ශබ්ධ වලින් නිදස්වෙලා නිදහසේ ඉන්න හිතනවනම් මේ තැනට ගිහින් බලන්න – Earth’s Quietest Room

“මේ සද්දෙ එක්ක මට වැඩ කරන්න අමාරුයි”

“සද්දෙ තියෙන තැන්වල ඉන්න ගියාම මට පිස්සු වගේ”

“මට ඕන කිසිම සද්දයක් නැති තැනක වාඩිවෙලා මනස නිදහස් කරගන්න”

මේ වගේ කතා නිතරම අහන්න ලැබෙනවා. ඔයත් මෙහෙම කියලත් ඇති සමහර වෙලාවට ඔයාටත් මෙහෙම හිතිල ඇති.

“අනේ සද්ද බද්ද නැති තැනක වාඩිවෙලා ඉන්න තිබුන නම් කොච්චර හොඳද?” කියල හිතිල තිබුනට මේ ආටිකල් එක කියෙව්වට පස්සෙත් ඔයා එහෙම හිතාවිද කියල මට පොඩි සැකයක් තියෙනවා.

සමහර වෙලාවට ඕනවට වඩා නිහඬ වීමත් ඔලුවට කරදරයක් වෙන්න, ඔලුව පිස්සු වට්ටන්න පුලුවන් බව අමතක කරන්න එපා.

ඉතින් අද අපි මේ ආටිකල් එකෙන් කතාකරන්න යන්නෙ ලෝකෙ නිහඬම කාමරය එහෙමත් නැත්තම් Earth’s Quietest Room එක ගැන. පොඩ්ඩක් අමුතුයි වගේ හිතුනට ඔව් එහෙම තැනකුත් මේ ලෝකෙ තියෙනවා.

ඒ තැන, එහෙම නැත්තම් මේ මිහිමත තියෙන නිහඬම තැන තියෙන්නෙ මිනසෝටා වල ඕර්ෆීල්ඩ් රසායනාගාරවල ඇනකොයික් කුටියක. මෙතන කොච්චර නිහඬද කියනවනම් කෙනෙක්ට ඒ නිහඬ බව දරාගන්න පුලුවන් උපරිම කාලය විනාඩි 45ක් ලු. ඊට එහා ඉන්න බෑ, ඔලුව පිස්සු වට්ටන්න තරම් මේ නිහඬ බව හේතු වෙනවලු.

මේ කාමරය සියයට 99.99ක ශබ්ද අවශෝෂණ හැකියාවක් තියෙනව වගේම ලොව නිස්කලංකම ස්ථානය ලෙස ගිනස් ලෝක වාර්තාවකටත් හිමිකම් කියනවා. මේ කාමරය විශාල එකක් නෙවෙයි. කුඩා කාමරයක්. මේ කුඩා කාමරයේ ඇතුළත ගැඹුරු, ෆයිබර්ග්ලාස් කුඤ්ඤ, පරිවරණය කරන ලද වානේ ද්විත්ව බිත්තියක් සහ ඝන කොන්ක්‍රීට් වලින් පැති හයකින්ම වටකරල තමයි තියෙන්නෙ මේ නිහඬතාවය ආරක්ෂා කරගන්න බලාපොරොත්තුවෙන්.

කාමරය කොච්චර නිශ්ශබ්දද කියනවනම්, පසුබිම් ශබ්දය සෘණ ඩෙසිබල්, -9.4 dBA වලින් තමයිලු මනින්නෙත්. සාමාන්‍ය නිස්කලංක නිදන කාමරයක් 30 dBA වෙනවා. මේ රසායනාගාරයේ තියෙන මේ කාමරය ඇතුලට එන අයට ආරාධනා කරනවලු අන්ධකාරය එක්ක මේ නිහඬ කුටිය ඇතුලෙ වාඩිවෙලා ඉඳල බලන්න කියන්න. කාමරය නිශ්ශබ්ද වන තරමට අපිට ඇහෙන දේවල් වැඩියි. අපේ කන් නිශ්ශබ්දතාවයට අනුවර්තනය වීමට පටන් ගන්නෙ ටිකෙන් ටික. ඉන්පස්සෙ අපිට ඇහෙන්න ගන්නවා අපේ හදවත ගැහෙනවා. ඊලඟට ඇහෙන්න පටන් ගන්නෙ අපේ පෙණහලු ගැහෙනවා. ඊලඟට ඇහෙන්න ගන්නෙ අපේ බඩ ගැහෙන සද්දෙ. හිතන්නකො නිකන් ඔලුව විකාරයි වගේ නේද කියල කියවද්දිත්?

“අනේ මම ආසයි සද්දෙ නැති තැනක ඉන්න” කියල කවුරු උනත් අන්තිමේ තමන්ට මෙතනින් එලියට එන්න දෙන්න කියල කියනවලු. මොකද ඒ නිහඬතාවය දරාගන්න එච්චරටම අමාරුයි. ඒ නිහඬතාවය එක්ක කාමරය ඇතුලෙ හිටගෙන ඉන්න අමාරුයි. ව්‍යාකූලතාවයක් දැනෙන එක වලක්වන්න බෑ. දිග කාලයක් කාමරේ ඇතුලෙ ඉන්න නම් වාඩිවෙලාම ඉන්න ඕන.

මිනිසුන්ට අභියෝග කිරීමට පමණක් නොව සමාගම් විසින් හෘද කපාට, CPAP යන්ත්‍ර සහ ජංගම දුරකථන වැනි ඔවුන්ගේ නිෂ්පාදන කෙතරම් ඝෝෂාකාරී දැයි සොයා බලන්නත් මේ කාමරය පාවිච්චි කරනවලු. නාසා ආයතනය ඔවුන්ගේ ගගනගාමීන්ට අභ්‍යවකාශයේ නිශ්ශබ්දතාවයට අනුවර්තනය වීමට උපකාර කිරීම සඳහාත් මේ කාමරය පාවිච්චි කරල තියෙනවා.

නිෂ්පාදන පරීක්ෂා කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා නිෂ්පාදකයින් රසායනාගාරය භාවිතා කරනවා. හාර්ලි ඩේවිඩ්සන් වැනි සමාගම් නිදසුන් ලෙස තවමත් නිහඬ බයිසිකල් නිර්මාණය කිරීමට සහ පරීක්ෂා කිරීමට රසායනාගාරය භාවිතා කරනවා. LED සංදර්ශක වැනි අනෙකුත් නිෂ්පාදන ඒවායේ ශබ්දය ඉතා ඝෝෂාකාරී නොවන බවට වග බලා ගැනීම සඳහා පරීක්ෂා කරන්නත් එන්නෙ මෙතනට. NASA, ඇත්ත වශයෙන්ම, අභ්‍යවකාශය එක් යෝධ ඇනෙකොයික් කුටියක් වගේ හන්දා, එහෙ යන්න කලින් ගගනගාමීන් පරීක්ෂා කිරීම සඳහා සමාන විද්‍යාගාරයක් ලෙස මේ කුටීරය භාවිතා කරන බව, Orfield Labs හි සභාපති Steven Orfield පැහැදිලි කරනවා.

මහජනතාවයට කාමරයට පැමිණීමට සංචාරයක් වෙන්කරවා ගන්න ඕන වෙනව වගේම, කෙටි, අධීක්ෂණ සංචාරයන් සඳහා පමණක් අවසර දෙනවා. විද්‍යාගාරයේ වෙබ් අඩවියට අනුව, මාධ්‍ය සාමාජිකයින්ට පමණක් දීර්ඝ කාලයක් කුටියේ තනිව සිටීමට අවසර තියෙනවා. එක් වාර්තාකරුවෙකු මිනිත්තු 45ක් වෙනකම් මේ නිහඬ බව දරාගෙන ඉදල තියෙනව වගේම, බොහෝ අය එම කාලයෙන් අඩකට පසු පිටව යන්නේ එයාලට එයාලගෙම ඇඟ ඇතුලෙන් ඇහෙන ශබ්ධය දරාගන්න බැරි වුන හන්දලු.

 “ඇනකොයික් කුටිය තුළ, ඔබ ශබ්දය බවට පත් වේ” කියලා ඕෆීල්ඩ් කියන්නෙ අන්න ඒ හන්දා.

අපේ කන් නිශ්ශබ්දතාවයට අනුවර්තනය වන විට, අපේ හෘද ස්පන්දනය, ආමාශය සහ පෙනහළු වල ශබ්දය ඇහෙන්න පටන් ගන්න එක ටිකක් බයංකාර අත්දැකීමක් කියල තමයි මෙතනට ගිය අය වගේම ඕෆීල්ඩ් කියන්නෙත්.

ඔර්ෆීල්ඩ් පැහැදිලි කරන්නේ කාමරයේ දිගු වේලාවක් සිටීමට ඇති එකම මාර්ගය වාඩි වී ඉන්න එක කියලා. පුද්ගලයෙකුගේ දිශානතිය බොහෝ දුරට ආරක්ෂිත වන්නේ ඇවිදින විට හෝ සිටගෙන සිටින විට ඇති වන ශබ්ද නිසා. එම ශබ්ද ඉඟි ඉවත් කරන විට, සංජානනය විකෘති වන අතර සමතුලිතතාවය සහ චලනය කරන්න අමාරු වෙන බවත් ඔහු කියනවා.

ඉතින් මොකද හිතන්නෙ කෝටියක් විතර දෙනවා, මෙන්න මේ ලෝකෙ නිහඬම කුටීරයේ පැයක් හිටියොත් වගේ කියල කිව්වොත් ඔයාලා ඒ ඔට්ටුව භාරගන්නවද?

Related Articles

Don't Miss


Latest Articles