සති අන්තය කියන්නෙ කාර්යබහුල සහ වෙහෙසකර දවස් කීපෙකට පස්සෙ උදාවෙන අපි කවුරුත් විවේකීව ගත කරන්න බලාගෙන ඉන්න දවස් දෙකක්නෙ.
හැබැයි සමහර වෙලාවට ගෙදරදොර වැඩකටයුතු එක්ක මේ දවස් දෙකත් නිවාඩුවක් නොගෙනම වැඩකරන්න සිදුවෙන අත්දැකීම් ඔබට ඕනතරම් ඇති.
ඒ වෙහෙසත් එක්ක ලොකු දෙයක් කරන්න බැරිවුනත් පවුලෙ සහ ඔබේ සැනසිල්ල ගැන නිතරම හිතන ඔබ වෙනුවෙන්ම පවුලෙ හැමෝම ආසාවෙන් රස බලන රසම රස වෙනස් කෑම වේලක් ඉක්මණින් හදාගන්නෙ කොහොමද කියල කියල දෙන්නයි smart lady අපි අද සූදානම් වෙන්නෙ.
ලස්සන, රස කෑම වේලක් කියන්න පවුලෙ හැමෝම එකට එකතු කරන සතුටු පෙත්තක්නෙ.
ඒ නිසා වෙනසකටත් එක්ක මේ සති අන්තයේ මේ කෑම වේල හදල බලන්න කියල ඔබට ආරාධනා කරන ගමන්ම පුරුදු විදිහට මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු.
අවශ්‍ය ද්‍රව්‍ය
තෙල් / ඔලිව් තෙල් නම් වඩා හොඳයි
බ්‍රොකලී 300 g ක්
බෝංචි 300 g ක්
කටු ඉවත් කරගෙන කුඩා කැබලි වලට කපා ගත් කුකුල් මස් 1 kg
වතුර කෝප්ප ½ ක්
කුඩාවට කපා ගත් සුදුලූණු බික් 04 ක්
ලෙමන් ගෙඩි දෙකක යුෂ (දෙහි යුෂ)
පැණි කෝප්ප ⅓ ක්
සෝයා සෝස් මේස හැඳි 1 ½ ක්
තල තෙල් මේස හැඳි 02 ක් (අත්‍යාවශ්‍යම නැත)
කෝන් පිටි බඩඉරිඟු පිටි මේස හැඳි එකහමාරක්
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු
සෝදාගත් බාස්මතී හාල් 350 g ක්
වතුර 700 ml
සාදාගන්නා ආකාරය
මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන එයට කුඩාවට කපා ගත් සුදුලූණු, වතුර කෝප්ප භාගයක්, පැණි, සෝයා සෝස්, ලෙමන් යුෂ, තල තෙල් සහ කෝන් පිටි එකතු කර හොඳින් කලවම් කරගන්න.
එයට කුඩාවට කපාගත් කුකුල් මස් එකතු කර හොඳින් කලවම් කරගෙන පසෙකින් තබාගන්න.
ඊළඟට, සෝදාගත් සහල් වලට වතුර 700 ml ක් එකතු කර ලිපතබා බත පිසගන්න.
(ඔබ භාවිතා කරන්නෙ බාස්මතී හාල් නෙමෙයි නම් ඊට ගැළපෙන ලෙස වතුර තබාගත යුතුයි)
වෙනම භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයල් එකතු කරගෙන තෙල් රත්වූ විට සෝදා කුඩා කැබලි වලට කපාගත් බ්‍රොකලි එකතු කර හොඳින් කලවම් කරගන්න.
විනාඩි 03 ක් 04 ක් පමණ තබාගෙන එයට දිගට කපාගත් බෝංචි එකතු කරගෙන නැවත හොඳින් කලවම් කරගෙන ඔබේ රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කරගන්න.
දැන් මේ එළවළු වලට වතුර 80 ml ක් පමණ එකතු කර නැවත කලවම් කර භාජනය පියනකින් වසා විනාඩි 02 කට පසු සියල්ල හොඳින් කලවම් කර එළවළු ටික වෙනම භාජනයකට ඉවත් කරගන්න.
දැන් එම භාජනයම නැවත ලිපතබා එයට කුඩාවට කපාගත් කුකුල් මස් කැබලි ටික එකතු කරගන්න.
විනාඩි 10 ක් පමණ හැඳිගාමින් පිසගන්න.
විනාඩි 10 කට පසු සියල්ල නැවත හොඳින් මිශ්‍රකර සාදාගත් සෝයා සෝස් / පැණි මිශ්‍රණය එයට එකතු කර හොඳින් කලවම් කරගන්න.
ඔබේ රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩුත් එකතු කරගන්න.
විනාඩි එක හමාරක් දෙකක් සියල්ල හොඳින් කලවම් කර සෝස් මිශ්‍රණය බුබුළු දමමින් නටන තෙක් තබා ලිපෙන් ඉවත් කරගන්න.
මේ වෙද්දී අපේ බත ඉදිල අවසන් ඇති.
දැන් ලස්සනට බෙදපු බත් පිඟානක බ්‍රොකලි සහ කුකුල් මස් පැත්තකින් බෙදල රස බලන්න ඔබට පුළුවන්.
අවශ්‍ය නම් බ්‍රොකලි වලට කැරට් වගේ ඔබ කැමති තව එළවළු එකතු කරන්නත් පුළුවන්.
මෙය ඔබේ meal prep රෙසිපි සඳහත් භාවිත කරන්න පුළුවන්.
එහෙනම් මේ ලස්සන කෑම පිඟානෙන් ඔබේ සති අන්තය රසවත් කරගන්න කියල ඔබට ආරාධනා කරන ගමන්ම අපි ඔබෙන් සමුගන්නවා.
සටහන – දුලානි නවෝද්‍යා