මා හිස පිරිමැද 15

ඒ ලිස්සා වැටීමත් එක්ක තාත්තා ට ආසන්න මතකයන් බොහොමයක් අහිමි වී ඇති බව අපට දැනෙන්නට වූයේ ටික ටික ය. අක්කාට හෂාන් සමග ගෙදර යන්නයි කී විට අපි එය ඒ තරම් බරපතල ලෙස නො ගත්තෙමු. නමුත් මා විදුර සමග ගිලන් කුටියෙන් පිට වූ පසු තාත්තා අක්කාගෙන් “ඒ ආවේ කවුදැ”යි අසා ඇත්තේ විදුර ගැන ය. ඒ කියන්නේ තාත්තා ඒ තරම් හොඳින් කතා බහ කොට තිබෙන්නේ විදුර කවුද කියා මතකයක් ඇතිව නොවේ. අක්කා බෙහෙවින් කැළඹී තිබෙන අතර කම්පාව නිසා ම ඇය “ඩොක්ටර් කෙනෙක්නෙ තාත්තෙ” යි කියා තිබේ. මෙය දැන ගත් විට මට දැනුණේ පපුව පැලෙන්නට එන වේදනාවකි. ඒ කියන්නේ දැනටමත් තාත්තා ට විදුර අමතක ය. ජීවිතය කියන්නේ කොයි තරම් නම් විහිළුවක් ද? එය මොන තරම් නම් අස්ථිර ද? කොයි තරම් නම් වේදනාත්මක ද? සැබවින් ජීවිතය කියා පිළිගත හැක්කේ මේ මොහොත පමණක් ය. 

විදුර ව දැක ගන්නට ලැබීමේ හා අප දෙදෙනා අම්මා ගේ ඇස් වලට හසු නොවී බේරීමේ සතුට සමරන්නට බැරි තරමට තාත්තා නිසා මම ශෝකප්‍රාප්ත වීමි. රාත්‍රියේ තාත්තා ගේ ගිලන් කුටියේ ඔහු හා තනිවට රැඳුණේ මා හා අක්කා ය. අම්මා ඇගේ කාර්යබහුල දින සටහන ගැන වාර්තාවක් තබා ඉක්මනින් ම රෝහලෙන් නික්ම ගියා ය.

“මෙතන ඔය දෙන්න රස්තියාදු නොවී අපිට කාව හරි තියන්න පුළුවන්නෙ. හෙල්ත්කෙයා සර්විස් එකකට කතා කරල නර්ස් කෙනෙක්ව ගෙන්නගමු”

යන්නට පෙර ඇය කීවා ය.

“මනුස්සයෙක් ලෙඩ වෙච්ච වෙලාවට ළඟින් ඉන්න ඕනෙ පවුලෙ අය අම්මෙ. මේ අපේ තාත්ත”

අක්කා තාත්තා ට නෑසෙන සේ මුත් තදින් කීවා ය. මම අම්මා සමග පැටලෙන්නට නො ගියෙමි. එහෙම කරන්නට තරම් එඩිතර විය නො හැකි තරමට විදුර නොහොත් මගේ ප්‍රේමය මගේ ලොකු ම දුර්වලතාව බවට පත් වී තිබිණි. බොහෝ රෑ බෝ වන තුරු අක්කාත් මාත් කතා කරමින් සිටියේ තාත්තා ගේ අසනීපය ගැන ය. අප දෙදෙනා ගේ ම ගෑනු හිත් දුර්වල වෙමින් තිබිණ. අපට තිබුණ ලොකු ම හයිය තාත්තා ය. වෙනත් පිරිමි හයියක් අපේ පවුලට නැත්තේ ය. හෂාන් අයියා ගැන බලාපොරොත්තු තබා ගත නො හැකි බව දැන් ඉඳුරා විශ්වාස ය. ඔහු මේ වන තුරුත් අක්කාව ගෙදර ගෙන යන්නට එනු තබා ගෙදර නො එන්නේ මන්දැයි ඇසීමටවත් දුරකතන ඇමතුමක් තරම් දී තිබුණේ නැත.

“ඇත්තටම අපිට තියන එකම බලාපොරොත්තුව විදුර නංගි. ඒත් අවාසනාවකට එයාට අපේ ගෙදර අය ඉස්සරහට කෙලින් එන්න පුළුවන් කමක් නෑ මේ කරුම දේශපාලනයක් නිසා. අපිට ඉස්සරහට හුඟක් හිත් හයිය කර ගන්න වෙයි නංගි”

අක්කා ඒ කියන මොහොතේත් හිත හයිය කරමින් සිටියා විය යුතු ය. ඇගේ මුහුණේ අධිෂ්ඨානයක් විය.

“ඔයාට හිතෙන්නැද්ද අක්කෙ…හෂාන් අයියත් එක්ක අලුතෙන් ජීවිතේ පටන් ගන්න පුළුවන් වෙයි කියල…”

“කොච්චර බඩගිනි වුණත් කුණු වෙච්ච කෑම කන්න බෑ නංගි. හෂානුත් දැන් මට ඒ වගේ. අපේ සම්බන්දෙ ඒ තරමට ස්පොයිල් වෙලා. කොච්චර අලුතෙන් පටන් ගන්න හැදුවත් ඒ පිළුණු ගඳ අමතක කරන්න බෑ. ඔයා හිතල බලන්න ඒ සම්බන්දෙ ඇතුළෙ මොනාද ඉතුරු වෙලා තියෙන්නෙ කියල. මෙච්චර දවසකට අපි අපිට කතා කළාද…මං කියන්නෙ හෂාන්වත් මංවත්…මේ බැඳීම කවදාවත් හිතට දැනුණෙ නැති එකක් වුණත් ඒක කැඩිලම යනව කියල දැනෙද්දි අමුතු රිදිල්ලක් දැනෙනව. ඒත් ඒ රිදිල්ලට අලුතෙන් කරන්න පුළුවන් දෙයක් නෑ නංගි”

වීදුරු කවුළුවෙන් පෙනෙනා රාත්‍රී කොළඹ දෙස මම සන්තාප හැඟීමකින් බලා සිටියෙමි. අක්කා ගේ හීන ඉහිරී ගොස් තිබේ. මගේ අනාගතය කෙසේ විසඳෙනු ඇත්ද කියා මා දන්නේවත් නැත. තාත්තා ලෙඩට වැටී තිබේ. සියල්ල අවිනිශ්චිත ය. 

“ඕව ගැන හිත හිතා ඉන්න ගියොත් පිස්සු හැදෙනව තමයි. හැම දේම හොඳම විදිහට වෙයි කියල හිතමු. ම්..දැන් බලන්නකො ඔයාගෙ අම්මගෙ ඉස්සරහට ඇවිදං ගිහිල්ලත් අපිට ප්‍රශ්නයක් වුණෙ නෑනෙ”

රෑ මැදියමේත් අවදියෙන් හිඳ ගෙන මා මේවා කියවත්දී විදුර කීවේ ය. ඔහු ට ඕනෑ වන්නට ඇත්තේ මොහොතකට හෝ මගෙ හිතට සැහැල්ලුවක් ගෙන එන්නට ය.

“රටේ තත්වෙත් එන්න එන්නම නරක් වෙනව. පොලිටීශන්ස්ල හිතන්න අරං උං සර්ව බලධාරී කියල. මිනිස්සුන්ට කතා කරන්න බෑ. මීඩියා වලට ඇත්ත කතා කරන්න බෑ. අපි බලාපොරොත්තු තියං ඉමු තිසූ මීට වැඩිය හොඳ රටක් ගැන…අපිට බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නිදහස් රටක් ගැන…”

විදුර ට එහෙම බලාපොරොත්තුවක් හෝ තිබුණාට මට නම් එසේවත් නොවී ය. මේ වෙත්දී රට තුළ වූයේ දරුණු අස්ථාවර බවකි. දේශපාලකයෝ ජනතා නියෝජිතයන් නොවී සර්ව බලධාරී වී සිටියහ. දේශපාලන නර නාටක දෙස බලා සිටිත නො හැකි ව උගත්හු රට හැර යාම ආරම්භ කරමින් සිටියහ. විකාරරූපී ජාති ආගම් බේධ වපුරමින්, සාමාන්‍ය ජනතාව ඒ මත පිල් බෙදී කුළල් කා ගනිත්දී දේශපාලකයෝ ඉන් වාසි ලැබූහ. රට ආර්ථික හා දේශපාලන වශයෙන් උග්‍ර අර්බුධයක් කරා ගමන් කරමින් තිබිණි.

රෝහලෙන් ගෙදර ගෙන ගිය ද ඒ ලිස්සා වැටීමෙන් පස්සේ තාත්තා දුර්වල වීමට පටන් ගත් සෙයක් පෙනෙන්නට තිබිණ. එය කායික මානසික යන අංශ දෙකෙහි ම සිදු වූවකි. ඔහු ඉතා ඉක්මනින් වියපත් පෙනුමකට හැරෙමින් තිබිණ. ආසන්න මතකයන් බොහොමයක් ඔහු ගෙන් ගිලිහී යන්නට විය. කාලය ගැන අදහසක් නම් නැත්තට ම නැති වී යන්නට ගති. ඇතැම් විට තාත්තා දවල් නින්දකින් අවදි වී,

” හොඳටම එළි වෙලා නේද” 

කියා අවිහිංසක සිනහවකින් අසයි.

“මේ හවස තාත්තෙ. මතක නැද්ද..තාත්ත දවල්ට කාලනෙ ටිකක් හාන්සි වුණේ…දන්නෙම නැතුව නින්ද ගිහිං”

මා හෝ අක්කා එහෙම කියූ විට තාත්තා ඒ ගැන තර්ක නොකොට “එහෙමද” කියා ඒ මාතෘකාවෙන් නික්ම යයි. සමහර උදයක කලබලයෙන් අවදි වී නාන කාමරය දෙසට යන්නේ,

“පරක්කු වුණානෙ හොඳටම. අදනං ඔෆිස් යනකොට දවල් වෙනව”

කියමිනි. මෙහෙම සිදුවීම් වලදී පැලී මියෙන්නට තරම් වේදනාවක් අපට දැනිණි. වෛද්‍යවරයා හමුවේ අප මේ පැමිණිලි සිදු කළේ රිදුම් අතරිනි. සැබවින් අපේ හිත් හදන්නට සිටියේ ඔහු පමණ ය.

“මේ ලෙඩේ ලක්ෂණයක් තමයි රෝග ලක්ෂණ ගැන පේෂන්ට්ට කිසි අයිඩියා එකක් නැති එක. ඒව දැනෙන්නෙ තේරෙන්නෙ ළඟින්ම ඉන්න අයට තමයි. බෙහෙත් වලින් උත්සාහ කරන්නෙ අමතක වීම් නරක අතට හැරෙන එක ප්‍රමාද කරවන්න. සමහර දේවල් අපිට දරාගන්න වෙනව දරුවො”

දරා ගන්නට අසීරු ම හදවතට සමීපතම අයට සිදු වන්නා වූ කරදර ය. දේශපාලකයන් බාල් නැටීම නිසා ඇතැම් මාධ්‍යවේදීන් සිය දිවි පරදුවට තබා ඒවා විවේචනය කරමින් පෑන මෙහෙයවූහ. විදුර වරදත්ත කියන්නේ ඒ අතරේ පෙරමුණේ සිටි කෙනෙකි. මේ දින වල ඔහු බරපතල විදිහට දේශපාලකයන්ව හා ඔවුන් ගේ බලය නිසා රට තුළ පිනුම් ගසනා ව්‍යපාරික ප්‍රජාව විවේචනය කරමින් ලීවේ ය. එක සති අන්තයක ජනරාවයෙහි ඔහු ගේ මාතෘකාව වී තිබුණේ අක්කා ගේ සැමියා වන හෂාන් ගේ පියා සතු ව්‍යාපාර අධිකාරිය ය. ලෝකයට පෙන්වන ඔහු ගේ ව්‍යාපාර සියල්ලට ඉහළින් වන්නේ මත්ද්‍රව්‍ය රට තුළට ගෙන්වීම යයි විදුර සාක්ෂි සහිත ව ලියා තිබුණේ ය. හෂාන් ගනේගම රාත්‍රී සමාජ ශාලා වල පිස්සෙකු සේ හැසිරුණේ ඒ අනීතික සල්ලි විසි කරමිනි. හෂාන් ගේ පෙම්වතියන් කිහිප දෙනෙකු ගැන ද ලිපියෙන් අනාවරණය වී තිබිණි. ඉන් එක්කෙනෙකු ශ්‍රී ලාංකික රූප රාජිනියකි. ඇයගේ රූපයට වහන් වී කර ගෙන යන ගණිකා ව්‍යාපාරය නීතියේ රැහැනින් මුදා තබා ගෙන ඉන්නේ හෂාන් ය. තවත් පෙම්වතියක වන නවක නිළියක වෙනුයෙන් ඔහු කෝටි ගණනින් මුදල් වියදම් කොට ඇති බව එහි දැක්විණි. ඒ සියල්ල රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය රකුසාට බිලි දෙමින් උපයා ගන්නා කළු සල්ලි ය. 

එදා පත්තරය නිකුත් වීමත් සමග ම දෙබරකට ගල් ගැසුවා සේ අම්මලා කලබල වූහ. ඒ මේ අතට දුරකතන ඇමතුම් කිහිපයක් හුවමාරු වූයේ ය. මම ඒ ගැන ඉව කර ගෙන සිටියෙමි. 

“මේ පත්තර කාරයට ආච්චි වැහිලද ඇත්තට…මූ අපේ පරණ හතුරෙක් වගේනෙ”

ඒ දුරකතන ඇමතුම් වලින් පස්සේ අම්මා දුම්මල වරම අතට ගත්තා ය.

“ඉතිං ඇත්තනෙ ඒ ලියල තියන දේවල්”

අක්කා සමච්චල් සිනහවකුත් එක්ක කියත්දී අම්මා කෝප දීප්ත වූවා ය.

“මොකද්ද ඇත්ත…ආ…මොකද්ද ඇත්ත…”

“අම්මගෙ බෑණා ගෑනුන්ට කෝටි ගණන් සල්ලි වියදං කරන එක බොරුවක්ද…ඒ සල්ලි එන්නෙ කොහෙන්ද…ඔය එළියට පේන්න තියන බිස්නස් වලින් විතරද…හෂාන්ල සල්ලි උඩ පීනන්නෙ ඩ්‍රග්ස් ගෙන්නලයි කියල අම්ම දන්නෙම නෑ…”

“මෝඩි. සල්ලි වල ගහල නෑ ඒ සල්ලි හම්බ කරන්නෙ කුඩු විකුණලද මාළු විකුණලද කරෝල විකුණලද කියල. අනිත් එක ඔයා මට පෙන්නන්නකො ඉසුරි ගෑනු දෙතුන් දෙනෙකුට සල්ලි වියදං නොකරන පිරිමියෙක් මේ කාලෙ. ගෑනු කී දෙනෙක්ට වියදං කළත් මොකද අග බිසව වගේ ගෙදර ගෑනිට ඉන්න පුළුවන්නං”

අම්මා ගැන මට ඇති වූයේ පුදුම කලකිරීමකි. එය කෝපයක් ව වාං දමනා එක පාලනය කර ගන්නට මට හැකි වූයේ ම නැත.

“තමන්ගෙ දුව ගැන ඔහොම හිතන්න ඔයාට පුළුවන් වුණේ කොහොමද අම්ම. මට කියන්න ඔයා කොහොම අම්ම කෙනෙක්ද කියල”

මා වෙව්ලන බවක් මට දැනිණ.

“ඒ මිනිහගෙ අන්තඃපුරේ අග බිසව විදිහට නමට විතරක් හිටහං කියලද ඔයා අක්කට කියන්නෙ…ඔයා මෝඩ වුණා අක්කෙ. මං කිව්ව ඒ දවස් වල හර්ෂ අයියත් එක්ක පැනල හරි යන්න මං පුළුවන් උදව්වක් කරන්නං කියල. තමුං ආදරේ කරන හිඟන්නෙක්ගෙ ජීවිතේ එකම ගෑනි වෙන එක හොඳයි අම්මෙ අන්තඃපුරේක අග බිසව වෙනවට වඩා. බලයයි සල්ලියි මිසක් ආදරේ කියල දෙයක් මේ ලෝකෙ තියනව කියල දන්න මිනිස්සු නෙවෙයිනෙ ඕගොල්ලො. දැංවත් ඔය මිනිහගෙන් ඩිවෝස් වෙන්න අක්කෙ. මං ඔයාට අපේ මිස් කෙනෙක්ව කතා කරල දෙන්නං ඩිවෝස් කේසස් හොඳටම හැන්ඩ්ල් කරන. ඔය මිනිහගෙන් ලොකු වන්දියකුත් ගන්න ඕනෙ ඔයාගෙ ජීවිතේට වෙච්ච අපරාදෙට”

අම්මා මදෙස බලා උන්නේ මුව අයා ගෙන ය. පුළුවන් කමක් තිබුණා නම් අත පොවන මානයක වූ දෙයක් විසි කොට හෝ ඇය මට දමා ගසනු ඇත.

“තිසුරි. ඔයා ලොකු ගෑනියෙක් වෙන්න හදන්නෙපා. ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තයි කියල නීතියට කරන්න පුළුවන් බම් බු වක් ඇති කියල හිතන්න එපා. අන්න ඔයා පොලිටීශියන් කෙනෙක් වුණානං ඔය කියන නීතිය ඔයාගෙ අතටම ගන්න පුළුවන්”

එසේ කියා ඇය වියරු ගැහැනියක සේ සිනහ වන්නට වූවා ය. මම මහත් පිළිකුලකින් යුතුව අසුනෙන් නැගිට ගතිමි. මට ඕනෑ වූයේ තව මොහොතක් හෝ එතැන නො රැඳී මතු මහලට යන්නට ය. නමුත් මා පිය ගැට පෙළ දෙසට යත්දී ම රූපවාහිනී නාලිකාවක  ප්‍රවෘත්ති විකාශය ඇරඹීමේ සිරස්තල විකාශය වන්නට ගත්තේ ය.

” ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු මීට සුළු මොහොතකට පෙර ඝාතනයට ලක් වී තිබෙනවා”

ප්‍රථම පුවත් සිරස්තලය ලෙස කියවුණේ එයයි.මම පිය ගැට පෙළෙහි අත්වැට තදින් අල්වා ගතිමි. මා වටා ලෝකය භ්‍රමණය වෙනවා සේ දැනෙන්නට ගත්තේ ය. නිවේදකයා තවත් මොනවාද කියවමින් සිටියේ ය. මම එහෙම ම පඩියක් මත හිඳ ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles