දි හවසට තමයි මම එන්නෙ. හැබැයි ඔයා හැමදාම මේ වෙලාවට එන්න. ඇවිල්ලමම කිව්ව විදියට වැඩ කටයුතු ටික කරන්න.
හැබැයි මතක තියාගන්න මම මෙතන හැම තිස්සෙම නෑ කියන එකේ අදහස කැමති කැමති විදියට හිතු මනාපෙ ඉන්න පුලුවන් කියන එක නෙවෙයි. මම නැති උනාට මෙහෙ වෙන හැමදේම මට දැනගන්න ක්‍රම සහ විධි තියෙන බව අමතක කරන්න එපා”
කල්පනා තිලකරත්න තමන් මෙන්ම සුදුම සුදු පැහැ කාරයට නැගී නික්ම ගියේ හඬ මෙන්ම දැඩි බවක් රැඳවූ ගමනිනි. අනතුරුව තිලකරත්න වාසස්ථානයේ හුස්ම ගන්නට උන්නේ ගේට්ටුව අසල මුර රැකියාවේ යෙදෙන වයසක පුද්ගලයාත්, සිසිමාධවීත්, අයිරාංගනී තිලකරත්න මැතිණියත් පමණකි.
ඒ හැරෙන්නට ගෙමිදුලේ වවා තිබූ අනේකවාරයක් මල් ගස් ද, කොහොඹ, ඇසල ආදී ගස් ද සුලඟට තම තුරුපත් සොලවමින් නැගී කන්කලු නාදය හැරෙන්නට කිසිවක් එහි තිබුණේ නැත. තිලකරත්න වාසස්තානය මහල් දෙකකට සකසන ලද්දකි. එහි පහත මාලය සකසා තිබූ හැකි උපරිම අන්දමින් ගෙඋයනට හෝ පරිසරයට විවෘත වන පරිද්දෙනි.පහත මාලයේ සිසිමාධවී වඩාත්ම ආසා කල ස්තානය වූයේ මිදුලේ වූ බෝගන්විලා යායට මුහුණ ලා තිබූ ලී ඔංචිල්ලාව ඇති තැනටය. ජීවිතේ කිසිම තැනක නොදුටු, නොවිඳි අපූරු සුන්දරත්වයක්, නිරාමිස ප්‍රීතියක් ඒ විවෘත ආලින්දය වටා රැඳී තිබෙන බවක් සිසිමාධවී සිතුවාය.
“ළමයෝ”
වයස්ගත එහෙත් කාරුණික ඒ හඬ නැගුණේ ඉහත මාලයෙනි. ඒ තමා විසින් බලාගන්නට ආ අයිරාංගනී තිලකරත්න මහත්මිය බව මෙනෙහි වූ මොහොතේම සිසිමාධවී මෙතෙක් වේලා දෙනෙත් රඳවාගෙන උන් රෝස පැහැ බෝගන්විලා ගොන්නෙන් දෙනෙත් මුදවාගනිමිනි.
“ඉන්න නෝනා එනවා” කියමින් සිසිමාධවී උඩු මහලට ගියේ අඩියට දෙකටය. අයිරාංගනී තිලකරත්න පසුකරමින් උන්නෙ හැත්තෑ හත්වන අවුරුද්ද වුවද ඇගේ මුහුණේත් දෙනෙතෙත් රැඳී තිබුනේ එයට වඩා බොහෝ තුරුණු බවකි. ඒ තුරුණු බව, ඒ දෙනෙත්වල සැඟවී වුවද රැඳවී තිබුණ සතුට බිඳක්වත් නැති කර දමන්නට පණ නැති ව ගොස් තිබුණ දෙපා යුගලට හැකියාව ලැබී තිබුනේ නැත.
“ඔය ළමයගෙ නම මොකද්ද කිව්වෙ?” අයිරාංගනී ඇසුවේ වඩා විමසිලිමත් දෑසකින් මේ තරුණ කෙල දෙස බලාගෙනය. මෙතරම් තරුණ කෙල්ලකට මෙවන් රැකියාවට එන්නට වූ හේතුව පිටුපස්සේ බොහෝ දුර කතාවක් තිබෙන්නට හැකි බව අයිරාංගනී සිතුවේ අවුරුදු හැත්තෑ හතක් පුරාවටම ජීවත්වීමෙන් ලද අත්දැකීම් සහ පරිචය උපයෝගී කරගෙනය.
අනෙක් අතට මේ විසල් නිවසේ මෙතෙක් දිනක් හුස්ම ගත් ශරීර කූඩු තුන් උන්නේ එකිනෙකා ඇසුරේම හුදකලා වීය. නිවසේ මුර සේවයට හුන් සරණපාල මෙහි සේවයට ආවේ අයිරාංගනී විවාපත් වී මෙහි එද්දීම වාගේය. එනිසාම අයිරාංගනී තරම් බලයක් සරණපාලට ගේට්ටුවෙන් ඇතුලේ ලෝකය තුළ තිබුණි. අයිරාංගනී ගේ එකම පුතු වූ සුමධුර තම පියාගෙන ලද ව්‍යාපාර කරන්නට උදේ හවා වෙහෙසුණේය. කල්පනා විවාපත් වී ගොසින් ජීවත් වුයේ වෙනම නමුදු සැලෝන් කේ හි වැඩකටයුතු අතරමග තම මවගේ නිවසට එන්නට අමතක කරේ නැත. එහෙත් ඒ කිසිවෙකුට අයිරාංගනී තිලකරත්න පෙලෙමින් උන්, විඳවමින් හුන් තනිකම ගැන කිසිත් අදහසක් තිබුනේ නැත. මොහොතකට ලඟින් වාඩි වී ඇය සමග කතා බහ කරන්නට අස්වැසිල්ලක් ඒ කිසිවෙකුට තිබුනේ නැත. ඉතින් අයිරාංගනී උන්නේ තමන්ගේ නිවසේම මහා අන්ධකාර තනිකම ගිලී එහිම ජීවත්වෙමිනි.
අයිරාංගනීව බලාගන්නට මෙයට කලින් ආ සේවිකාවක උන්නද ඇය ගෙදර කිසිවෙකුගේ ඇස නොගැටෙන නිමේශයන්හි අතුපතු ගා ගෙන යා හැකි දේවල් රැගෙන යන බව හසු වූ පසු කල්පනා ඇයව අස් කර දැමුවාය. සිසිමාධවී මෙහි ආවේ ඉන්පසුවය. ගැහැණියක් විවාහ වී ගියයින් පසු ඇයට හිමිකම් කිව හැක්කේ තමන්ගේ සැමියා හා වාසය කරන නිවසේ වුවත් සුමධුර අවිවාහක නිසා මෙන්ම, කිසිදාක විවාහ වන අදහසක් ප්‍රකාශ නොකරන නිසාවෙන්ම කල්පනා උන්ගේ සුමධුරට හිමි තිලකරත්න මහ මැදුර පුරාත් තමන්ගේ අණසක පතුරවාලමිනි.
“සිසිමාධවී”
“සිසිමාධවී” අයිරංගනී ඒ නම ආයෙ වතාවක් මිමිණුවේ වඩා හොඳින් ඇය දෙස බලමිනි. “මම මීට කලින් අහල නෑ ඒ වගේ නමක්. සම්පූර්ණ නම මොකද්ද?”
“සිසිමාධවී රත්නායක”
“සිසිමාධවී රත්නායක” අයිරාංගනී ආයේම වරක් ඒ නම පුනරුච්චාරණය කලාය. ඒ වඩා හොඳින් ඒ නම මනසට හුරු පුරුදු කරගන්නා සිතුවිල්ලකිනි.
“නෝනා මට කිව්වෙ සිසී කියන නමෙන් තමා කතාකරන්නෙ කියල මගෙ නම දිග වැඩි නිසා” චෝදනාවක් නොවු එය සිසිමාධවී කිව්වෙ නිවිහැනහිල්ලේ වඩා මධුර එහෙත් සියුම් හඬකිනි.
“නෝන කිව්වෙ කල්පනා ද? මට නම් එහෙම අමාරුවක් නෑ ඔය ළමයගෙ නම කියන්න. කල්පනාට ඕන හැටියකටම කතා කරගත්තෑවෙ නේද? අපිට මොකෝ” කියා අයිරාංගනී බොහෝ දිනකට පසුව කතා බස් කරන්නට කෙනෙකු ලද සතුටෙන් කියාගෙන ගියාය.
“මම දැන් දවල්ට උයන්න යන්න හදන්නේ? නෝනට තේකක් ගෙනැල්ල දෙන්නද? උයල එන්නම් මම කාමරේ හෙම අස්පස් කරලා දාන්න”
සිසිමාධවී නික්ම ගිය පසු හෙමින් සැරේ රෝද පුටුව තල්ලු කරගෙන ආ අයිරාංගනී නතර වුනේ කාමරයේ බෝගන්විලා යායට ඉහලින් විහිදුන විවෘත සඳලුතලයටය. වෘත්තියෙන් ගෘහ අලංකරන ශිල්පියෙකු වූ ලලිත් තිලකරත්න මේ නිවස හැදුවේ ජීවිතයේ සැඳෑ අවදියේදී අයිරාංගනී සමග තනිව ඒ සැඳෑ සුවය ගෙවනු පිණිස වුවද නොහිතූ මොහොතක ආ හදවත් ආබාධයකින් ලලිත් ජීවිතයත් ඒ බලාපොරොත්තුත් අත හැර නික්ම ගියේය.
අයිරාංගනී තනිවුනේ ඉන්පසුවය. යමෙකු වයසට යද්දීත්, සිරුර අඩපන වෙද්දිත් එතෙක් උන් පිරිවර අඩුවන බව අයිරාංගනී තේරුම්ගත්තේ එලෙසින් ය.
සිසිමාධවී නිකන්ම කිරි තේකක් වෙනුවට, කරදමුංගු, කරාබුනැටි තලා දමා තේකක් සැකසුවාය. මුලින්ම ශීතකරණයේ තිබූ එළකිරි පැකට්ටුවෙන් තේ දෙකකට ඇතිවෙන තරමේ කිරි ප්‍රමානයක් බඳුනකට දමා රත්වෙන්නට ලිප මත තබා එයට තේ කොල හැන්දක් එකතු කලාය. අනතුරුව තලා ගත් කුරුඳු, කරදමුංගු සහ කරාබුනැටි කැබලි කිහිපයක් එයට එක්කහු කලාය. කිරි උතුරුවාගෙන එන තෙක් කෝප්ප දෙකක් සෝදා එයට සීනි එක්කහු කලාය. කිරි උතුරාගෙන ආ පසු තේ ගොට්ට ගෙන පෙරා ලා දුඹුරු පැහැ කිරි ද්‍රාවණය කෝප්ප දෙකට සමානව වක් කරාය.
ඒ සුවඳ තරම්ම, මේ තේක රස බව සිසිමාධවී දනී. ගෙදරදී ඉතින් එහෙම නිතර හැදුවේ කරේ නැති වුවද සීතල බොහෝ වූ නිදි නොලැබූ, කෝසල තුරුලේ ගෙවුන රැයක ඒ උණුහුම් මොහොත තව උණුහුම් කරනු පිණිස මේ කරදමුංගු තේ හැදූ අතීත මතකයන් සිසිමාධවීට තිබේ.
“කෝසල කෑවද දන්නේ නෑ” සිතුවිල්ල හිතට ආවේ ඒ අතීත මතක දහරාව සමගිනි.
සිසිමාධවී අයිරාංගනීගේ තේ කෝප්පය පැත්තකින් තබා සරණපාල වෙනුවෙන් සැකසූ තේ එක රැගෙන මුර කුටිය අසලට ගියාය. සරණපාල උන්නෙ පත්තරය කියවමිනි. සිසිමාධවීගේ වත දෙස උඩ සිට පහලට විපරම්කාරී බැල්මකින් බලන අතරම සරණපාල ඒ තේක අරගත්තේ “ආහ්, දෙන්න” කියමිනි.
සිසිමාධවී අයිරාංගනීගේ තේක රැගෙන උඩුමහලට යද්දීත් අයිරාංගනී උන්නේ සඳලුතලයට වී ඔහේ වටපිටාව බලමිනි.
“නෝන තේක” කියා ඇසුණ සිසිමාධවී හඬට හැරී බැලූ අයිරාංගනී රෝද පුටුව මදක් එහාට කරගනිමින් සිසිමාධවීට විත් එහි තබා තිබූ වේවැල් පුටුවේ වාඩිවෙන්න යැයි කිව්වද සිසිමාධවී මදකට එයට පසුබෑවාය. මොන දේ වුනත් මේ තම ස්වාමි දුවය. මේ තමන් මෙහි රැකියාවට ආ පලමු දවසය. එහෙම මොහොතක ඇය හා සම අසුනක හිඳ ගැනීම මෙහි රැකියාවේ අනාගතයට කොතෙක් දුරට බලපාවිද යයිද ගැන සිතන්නට ඕනෑමය.
“මෙහෙම හොඳයි මැඩම්”
“වාඩිවෙන්න ළමයො, ඔය ළමයා මේ පුටුවෙ වාඩිවුනා කියල මම මුකුත් හිතන්නෙ නෑ” අයිරාංගනී කිව්වේ කරදමුංගු තේකෙන් උගුරක් රස විඳින්නට පෙර තේ කෝප්පය නැහැය අසලට ගෙන, දෙනෙත් පියාගෙන එහි සුවඳ නැහැය පුරා විදගනිමිනි.
“කාඩමම් ටී, ලලිත් හරි ආසයි ඉස්සර” අයිරාංගනී කිව්වේ මුදු හඬකිනි. එහෙත් ඒ මුදු හඬ යට තැවරුණ වේදනාව සිසිමාධවීට තේරුම් ගියාය.
“ලලිත් කිව්වෙ ලොකු මහත්තයද?”
“හ්ම්ම්”
“ලොකු මහත්තය නැතිවෙලා ගොඩක් කල්ද නෝන?”
“අවුරුදු කීපයක් වුනාට මට දැනෙන්නෙ කල්ප ගාණක් වගේ ළමයො. ජීවත්වෙලා ඉන්න කාලෙ මොන දුක් වින්දත්, මොන රන්ඩු සරුවල් උනත් දෙන්නට දෙන්නගෙ අගේ තේරෙන්නෙ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නැතිවෙච්ච දවසට. කසාද බැඳපු ජෝඩුවක එක්කෙනෙක් මැරිච්ච දවසට ඒ ඇතිවෙන හිස්තැන මකන එක කොච්චර අමාරුද කියල මම තේරුම් ගත්තෙත් ලලිත් නැති උනයින් පස්සෙ.
ඉස්සර අපි හවසට එයා වැඩ ඇරිල ආවම කාඩමම් ටී හදාගෙන පහල ඔංචිල්ලාවෙ කතා කර කර ඉන්නව. සමහර වෙලාවට රෑ කෑම වෙලාව එනකම්ම අපි දෙන්න අර හදාගත්ත තේක බිබී කතා කර කර ඉන්නව. ඒ සමහර කතා හරි බොලඳ ඒව කියල ඒ දවස්වල අපි දෙන්නම අපි දෙන්නට හිනා වෙවී උන්නට දැන් තමයි දරුවො මට තේරෙන්නෙ ඒ කතා හන්දා තමා මම අදටත් මෙහෙම සතුටෙන් ඉන්නෙ කියල
ජීවිතේ අපි ලඟ තියෙන ගොඩක් දේවල්වල ඇත්තටම වටිනකම අපිට තේරෙන්න පටන් ගන්නෙ ඒ වටින දේවල් අපෙන් ඈත්වෙලා ගියයින් පස්සෙ. සමහර වටිනකම් අපිට ජීවිතේ පුරාවටම හම්බුවෙන්නෙ එකම එක පාරයි. ඒ වටින දේවල් නැතිවෙච්ච දවසක අපිට කරන්න පුලුවන් එකම දේ ඒ වටින අය එක්ක ගෙවිච්ච කාලෙ ගැන හිත හිත හිත සනසගන්න එක විතරයි. ඒකයි ජීවත්වෙලා ඉන්න කාලෙ අපිට වටිනම මිනිස්සු එක්ක අපි වැඩිපුර කාලෙ ගෙවන්න ඕන. එහෙම කලොත් විතරයි ඒ වටින අය අපෙන් ඈත්වෙච්ච දවසක උනත් අපිට පසු තැවෙන්නෙ නැතුව ඉන්න පුලුවන් වෙන්නෙ”
අයිරාංගනී ලලිත් විසින් මවන්නට යෙදුන සුන්දර අතීතය, සිසිමාධවී විසින් සකසා දුන් කාඩමම් ටී එකෙන් එන සුවඳ ඔස්සේ මතක් කරමින් ඉද්දී සිසිමාධවී උන්නේ කෝසල ගැන හිතමිනි.
කෙදිනක හෝ දිනක තමාටත් අයිරාංගනී මෙන්ම තනිවෙන්නට වේ දැයි බියකින් සිත රිද්දවා ගනිමිනි.
කෝසලත් තමාත් හමු වී තිබෙන්නේ ඉරණම අනුව ජීවන ගමනේ මගකදී වෙන්ව යන්නට දැයි සිතමිනි.