රෝස් පාන්

අලුත් මනමාලි රෑ කෑමට හදලා තියෙන්නේ මොනවද දැනගන්නත් එක්කමයි විමලා පොඩි පුතාගේ ගෙවල් පැත්තට ගියේ. ලමයි දෙන්නම ඇස් දෙකට පේන මානෙන් ඉන්න එකේ සැනසීම නම් මෙච්චරක් කියලා කියන්න නොතේරෙන බව විමලාගේ මිතුරියක් එක්ක ඇමතුමකදී කතා කරලා ඉවර වෙලා තමයි මේ විමලා පොඩි පුතාගේ ගෙවල් පැත්තට යන්නේ. විමලාගේ ස්වාමිපුරුශයා වුන සුනිල් නම් ඒ ගමනට එක හෙලාම විරුද්ධ බව ඇඟෙව්ව්වාත් මුල ඉඳන්ම මේ පිළිවෙලට හුරු වුනේ නැත්නම් පොඩි පුතා වුනත් පිට යන්න පුලුවන් කියලා විමලා හිතුවා.

” ඔය කොයි ගෑණිත් බලන්නේ තමන්ගේ මිනිහාව පවුලෙන් වෙන් කරලා තමන්ගේ කරලා තියාගන්න මහත්තයා .. අපි ඒවට ඉඩ දෙන්න නරකයි .. අපි දුක් විඳලා උස් මහත්  කරපු කොල්ලෝ අපිට බැරි කාලේ අපේ ළඟ ඉන්නම එපැයි …”

විමලා හැමදාම කියන එකම බණ පදය කියාගෙනමයි එලියට බැස්සේ. විමලා දෙතුන් වතාවක්ම දොරට ගැහුවට පස්සේ තමයි පොඩි පුතා ඇවිල්ලා දොර ඇරියේ. විමල පොඩි පුතා දිහාවට හෙලුවේ නොරිස්සුම් බැල්මක්. පොඩි පුතත් තමන්ව දැකලා එතරම් සතුටු වුනේ නැද්දෝ කියලා විමලාට හිතුණා.

” අම්මේ?… “

” කෝ අහකට වෙයන් මට ගෙට වෙන්න .. මේ පින්නත් එක්ක මම අඩිය ඉක්මන් කරලා ආවේ කුඩෙත් නැතුව …”

විමල ආපස්සට හැරිලා  මඳ දුරකින් පේන මහ ගෙදර දිහාවත් බලලාම ගෙදරට ඇතුළු වුනේ පොඩි පුතා වුන නිර්මලව පැත්තකට තල්ලු කරගෙන. ඒත් එක්කම විමලාගේ ඇස් මුලු සාලේම ස්කෑන් කරගෙන වගේ හැම තැනටම පැටලුණා. අඩුපාඩු දඩි බිඩියේ හිතට දාගත්තා.

” කවුද සුදූ ?….”

එහෙම කියාගෙන උඩු මහලේ ඉඳන් එන ලේලිව දැක්කම විමලාගේ ඇස් විසල් වුනේ කෝපයෙන්.  කලවා වැඩි හරියක් පේන්න කොට කලිසමකට අත් නැති කොට හැට්ට කෑල්ලක් ඇඳගෙන ඉන්න සඳනිව විමලාට පෙනුණේ යක්ෂණියක් ගානට.

” ආහ් අම්මා ….”

සඳනි එහෙම කියාගෙනම පඩිපෙල බැහැගෙන ආවා. නිර්මල නම් හිටියේ ඊලඟට අම්මාගේ කටින් පිට වෙන වචන ගැන දැනගෙන වගේ කලබලේකින්. සඳනි අද කොහොමටත් හිත රිදවගෙන ඉන්න දවසක් වෙච්ච කොට අම්මා ආයෙම සඳනිගේ හිත රිදවනවට නිර්මල පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ.

” අම්මා නෙවෙයි හුම්මා … මොනවද ළමයෝ මේ ඇඳගෙන ඉන්න ඇඳුම්… ඇඟෙන් භාගෙකටත් වැඩිය එලියෙනේ…. හොඳ වෙලාවට මම තාත්තාව ගෙදර තියලා ආවේ.. ඒ මනුස්සයා ආවානම් ඒ මනුස්සයාගේ සිලුත් කැඩෙනවා මේ නාඩගම් වලට ….”

අම්මා එකපාරටම කියවගෙන යනකොට සඳනි හිටපු තැනම ගල් ගැහුණා. නිර්මල නලළ අතැඟිලි වලින් පොඩි කරගත්තා.

” අම්මේ .. මම ගෙදරනේ ඉන්නේ ….”

දිගින් දිගටම ඉවරයක් නොවී කියැවෙන අම්මාගේ ඇණුම් පද වලට උත්තර දෙන්න අන්තිමේදී සඳනි ධෛර්‍ය ගත්තා. ඒත් ඒකෙන් වුනේ විමලා තව කෝප වුන එක.

” ගෙදර  ඉන්නකොට , පිටට යනකොට කියලා දෙකක් නෑ.. ගෑණියෙක් සංවරකම රකින්න ඕන… තමන්ගේම මිනිහා ඉස්සරහ වුනත් …”

විමලා එහෙම කියනකොට සඳනි නිර්මල දිහා බැලුවේ, අම්මා මේ මොනවද කියන්නේ කියන බැල්ම එක්ක. නිර්මල සඳනිට කලබල  නොවී ඉන්න කියන බැල්ම එක්ක ඉඟි කලා.

විමලා ඉන් පස්සේ ගෙදර එහෙ මෙහෙ ඇවිද ඇවිද සඳනිට ඇණුම් පද කියන්න ගත්තා.

” නිර්මලගේ කමිස අතේ හෝදලා කොම්ෆෝර්ට් දාන්න ඕනි ….”

වොශින් මැශින් එක ළඟ බේසමක තියෙන කමිසයක් දැකලා එහෙම කිව්වා.

” මේ නිර්මලගේ කලිසම් අයන් වෙලා මදි …”

කාමරේ අල්මාරිය ඇතුලේ එල්ලලා තිබුන කලිසමක් පෙන්නලා එහෙම කිව්වා.

” නිර්මලට කෑම පෙට්ටි වලටද කෑම බෙදන්නේ … ඒ කෑම මදි …. අනෙක් දවසේ කෙසෙල් කොලයක් තවලා ඒකේ ඔතන්න…”

පැන්ට්‍රියේ නවලා තිබුන කෑම පෙට්ටි දෙක දිහා බලලා එහෙම අන කලා.

සඳනි උන්නේ ඇගේ දරාගන්න පුලුවන් සීමාව ඉක්මවලා යන ගමන්. ඒත් ඇය විමලාට පිළිතුරු නොදී මඟෑරියා. නිර්මල සඳනි ලඟින් එහෙ මෙහෙ යන ගමන්, අම්මා කියන දේවල් ඔහේ අහගෙන ඉන්න කියන ඉඟිය දුන්නා.

” මොනවද රෑට කන්නේ?…”

විමලා එහෙම ඇහුවේ කුස්සියේම ඉඳගෙන.

සඳනි ඒකට නම් නිහඬව නොඉන්න තීරනය කලා

” රෝස් පාන් අම්මේ … “

සඳනි ශීතකරනය විවෘත කරලා මස් කරිය එලියටත් ගත්තා. විමලා ඇස් දෙක ටීක් බෝල කරගෙන හිටියේ.

” මං ඇහුවේ තේ බිව්වේ මොනවා එක්කද කියලා නෙවෙයි ළමයෝ …. රෑට කන්නේ මොනවද කියලා?…”

” රෑට තමයි අම්මේ… උදේ හදපු චිකන් කරි එකට පොල්සම්බෝලයක් හදලා රෝස් පාන් කන්නේ.. අම්මත් කාල යමුද?…”

විමලා යක්ෂාවේශ වෙලා වගේ නැගිට්ටා.

” මේ පාන් රොදු කාලා හෙට උදේ පොඩි පුතා වැඩට යන්නේ කොහොමද?.. අවුරුදු තිස් දෙකක් මගේ ළඟ උන්නා.. එක රැයක් මම බත් ඩිංගක් නොදී ඉඳලා නෑ..ඔය ලමයාගේ පිළිවෙල නම් වහාම වෙනස් කරගන්න වෙනවා…. මෙහෙම කරලා කොහොමද?..”

” අම්මේ .. අපි උදේට බත් කාලා යන්නේ.. අනෙක නිර්මල වැඩියෙන්ම ආස රෑට පාන් , ඉඳිආප්ප වගේ දේවල් කන්න නේ… අපි යාලු වෙලා ඉන්න කාලේ ඉඳන්මයි මෙයා කියන්නේ රෑට ලයිට් ඩිනර් ගමු කියලා…. අනෙක ඉතින් අපි උදේට දවල්ට දෙකටම බත් කනවනේ අම්මේ….”

සඳනි හරි නිලේටම වැදෙන්න එහෙම කිව්වම විමලා නිහඬ වුනා.

” අනේ හැමදාම රෑට බත් කන්න බෑ අම්මේ…”

නිර්මලයි අයියායි දෙන්නම ඉස්කෝලේ යන කාලේ ඉඳන් එහෙම නෝක්කාඩු කිව්ව බව මතක් වුනා.

” රෑට උයන්නෙපා අම්මේ.. ,මම ආප්ප ගේන්නම් …”

සමහර දාට එහෙම කිව්වත් තමන් ඒකට ඉඩ නොදුන්න බව මතක් වුනා.

” බඩ පිරිලා අම්මේ .. බත් කනන් බෑ…”

එහෙම කියලා, රෑට තේ හදාගෙන රෝස් පාන් කනවා දැකපු දවස් මතක් වුනා.

විමලා මුකුත්ම කියන්නේ නැතුව ගෙදරින් එලියට බැස්සා.

” අම්මා ඒ ගියේ තරහින්ද?…”

” කමක් නෑ.. මට කියාගන්න බැරි වුන දේ ඔයා හරි කිව්ව එක හොඳයි …”

නිර්මල එහෙම කිව්වා.

” පොඩි පුතා වාසනාවන්තයි .. ලොක්කාට වගේම එයාටත් අම්මට වඩා එයාව තේරුම් ගත්ත ගෑණියෙක් හම්බෙලා තියෙන්නේ …”

විමලා සුනිල්ට එගෙම කියන ගමන් හෙට රෑට ඉඳි ආප්ප හදන්න හාල් පෙඟෙන්න දැම්මා.

-අපේක්ෂා ගුණරත්න- 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles