ඒකපාර්ශ්වික – 31

නිම්නාද බොහෝ සේ නොසන්සුන්ව දුරකථනය අතැතිව නිවසේ එහා මෙහා යමින් සිටියේ ඔහු දන්නා වර්ෂාගේ සියලු මිතුරන්ට දුරකථන ඇමතුම් දෙමිනි. උදෑසන තමා නිවසින් පිට වන විට නිවසේ සිටි වර්ෂා තමන් ආපසු එන විට නිවසේ සිටියේ නැත.පැය කීපයක් තිස්සේ ඇගේ දුරකථනයට ඇමතුම් ලබා ගත්තද එය ක්‍රියා විරහිත කර තිබීම සහ කෙටි පණිවිඩයක් හෝ නොතබා තිබීම නිම්නාද මෙසේ නොසන්සුන් වීමට හේතු විය.

නිම්නාද මොහොතක් වාඩි වී කල්පනා කළේය. සමහරවිට ඇය රූගත කිරීමකට යන්නට ඇතැයි ඔහු සිතුවේය. නමුත් එවැන්නක් තමන් නිවසින් පිට වන විට වත් ඇය නොකියා සිටියේ ඇයි යන ගැටලුව නිම්නාද තුළ විය. 

හදිසියේ යමක් සිහි වූවා මෙන් නිම්නාද නිදන කාමරයට දිව ගොස් අල්මාරිය හැර බැලුවේය. තමා සිතුවා හරිය. වර්ෂාගේ අල්මාරියේ ඇඳුම් වලින් හරි අඩකට වඩා දැන් එහි නැත. සිදු වී ඇත්තේ කුමක්දැයි නිම්නාදට සිතා ගැනීමට නොහැකි විය. පහුගිය දින කිහිපය තරමක් සාමාන්‍ය ලෙස ගත වුවත් වර්ෂා එතරම් තමාට මුහුණ දුන්නේ නැත. විදෙස් ගත වීමට තමාට අවශ්‍ය තවත් කටයුතු කීපයක් පමණක් සූදානම් කර ගැනීමට ඉතිරිව තිබියදී වර්ෂා මෙසේ නිවස හැර යාම ගැන කලබල නොවී සිටීමට නිම්නාදට නොහැකි විය. 

තවත් පැයකට පමණ පසුව වර්ෂාගේ වට්සැප් අංකයෙන් නිම්නාදට ඇමතුමක් ආවේය. නිම්නාද ඇමතුම ක්‍රියාත්මක කරේ සැනසුම් සුසුමක් හෙලමිනි.

” කොහෙද වර්ෂා ඉන්නේ? මම හොඳටම බය වුණා ” 

වර්ෂා තප්පර කීපයක් නිහඬව සිටියාය. අනතුරුව හෙළුවේ සුසුමකි.

” මං ඔයාට ගත්තේ , මං යනවා කියන්න නිම්නාද ” 

නිම්නාද හුන් තැනම හිඳ ගත්තේය.වර්ෂා මේ කියන්නේ මොනවාද ? 

” යනවා ? කොහෙද?  වර්ෂා ඔයා මොනවද මේ කියන්නේ ? ” 

නිම්නාද බොහෝ සේ කලබල වී ඇත. නමුත් දැන් තමාට කිරීමට කිසිවක් ඉතිරිව නැත. 

” මට වෙන කරන්න දෙයක් නෑ නිම්නාද . මම හිතපු කිසි දෙයක් ඒ විදිහට සිද්ධ වුණේ නැහැ. ඔයාත් මේඝා ගැන හිත හිත හිටිය මිසක්, එයා ගැන වද උනා මිසක් මාත් එක්ක ජීවිතයක් ගැන හිතුවේ නෑ. මට මේක තවදුරටත් කරන්න බැරි නිසා මම තීරණයක් ගත්තා නිම්නාද. මං ආපහු ලංකාවට එන එකක් නෑ  ” 

” එතකොට මම ? ” 

” මම දන්නෙ නෑ නිම්නාද . මං ප්‍රාර්ථනා කරපු ජීවිතේ ඔයා ලඟ නෑ  . එච්චරයි මං දැන් දන්නේ ”  

එපමණක් කියූ වර්ෂා ඇමතුම විසන්ධි කලාය. නිම්නාද තවත් කිහිප වරක් ඇයව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැත. එසේ නම් වර්ෂා  තමාටත් නොකියා ලංකාවෙන් පිට වීම සඳහා කටයුතු සූදානම් කර ගෙන ඇත. 

නිම්නාද සිටියේ අතරමං වීය. තමා වර්ෂාට ලං වූවානම් මේඝාව තමාගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරන්නට තිබුනා නොවේ දැයි නිම්නාද කල්පනා කළේය. එසේ කළා නම් අද මෙවැන්නක් සිදුවන්නේ නැත. දැන් තමාගේ බලාපොරොත්තු සියල්ලම දෙපා මුලට කඩා වැටෙනු ඇත. නැවතත් පෙර සේම තමාට සියල්ල ගොඩ නගා ගැනීමට වෙහෙස වීමට සිදු වන්නේය. 

හිස ගිනි ගත්තෙකු සේ නිම්නාද පැය ගණනාවක් කල්පනා කලේය. මේ වන විට තමා සතුව ඇත්තේ ඉතිරි කර ගත් මුදල් සුළු ප්‍රමාණයක් පමණි.ඒවා අවසන් වන්නට මත්තෙන් නැවතත් ස්ථීර රැකියාවක් සොයා ගත යුතුය. වර්ෂාගේ සහය නොමැතිව විදෙස් ගත වීම කෙසේ වත් කල හැකි වන්නේද නැත . නිවසේ ස්ථාවර දුරකථනය නාද වූයේ ඔය අතරේය. එයට ඇමතුමක් එන්නේ කලාතුරකිනි. නිම්නාද ගොස් රිසීවරය අතට ගත්තේය.

” හෙලෝ ” 

” හෙලෝ මිස්ටර් නිම්නාද ? මම පියල් වීරසේකර ” 

” කවුද ? ” 

” Apartment owner ” 

” අහ්.. කියන්න මිස්ටර් වීරසේකර ” 

” වර්ෂා කිව්වා දවස් හතරක් ඇතුලත ගේ බාර දෙනවා කියලා. මිස්ටර් නිම්නාදට උදව්වට කාව හරි ඕනෙද ? ” 

” මොකක් ? ” 

” වර්ෂා මිස් අද උදේ තමයි කෝල් කලේ . මිස්ටර් නිම්නාද තව දවස් හතරකින් ගේ බාර දෙයි කියලා තමයි කිව්වේ ” 

නිම්නාද ඉවසුවේය. නිවෙස් හිමිකරුට කිසිවක් කියා පලක් නැත. වර්ෂා සියල්ල සැලසුම් කර තමාවද අමාරුවේ දමා ගොස් ඇත. 

” හරි මම ගේ බාර දෙන්නම් ” 

නිම්නාද අවසානයේදී කියා දැම්මේ වීරසේකර මහතා වෙත දීමට වෙනත් පිළිතුරක් නැතිම තැනය. දැන් නවාතැනක්ද සොයා ගත යුතුව ඇත.  නිම්නාද කල්පනා කලේය. ඔහුට හදිසියේම සිහි වූයේ මේඝාවය. තවත් විනාඩි කිහිපයක් ගත කල ඔහු දුරකථනය අතට ගත්තේය.

නිම්නාදගෙන් ඇමතුම එන විට මේඝා සිටියේ දහවල් ආහාරය ගනිමිනි. අහස් මේඝාව නිවසට කැටුව ආ පසුව අවන්හලකින් කෑම ඇණවුම් කලේය. ආහාර නොගෙන නින්දට යන්නට සිතා සිටි මේඝාට අහස්ගේ අණ කිරීමට අවනත වන්නට සිදු විය. 

කෑම මේසයේ පසෙකට වී අහස් බලා උන්නේ මේඝා ආහාර ගන්නා ආකාරයය. අකමැත්තෙන් වුවත් ඇය ආහාර ගැනීම අහස් ගේ සිතට ගෙන ආවේ සැනසිල්ලකි. මේ ගෙවී යන්නේ අමුතුම ආකාරයේ දවසක් බව අහස්ට දැනෙමින් තිබුනි. නිම්නාද ගේ දුරකථන ඇමතුම ආවේ ඔය අතරය.

” නිම්නාද ගන්නවා ” 

මේඝා කීවේ පසෙක තිබූ දුරකථනය දෙස බලාය. අහස්ගේ සිත හෙල්ලුනත් ඔහු ඒ බව නොපෙන්වාම සිටියේ ය.

” ආන්සර් කරන්න ” 

අහස් එපමණක් කීවේය. මේඝා දුරකථනය අතට ගත්තා ය. හදිසියේම නිම්නාද තමා අමතන්නේ හොඳකට විය නොහැකියි සිතමින් මේඝා ඇමතුම සම්බන්ධ කර දුරකථනය කනේ තබා ගත්තා ය.

” කියන්න නිම්නාද ” 

මේඝා උත්තර දුන්නේ අහස් දෙස බලමිනි.අහස් මේඝාගේ දෑස් මග හැර වෙනතක් බලා ගත්තේය. මෙතනින් නැගිට යා යුතු දැයි අහස් කල්පනා කලේය. එහෙත් නිම්නාද කියනා කුමක් හෝ දෙයකට මේඝා හිත රිදවා ගතහොත් තමා මෙතන සිටිය යුතු නොවේදැයි  අහස් සිතුවේය. 

” කොහෙද මේඝා ඉන්නේ ?” 

ඒ ප්‍රශ්නය ඔහු ඇසුවේ මේඝාගේ සමීපතමයෙකු ලෙසිනි. කලකට පසු තමා අමතා නිම්නාද මෙසේ අසන්නේ ඇයි ? 

” ගෙදර. ඇයි ? ” 

” ඔෆිස් ගියේ නැද්ද ? ” 

” ගිහින් ආවා ” 

නිම්නාද මොහොතක් නිහඬව සිටියේය. සිදුවී ඇති දෙය මේඝාට කිව යුතුය. එහෙත් තමා මේඝාට කලේ සාධාරණයක් නොවේ.එසේ තිබියදීත් ඇය මෙසේ හෝ තමාගේ ඇමතුමට පිළිතුරු දීම වටිනවා නොවේද ?

” මට පොඩි කරදරයක් වුණා ” 

සිදුවී ඇති දෙය කීමට වෙන විදිහක් සිතා ගැනීමට නොහැකි නිසා නිම්නාද එසේ කීවේ කෙටියෙනි.

” මොකද්ද ? මොකක්ද නිම්නාද උනේ ? ඔයා කොහෙද ඉන්නේ? ” 

මේඝා කලබල වී පුටුවෙන් නැගිට්ටාය. අහස්ද ඒ සමඟම නැගිට්ටේය. මේඝා වේගයෙන් හුස්ම ගනී. අහස් මේඝාගේ උරහිසින් අල්ලා නැවතත් වාඩි කලේය.

” මේඝා ප්ලීස් කූල් ඩවුන් ” 

අහස් කීවේ මේඝාගේ හදිසි කලබලය බලා ඉන්නට බැරි තැනය. නිම්නාද දුරකථන ඇමතුමේ අනික් පස සිටිනා බව ඔහු මොහොතකට අමතක කළේය. වැදගත් වන්නේ මේඝා පමණකි.

” නිම්නාද ? හෙලෝ ? මොකද්ද දෙයියනේ උනේ ? ” 

මේඝා එක දිගට ප්‍රශ්න අසයි. මේ තරම් කලබල වීමට මේඝා තුළ තවමත් නිම්නාද කෙරෙහි කුඩා හෝ හැඟීමක් ඉතිරිව තිබේද ? 

” ඔතන අහස් ඉන්නවද ? ” 

මේඝාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනු වෙනුවට නිම්නාද ඇසුවේය. මේඝා පියවි සිහියට පැමිණියේ එවිටය. ඇය එකවරම අහස් දෙස බැලුවාය.ඒ වනවිටත් අහස් සිටියේ මේඝා දෙස බලාගෙන ය.

” කියන්න ? අහස් ඉන්නවද ඔතන ? ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles