පෙමාතුර -30

ඉෂිනි අපේ ගෙදර නතර වන්නට ආවාට පස්සේ, විසල් හමු වීමේ අවදානම මට හොඳට ම වැටහී තිබිණි. ඇය විසල් වෙනත් තරුණියක පිළිබඳ සිතකින් පසු වෙනවා යි අනුමාන කළා ට ඒ මා බවට සැක නොහිතනා බව ඉක්මනින් ම මට පසක් විය. ඇය මගේ හිතවත්කම විශ්වාස කළා ය. අන්න ඒ හේතුව මත විසල් හමු වීම ගැන මගේ හිතේ වූයේ දෙගිඩියාවකි. එය විශ්වාසය බිඳී යන විදිහේ වැඩකි.

අනිත් අතට මම බොහෝ ගෑනු ළමයින්ට වඩා වෙනස් ගැහැනු ළමයෙකු වීමි. ප්‍රේමය ජීවත් කරවන්නට මට ඔහු දැකුම ම ප්‍රමාණවත් වූ අතර හමු වීමක් වෙනුවෙන් කරදර කරන්නට නොයා සිදු වෙන දෙයක් බලා හිඳීමේ ඉවසීමක් මට තිබිණි. එය බොහෝ තරුණියන්ට නොමැති ගති ලක්ෂණයක් කියා සිතමි.

මේ අතරේ දිනෙන් දින ම ඉෂිනි මට සමීප වන්නට ද වූවා ය. හොඳ ම මිතුරියක කියා කෙනෙකු නොමැති ව ඒ වෙලාවට අහු වෙන කෙනෙකු ඇසුරු කරමින් සිටි මම, ඉෂිනි මට වඩා වෙනස් ම අන්තයක ගෑනු ළමයෙකු වුණත් ඇගේ ඇසුර ට කැමති වීමි. සැබවින් ඊට හේතුවක් සොයා මා විශ්ලේෂණය කරන්නට කිසි විටෙක මට ඕනෑ වූයේ ත් නැත. සාමාන්‍යයෙන් ගැහැනු ළමයින්ගෙන් දකින්නට අකමැති බොරු හුරතල් හා බොළඳ දියාරු ගති ඕනෑ තරම් ඇය වෙත වී ද නො රිස්සුමකින් තොර ව ඒවා ඉවසන්නට මට හැකි විය.

මා එසේ හැසිරුණේ ඕනෑ කමින් ‘හොඳ’ වීමේ අදහසකින් නොවන බව ද ඉඳුරා විශ්වාස ය. මම මා ව සොයමින් සිටියෙමි. එසේ ම මම මා අවට අධ්‍යයනය කරමින් සිටියෙමි.

“වන් ගෝල් ෆේස් මෝල් යන්ද…”

ආසන්න සති අන්තයේ දවසක උදෑසන මා මිදුලෙහි සිටියදී මවෙත පැමිණි ඉෂිනි විමසුවා ය.

“අහල බලන්න නදීරලාගෙන්”

මම ඒ තරම් ගණන් නොගෙන කීවෙමි.

“මං කිව්වෙ අපි දෙන්නා”

“අපි දෙන්නා…”

“ඔව් අනේ. ශොපින් කරල එමු”

මට වහා සිහිපත් වූයේ විසල් ව ය.

“විසල්ගෙන් අහල ඉන්න නේද…සමහර විට…එයා ඔයාව එක්කං යයිනෙ”

ඇගේ මුහුණේ මනමාල සිනහවක් ඇඳිණි. මම ඉවත බලා ගතිමි. එසැනෙන් ඕ ජංගම දුරකතනය ගෙන ඇමතුමක් ගත්තා ය.

“මේ…මාවයි කිසාවයි වන් ගෝල් ෆේස් මෝල් එක්කං යන්නකො. නෑ..ශොපින් කළේ නෑනෙ හුඟ දවසකින්. බැරිනං අපි ටැක්සි එකක් ගන්නංකො”

ඇය ඉක්මන් කේන්තියකින් දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය.

“මොන දේ කිව්වත් කුරු කුරු ගානව. දැං මට වෙන කොල්ලෙක්ව හොයා ගන්න තමයි වෙන්නෙ මෙහෙන්”

ඇය කුටු කුටු ගගා බණින්නට ද වූවා ය.

“කමක් නෑ අපි යං”

මම ස්ථිර ලෙස කීවෙමි. ඇය විසල් ගේ කවුරුන් වුණත්, ඇය ගැහැනු ළමයෙකු ය යන හැඟීමෙන් මිදෙන්නට මට පුළුවන් කමක් නැත. එසේ ම මේ වෙලාවේ ඇය කොළඹ අහස යට තනි ව සිටින්නී ය. විසල් ව විවාහ කර ගැනීමේ අදහසින් සිටියා කියා මට ඇය මගහැරිය නො හැකි ය.

සූදානම් වන්නට කියා කාමරයට එනකොට ම විසල් ගේ නමින් දුරකතනය හැඬවිණි. මගේ දෙතොල් සිනහවකට ඇද වූයේ ය.

“මොකද්ද දැං ඔය කරන්න හදන්නෙ…”

ඔහු ගේ ස්වරයේ කේන්තියක් තැවරී තිබිණ. මම මඳ සිනහවක් පෑවෙමි.

“ඇයි ඉතිං මේ කේන්ති අරං..ඔයාගෙ ගෑනු ළමයට ශොපින් කරන්න ඕනලු. මට කතා කරනව තනියට යන්න. දැන් මං මේ ලෑස්ති වෙන්නයි හදන්නෙ”

“පිස්සුද ආ ඔයාටත්..”

“ඉතිං අනේ..”

“එයා ගහන පදේට නටන්නද හදන්නෙ…”

“පව්නෙ ඉතිං. මං ගිහිං එන්නං”

“ලෑස්ති වෙන්න. මං එන්නං”

ඔහු දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ මගේ සිනහව තවත් පුළුල් කරමිනි. ඒ කේන්තිය ගැහැනු හිතක ආදරය මෝදු කරවයි. ඔහු මේ ගමන එන්නේ මා නිසා බව මගේ හිත දනියි. එය, මගේ හදවත ආඩම්බරයෙන් පුරවා ලයි. සමහර විට මා ඉෂිනි ට ඊර්ෂ්‍යා නො කරන්නට හේතුව විසල් ඇය ට පෙම් නොකරනා බව නියත වශයෙන් දැන සිටීම වන්නට ඇත. ඔහු බොරු කරන්නට හෝ රඟපාන්නට දන්නේ නැති විදිහේ තරුණයෙකි. ඒ අවංක බව ව්‍යාජයක් නොවේ.

“බොරුවටනෙ සද්දෙ දාන්නෙ. දැන් ඔය එනව කිව්වෙ. බොරුවට මාව ඕන්නෑ වගේ හිටියට එපාමත් නෙවෙයිද කොහෙද”

ඉෂිනි එය බාර ගත්තේ ඒ ආකාරයෙනි. මට ඇය ගැන අනුකම්පාවක් දැනිණ.  ඇය සියල්ල දකින්නේ මතුපිටිනි. යමක් සිදු වෙනවා ට ඇය කැමති ආකාරයෙනි. නමුත් යම් දෙයක් දෙස කෝණ ගණනාවකින් බැලිය හැකි බවත්, එතකොට වෙනස් දර්ශන දැකිය හැකි බවත් ඇය දන්නේ නැත.

අපේ ගේට්ටුව ඉදිරියේ රිය නතර වූ ගමන් ඉෂිනි ඉදිරි අසුනට ගොඩ වූවා ය. මම සිනහව තද කර ගෙන රියට නැගුණෙමි..

“දැන්නං මං ඕනත් නෑ නේ..”

ඔහු ඉදිරි වීදුරුවෙන් මදෙස බැලුවේ රවා ගෙන ය.

“අනේ යං…නේද විසල්…”

විසල් ඉෂිනි දෙස බැලුවේ හෝ නැත.

මේ සෙල්ලමෙහි අවසානයේ මට හිමි වන්නේ කෙබඳු ඉරණමක් ද කියා මා දන්නේ නැත. නමුත් කිසිවෙකු කෙරේ ක්‍රෝධයක්, ද්වේශයක්, වෛරයක් මට දැනෙන්නේ නැත. ඉෂිනි කෙරෙහි ද නැත. නමුත් ප්‍රේමය කියන්නේ ලෝකෝත්තර තත්වයක් නොවන බව මම දනිමි. එය වූ කලී ලෞකික බැඳීමකි. එසේ නම් මා ප්‍රායෝගික දිවියෙහි ප්‍රේමයට දුරස් ද යන පැනය යළි යළිත් මහිත් හි පැන නැගෙන්නට විය.

“කිසා මොනාද කල්පනා කරන්නෙ ඔච්චර…”

ඉෂිනි පිටුපස හැරී කතා කරත්දී මා තිගැස්සී ගියේ ඒ තරම් ම ගැඹුරු කල්පනාවක මා නිමග්න ව උන් නිසා නොවේ ද?  නමුත් මම සිනහවක් නගා ගතිමි. ඒ සිනහවේ වේදනාවක් කැළතී නො තිබුණා යි කාට නම් කිව හැකි ද? ඉදිරි කැඩපතින් මදෙස බැලූ විසල් ගේ ඇස් වල වූයේ ‘ඔයා නිසයි මං මේ ගමන ආවෙ’ වැනි කතාවකි.

සාප්පු සංකීරණය තුළ දී විරංග අප ඉදිරියට ආවේ මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ සෙයිනි. සත්තකින් ම එය අප දෙදෙනා ම අපේක්ෂා නො කළ මොහොතක් වන්නට ඇත. අප දුටු අප අප ඉදිරියේ නැවතී මොහොතක් විශ්මයෙන් බලා සිටියෙමු. ඊළඟ මොහොතේ අප දෙදෙනාට ම සිනා ගියේ ය.

“කිව්වෙ නෑනෙ මෙහෙ එනව කියල”

අප දෙදෙනා ම කීවේ එකට ය. ඊළඟට අප දෙදෙනා ම සිනහ වූයෙමු.

“වෙඩින් එකක් ඇවිත් අනේ…දන්නැද්ද ඉතිං…”

“මං මේ ඉෂිනි එක්ක ශොපින් කරන්න ආව. ඔයා දන්නවනෙ..මේ විසල්. විසල් මේ විරංග”

“මං හිතන්නෙ අපි මීට කලින් හම්බ වෙලා තියෙනව”

විසල් ගේ වචන වල අහංකාර කමක් විය. ඇතැම් විට මට විතරක් පෙන්වන්නට හදනා ඊර්ශ්‍යාකාර තරහක් ද ඒ ඇස් වල විය. ඒ සියල්ල කෙරේ මම වඩ වඩාත් ප්‍රේමණීය වීමි.

“විරංග ඉතින් අපිත් එක්කම ජොයින් වෙලා ශොපින් කරමුකො”

ඒ ආරාධනය ඉෂිනි ගෙනි.

“වයි නොට්…ශුවර්..”

විරංග උද්‍යෝගයෙන් කීවේ ය. මම ඔහු දෙස බලා ඇස් පුංචි කොට සිනහ වූයෙමි. මා ඒ බැල්මෙන් මිදෙත්දී විසල් මදෙස බලා ගෙන ම සිටියේ ය. මම ඔහු ට ද දෙතොල් තෙරපාන සිනහ වූයෙමි.

අප එක පොකුරක් සේ සාප්පු සංකීර්ණයෙහි ඇවිද යන්නට වූයෙමු. විසල් ආඩම්බරකාරයෙකු ගේ භූමිකාව රඟමින් සිටියා ට විරංග හැසිරුණේ සැහැල්ලුවෙනි.

“මට ඇත්තටම දැනගන්න පුළුවන් ද ඔයා මෙයාගෙ යාළුවද නැත්තං බෝයි ෆ්‍රෙන්ඩ්ද කියල”

වැඩි වෙලා නො ගොස් ම ඉෂිනි ඇසූ පැනයට විරංග උස් සිනහවකින් ප්‍රතිචාර දැක්වූයේ ය. මම හොරැහින් විසල් දෙස බැලුවෙමි. ඔහු දෑත් කලිසම් සාක්කු දෙකෙහි ඔබා ගෙන ඉවත බලා ගත්තේ ය. ඒ ඉරියව්වට මගෙන් ද සිනහවක් පැන්නේ ය.

“බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්න ඉතිං එකෙන්ම කැමතියි. කෝ ඒත් ඉතිං…බෑලුනෙ”

පපුව රත් වුණා ද සීතල වුණා ද කියා මා දන්නේ නැත. බිම බලා ගෙන මම හොරැහින් විසල් දෙස බැලුවෙමි. මීට පෙර මා ඔහු ට විරංග ගැන එහෙම දෙයක් කියා තිබුණේ නැත.  

“මේ..ඕන්නැති කතා ඕන්නෑ හරිද..”

“බෑ…ලු…”

මගේ නෝක්කාඩු කතාව අතරින් ම ඉෂිනි එසේ ඇසුවේ පුදුමයෙන් ඇස් උඩ හිඳුවනා ගමන් විසල් ගේ අතක් අල්ලමිනි. ඔහු සැනෙන් සිය අත මුදා ගත්තේ ය.

“මේ බලන්නකො විසල්. මෙච්චර හැන්ඩ්සම් බෝයි කෙනෙක්ට මෙයා බෑ කියනවලු”

තව දුරටත් ඉෂිනි සිය අවංක විශ්මය යටපත් කර ගත්තේ නැත.

“මට වඩා හැන්ඩ්සම් කෙනෙක් ඉන්නවලුනෙ එයාට”

නළල රැලි නංවමින් මදෙස බැලූ විරංග, ඔහු ගේ ආකර්ශනීය බැල්ම ඊළඟට යොමු කළේ විසල් වෙතට ය. මම ඒ පිරිමින් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවෙමි. මා ආදරය කරන මිනිසා සහ මට ආදරය කරන මිනිසා! ඔවුන් දෙදෙනා ම පෞරුෂවත් පිරිමින් ය. උගත් සමාජය නියෝජනය කරනා පිරිමින් ය. නමුත් ආදරය දෙකට බෙදා සම සම ව දෙදෙනෙකුට දිය නො හැකි ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...