ආකාස මෝස්තර – 14

ගඟුල් විජයවීර විසල් වෘත්තාකාර වැරැන්ඩාවේ සක්මන් කරමින් සිටියේ ය. ඔහු ගේ මුව මඳහසකි. පාරුල් දෙව්රූ ඇල්ලගේ සමගින් මිත්‍රත්වය පිළිබඳව හෝ එකඟතාවයකට එන්නට හැකි වීම සන්තෝස වීමට කාරණයකි. නමුත් ඔහු තවත් එක් දේශපාලකයෙකු පමණක් වුවහොත් ඒ එකඟතා කොන්දේසි සියල්ල කිසිදු කොන්දේසියකින් තොරව ඇය විසින් අහෝසි කොට දමනු ඇත.

විජයවීර මන්දීරය කුරුඳුවත්තේ පිහිටි පැරණි මැදුරකි. ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකරණ ලද්දක් වන එය කාලයෙන් කාලයට විටින් විට නව ප්‍රතිසංස්කරණයන්ට බඳුන් වූවකි. වින්ටේජමය වටිනාකමක් දනවන දැවැන්ත දොර, උළුවහු, පියසි ද ලී කැටයම්, දාරුමය සිවිලින්, කුඹුක් ලෑලි ඇතිරූ ගෙබිම හා පියගැට පෙළවල් ද තෙමහල් මැදුරට එක් කරන්නේ ගාමභීර පෙනුමකි. ගේ වටකොට ඉදිකරන ලද වෘත්තාකාර වැරැන්ඩාවේ බිම රථ පලසක් මෙන් ඝණ ඔපේට රතු සිමෙන්තියෙන් මැද තිබේ. නිරන්තර දැනුදු සේවකයන් අතින් ඒ බිම රතු පාට පොලිශ් ගල්වා මැදෙන්නේ ය. වැරැන්ඩාවේ තන්හි තන්හි තැබූ කළුවර ලීයෙන් කළ ඉපැරණි වැරැන්ඩා පුටු කිහිපයකි. දාරුමය බහාලුම් තුළ සරුවට වැඩුණු, අතු ගොතා ඇති නුග පැළ කිහිපයක් එහි බඳුන්ගත කොට තිබේ. විශාල ආලින්දයට ප්‍රවේශ වීම සඳහා දෙපියන් දොරවල් දෙකක් වන අතර ඒ දෙකට මත්තෙන් වන කැටයම් ලෑල්ලට ඉහළින් ගෝන අං තට්ටු දෙකක් බිත්තියට සවි කොට ඇත. විල්ලුද පලස්, පළිඟු එබ්බවූ එල්ලෙන ලාම්පු, අගනා ඉපැරණි ගෘහ භාණ්ඩ…! ගඟුල් වැරැන්ඩාවේ ඔබ මොබ ඇවිදිමින් සිතුවේ පාරුල් ගැන යි. ආමර් වීදියේ පිහිටි ඔවුන් ගේ පේළි ගෙවල් හා කුරුඳුවත්තේ පිහිටි මේ ගෙවල් අතරේ වන වෙනස ගැන ය. නමුත් ඒ ගෙවල් වලත් මේ ගෙවල් වලත් ඉන්නේ මිනිසුන් ය. මිනිසුන් ලෙස උපත ලබා මිනිසුන් ලෙස මිය යන ආකාරයෙහි දෙපාර්ශවයේ ම වෙනසක් නැත. නමුත් ඔවුන්ට ජීවත් වන්නට සිදු වී ඇති ක්‍රමවේදයෙහි දැවැන්ත වෙනසක් තිබේ. යා කළ නො හැකි පරතරයක් තිබේ.

සුරත් විජයවීර උපන්, ඔහු ගේ පරම්පරාවට අයත් නිවසක් නොවේ මෙය. ඉංග්‍රීසි පාලන සමයේ දී මේ නිවස අයිති ව තිබුණේ සුදු ජාතික- රජයේ නිලධාරියෙකුට ය. ඔහු ගේ පවුලේ සමීපතමයන් සියල්ලන් ම වාගේ දිවයින හැර මව්රට බලා ගියෙන්, ලංකාවේ ඉතිරි වූ බර්ගර් පවුලකට මන්දීරය හිමි විය. ඉතා මෑතක ඔවුන් ද සිය ගේදොර විකුණා ඔස්ට්‍රේලියාවේ පදිංචියට යත්දී සුරත් විජයවීර වහා ම එය මිල දී ගත්තේ ය. වෙනත් කිසිවෙකුට ලන්සු තැබිය නො හැකි වනු වස් ඔහු ගෙයට යට කළේ ඇතැම් විට එහි නියම තක්සේරු වටිනාකමට වඩා ඉහළ මුදලක් විය යුතු ය. ඒ එවන් මුදලකින් මිල දී ගත නො හැකි තත්වයක් – නම්බුවක් මේ ඉපැරණි මන්දිරය නිසා ඔහු ගේ නමට එක් වන බැවිනි.

“පුතා”

බිම බලාගෙන මතක ලෝකයක සක්මන් කරමින් සිටි ගඟුල්, නිර්ධා ගේ හඬින් හිස හරවා බලන විටත් ඔහු ගේ දෙතොල් අතරේ මන්දස්මිතයකි.

“මොකද තනියම හිනාවෙන්නෙ… ගෑනු ළමයෙක්වත් මතක් වුණාද…”

“ගෑනු ළමයෙක්වත් කියල හයිලයිට් කළේ… හරියට මට කෙල්ලො දුසින් ගාණක් ඉන්නව වගේනෙ… අම්ම තාත්තට වගේම දැං මටත් නෝන්ඩිය දානව නේ…”

ගඟුල් හඬ නැගෙන සේ සිනහ වූයේ ය. ඒ සිනහවට නිර්ධා ද කැමැත්තෙන් ම එක් වූවා ය.

“නෝන්ඩියට නෙවෙයි ඉතිං… මං ඇත්තනෙ කිව්වෙ. කෙල්ලොනං කීයක් ඉන්න ඇද්ද මේ වෙනකොට…”

“හරි හරි ඒ ඉතිං ඉස්සරනෙ…”

“ඒ ඉතිං ඉස්සර කිව්වෙ දැං එහෙම නෑ කියන එකද… ඒ කියන්නෙ දැං පර්මනන්ට් ගෑනු ළමයෙක් ඉන්නව කියන එකද… මැරි කරන්න බලාගෙනම ආශ්‍රය කරන…”

නැවත ද ගඟුල් සිනහවක් නගා ගත්තේ ය. ඒ සිනහවේ අමුත්තක් ඇති බව වෙන කාට නැතත් නිර්ධා ට නො දැනී තියෙන්නේ නැත.

“ම්… මොකද ගොළු වුණේ…ඉන්නවද එහෙම කවුරුවත්… මටත් කියන්නකො ඉන්නවනං”

“ඉන්නව එක්කෙනෙක්..හැබැයි මැරි කරන්න තියා කැමතියි කියල කියන්නවත් විදිහක්නං නෑ”

“ඒ මොකද අනේ… ඒක සෑහෙන කම්ප්ලිකේටඩ් කන්ඩිශන් එකක්නෙ”

“අම්ම වගේම තමයි ඉතිං… හෙණ පණ්ඩිත කේස් එකක්. මෙඩිසින් නෙවෙයි කරන්න තිබුණෙ පොලිටික්ස්. ඡන්දෙ ඉල්ලුවොත්නං දිනන්නෙ වාර්තා තියල”

“මෙඩිසින් කරන ගර්ල් කෙනෙක්…”

“හ්ම්. හැබැයි ආමර් ස්ට්‍රීට් එකේ වත්තක ගෑනු ළමයෙක්. මං මැරි කරන්න ඇහුවොත්නං මට මේ රට අවුරුද්දෙන් ගොඩ අරං පෙන්නන්න ඩොලර් සංචිත මෙච්චරක් වැඩි කරල පෙන්නන්න කියල ඩෙඩ් ලයින් එකක් දෙයි”

එවර හඬ නගා සිනහ වූයේ නිර්ධා ය.

“අන්න කෙල්ලො. එහෙම කෙල්ලෙක් තමයි හම්බවෙන්න ඕනෙ මෙයාව හදල ගන්න. ඒ කාලෙ අපිට එහෙම ඔළුවක් තිබුන්නෑනෙ තාත්තණ්ඩිව හදල ගන්න”

“ඉතිං දැං හදල ගන්න පුළුවන්නෙ…”

“කෝවක දාල මකල තමයි. මේ ඒක නෙවෙයි. ඒ කියන්නෙ එදා තාත්ත දුම්මල වරම අතට අරං දෙහි කැපුවෙ ඔය ළමයටද…”

“හ්ම්. ඒ වගේ කෙල්ලො ඉස්සරහට එන්න ඕනෙ අම්මෙ. එහෙම වුණානං මේ රට කණපිට ගහල අලුතෙන් හදල ගනී. මන්දන්නෑ ප්‍රැක්ටිකලි කොයිතරං දේවල් කරන්න පුළුවන්ද කියල. ඒත් එයා හිතන විදිහෙ ප්ලෑන් එකකට වැඩ කරන්න පුළුවන්නං…”

“ඒ වගේ පරිසර වලින් උගත් ළමයෙක් දෙන්නෙක් හරි එළියට එන එක ලොකු දෙයක් පුතා. මං ඉස්සර ජෙනරල් හොස්පිට්ල් ඉන්න කාලෙ මතකයි. ඔය වතු වල මිනිස්සු දුවං එන්නෙ එතනටනෙ. දැනුම කියන දේ බින්දුවයි. ඒ සමහර අම්මල බඩට මාස හය හතක් වෙනකලුත් දන්නෑ දරුවෙක් හම්බෙන්න ඉන්නව කියල. ඉතිං කළලයක් වැඩෙන්න කිසිම පෝෂණයක් නෑ. විටමින් කැල්සියම් ෆෝලික් ඇසිඩ් වගේ අසෙන්ශල් නියුට්‍රියන්ට්ස්වත් නෑ. ළමයි හැදෙනවට හදනව. ඒ ළමයින්ගෙ පෝෂණය ගැන හිතාගන්න පුළුවන්නෙ. බබාල දෙන්නෙක් විතර හම්බවෙනකොට අම්මලගෙ දතුත් හැලිල. හැට පැනපු අය වගේ වයසට ගිහිං. ඉතිං ඒ සමාජ වලින් ඩොක්ටර්ස්ල බිහි වෙනවනං ගොඩාක් ඛේදවාචක අඩු වෙයි. පව්!”

ඒ වෙලාවේ ගඟුල් ට ඈ ගැන දැනෙමින් පැවතියේ ආඩම්බරයකි. අම්මා ට පුතා ගේ හදවත වන කලඑළිය ඔහු ගේ මූණෙන් දැකිය හැකි විය.

“ඒ කියන්නෙ මට ඉක්මනට දොස්තර ලේලි කෙනෙක් හම්බවෙන්නයි යන්නෙ නේ…”

“අම්ම ලොකුවට හෝප්ස් තියාගන්නෙපා. ඒකට මං තව සෑහෙන්න කොලිෆයි වෙන්න වෙයි”

ගඟුල් සැහැල්ලු සිනහවකට ඉඩ හදා දුන්නේ ය.

පාරුල් තුළ ද අමුත්තක් සංසරණය වෙමින් තිබිණ. උමා හදා තිබූ ගුලාබ් ජාමුන් එකක් එහෙම පිටින් ම මුවෙහි ඔබා ගත් ඕ දෙතොල් තද කරගෙන සිනහ වන්නට වූවා ය.

“මොන ම ද නයෙක් ගහලද මේකිට… දැං ඕක හිරකර ගනිංකො”

උමා ගේ විලාශයට පාරුල් ට තව තවත් සිනහ නැඟුණේ ය.

“මට පේන්නෙ අද මොනාහරි වෙලා වගෙයි”

ඒ පොඩි කාලේ සිට ම එකට හැදුණ ඉව මත දැනුණා වූ යමකි. නැතහොත් අවන්හලක දී ගඟුල් සමගින් තේ එකක් බිව් බවක් මේ වනතුරු ද පාරුල් උමාට කියා තිබුණේ නැත. අනිත් අතට අද මේ හිතට දැනෙන්නා වූ සැහැල්ලු සතුට හා බැඳී එහි කොතැනක හෝ ඔහු සිටිනවායි විශ්වාස කරන්නට ද පාරුල් ට උමමනා වූයේ නැත.

බංකුවේ ඔවුන් දෙදෙනා අතරේ තිබූ පාරුල් ගේ ජංගම දුරකතනය ට කෙටි පණිවිඩයක් ආවේ ය. තිරයේ ඉහළ තීරයේ එය සනිටුහන් වෙත්දී ම උමා එය කියවා ගත්තා ය.

“හායි… කොහොමද අද ඔයාට… ඒ…යි ගඟුල් ද ඒ… ඒ කියන්නෙ ඒක එච්චර දුර ගිහින්ද…”

අතැඟිලි දෙකෙහි වූ ගුලාබ් ජමුන් වල පැණි සාය කෙළවරෙහි පිසගත් පාරුල් වට්සැප් වෙත පිවිසියා ය. තරුණියන් දෙදෙනා ගේ ම ඔළුගෙඩි ඊට එබී තිබිණ. ගඟුල් නොව ඒ කෙටි පණිවිඩය එවා තිබුණේ දොස්තර පසන් ඉරුගල්බණ්ඩාර ය. උමා ලොකු කරගත් දෑසින් මිතුරිය දෙස බලත්දී පාරුල් ද ඈ දෙස බලමින් සිටියා ය.

“කවුද පසන් කියන්නෙ…”

“ඩොක්ටර් කෙනෙක් අනේ”

“මට එහෙම කෙනෙක් ගැන කියල නෑනෙ…”

“හොස්පිට්ල් එකේ ඉන්න ඔක්කොම ඩොක්ටර්ස්ල ගැන ඔයාට කිය කිය ඉන්නයැ ඉතිං”

“මෙයා ඉතිං ස්පෙශල් කෙනෙක්නෙ”

“නෑ නෑ ස්පෙශලිස්ට් කෙනෙක් නෙවෙයි. මේ අවුරුද්දෙ පාස් අවුට් වෙච්ච අයිය කෙනෙක්. අපේ එකෙං නෙවෙයි… එයා ජපුරෙං ඇවිත් තියෙන්නෙ”

පාරුල් අහස දෙස බලාගෙන හයියෙන් සිනහ වූවා ය. නමුත් උමා ගේ මුහුණේ හතර මායිමේවත් සිනහවක සේයාවක් තිබුණේ නැත.  යමක් සොයාගන්නට සෙයින් ඇය පාරුල් දෙස ම බලා සිටින්නට වූවා ය.

“මොක්…කද ඔහොම බලන්නෙ ඉතිං…”

උමා ගේ උරහිස් වටා අත් දෙක ම යවාගෙන ඕ ඇගේ උරයේ නිකට තියාගත්තා ය.

දොස්තර පසන් ඉරුගල්බණ්ඩාර සීමාවාසික පත්වීම ලැබ ජාතික රෝහලට ඇවිත් වැඩි දිනක් නැත. මොකක්දෝ හේතුවකට ඔහු ඈ ගැන උනන්දු වෙන්නට පටන්ගෙන තිබේ. රෝහලේ දී හමු වුණොත් විශේෂ උනන්දුවකින් ඔහු ඇයට කතා කරන්නට එන බව ද පාරුල් ට දැනී තිබේ. පාරුල් ද වෙනසක් නැතිව ඔහු සමගින් කතා බහ කරන්නී ය. විශේෂයෙන් ම ඔවුන් අතරේ ලොකු වයස් පරතරයක් නොවෙනා නිසා අලුත් පත්වීම් ලැබ එන වෛද්‍යවරුන් සමගින් වෛද්‍ය සිසු සිසුවියන් ගේ විශේෂ ළෙංගතුකමක් ඇති වේ. නමුත් පසන් ගේ ඇස් පාරුල් සමගින් විශේෂ සෙල්ලමක් කරන්නට පටන්ගෙන ඇති බව ඇයට ද නො දැනුණා නොවේ. නමුදු තවම ඇය ඉන්නේ එහෙම වෙනසක් නො දැනුණ ගානට ය.

අද ඔහුව ඇයට හමු වූයේ නැත. ඔහු රෝහලට පැමිණියාද නැතිද කියා හෝ ඈ නො දැන සිටියා ය. ඒ ගැන වෙනත් කිසිවෙකුගෙන් විමසීමේ අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් ද පාරුල් ට දැනුණා නොවේ. නමුත් මේ වනතුරු ම පසන් බලා සිටියේ නිකමට හෝ ඇය දුරකතන ඇමතුමක් දී ඔහු දකින්නට නොලැබීමට හේතු විමසනු ඇත කියා ය. අඩු තරමින් ඔහු අසනීපයකින් ද කියාවත් ඇය විපරම් කොට බලනු ඇත කියා ය. නමුත් එවැන්නක් ඇගේ පැත්තෙන් නොවූ තැන පසන් මේ කෙටි පණිවිඩය තැබුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles