උම්බලකඩ රසට හැපෙන නෙළුම් අල කරියක් හදමු

Smart lady අපි අද ඔබත් එක්ක බෙදාගන්න ලෑස්ති වෙන්නෙ රසම රස නෙළුම් අල කරියක් හදාගන්නෙ කොහොමද කියලයි. 

නෙළුම් අල කියන්නෙ බහුල වශයෙන් විටමින් C සහ ෆෝලේට් අන්තර්ගත වෙලා තියෙන ඊට අමතරව අපේ දෛනික ෆයිබර්, පොටෑසියම්, ප්‍රෝටීන් සහ සෝඩියම් අවශ්‍යතාව සම්පූර්ණ කරන්නත් ඉතාම හොඳ සහයෝගයක් ලබාදෙන ආහාරයක්. 

නෙළුම් අල නිතරම අපේ ආහාර වේලට එකතු කර ගැනීම දීප්තිමත් සමක් ලබාගන්න, මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න, ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන්න, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කර සිරුරේ අනවශ්‍ය බර අඩු කරන්න වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් උපකාරී වෙනව. 

එහෙම නම් අපි මුලින්ම පුරුදු විදිහටම මේ රසම රස නෙළුම් අල කරිය හදන්න අපිට අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

නෙළුම් අල 250g ක් 

අමු මිරිස් කරල් 02 ක් 

රතු ළූණු ගෙඩි 04 ක් 05 ක්

උම්බලකඩ කැබලි මේස හැඳි 04 ක්

කරපිංචා ඉත්තක කොළ

රම්පෙ කැබැල්ලක් 

උළුහාල් තේ හැඳි ½ ක් 

මිරිස් කුඩු තේ හැන්දක් 

බැදපු තුනපහ තේ හැඳි 01 ½ ක් 

ලුණු කුඩු 

කහ කුඩු තේ හැඳි ½ ක් 

උකු පොල් කිරි අඩු කෝප්පයක් 

වතුර 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, නෙළුම් අල වල පොත්ත ඉවත් කර පෙති කපාගෙන හොඳින් සෝදාගෙන පසෙකින් තබාගන්න. 

ඊළඟට උයන භාජනයක් ගෙන එයට පෙති කපාගත් නෙළුම් අල, මිරිස් කුඩු, තුනපහ කුඩු, රස අනුව ලුණු කුඩු සහ කහ කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් ඒ භාජනයටම නෙළුම් අල වැසෙන ප්‍රමාණයට තරමක් වැඩියෙන් වතුර දමා (සාමාන්‍යයෙන් නෙළුම් අල තැම්බීමට වැඩි වතුර ප්‍රමාණයක් අවශ්‍ය වේ) නැවත සියල්ල හොඳින් කලවම් කර භාජනය ලිපේ තබාගෙන නෙළුම් අල තම්බා ගන්න. 

නෙළුම් අල තැම්බුණු පසු ඉස්ම මඳක් ඉතිරිවී තිබියදීම උම්බලකඩ, සිහින්ව කපාගත් ලූණු, කරපිංචා, රම්පා, දෙකට පලාගත් අමු මිරිස්, උළුහාල් එකතු කර හොඳින් කලවම් කර මිටි කිරි (උකු කිරි) ටිකත් එයටම එකතු කර සාමාන්‍ය ප්‍රමාණයේ ගින්දරේ හැඳිගාමින් හොඳින් කලවම් කරගන්න. 

පොල් කිරි උතුරන තුරු තබා ලිපෙන් ඉවතට ගෙන තවත් විනාඩියක් පමණ හැඳිගාගෙන අවසානයේ නෙළුම් අල කරිය සාදාගන්න ඔබට පුළුවන්. 

ඔබ කැමති නම් තක්කාලි ගෙඩියක් හතරට පහට පලා එකතු කරගන්නත් සාදා අවසන් වූ නෙළුම් අල කරියට තෙල් ටිකක තෙම්පරාදු කරගත් අබ, ලූණු, කරපිංචා සහ වියළි මිරිස් මිශ්‍රණයක් සමඟ කලවම් කර පිසගන්නත් පුළුවන්. 

එහෙනම් රස වගේම ගුණ පිරුණු නෙළුම් අල කරිය මේ විදිහට හදල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles