සෙනෙහස් අවාරේ 12

“මම ලොකු දෙයක් හැදුවෙ නෑ නෝන දවල්ට කන්න, බත් උයල, පරිප්පු කිරට හදල, බොංචි තෙල් දාලා, සැමන් හින්දල හැදුවෙ. නෝන කනව නේද?”

සිසිමාධවී ඇසුවේ පහල තට්ටුවේ කුස්සිය අස්පස් කර උඩ තට්ටුවට යමින් කාමරයට වී පොතක් කියවමින් හුන් අයිරාංගනී මහත්මියගෙනි.

“අනේ මං ඕන දෙයක් කනව දරුවො. ඔය කෑම තෝරන පිස්සුව ම්ම නතර කලේ අපේ කල්පනාල හෙම පොඩිකාලෙ, එයාලට ගුණයි කියල උයල දුන්නු ඒවත් නොකා ඉද්දි ඒව කන්න උනේ මටනෙ. මං ඉතින් දැන් ඔක්කොම ජාති කනවා”

“මම සරණපාල මහත්තයට බත් බෙදල දුන්න”

“සරණපාලට මහත්තය කියන්න ඕන නෑ ළමයො, අංකල් කියන්න. මටත් ඔය නෝන කියන්න එපා, ආන්ටි කිව්ව නම් හරි. අපේ සුමධුර හෙම වෙලාවට කලාවට කසාදයක් කරගත්ත නම් එයාටත් ඔයාගෙ වයසට ලංවෙන්න ලමයි ඉන්නෝන හරිනම්. එහෙනං මට ආච්චි අම්මා කියලනෙ කතා කරන්නෙ” කියා අයිරාංගනී සිනා සුනේ පොත වසා මේසය මත තබමිනි.

“නෝනව පල්ලෙහට එක්කරගෙන යන්න පුලුවන් විදියක් තියෙද කෑම කන්න? නැත්තම් උඩට ගේන්නද?”

මෙතෙක් වෙලා පැලඳගෙන උන් කණ්ණාඩි යුවල ගලවා හැඳ සිටි කිමෝනාවෙන් එහි වීදුරු මුහුණත පිසදමමින් අයිරාංගනී මද සිනාවක් පෑවාය.

“පල්ලෙහට ගිය කාලයක් මතක නෑ. කවුරුහරි මාව බලන්න ආවත් උඩට එක්කරගෙන එනව මිසක්ක පල්ලෙහට ගියේ නෑ මම කාලෙකින්. බෙහෙත් ගන්න යද්දි නම් සුමධුර මාව උස්සගෙන පල්ලෙහට එක්කරගෙන යනවා. කෑම බෙදල උඩට අරන් එන්න. ඔයාගෙ බත් එකත් බෙදං එන්න. අපි කතා කරන ගමන් කමු”

පළවෙනි දවස ගෙවී ගියේ එලෙසින් ය. හැන්දෑ යාමයේ කල්පනා තිලකරත්න තම නිවස බලා යන අතරමග මහගෙදර වූ තිලකරත්න මැදුරට ගොඩ වෙද්දී සිසිමාධවී උන්නේ රාත්‍රී ආහාරය සඳහා අයිරාංගනී කන්නට ආස යැයි කිවේ මස් ස්ටුවක් පිලියෙල කරමිනි. කල්පනා ගෙට ගොඩ වුනේම ඒ සුවඳ විඳගනිමිනි. ඒ සුවඳ ඔස්සේ මුලුතැන් ගෙය වෙත දෙපා තබමිනි.

“මොනවද හදන්නේ?”

“මැඩම්, ලොකු නෝන ස්ටු එකක් හදල ඉල්ලුව. ඒක හදන්නෙ”

“ඕනවට වඩා තෙල් හෙම යූස් කරන්න එපා. අම්මාට හොඳ නෑ. එකම තැනනෙ ඉන්නෙ”

“හරි මැඩම්”

කල්පනා අනතුරුව ඉහල මාලයට ගොස් අයිරාංගනී සමග කතා කරාවි යැයි සිසිමාධවී සිතුවද මුලුතැන්ගෙයට යාබදව තිබූ කෑම කාමරයේ පුටුව මතට වැටුන කල්පනා දුරකතනය ගෙන ඒ පිරික්සමින් උන්නාය. ඇය උන්නේ අයිරාංගනීට කෙසේද කියා සුව දුක් අසන්නටවත් උවමනාවක නොවේ.

කල්පනාට කොහොමත් පොඩි කාලයේ පටන් තිබුනේ ආඩම්බරකාර පෙනුමක් මෙන්ම එයටම ගැලපෙන කිසිවෙකුත් ගණන් නොගන්නා ආඩම්බර හැසිරීමකි. ලලිත් සහ අයිරාංගනී බොහෝ අවස්තාවලා ඒ ගතිගුන වෙනස් කරන්න උත්සහ කරද ඒ ආඩම්බරකම කල්පනාව හැර ගියේම නැත.

ටිකෙන් ටික උස් මහත් වෙද්දී තමන්ගේ පවුලෙනුත් ඈත් වූ කල්පනා තමන්ගේම මනසින් මවාගත් ලෝකයක හුදකලා වන්නට විය. ඒ ලෝකය තුල කල්පනා මුල් පුටුවක හිඳුවාගෙන උන්නේ තමාවමය. නිවැරදි යැයි කියා සිතුවේත් තමා ගැනම පමණකි. දුක් වුනේත් සතුටු වුනේත් තමා ගැනම පමනකි. ඇය උන්නේ කිසිවෙකු ගැන සංවේදී වන මානසිකත්වයක නොවේ. කොටින්ම දෙපා අඩපණ වුණු තමන්ගේ මව ගැන පවා ඇය සංවේදී උනේ නැත.

ඇය හැකි හැමවිටකම මේ නිවෙස් බලා ආවේ අවිවාහක අයියා නැති දිනෙක මේ සුන්දර, විසල්, වටිනාකමෙන් අධික නිවස තමන්ට හිමිවන බව දැන හුන් නිසාවෙනි. එහෙත් කල්පනා විවාපත් කරගෙන උන් රහල් බණ්ඩාරනායක වූ කලී ඇයට සහමුලින්ම වෙනස් වූවෙකි. විවාහ යෝජනාවක් මත, ඉතා යහපත් උසස් පවුලක තරුණියක වූ කල්පනාව විවාහ කරගත්තද රහල් වනාහී වඩා සුන්දර අදහස් දරන, මනුසත්කමෙන් ඉහල පුද්ගලයෙකි.

“ඔයා ඔය මහ ගෙදර ඔයාගෙ නමට ලියාගන්න හිතාගෙන අම්මට සලකන්න යන්න එපා කල්පි”

රහල් කල්පනාට එහෙම කියූ අවස්තා විරල නොවේ. එහෙත් කල්පනා උන්නේ ඒ රහල්ගේ මෝඩ මනුස්සකම ලෙස සිතමිනි.

“ඇයි? මම එහෙම හිතන එකේ වරදක් නෑනෙ. මට නම් ඒකෙ කිසි වරදක් පේන්නෙ නෑ”

“ඔයා දන්නවනෙ ලංකාවෙ සම්ප්‍රදාය මහගෙදර පිරිමි ලමයගෙ නමට ලියන එක කියල. දැන් අපි මේ ගෙදර ඉන්නෙ අපෙ අම්මල මගෙ නමට ලිව්ව හින්ද. ඔයා කැමතිද අපෙ නංගිත් නිතරම මෙහෙ යන එනවට මේ ගේ එයාට ලියාවි කියල හිතාගෙන”

“කේතකීට ඉතින් මේ ගෙදර තමන්ට ලැබෙන්නෙ නෑ කියල තේරෙන්න ඕනනෙ. අපිට ලමයි ඉන්නව. අපේ අයියට එහෙම නෙවෙයිනෙ. එයා බැඳලත් නෑ, ලමයිනුත් නෑ. ඉතින් එයා නැති කාලෙක ඒ ඉඩකඩම්, බිස්නස් අයිති වෙන්න ඕන මගෙ ලමයිට. ඒව මගෙ තාත්තගෙ දේපලනෙ”

“සුමධුර තාම බැඳල නැති බව ඇත්ත. හැබැයි එයාට බඳින්න බැරිකමක් නෑනෙ කල්පි නේද?”

“අනේ මේ රහල්? අවුරුදු හතලිහ පැන්න පිරිමින්ව බඳින්න කැමති වෙන ගෑණු ඉන්නවද? අනික අපේ එක්කෙනාගෙ හැටි ඔයාට වඩා හොඳට දන්නෙ මම නෙ. ලෝචනා මෙයාව අතෑරල වෙන මැරේජ් එකකට ගිය දවසෙ ඉඳල මේ තපසට යන්න වගේ ඉන්නෙ. අම්ම හන්ද තමා ඔය මනුස්සය තාම ඔහොම ගෙදෙට්ට වෙලා ඉන්නෙ. එහෙම මිනිහා මේ ඔයා කියනව වගේ කසාද බඳී. පිස්සුනෙ. කොහොමහරි අයියව ශේප් එකෙ තියාගන්න ඕන. අනාත නිවාසෙකටවත් ලිව්වොත්”

තමා කොතෙක් දේ කිව්වද කල්පනා තමන්ගේ සිතුවිලි වෙනස් කරගන්නේ නැති බව රහල් දැන උන්නේය. ඉතින් රහල් ඉන්පසුව කිසිදිනක ඒ ගැන කතාබස් කරේ නැති තරම් ය.

උයා පිහා අවසන් කර සිසිමාධවී කුස්සිය අස්පස් කර යන්නට පලමුවෙන් අයිරාංගනී ගේ කාමරයට ගියාය. මෙතෙක් දිනක් බෙහෙත් ගඳින් පිරී තිබුන කාමරය දැන් හිත නිවන පන්සල් සුවඳකින් පිරී තිබුණේ සිසිමාධවී සැඳෑවේ කාමරය අස්පස් කර සුවඳ කූරක් පත්තු කර නිසාවෙනි.

අයිරාංගනී උන්නේ සුපුරුදු ලෙස සඳලුතලයට වී සැඳෑ අහසේ ඉර බැස යද්දී මැවෙන සුන්දර වර්ණ රටා නරඹමිනි.

“ලොකු නෝන මම යන්න කියල. කෑම ඉව්වා, නෝන කොහොමද බෙදාගන්නෙ?”

“පුතා ඇවිල්ල බෙදල දෙනව දරුවො. ඒ ගැන කරදර වෙන්න එපා. හෙට එනව නේද ඔයා?”

“ඔව්”

“හරි එහෙනං පරිස්සමෙන් යන්න, බුදු සරණයි”

සිසිමාධවී පහලට බැස්සේ සිනාමුසු මුහුණකිනි. හිතේ කප්පරක් වේදනා, ප්‍රශ්න ගැබ් වී තිබුනද, ඒ සියල්ලටම ඉහලින් සිතට පහන් හැඟීමක් ගෙන එන්නට හැකි අන්දමේ අපූරු මනුසත්කමක්, මනුසත් සුවඳක් අයිරාංගනී තිලකරත්න තුල ගැබ් වී තිබෙන බව සිසිමාධවීට තේරුණාය. මේ සිනහව ඇඳුනේ ඒ නිසාවෙනි.

“මැඩම් මම ගිහිල්ල එන්න කියල” පසුකර යන මගේ කල්පනා උන් නිසාවෙන් ඇයට නොකියා යන්නට හැකියාවක් සිසිමාධවීට තිබුනේ නැත. කල්පනා කුමක් හෝ හේතුවක් මත තමාව නොරුස්සන බැල්මක් හෙලන බව දැන උන්නද සිසිමාධවී නැවතී ඒ බව දැනුම් දුන්නේ ඒ නිසාමය. කල්පනා “හරි” කියා කිව්වේ මොහොතකටවත් දුරකතනය මත රැඳවී තිබුන නෙතු ඉහලට ඔසවන්නේ නැතුවය. සිසිමාධවී වැනි පහල පංතියේ සේවිකාවක වෙනුවෙන් තමා එසේ දෙනෙත් යුග ඔසවා බලන්න උවමනා නැති වග කල්පනාගේ හිත ඇතුලේ වූ ආඩම්බරකාර, අහංකාර සිතුවිල්ලක් මුමුණමින් උන්නාය.

එහෙත් අයිරාංගනී තිලකරත්න විසින් හිත ඇතුලේ මවන්නට යෙදුණ සන්තෝසය මකාලන්න සිසිමාධවී කල්පනාගේ ඒ අහංකාර ගතියට ඉඩ දුන්නේ නැත. ලී ඔංචිල්ලාව සවි කර තිබූ, බිමට කට් සිමෙන්ති දමා තිබූ විවෘත ආලින්දය පසුකර විත් සිසිමාධවී උදේ එද්දී පසුකර ආ සීතල උඳුපියලිය බිස්ස මත පා තබා ගෙදර යන්නට පියවර තැබුවාය.

කෝසල මෙන්ම දරුවන් දෙදෙනාද තමා එනතුරු බලා ඉන්නා බව දන්නා නිසාවෙන්ම උදේ මෙන් වට පිටේ සුන්දරත්වය රසවිඳිමින්, හෙමෙන් පා තියා යන්නට ඉස්පාසුවක්, නිස්කාංසුවක් සිසිමාධවීගේ හිතට තිබුණේ නැත. දරුවන් සහ කෝසල කොහේ ගොස් ගෙදර ආවද ඒ හැම මොහොතකම දෑත විදා ඔවුන් පිළිගන්නට තමා ගෙදර රැඳී උන්නාය. අද ඔවුන් ගෙදර ඉද්දි තමා නැති වූ පලමු දිනයය. ඉතින් ඔවුන් හිඳින්නේ තමා එනතුරු මග බලමිනි. ඒ මුහුණු දැක ගන්නට වූ කලබලය සිසිමාධවීගේ හිතේ සිත දෙපා වෙත පැන දෙපා ඉක්මන් ගමනකට මග පෑදුවාය.

රෝස මල් පෙති බිම වට්ටමින් සිනාසලමින්, සැඳෑ හිරු එලියේ නැහැවෙමින් උන් බෝගන්විලා යාය පසුකර සිසිමාධවී කුඩා ආරුක්කු ගේට්ටුව අසලට යද්දී සරණපාල එහි උන්නේ නැත. ඔහු වැසිකිලියට යන්නට ඇතැයි සිතා සිසිමාධවී තමන්ට වඩා උස ගේට්ටුවේ උඩ කොක්ක අරින්න දෙපා තුඩු අගින් ඉස්සී අත තැබුවාය.
ඒ අත ස්පර්ශ කරමින් එහා පස සිට තම අත මත රැඳුණ අත කාගේදැයි හිතන්නට කලියෙන් විදුලි සැරයක් වැදුන පරිද්දෙන් සිසිමාධවී ගේට්ටු කොක්ක අත හැරියාය.

ආරුක්කු පියන්පත විවර කරමින් ඇතුලට ආවෙ සිසිමාධවී නොදන්නා කෙනෙකි. එහෙත් ඒ මුහුණ වඩා සුන්දර කල දෙනයන හිමි අයිරාංගනී තිලකරත්නට බව සිසිමාධවීට තප්පර ගණනාවක් තුල මතක් වුනාය.

එහෙනම් මේ එතුමියගේ පුතා විය හැක.

සුමධුර තිලකරත්න…

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles