මේ ප්‍රශ්නයට දෙන්න තියෙන එකම උත්තරේ ක්ලීටස් එක්ක කතා කරන එක බව ධම්මිකා දැන උන්නාය. එහෙත් ඒ කතාබහ අපුල සහගත අතීතයක වසා දැමූ දොරගුලු බව දන්න හන්දාත්, ඒ දොරගුලු යලිත් අවුරුදු විසි තිස් ගණකට පසු විවර කිරීම වනාහී මුලු වර්තමාන ජීවිතයම ගඳ ගැස්සෙන එක බව ධම්මිකා දනී. එහෙත් මේ වනාහී දරුවෙන් වෙනුවෙනුත් පවුලේ නම්බුව වෙනුවෙනුත් ඒ ගන්දස්සාරයේ නැහැවෙන එක හොඳ බව ධම්මිකා හිතුවාය.
මියුරු වෙනදාට වඩා සන්තෝසයෙන් ඉන්නේ ඔය කියන වසන්තාගේ කෙල්ල නැත්තම් නදී හන්දා බව දකින එකම ධම්මිකාට දරාගන්න අමාරු හැඟීමකි. ඒකට හේතුව මියුරු තමන්ට නොගැලපෙන කෙල්ලෙක් කරේ දාගත්ත එකට වඩා තමන් මෙයට වසර ගණනාවකට පෙර තමන්ගේ ජීවිතයට පිළිලයක් වෙන්න තිබූ හේතුවක් අයින් කරයින් පස්සේ මියුරුගේ කරේ නැගී ආයෙ ඒ පිළිලය මේ ගේ අස්සට, තමන්ගේ ජීවිත අස්සට රිංග ගන්න හදන එකය.
“අප්පා කල දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා කියල කියන කතාව නම් මේ අප්පටයි පුතාටයි දෙන්නටම හොඳට ගැලපෙනවා. තාත්තාව ගලවගත්ත මල කරදරේටම අන්තිමේ පුතා ගෑවෙන්න තියාගත්තා” කියා ධම්මිකා නිතර දෙවෙලේ හිතමින් උන්නේ හිත අස්සෙන් දැවෙමිනි.
මියුරු පෙම් වසන්තයක නෑවෙමින් උන් මියුරුත් නදීත් මේ කිසිවක් ඇත්තටම දැන උන්නේ නැත. අම්මා ලේසියෙන් මේ කාරණාවට කැමති නොවන බව දැන උන්නද අම්මා වනාහී ඇතුළාන්තයෙන් සැපින්නක් විය හැකි අන්දමේ කාන්තාවක් බව නොදැන උන් නිසාවෙන්ම මියුරු හිතං උන්නේ හින්දි චිත්‍රපටයක වගේ අම්මාව කොහොමහරි කැමති කරවගන්න පුලුවන් වෙයි කියාය.
“ඔයා ඔය මොනතරං කිව්වත් මං හිතන්නෙ නෑ ඔයාලගෙ අම්මා කීයටවත් මං වගේ කෙනෙක්ට කැමති වෙයි කියලා” හවස්වරුවක ජෙට්වින් කලම්බො සෙවන් රූෆ් ටොප් එකේ වාඩි වී සැඳෑ අසිරියේ නැහවෙමින් සීතල බියර් වීදුරුවක් පානය කරමින් උන් මියුරුගේ දෙනෙත් අස්සේ ගිලී නදී එහෙම කිව්වාය. ඒ මොන දේ උනත් තමන් කවදාක හෝ ඇත්තට මූණ දෙන්න වෙන බව දන්න හන්දාය.
“මං නෑ කියන්නෙ නෑ, ඔයා ඉපදිච්ච තැන අමතක කරොත් අනිත් හැම දේකින්ම ඔයයි මායි ගැලපෙනවා නේද?”
“ඔව් ගැලපෙනවා, හැබැයි ඉපදිච්ච තැන අමතක කලොත් විතරයි නේද?”
“ඔව්, ඉතින් ඔයා වගේ කෙනෙක් වෙනුවෙන් අපේ අම්මාට ඒක අමතක කරන එක ප්‍රශ්නයක් වෙන්න බෑ නේද?”
“මියුරු අපි තාම ජීවත්වෙන්නෙ දරුවෙක් වරදක් කරොත් ඒ දරුවගෙ අම්මලා තාත්තලට බනින රටක. එහෙම රටක ඔයා හිතන්නෙ ඔයාගෙ අම්මට පුලුවන් වෙයිද තමන්ගෙ ලේලි අල්විස් වත්තෙ එකියක් කියන එක අමතක කරන්න?
අනික කොච්චර අපි ආදරේ මුල් කරගෙන හිතුවත් අපි දෙන්න ඉපදිච්ච තැන් දෙක හන්දම අපේ ජීවිතත් වෙනස්. ඔයයි මමයි ආදරේ හන්ද අපි දෙන්න වෙනුවෙන් වෙනස් වෙලාකොමන් ග්‍රරව්න්ඩ් එකකට ආවට ඔයාලගෙ අම්මල වෙනුවෙන් මටවත් මං වෙනුවෙන් ඔයාලගෙ අම්මලටවත් ඒක කරන්න විදියක් නෑ”
“මං දෙයක් කියන්නද? මං දන්නවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියල. ඒ වගේම අපි තව ඕක කල් දාන එකෙන් වෙන්නෙ ප්‍රශ්නෙ එහාට යන එක විතරනෙ.කවදහරි මූණ දෙන්න වෙන එකේ මම ඔයා ගැන කියන්නද?”
“කාටද? අම්මටද?”
“නෑ, මට හිතෙන්නෙ ඉස්සෙල්ලා තාත්තට කිව්වනම් හොඳයි. අම්මා වගේ නෙවෙයි තාත්තා හරිම නියුට්‍රල් මනුස්සයෙක්. සමහරවිට තාත්තට පුලුවන් වෙයි අම්මවත් ශේප් කරගන්න”
“ඔයාගෙ අම්මා තාත්තා මොන වගේද කියන එක ඉතින් හරියටම දන්නෙ ඔයා හින්දා ඔයා තමයි ඒක ඩිසයිඩ් කරන්න ඕන. හැබැයි එක කොන්දේසියක් උඩ”
“මොකද්ද?”
“මම ඔයාට මුලින් කිව්වා තමයි මම කවදහරි යාලුවෙනවනම් යාලුවෙන්නෙ බඳින්න බලාගෙනමයි කියලා. ඒ උනාට මෙතනදි අපේ දෙපැත්තෙන් කවුරුහරි කෙනෙක් අපේ මේ සම්බන්ධෙට අකමැති නම් අපි දෙන්නට දෙන්න පොරොන්දු වෙන්න ඕන අපි හොරෙන් බඳින වගේ ප්ලෑන් වලට යන්නෙ නෑ කියල. අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ගින්දර දෙන්න මට බෑ මියුරු.මම මේ ආත්මෙත් හරියාකාර පවුලක් නැති කෙල්ලෙක්. මගෙ සන්තෝසෙ වෙනුවෙන් තව පවුලකට ගින්දර ගෙනාවොත් වෙන්නෙ මට ඊලඟ ආත්මෙත් මේ වගේම ජීවිතයක් ගෙවන්න. මට ආයෙ තව ආත්මෙක මේ දුක විඳින්න බෑ. ඒ නිසා ඔයා මට පොරොන්දු වෙන්න ඕන අම්මල අකමැතිනම් අපි දෙන්න කතා බහ කරල මියුචුවල් බ්‍රේක් අප් එකකට යනවා කියලා”
“මට ඒක පොරොන්දු වෙන්න බෑ නදී”
“ඇයි?”
“ඔයා ඔයාගෙ පැත්තෙන් කතාව කිව්ව දවසෙමයි මම හිතුවෙ ඔයාට නැතිවෙච්ච ඒ පවුල මම මේ ආත්මෙම ඔයාට හදල දෙනවා කියල. ඔයයි මමයි අපේ දරුවොයි ඉන්න තැනක, සන්තෝසෙන්”
මියුරු එහෙම කිව්වේ ආදරය නිසා හිත පුරවගෙන උන් විශ්වසනීය හැඟීමෙන් බව නදී දනී. ඒ උනත් ජීවිතේ අපිට ඉස්සරහට අරගෙන එන්නේ හැමවිටම එහෙම විශ්වාසයෙන්ම මූණ දෙන්න පුලුවන් විදියේ ප්‍රශ්න නොවේ නේද?
මියුරුත් නදීත් ගෙවල් එක්ක මේ ගැන කතා කරන අදහසකට එන්න හිතද්දී වසන්තා උන්නේ ක්ලීටස් ක්ලබ් එකේ හිට ගෙදර එනතෙක් නොඉවසිල්ලෙනි. කල් දාන්න දාන්න වෙන්නේ තුවාලෙ පෑරෙන එක නම් කොච්චර වේදනාකාරි උනත් මේ වෙලාවේ බෙහෙත් දාන එක හොඳ බව ධම්මිකා දනී. තමන් මෙච්චර මහන්සි වෙලා මේ දේවල් ගොඩනැගුවේ පවුලේ නම්බුව ආරස්සා කරේ කවදා හෝ දවසක වේදනා විඳ මියයන්නට නොවේ, සන්තෝසෙන් ගෞරවයෙන් ජීවත්වන්නටය.
ක්ලීටස් ක්ලබ් එකේ හිඳ ගෙදර ආවේත් දහසක් ප්‍රශ්න ඔලුවේ තියාගෙනය. මෙච්චර කාලයක් පුරා වසන්තා අහිමි වීමේ දුකට බිව්වත් දැන් ක්ලීටස් බොන්නේ මියුරු වසන්තාගේත් තමන්ගේත් දරුවා එක්ක පෑහිච්ච වේදනාවෙන් මිදෙන්නටය. දරුවන්ට දුක් විඳින්න වෙලා තියෙන්නේ තමන්ගේ පෙර වැරදි නිසා බව හිතෙද්දී ක්ලීටස්ට හිතුනේ මීට වඩා මැරුණානම් හොඳයි කියලය.
ඇඳට වැටී ඇස් දෙක පියාගෙන කල්පනා කරන බලාපොරොත්තුවකින් ගෙදර ආවත් ඒකට හරස් කැපුවේ වෙනදාට වඩා වේලාසනින් ගෙදර ඇවිත් කාමරයේ මේසය අද්දර වාඩි වී බැල්කනියට ඇරෙන ෆ්‍රෙන්ච් වින්ඩෝවෙන් පෙනෙන අන්ධකාරය දෙස බලාගෙන ඉන්න ධම්මිකාගේ රූපයයි. ඒ මුහුනේ රැඳී තිබුණේ වෙනදා මවාගෙන මෙන් හෝ තියාගෙන උන් ආඩම්බරකාර, කුලවන්ත ස්වරූපය නොවේ. ඒ වෙස් මුහුන බිඳ දමමින් උඩට නැගී ආ බයක, ප්‍රශ්නයක සේයාවකි.
“මොකද ලයිට්වත් නොදා කලුවර දිහා බලන් කල්පනා කරන්නේ?” ක්ලීටස් ඇසුවේ නිහඩතාවය දරාගන්න බැරි තැනමය.
“තව ටික කාලෙකින් අපිට කොහොමත් වෙන්නෙ ගෙවල් අස්සට වෙලා තැන් තැන්වල ඉඳන් මෙහෙම කල්පනා කරන්න තමයි ක්ලීටස්” ඒ කතාකලේ වෙනදා කියවන වචනයක් පාසා අධිකාරී බලයක් රඳවගෙන උන් ධම්මිකා නොවන බවත් වෙනස්ම ගැහැණියක බවත් යන සිතුවිල්ල ක්ලීටස්ව වඩා බියපත් කලේය.
“ඇයි එහෙම කිව්වේ?”
“මියුරු කෙල්ලෙක් එක්ක යාලුවෙලා” ධම්මිකාගේ ඒ වචන විදුලි සැරයක් වගේ ඇඟ දවාගෙන යද්දී උනත් ක්ලීටස් අමාරුවෙන් වචන එක්කාසු කරගත්තේ තමන්ගේ හිත පත්ලේ දෝංකාර දෙන කතාවක් හංගන්නේ කොහොමද කියල හිතාගන්න බැරුවය.
“ආහ් එහෙමද?”
“ක්ලීටස් දන්නවද මියුරු යාලුවෙලා ඉන්න කෙල්ල කාගෙ කවුද කියලා?” ධම්ම්කා එක එල්ලේ තමන්ගේ දෙනෙත දිහාම බලාගෙන මේ සියල්ල අසන්නේ හැමදේම ගැන දැනගෙන බව ක්ලීටස් තේරුම්ගත්තේ ධම්ම්කාගේ මුහුනේ ඇඳී තිබුන වේදනාවක සේයාවන් නිසාය.
තමන් විවාහ කරගත් මිනිහාට වෙන පවුලක් ඉන්න එක, ඒ ගැහැණියට ඔහුගෙන් දරුවෙක් ඉන්න බව දැන ගන්න එක තරම් වේදනාවක් විවාහක ගැහැණියකට තවත් තිබෙන්නට හැකිද කියා ක්ලීටස් නොහිත හිටියේ උවමනාවෙන්මය.
ප්‍රශ්නය මූණ ඉස්සරහටම ඇවිත් තමන් දිහා එක එල්ලේ බලාගෙන ඉද්දී කරන්න තිබෙන එකම දෙය නම් ඇත්ත පිළිගන්න එක බව ක්ලීටස් හිතුවේය. තමන්ට කිසිසේත්ම මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න තනියෙම නුපුලුවන් ය. මොන දේ මේ අවුරුදු ගණනාවක විවාහ ජීවිතයේ ධම්මිකා තමන් වෙනුවෙන් බොහෝ දේ දරාගත්ත ගැහැණියකි. එහෙම ගැහැණියක් මේ වගේ ප්‍රශ්නයකදී තමන් හැර දා නොයන බව ක්ලීටස් දැන උන්නේය.
ඒ පිරිමියෙකුගේ අසරණකමද නැතිනම් වංචාකාරී බවද කියා හිත ඇසූ ප්‍රශ්නයට නම් උත්තර ක්ලීටස් ළඟ තිබුනේ නැත.