මල් තුහින -18

“මට පරණ යාලුවෙක් මුණ ගැහුණනෙ.”

මලිති නවීන්ට එසේ පැවසුවේ සති අන්ත දවසක ය.අන්තර්ජාලයට ඇහැ අලවා සිටි ඔහු නෑහුනු ගාණට හිඳින්නට උත්සාහ ගත්තේ ය. අතීත සති අන්ත මෙසේ නොවේ.අඩුම තරමේ අලුත් කෑමක් හෝ පිසින්නට ඔවුන් උත්සාහ ගත් බව මලිතිට මතක ය.

“මං ඔයාට කතාවක් කියනවනෙ නවීන්”

නවීන් බිරිඳ දෙස බැලුවේ නොරිස්සුමෙනි.වැඩකට නැති ඕපාදූප වෙනුවෙන් නාස්ති කරන්නට කාලයක් නැතැයි ඔහු ඉනික්බිතිව පැවසී ය.ඇත්තටම නාස්ති කරන්නට කාලයක් තිබිණ.ඔහු සිටියේ වැදගත් වැඩක නොවේ. එහෙත් ඒ කාලයෙන් කොටසක් මලිතිට දෙන්නට ඔහුට ඕනෑ නැත.

“ඔයාගේ පරණ යාලුවො ගැන දැනගෙන ඇත්තටම මං මොනව කරන්නද?”

ඔහු එසේ ඇසී ය.එතැනින් එහා කිසිවක් අවශ්‍ය නොවේ.බැගෑපත් වීම කරන්නටම ඕනෑ නැති දෙයක් බව ඇය තේරුම් ගෙන දැන් ටික දවසකි.

“ඒකත් ඇත්ත තමා. සමා වෙන්න.”

ආදරය කරන මිනිසුන් සමාව ඉල්ලීම සහ ස්තූති කිරීම කළ යුතු නැති බව ඇයට අතීත දවසක පැවසුවේ ද නවීන් ය.නමුත් දැන් එවැනි වචන බෙදා ගන්නා තරමට ඔවුන් යාන්ත්‍රික ය.

“සෝෂල් මීඩියා අයින් කරන්න එපා.උත්පලා මොනවගේ කතාවක් කිව්වත් ඔයාගෙ පැත්තෙනුත් කතාවක් තියනවනෙ. ඒ හින්දා ඔයා වෙනදා වගේම ඉන්න. අනික දුවත් ඔයා එක්කනෙ.”

නවීන් හන්දා රිදුණු හිත දරාගෙනම ඈ තුහිනට ලියා යැව්වා ය. තුහින සිනා මුහුණක් පමණක් එවා තිබුණි.

“ඔයාට හිතෙන් නැද්ද ඩොක්ට කෙනෙක් මුණ ගැහෙන්න.”

ඔහු මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරකයෙක් නම් ඔහු ඉන් ගොඩ එන්නට ඕනෑ ය.නමුත් ඒ ගැන නොකියා උත්පලා නිසා රිදුණු හිත පෙරටු කර ඔහුව මනෝ වෛද්‍යවරයෙක් වෙත ගෙන යන්නට මලිතිට සිතේ.

“බිඳුණු මිනිස්සුන්ට ලං වෙන එක පුදුම පරිස්සමට කරන්න ඕන වැඩක්.බිඳිලා ඉන්න කෙනෙක්ට තව මනුස්සයෙක් ඒ බිදිච්ච කෑලිවලින් කපලා දාන එක හරිම පහසු වැඩක්.”

රුවිනි එසේ පැවසූ අන්දම ද මලිතිට අමතක නැත. එහෙත් බිඳෙමින් හිඳින ඔහු ගොඩ නැගිය යුතු වේ. ඔහු බිඳෙන්නට ඇය ද හේතුවක් වූවා ය.

“මං ඩිප්‍රෙෂන් වලට බේත් බීල තියනව.ඔයා මාව රිජෙක්ට් කරාම.”

ඔහු එසේ කියද්දී ඇය ඇතුළාන්තයෙන් දැවෙන්නට වූවා ය. මේ ඇවිලෙන්නේ ඔහුට ලබා දුන් ගින්දරදැයි සිතෙන තරම් ය.

“ඔයා මට දැන් ළං වෙන්න එපා මලී.මං දුකින් ඉන්න කාලෙක ඔයා ළං වෙන්න ඕන නෑ. ඔයා මාවයි ශේන්‍යාවයි දරාගන්න ඕනම නැහැ. මට තේරෙනව ඔයා අතීතෙ වුණු වැරැද්දක් හදන්න යන්නේ. ඒක එහෙමම තිබ්බදෙන්.”

ලෝකයකින් අපහාස විඳිමින් සිටියදී මෙවැනි කතා මිස යහපත් දේ කියන්නට නොසිතෙන බව මලිති තේරුම් ගත්තා ය. ඇය ඉවසීමෙන් අසා සිටියා ය.

“සෝෂල් මීඩියාවල මඩක් වැදුණා කියලා ඔයා මේ තරම් ඩවුන් වෙන්න එපා රමෝද්.මම ඔයාට එහෙම කියන්නේ සෝෂල් මීඩියාවල මඩ වදින්න ඇත්තටම හේතු ඇත්තෙ නෑ. ඕන කෙනෙක්ට හිතෙන දෙයක් ලියල දාන්න පුළුවන් .පහුගිය කාලේ පුරාම ලෝකෙ ඉන්න හොඳම හස්බන් ඔයා කියල ඔප්පු කරන්න උත්පලා දඟලපු දැඟලිල්ල අපි දැක්කනේ.ඒ ඔක්කොම බොරු වෙලා තියෙන වෙලාවේ එයා මේ කියන කතාවත් බොරු කරන්න ඒ තරම් අමාරු වෙන්නෙ නෑ. හිතුනම මිනිස්සු පුළුවන් තරම් හොඳ වෙන හිතුනම ඒතරම් නරක මිනිස්සු තුන් ලෝකෙම හොයාගන්න බැරි වෙන තැනක් තමයි සෝෂල් මීඩියා කියන්නේ. මම ඉස්සරලම හිතුවා ඔයා ඒකට රිප්ලයි එකක් ලියන එක හොඳයි නේද කියලා.නෑ මුකුත්ම ලියන්න එපා ඒ වෙනුවට මම ඔයාට වෙන දෙයක් යෝජනා කරන්නම්.”

මලිතිගේ යෝජනාව වූයේ ශේන්යා සමඟ ඡායාරූපයක් පළ කරන ලෙසට ය. තුහින කියන්නේ මොන තරම් නරක මිනිසෙක් දැයි උත්පලා ලියා තිබේ. නමුත් ඔහු හොඳ තාත්තා කෙනෙකු බව ඔප්පු කරන්නට ඔහු තවම ප්‍රමාද නැත.

“උත්පලාගෙ නෝට් එක ලොකු වන්දියක් ගන්න පුළුවන් කතාවක්. හැබැයි ඔයා විනෝදෙට හරි ඔය වගේ දේවල් කරන්න එහෙම නවත්තගන්න. මම ඔයාට ඩොක්ට කෙනෙක් මුණ ගැහෙන්න කිව්වෙත් ඒකයි. හිත රිදිලා තියෙන දේවල් ගැන කතා කරන ගමන් ඔයා ඉඳහිට විනෝදෙට කරපු දේවල් නවත්තගන්නත් ඩොක්ටර් උදව් කරයි.”

කඩා හැහැලෙන වරලසක් හිමි කතා කරන දෑසක් ඇති යුවතිය තමා ප්‍රතික්ෂේප කල අතීතය ගැන තුහින කල්පනා කළේය.ඒ ලාබාල යුවතිය පරිණත තරුණියක වී තමන්ගේ ප්‍රශ්නය විසඳන්නේ ඉතා බුද්ධිමත් ආකාරයට ය. ඔහු දැඩි මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරකයෙක් වීදැයි ඇය නාසන්නී ය. ඒ වෙනුවට එය යෝජනා කරන්නේ විනෝදයට කරන සමහර දේවල් වලක්වාගන්නට වෛද්‍යවරුන් උපකාර කරන බව ය. ලෝකයේ එක් අයෙකු හෝ තමන් වෙනුවෙන් පෙනී හිඳීමේ සන්තෘෂ්ටිය  තුහිනට දැනෙන්නට විය. ඒ වඩාත් සැනසීමක් වූයේ මේ ඔහුගේ පළමු ප්‍රේමය හන්දාය.

හිමි කර නොගත්තද මලිති ඔහුගේ පළමු ප්‍රේමය ය. ඈ වට කොට ගොඩනැඟූ සිහින ගැන දන්නේ ඔහු ය.ඇය ඒවා නොදැන සිටියාට කම් නැත. නමුත් ඇය මේ මොහොතේ ඔහු අසල සිටියි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles