ඇයි ඌට අත් දෙකක් – 1

0
3484

මේ ලිපිය මුලින්ම හමුවන්නේ කාටදැයි කියන්න මම දන්නේ නැහැ. නමුත් මෙය කාටවත් නොකියා මගේ ගමන යන්න ගියොත් සමහරවිට මේ සිද්ධිය මහා අභිරහසක්ව සදාකාලික අතීතයේ වැළලිලා යන දෙයක් වෙන්න පුළුවන්. මේ ලිපිය කියවන කාගෙන් වුණත් මම ඉල්ලා සිටින්නේ මේ සිද්ධිය බොරුයි කියල හිතන්න උත්සාහ කරන්න එපා.එහෙම හිතන වෙලාවේ ඉඳන් ඔබට එය පෙනෙයි. නග්‍රැක් බංගලාවට යන්න එපා… දෙයියන්ගේ නාමයට යන්න එපා…

හතරට නමුත් කොළය ඉක්මනින්ම ලියුම්කවරයක දාලා ප්‍රදේශය භාර පොලිස් ස්තානයට ලිපිනය ලියලා ඉක්මනින්ම මම ලියුම් පෙට්ටියට ලියුම දැම්මා..
ඈතින් ඇහෙන්නේ කොළඹ බලා යන අධිවේගී දුම්රියේ නලා හඬයි…..

********—-***************

සේනාදීර දෑලබංඩාර කියන්නේ මගේ ඉස්කෝල කාලෙ ඉඳලම යාළුවා. සේනාට පරම්පරාවෙන් උරුම වෙච්ච බොහොම දේපළ තිබුන හින්දා උසස් පෙළින් පස්සේ සේනා සම්පූර්ණයෙන්ම තමන්ගේ දේපළ පාලනය කරන පැත්තට එකතු වුණා.එදා ඉදලම මගේ ආසාව තිබුණේ සත්ත්ව විද්‍යාඥයෙක් වෙන්න ඉගෙන ගන්නයි..ඒ වෙනුවෙන් මම බොහොම මහන්සි වෙලා වැඩ කළා.අවසානයේදී මම මගේ තිබිච්ච එකම ගෙදරයි ඉඩමයි සේනාටම විකුනලා රුසියාවට ගියේ සත්ව විශේෂඥ වෛද්‍යවරයෙක් වීමේ මගේ හීනය හිතුවටත් වැඩිය ඉහලින් ඉෂ්ට කරගන්න හිතිච්ච හින්දයි. මටයි කියලා කවුරුවත් හිටියේ නැහැ.මම බොහොම පොඩි කාලෙදිම මගේ අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙලා තිබුණා.මම හැදුනේ වැඩුනේ ආච්චි ගාව.එක දවසක් කාටවත්ම නොකියා ආච්චි මේ ලෝකෙන් යන්න ගිහින් තිබුණා.හැබැයි ආච්චි ගිහින් තිබුනේ අපි ජීවත් වෙලා හිටපු ගෙදර මගේ නමට ලියලයි. මට මතක විදිහට මම එතකොට හිටියේ හත වසර පන්තියේ.මට හිටපු එකම බාරකාරය එකම නෑදෑයා කාටවත් නොකියා මේ විදිහට මාව මේ ලෝකෙ තනිකර දාල යයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මට මතකයි මම ආච්චිගේ ඇඳ ගාව දණගහගෙන සෑහෙන වෙලාවක් ඇඬුවා.කාටද මුලින්ම මේ ගැන කියන්න ඕනේ කියන එකවත් මට හිතාගන්න බැරුව ගියා.

එතකොට සේනාධිරලා හිටියේ අපේ ගෙදර ඉඳලා කිලෝ මීටර් පහක් විතර ඈතින්.මට මතකයි එදා උදේ සීතල ගැනවත් මීදුම ගැනවත් මම බිංදුවක්වත් හිතන්නේ නැතුව කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නැතුව  ඉකි ගගහා අඬ අඬා සේනාධිර ලගෙ ගෙදරට දිව්වා. 

ඊට පස්සේ සේනාධිරගෙ තාත්තයි අම්මයි තමයි මගේ අම්මා තාත්තා උනේ.. සේනා මගේ යාළුවෙකුටත් වඩා සහෝදරයෙක් වගේ උනා.එදා ඉදලා මම මගේ මුළු ජීවිතේම ඌත් එක්ක බෙදා ගන්න පුරුදු වෙලා හිටියා.

සේනා  ඊට පස්සේ වසන්ති එක්ක යාලු වෙලා හිටියා.උන්ගේ ලව් එකට බොක්කෙන්ම උදව් කලෙත් මං තමයි.සේනාධිර එච්චරටම අධ්‍යාපනය පැත්තට ඔළුව පාත් කරන පැත්තක් පෙනුනේ නැහැ.ඒ හින්දා නිතර දෙවේලේ සේනාධිරගේ තාත්තා, එයාව ව්‍යාපාර පැත්තට ගන්න  උත්සාහ කලා. ඒ අතින් නං මිනිහා මාර දක්ෂයි.සේනාධීර උසස් පෙළින් පස්සේ ව්‍යාපාර පැත්තට සම්පූර්ණයෙන්ම නැඹුරු වුණා.ඒ දවස්වල තමයි සේනාධිරගේ අම්මත් නැතුව ගියේ.මගේ ඒකම ආසාව තිබුණේ සාමාන්‍ය සත්තු දොස්තර කෙනෙක් වෙනවට වඩා සත්ව වෛද්‍යවරයෙක් වගේම සත්ත්ව විශේෂඥයෙක් විදිහට ඉගෙන ගන්න එකයි.ඒ සඳහා සුදුසු රටවල් ගොඩක් තිබුනත් මම තෝරගත්තේ රුසියාවයි.ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා කියලා මම හොඳටම දැනගෙන හිටියා.මට කරන්න පුළුවන් එකම දේ ආච්චි මගේ නමට ලියලා තිබිච්ච ගෙදරයි ඉඩමයි සේනාධිරට උකස් තියලා සල්ලි ඉල්ල ගැනීම පමණයි.මම ඒක සේනාදීරට විකුනන්න උත්සාහ කළත් ඒ ගැන සේනාදීර  සම්පූර්ණයෙන්ම විරුද්ධ උනා.

“උඹට පුළුවන් දවසක ණය ගෙවලා උඹ ඉඩමයි ගේයි බේරගනිං..”

සේනා හදවතින්ම මගේ ගමනට සුභ පතන බව මම දැනගෙන හිටියා.

වෛද්‍ය උපාධියෙන් පස්සේ ලිමිචෝ සත්ව ආයතනයේ මට රස්සාව නිකම්ම හම්බවුණා.ඇත්තටම මම සත්ව වෛද්‍යවරයෙක් හා ජාන විශේෂඥවරයෙක් හැටියට මගේ හපන්කම් උපරිමයෙන්  රුසියාව ඇතුළෙදි පෙන්නලා තිබුණා.

සමාන කුලකයේ සතුන් අරගෙන උන්ගේ ඩී එන් ඒ මිශ්‍ර කරලා  අපි එක එක වර්ගයේ අලුත් සත්තු නිෂ්පාදනය කළා.හැබැයි හුඟක් වෙලාවට අහිතකර විදිහට නෙමෙයි ඒ තාක්ෂණය පාවිච්චි කළේ.එක්කෝ කිරි වැඩිපුර ලබා ගන්න පුළුවන් බැටළු දෙනුන් එළදෙනුන් හෝ එලිච්චියන්…
එහෙම නැත්තං වැඩිපුර මස් ලබා ගන්න පුළුවන් විදිහට සත්තු.. ලොකු වෙන ශරීර ඇතුව..
තවත් වෙලාවක එකම මාළු වර්ග තුනක් එකට මිශ්‍ර කරලා කවදාවත් මේ ලෝකයේ ඉඳලා නැති අමුතුම සුරතල් මසුන් වර්ග නිෂ්පාදනය කරන්නත් අපේ ආයතනය සමත් වුණා.විද්‍යාඥයෙක් හැටියට ඒක ඉතාමත් විනෝදජනක කාර්යයක් වුණා.හැබැයි වෛද්‍ය නියමයන්ට අනුව කොයිම වෙලාවකවත් මිනිසුන්ගේ ජීවිතවලට තර්ජනය වෙන විදිහේ සතෙක් නිෂ්පාදනය කරන්න අපි කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ.

එක සැරයක් අපි අත්හදා බැලීමක් හැටියට ක්ලෝන ඌරු පැටියෙක් නිෂ්පාදනය කළා.
ඒ වෙලාවේ අපි සියයට සීයක් සාර්ථක වුණා.අපේ සාර්ථක වීම අපිටත් කලින් දැනගෙන තිබුණා ඇමරිකාව.ඒගොල්ලන්ගේ නියෝජිතවරු බොහොම රහසිගතව අපේ වෛද්‍යවරුන්ව බිලිබාගන්න උත්සාහ කළා.. හිතන්නවත් බැරි තරම් මුදලකට.ඒගොල්ලන්ට ඕන වෙලා තිබුණේ එයාලගේ හමුදා සාමාජිකයන් ගේම ක්ලෝන   වලින් පැටව් ගස්සවන්න..

මෙච්චර කාලයක් ඒගොල්ලොත් ඒ තාක්ෂණය ගැන පුදුමාකාර සෙවිල්ලකින් තමයි ඉඳලා තියෙන්නේ.ඒ නව සොයා ගැනීම කරන්න හිටියේ මමත් ඇතුළුව තවත් විද්‍යාඥවරුන් තුන්දෙනෙක් විතරයි. මුලින්ම අපේ ප්‍රධානියා වෙඩි තියලා මරලා දැම්මේ ඌරු පැටියව.එතනින් එහාට අපි හැමෝමත් තේරුම් ගත්තා ඇමරිකාවට සහාය දෙනවනම් අපිට වෙන්නෙත් ඒකම තමයි කියලා…

මේ අතරෙදි තමයි මට සේනාදීර ගෙන් ලියුමක් හම්බවුණේ පුළුවන් තරම් ඉක්මනින් ලංකාවට එන්න කියලා. මම රට ගිය දා ඉඳන් විස්තරයක් කතා කරන්න හරි හිටියේ සේනාධීර විතරයි.ඒ වෙනකොට එයාගේ ජීවිතයේ ගොඩක් හැල හැප්පීම් සිද්ධ වෙලා තිබුණා.සේනාදීර කසාද  බැන්දෙත් මම රට ඉන්නකොටමයි.. ඊට පස්සේ අවුරුදු ගාණක් යනකම් එක එක විස්තරත් එක්ක ඒ දෙන්නගෙ කසාද ජීවිතේ එච්චරම සන්තෝසෙන් ගත වෙන එකක් නෙමෙයි කියලා මට තේරුණා.අවුරුදු ගානක් ආදරේ කරලා කසාද බැන්දත් නොගැලපීම් කියන ඒවා හරියටම තේරෙන්නේ එක ගෙදරක ජීවත් වෙන්න ගියාමයි කියන එක මට සේනාධිර ගෙන් තේරුම් ගන්න පුළුවන් වුණා.

ඊට පස්සේ එයාගේ ව්‍යාපාර ජීවිතයත් එක්ක එයා බොහොම කාර්යබහුල වෙනකොට සේනාධිරගේ තාත්තා හදිසියේම නැති වෙච්ච බවත් මට දැනගන්න පුළුවන් වුණා.ඒ දවස්වල තමයි මම අර කියපු ඌරු පැටියගේ සිද්ධිය සිද්ධ වෙවී තිබුණේ.ඒ හින්ද මට කොහොමවත් ඒ වෙලාවේ නිවාඩු ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ..නැත්තං ඇත්තටම සේනාධිරගෙ   තාත්තගේ මළ ගෙදර මම අනිවාර්යෙන්ම සහභාගී විය යුතුම දෙයක් වුණා. ඒත් මට බොහොම කණගාටුවෙන් වුණත් අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙන්න බැරි බව සේනා ට කිව්වා ..

මට කියලා අම්මෙක් තාත්තෙක් නෑදෑයෙක් කිසිම කෙනෙක් නැති  නිසා එදා ඉදලම මගේ හැමදේටම උදව් කළේ සේනාදීර ….
මම රට ඉන්න කාලෙදි තාත්තගෙ අභාවයෙන් පස්සේ සම්පූර්ණ ව්‍යාපාරයම සේනාධිරගේ අතට ගත්තා.පාඩුයි කියලා හිතිච්ච ව්‍යාපාර පහ හයක්ම සේනාධිර විකුණලා දැම්මා.ලාභයි කියලා හිතිච්ච ව්‍යාපාර ටික විතරක් සේනාධිර ඉතුරු කරගත්තා.මේ අතරේ මිනිහා ටිකක් ඩ්‍රිංක් එකත් දානවා කියලා මට ආරංචි වුණා.
ඒකනං ආරංචි වුණේ හාවා හඳ දකිනවා වගේ කතා කරන වසන්තිගෙන්.. සේනාධිර මට වටින්නේ යාළුවෙක් විදිහට නිසාත් එක එක්කෙනාගේ පෞද්ගලික ජීවිත වලට ඕනවට වඩා ඇඟිලි ගහන්න මට බැරි නිසාත් සේනාගෙ ඩ්‍රින්ක් එක  දැමිල්ල ගැන  මට එච්චර තදබල විදිහට කතා කරන්න පුළුවන් වුණේ නැහැ.අනික ඉතින් අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් දන්න යාළුව නිසා මං දන්නවා ඕනාට වඩා උගේ ජීවිතයට ඇඟිලි ගහනවට ඌ කැමති නැති බව.

අක්කර සියයකට වැඩි තේ වත්තක් මැද්දේ මාලිගාවක් වගේ විශාල බංගලාවක් ඇතුලේ තනිකඩ වෙච්ච පිරිමියෙකුට වෙන මොනවද කරන්න පුළුවන්?… සමහරවිට වසන්තිගෙන් සිද්ධ වෙච්ච එක එක කාරණා හින්දා තදබල විදිහට සේනාධිර හිත රිදවගෙන ඉන්න ඇති..ඒ වෙනකොට වසන්ති නිතර දෙවේලේ පුතාවත් අරගෙන ඒගොල්ලන්ගේ මහ ගෙදර යන නිසා  සේනාධිර තදබල මානසික අවුලකින් ඉන්න ඇති කියලා මට හිතුනා.

  එදා සේනා එවපු  ලියුමේ බොහොම ප්‍රබල විදිහට මට අඬගහලා තිබුණා.  ඒ වගේ ප්‍රබල ඉල්ලීමක්  එයා එක පාරටම කරන්නේ මොකක් හරි ලොකු කරදරයක් නිසා කියලා මට හිතුනා.  අපි කරගෙන ගිය වැඩසටහනත් එක්ක එකපාරටම ඒ විදිහට නිවාඩු ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.ඒ වෙනුවෙන් මට සති දෙකක් විතර ලොක්කගෙ පස්සෙන් යන්න උනා.ඒ වෙනකොට අපි කර කර හිටපු ව්‍යාපෘතිය තමයි  වෙලබකගෙ කිරි මිනිස් පරිභෝජනයට ගන්න පුළුවන් විදියට හදන එක.ඒක ටිකක් අමාරු වැඩක්..ඒකට අපිට සිද්ධ වුණා බොහොම රහසිගතව  මනුස්ස පිරිමින්ගෙ ශුක්‍රාණු අශ්ව ගැහැණු සතෙකුගේ ඩිම්බ එක්ක යම්කිසි රසායනික ක්‍රියාවලියකට යොදවල ජීවයක් ඇති කරන්න පුළුවන් තත්ත්වයකට හදාගන්න එක.ඒකෙදි අපි විශ්වාස කළා එහෙම හදලා එළියට එන වෙලබකගෙ  කිරි සාමාන්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු විදිහට හදන්න පුළුවන් වෙයි කියලා.එච්චර ලොකු ව්‍යාපෘතියකට අත ගහලා ඉන්නකොට මම මේ විදිහට එකපාරටම නිවාඩු ඉල්ලන එක ගැන ලොක්කා පොඩ්ඩක්වත් සන්තෝස වුණේ නැහැ.ඒත් මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.මගේ වැඩ කොටසත් එක්කම මම ආපහු එනකන් කිසිම අඩුපාඩුවක් නොවී වැඩ ටික බලා ගන්නම් කියලා පෝලා පොරොන්දු වෙච්ච නිසා ලොක්කා ටිකක් කැමති වුණා නිවාඩු දෙන්න.

දෙපාරක් නොහිතා මම මාස දෙකක නිවාඩුවක් ඉල්ලගෙන සේනාධිරගේ නාන්පේරියල් වතුයායේ අවසාන වත්ත වෙච්ච නග්‍රැක් බියුටි කියන අක්කර සීයක් විසාල වෙච්ච තේ වත්තේ මැද පිහිටි බංගලාවට යන්න තීරණය කලා…

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here