ඇත්තට මූණ දෙන්න තියෙන බයට තමන්ව රවට්ටගත්ත මනෝජාගේ කතාව

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

මනෝජා – චේතිය විවාහය අවසන් වුනේ අවුරුදු අටක විවාහ ජීවිතයකට පස්සෙ. දෙන්න අතරෙ තිබුන අහස පොළොව වගේ නොගැලපීම් ඒ දික්කසාදයට හේතු වුණා.මොන පැත්තෙන් ගත්තත් මනෝජායි චේතියයි දෙන්නම දැරුවෙ සම්පූර්න විරුද්ධ අදහස්. දික්කසාදය අරගන්න, දෙදෙනාගෙම සන්තෝසෙ වෙනුවෙන් වෙන් වෙන්න දෙන්නම කතා බහ කරල එකඟතාවයකට ආවට මොකෝ මනෝජාට දික්කසාදෙන් පස්සෙත් චේතියව සම්පූර්ණයෙන්ම අමතක කරන්න පුළුවන් උනේ නෑ.

“මම හැමදාම කෑම හදල බලන් ඉන්නවා චේතිය ඒවි කියල ඒ කෑම කන්න. අපි ඩිවෝස් වෙච්ච එක ඇත්ත. ඒත් මට එයාව මතක් වෙනවා වගේ එයාට මාව මතක් වෙන එකක්ම නැද්ද?

අපි කසාද බැඳල ඉද්දිත් එයා මට කීප සැරයක්ම චීට් කරල තියෙනවා. ඒ උනාට මම ඒ හැමවෙලාවෙම සමාව දුන්නෙ එයාට ආදරේ හන්දා. එහෙම එකේ එයා කොහොමද ඩිවෝස් වෙච්ච ගමන්ම මාව එකපාරම අමතක කරල දැම්මේ?

එයා බලාගෙන ඉඳලා තියෙන්නෙ මාව අමතක කරන්නද? මම වගේ සමාව දෙන, උයල පිහලා දෙන, ආදරේ කරන කෙනෙක් එයාට වෙන කොහෙන් හරි හම්බුවෙයිද? මට ඕන උනේ එයා මාව ඩිවෝස් කරල වෙන ගෑණු දාහක් ලඟට ගියත් ඒ හැම ගෑණි ලඟඳිම එයාට මාව මතක් වෙන්න, එයාට මගේ අගේ වැටහෙන්න, ඒ උනාට දැන් එයාට මාව මතක නෑ, එයා බලාගෙන ඉඳලා තියෙන්නෙ අපි ඩිවෝස් වෙනකම් කියල හිතෙද්දි මට මැරෙන්නයි හිතෙන්නෙ”

මනෝජා මේ හැම කතාවම කිව්වෙ දුක දරාගන්න බැරිම තැන කවුන්සලර් කෙනෙක්ව හම්බුවෙන්න ගිහින්. තමන් තනියෙන් හැම දෙයක්ම දරාගන්න යන එකෙන් වෙන්නෙ දුක වැඩිවෙන එකයි, තමන් ඩිප්‍රෙස් වෙන එකයි  කියල තේරිච්ච නිසාම තමයි මනෝජා කවුන්සලර් කෙනෙක් ලඟට යන්න තීරණය කලේ.

කවුන්සලර් එක්ක තමන්ගෙ හිතේ තියෙන ප්‍රශ්න විසඳගන්න ඕන කරන තෙරපිවලට යද්දි මනෝජා උත්සහ කරේ තමන්ට ඉස්සරහට යන්න ඕන කරන ටාගට් එක ගැන හිතාගෙන. ඒ උනාට හිත ඇතුලෙන් තමන් ඉන්නෙ තවමත් “අනේ චේතිය ආයෙ ඒවි” කියල හිතමින් බව දැනගෙන උන්නෙ මනෝජා විතරයි. මනෝජාට උවමනා උනේ නෑ කවුන්සලර්ට තමන්ගෙ හිත ඇතුලෙ තියෙන ඇත්ත හැඟීම් කියන්න. ඒ නිසා එය හැමතිස්සෙම උත්සහ කරේ කවුන්සලර්ට පෙන්නන්න “මටත් උවමනයි මේ මානසික වදයෙන් නිදහස් වෙන්න” කියලා.

ඒත් මනෝජා දැනගෙන හිටියෙ නෑ තමන් කරන මේ රඟපෑමෙන් රැවටෙන්නෙ කවුන්සලර් විතරක්ම නෙවෙයි, තමනුත් රැවටෙනවා ඒ රැවටීම තමන් දැන් ඉන්න තත්ත්වය, තමන්ගෙ මානසික තත්ත්වය තව තවත් නරක අතට හරවනවා කියලා.

සමහරවෙලාවට අපි හැමෝම මේ දේ කරනවා. අපිට උවමනයි අපේ හිත ඇතුලෙන් මොන දේ අපි හිතුවත් බලාපොරොත්තු උනත්, පිටතට පේන අපේ හැඟීම් සහමුලින්ම අපි හිතන බලාපොරොත්තු වෙන දේවල්වලට වඩා වෙනස් කරගන්න.

ඒක එක්තරා විදියකින් තමන්ව රවට්ටා ගැනීමක්. අනුන්වත් රවට්ටනවට වඩා ලොකුවට රැවටීම, ලොකුවටම භයානක වෙන්නෙ මෙන්න මේ තමන්ව රවට්ටාගැනීම.

කාන්තාවන්ගෙ මනස හැදිලා තියෙන්නෙ එකක් හිතන ගමන් තව දෙයක් කරන්න පුලුවන් විදියට. මේක පිරිමි පාර්ශ්වයට එහෙම නැහැ. හැබැයි කාන්තාවන්ගෙ මේ මානසික පිහිටීම කොයි විදියටද අපි පාවිච්චි කරන්න ඕන කියල අපි හරිම සීරුමාරුවෙන් තමයි කටයුතු කරන්න ඕන.

කටින් එකක් කියන එකයි හිතෙන් එකක් හිතන එකයි හරිම භයානක දෙයක්.මනෝජා දිගටම මේ විදියටම කටයුතු කරගෙන ආවා නම් එයාට රිකවර් වෙන්න, මේ මානසික පීඩාවෙන් ගැලවෙන්න පහසු වෙන්නෙ නෑ. මොකද අවසානයේ වෙන්නෙ තමන් තමන්වත් නොදන්න ලොකුම ලොකු රැවටීමක ගිලිලා යන එක නිසා.

සමහරවෙලාවට යතාර්තය හරිම කටුක වෙන්න පුලුවන්. වේදනාකාරී වෙන්න පුලුවන්. ඒ උනාට ඒ යතාර්තයට මුහුණ දෙන්න තියෙන අපහසුව නිසා, තමන්ව රවට්ට ගන්න එක ඊටත් වඩා දීර්ඝකාලීන දුකකට, වේදනාවකට හේතුවක් වෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේ දීර්ඝකාලීන දුකකට හේතුවෙන දෙයක් කරනවට වඩා මේ මොහොතේ ඇත්ත තේරුම් ගන්න එක, ඇත්තට මුහුණ දෙන හොඳයි. ඒ වගේම ඔයා යම් කිසි ගෑටලුවකට කවුන්සලර් කෙනෙක්, ප්‍රොෆෙශනල් සපෝර්ට් එක ලබාගන්නවානම් අනිවාර්‍යෙන්ම මතක තියාගන්න ඔයා ඇත්ත කියන්න ඕන. ඔයාගෙ හිතේ තියෙන ඇත්ත හැඟීම් කියන්න ඕන. ඔයා කවුන්සලර්ට බොරු කරනව කියන්නෙ අවසානයේ ඔයා විසින් ඔයාවම රවට්ට ගන්න එක බව අමතක කරන්න එපා.

·       ඇත්ත කියන එකෙන් හොඳම සහයක් ලැබෙයි: ඔයාගේ හිතේ ඇත්ත හැඟීම් කිව්වොත් තමයි කවුන්සලර්ට ඔයාට අදාළ, හොඳම සහයක් ලබාදෙන්න පුළුවන්.

·       බොරු කියන එකෙන් ප්‍රතිඵල අසාර්ථක වේ: ඔයා බොරු කියනවනම්, කවුන්සලර්ගේ උපදෙස් සහ විසඳුම් නිවැරදි හෝ සාර්ථක නොවේ. ඒ නිසා, ඔයාට අවශ්‍ය ප්‍රතිඵල ලබාගැනීම අසීරු වෙනවා.

·       තමන්වම රවට්ටා ගන්න එකක්: කවුන්සලර්ට බොරු කියන එකේ අවසාන ප්‍රතිපලය තමයි, ඔයා තමන්වම රවට්ටා ගන්න එක. මේකෙන් අනාගතයේදී ඔයාට තවත් කරදර වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්.

·       සාර්ථක විසඳුමකට ඇත්තේ ඇත්ත කියන එකයි: දීර්ඝ කාලීනව සාර්ථක සහ තිරසාර විසඳුමක් ලබාගන්න නම්, ඔයාගේ හිතේ තියෙන ඇත්ත කියන එක අනිවාර්යයි.

ඉතින් ඔයත් මේ වගේ ගැටළු වලට මුහුණ දෙනවනම් සහ Professional Support එකක් බලාපොරොත්තු වෙනවානම් Smartlady Admin වරියක ඔස්සේ රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ධ කරගන්න ඔබට පුලුවන් බවත් මතක් කරන්න කැමතියි.

Related Articles

Don't Miss


Latest Articles