ඇයි ඌට අත් දෙකක් – 10

0
1209

සමන් මහත්තයා ගෙ ගෙදර චූටියි.. පිලිවෙලයි…
ඒ වෙලාවෙත් යන්තම් ඇද වැටෙන්න පටන් අරගෙන තිබිච්ච පොද වැස්ස හින්දා  පාවෙලා යන්න හිතාගෙන හිටපු මීදුම් කැටි සේරම මිදුලට පාත්වෙලා තිබුණා.මීදුමත් එක්ක එන පොද වැස්ස හින්දා කාටත් කලින් ඉර හැංගෙන්න පටන් අරගෙන තිබුණා.සමන් මහත්තයාගේ නෝනත් බොහොම හොඳයි කියලා මට හිතුණා.බෝල ගෙඩියක් වගේ මහත අවන්ති අපිව පිළිගත්තේ හරිම උණුහුම් විදිහට.සමන් මහත්තයා මාව අඳුන්වලා දුන්නේ එයාගේ යාලුවෙක් විදිහට.
සමන් මහත්තයා ගෑණුන්ට හැමදේම කියන්න ඕනේ නැහැයි කියන මානසිකත්වයෙන් ඉන්න පිරිමියෙක් කියලා මට නිකමට හිතුනා..
මගේ ගමන් බෑග් එකේ හදිස්සියකට ගන්න හැම තිස්සෙම ඇඳුම් දෙක තුනක් දාගෙන යන එක මගේ පුරුද්දක් වෙලා තිබුණා.අපි එහේ ක්ලිනික් එකේ ෆීල්ඩ් එකේ රාජකාරී වලට යනකොට ඇති වෙච්ච පුරුද්දක් ඒක.සමහර අවස්ථාවන්වල ටිකක් වැඩිදියුණු කරපු ජාන සහිත කකුල් හතරේ සත්තු කූඩුවේ ලොක් එක ඇරගෙන පැනලා යන අවස්ථාවල් තිබුණා.එහෙම සතෙක් අල්ලන්න සුමාන ගණන් අපිට කැලවල් වල රස්තියාදු වෙන්න සිද්ධ වුණා.ඒ වගේ සතෙක් හදිසියේ හරි මිනිස්සු ඉන්න ගම්මානෙකට පැන්නොත් සිද්ධ වෙන්නේ මහා විනාශයක් වගේම ඇමරිකාව වගේ රටවල් ඒ ගැන දැනගත්තොත් ඇතිවෙන්නේ ලොකු යුදමය තත්ත්වයක් හින්දා ඒ වගේ දවස් අපිට ගත කරන්න සිද්ධ වුණේ හරිම කලබලකාරී බවකින්.පැනලා ගිය සතා අල්ලගන්නකම් අපිට සුමාන ගණන් නිදි මරන්න සිද්ධ වෙච්ච අවස්ථාවල් තිබුණා.

එක සැරයක් මටයි මගේ ප්‍රොෆෙසර්යිටයි ඕන උනා ගෝරිල්ලෙක්ගේ ජාන වලින් මනුස්සයෙක්ගේ ජාන කලවම් කරලා මොලය තව ටිකක් වැඩිදියුණු වෙච්චම ගෝරිල්ලෙක් නිර්මාණය කරන්න.ප්‍රොෆෙසර්ට ඕනෙ වුනා ඒ අලුත් ජීවියාගේ චර්යා රටාවන් ගතිගුණ හැඩරුව වගේම බුද්ධියත් මනුස්සයට ගොඩක්ම සමාන කරන්න. එහෙම කලල දහයකින් එක කලලයක් සාර්ථක කරගන්න අපිට පුළුවන් වුණා.කලල පහක් අපි තැන්පත් කලේ සල්ලි වලට ගත්ත ගෑනුන්ගේ බඩවල් පහක.අනිත් කළල පහ තැන්පත් කළේ ගෝරිලි ගෑණු සත්තුන්ගේ ගර්භාෂයේ.මේ වගේ පර්යේෂණ වලදී සල්ලි වලටවත් එන්න කැමති වෙන්නේ නැති මිනිස්සු ගොඩක් ඉන්නවා.ලංකාව වගේම තමයි සමහර අන්ත දුගී දුප්පත් මිනිස්සු කොට්ඨාස වලින් සල්ලි වලට කැමති මිනිස්සු පස් දෙනෙක් හොයාගන්නවා කියන එක රුසියාව වගේ රටක උනත් එච්චර අමාරු දෙයක් නෙමෙයි.හුඟක් වෙලාවට එහෙම පර්යේෂණ වලට අපි ගෑනු හොයාගත්තේ කාත් කවුරුවත් නැති අය.ඇත්තටම මේ පර්යේෂණ වලදී හිතක් පපුවක් කියන දෙයක් පාවිච්චි කරලා යම්කිසි පර්යේෂණයක් කරන්න කොහොමත්ම හැකියාවක් නෑ.අපි සල්ලි වලට ගත්තා වුණාට අපේ කාර්යයෙන් පස්සේ අපේ විද්‍යාගාරයෙන් එළියට ඒ ගෑණු මිනිස්සුන්ට යන්න අවස්ථාවක් නැති බව දැනගෙන හිටියේ අපි හතර පස් දෙනා විතරයි.ඒ වගේම සමහර අවස්ථාවන්වලදී එකපාරටම විද්‍යාගාරයට එන ජනාධිපතිතුමත් මේ ගැන දැනගෙන හිටියා.හුඟක් දවස්වලට මෙහෙම පර්යේෂණ ඉවර වුණහම පර්යේෂණ වලට යොදාගත්ත මිනිස්සු හතර පස් දෙනාව පරලොව අරින රාජකාරිය භාර ගන්නේ හමුදාවෙන් තමයි.පළවෙනි දෙවැනි දවස්වල නම් ඒක මට අමාරු උනාට ඊළඟ දවස් වලදිනම් ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වුණා.ගෑණු පස්දෙනාගෙම තැන්පත් කරපු කලල සාර්ථක වුණේ නැහැ.අපි කීප පාරක්ම ගෑණුන්ව යොදාගෙන ඒක සාර්ථක කර ගන්න උත්සාහ කළත් ඒ එකක්වත් හරියට හැදුනේ නෑ.ඊට පස්සේ ඉතින් පරණ පුරුදු විදිහට අපි එයාලව කතාවෙන් අයින් කළා.ගෝරිලි ගෑණු සත්තු පස්දෙනාගෙන් එක් කලලයක් විතරක් සාර්ථක වුණා .අපි පුදුම විදිහට ඒක රැක බලා ගත්තා.මිනිස්සු වගේ නෙමෙයි සත්තුන්ට තේරෙන්නෙ නැහැ තමන්ගේ ගර්භාෂයේ පැටියෙක් ඉන්නවා කියලා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දෛනික දින චරියාව ඒ විදිහටම කරගෙන යනවා. ගස් ගල් උඩ නගිනවා පනිනවා වැටෙනවා දුවනවා ඉවරයක් නෑ.ඊට පස්සේ අපිට ඒ ගෝරිලි ගැහැණු අම්මව පොඩි කාමරයක් සයිස් කූඩුවක හිර කරලා තියන්න සිද්ධ වුණා.හුඟක් වෙලාවට ගෝරිලි ගැහැණු සතෙකුගේ ගර්භනී කාලය මාස අට හමාරක් වගේ තමයි වෙන්නේ.මේ කලලය ටිකක් වෙනස් හින්දා මාස හතෙන් විතර ගෝරිලි ගෑනු සතාට පැටියා හම්බවුණා.අපේ පර්යේෂණයේ තවත් එක පර්යේෂණය කරපු දෙයක් තමයි අඩු ගර්භනී කාලයකින් පැටව් නිෂ්පාදනය කර ගැනීම.මේ පර්යේෂණයේදී ඒ කොටස අපි සාර්ථක කරගෙන තිබුණා…ඒ හම්බවෙච්ච පැටියා හුඟක් දුරට මනුස්සයෙකුට සමානයි.ඇත්තටම එදා විද්‍යාගාරයේ වැඩ කරපු අපි හැමෝටම හරිම සතුටුදායක දවසක් වුණා.අපි මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දුන්නහම එයා හැකි ඉක්මනින් අපේ විද්‍යාගාරයට ආවා ඒ අළුත හම්බවෙච්ච පැටියව බලන්න.
මේ සිද්ධිය සිද්ධ උනේ මම එහේ වැඩට ගිය අලුතමයි.ඊට පස්සේ අපි පැටියව ඇති දැඩි කරගන්න බොහොම මහන්සි වුණා.අපිට අවශ්‍ය වුණා එයාට මනුස්සයෙකුට වගේ කතා කරන්න උගන්වන්න.අවාසනාවකට වගේ මනුස්සයින්ගේ කතා කිරීමේ හැකියාව ජනනය වෙලා තිබුණෙ නැහැ මේ සතාට. ඒ වගේම ගෝරිල්ලගේ හඬ එලියට ගන්නත් මේ අමුතු සත්වයාට බැරුව ගියා.එයා ගොළු කෙනෙක් හැටියට තමයි අවසානයේ අපිට සලකන්න සිද්ධ වුණේ.හදිසියේම අපේ සත්ව කූඩු සුද්ද කරන්න හිටපු ඉන්දියන් ජාතිකයා අසනීප වෙච්ච නිසා එයාට සති දෙකක නිවාඩුවක් දෙන්න අපිට සිද්ධ වුණා.ඒ වෙනුවට අපිට වැඩට ගන්න සිද්ධ වුණේ  පකිස්ථාන ජාතික පිරිමි ළමයෙක්ව. අලී… ඔව් මට මතක විදිහට අලී නුස්‍රත්…
පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට ගන්න සේවකයන්වත් ගොඩක් නීති රීති යටතේ සිද්ධ වෙච්ච දේවල්. අපි කොයිම වෙලාවකවත් අපි අලුතෙන් නිෂ්පාදනය කරන සත්තු මේ මිනිස්සුන්ට පේන්න තිබ්බේ නැහැ. ඒගොල්ලෝ කූඩු හරි මේ සත්තු ඉන්න කාමර හරි පිරිසිදු කරන්න එන හැම වෙලාවකම අපි ඒ සත්තුන්ව වෙනම තැන්වල රඳෙව්වා. ඒත් අවාසනාවකට එක දවසක් අපේ මේ අලුත් පැටියා..ම්ම්ම් අලුත්ම කියන්නත් බැහැ. …එතකොට එයාට අවුරුදු පහක් විතර… ඔව් අපි එයාට නම දැම්මේ රෙබෙකා කියලා…රෙබෙකා අවුරුදු පහක් උනාට එයා ගෝරිල්ලෙක්ගේ විදිහට බොහොම හොඳින් උස මහත විදිහට වර්ධනය වෙලා හිටියා.ගෝරිල්ලෙක්ගෙ තරමටම බූල් තිබුනෙ නැති උනාට යම් ප්‍රමාණයකින්  ඇගේ බූල් තිබුණා.

ඒ උනාට අපේ මනෝ විද්‍යාඥයන් එයාට ඉදිරිපත් කරපු විවිධ ගණිත ගැටලු බොහොම හොඳින් එයාට විසඳන්න පුළුවන් වෙලා තිබුනා. ඉංග්‍රීසි භාෂාවේ අකුරු කිහිපයක් මතක තියාගන්නත් එයාට පුළුවන් වුණා.ඊට පස්සේ අපිට තේරුණා රෙබෙක ගොලු නැහැයි කියලා … එයාගේ ස්වරතන්ත්‍ර වල අඩුපාඩුවක් හින්දයි හඬ පිට කරගන්න බැරුව ගියේ.
ටිකෙන් ටික ලොකු වෙලා හිටපු රෙබෙකව දැක්කහම ජනාධිපතිතුමාගේ නම් හිත සතුටෙන් පිරිලා ගියා. එයාගේ එකම අදහස තිබුණේ මේ වගේ පැටව් ලක්ෂ සංඛ්‍යාත ගානක් නිෂ්පාදනය කරලා, එයාගේ කුලී හේවා බට පිරිස වර්ධනය කර ගන්න පුළුවන් කියන කාරණයයි. ශක්තියයි බුද්ධියයි විතරක් තියෙන්ඩ මේ විදිහට නිෂ්පාදනය වෙච්ච පැටව්ට කතා කරන්න බැරි වෙන තරමට හොඳයි කියලා තමයි ජනාධිපතිතුමා අපිට කිව්වේ.
කොහොම හරි අර පකිස්ථාන ජාතික තරුණ පිරිමි ළමයට අපේ රෙබෙකාව අස්සෙන් මුල්ලෙන් මුණගැහිලා තිබුණා. මේ සිද්ධිය සිද්ධ වෙච්ච දෙවැනි දවසෙදි අපි මේක දැනගත්තත් මේ ගැන නොදන්න විදිහට ඉන්න කියලා ප්‍රොෆෙසර් අපිට කිව්වා. ප්‍රොෆෙසර්ට ඕන වෙලා තිබුණා රෙබෙකගේ හැඟීම් ගැන දැනගන්න… එක අතකට බැලුවහම ඒක හරිම අමානුෂීයයි තමයි.ඒ වුණාට විද්‍යාත්මක පර්යේෂණ වලදී හැඟීම් කලවම් කරගෙන දේවල් නිෂ්පාදනය කරන්න බැහැ.විශේෂයෙන්ම ජනාධිපතිට අවශ්‍ය වෙලා හිටපු කුලී බට පිරිස නිර්මාණය කරනවා නම් ආදරය සෙනෙහස දයාව කරුණාව කියන මේ හැම හැඟීමක්ම… ඒ නිෂ්පාදනය කරන සත්වයාගෙන් අයින් කරන්න ඕනෙයි කියලා  අපි දැනගෙන හිටියා.දවස් හතරකට විතර පස්සේ අපිට තේරුණා රෙබෙකා ඒ පකිස්ථාන ජාතික පිරිමි ළමයට විශේෂ ඇල්මක් දක්වනවා කියලා.
සති එකහමාරකට විතර පස්සේ අවස්ථානුකූලව අපි පියවර අරගත්තා ඒ දෙන්නට නොදැනෙන්න ඒ දෙන්නව යම් තැනකදි තනි කරන්න… අපේ පිරිසට අවශ්‍ය වෙලා තිබුණේ මේ තරුණ පිරිමි ළමයාවත් රෙබෙකා වත් ලිංගිකව එකතු කරන්න පුළුවන්ද කියන දේ බලන්නයි.අපි එදා දැනගත්තා අපි අතිශයින්ම සාර්ථකයි කියලා.ඒත් මේ පිරිමි ළමයාවත් රෙබෙකාවත් අපි මේ හැම දෙයක්ම ආරක්ෂිත කැමරාවලින් දැක ගත්තයි කියන දේ දැනගෙන හිටියේ නැහැ.
ඊට සති දෙකකට පස්සේ මේ පිරිමි ළමයත් එක්ක රෙබෙකා අපේ විද්‍යාගාරයෙන් පැනලා ගිහින් තිබුණා.ඒ කොටස නම් අපි කවුරුවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි.මේ රහස එළිවෙන්න ඉතාමත් ළඟ බව දැනිච්ච ජනාධිපතිතුමා තදින් නියෝග කළා මේ දෙන්නාව කොහෙන් හරි හොයන්න කියලා .පුරුදු විදිහට ඒ මෙහෙයුමට මාත් සහභාගි වුණා.දවස් එකහමාරකට පස්සේ අපිට රුසියාවේ උතුරු පැත්තේ තිබිච්ච ඝන රක්ෂිත වනාන්තරයක් ඇතුළෙදි මේ දෙන්නව අල්ලගන්න පුළුවන් වුණා.තත්පරයක්වත් හිතා බලන්නේ නැතුව කුලී බටයන්  තමන්ට අණ ලැබිලා තිබිච්ච විදිහට මේ පකිස්ථාන ජාතික පිරිමි ළමයාව පරලොව ඇරියා.
මනුස්සයෙක් හැටියට වගේම විද්‍යාඥයෙක් හැටියටත් මට මගේ පර්යේෂණ ගැන තදින්ම කලකිරුණු දවස එදයි.රෙබෙකාගේ කඳුළු මට තාමත් මතක් වෙනකොට මගේ පපුව පිච්චෙනවා.සොබා දහමේ නීතියට අවනත නොවී අපි නිෂ්පාදනය කරන මේ දේවල් වලට පණ හා හැඟීම් තිබීම මට දරාගන්න බැරුව ගියා.ඊට පස්සේ අපි කොච්චර උත්සාහ කලත් රෙබෙකව යථා තත්ත්වයට පත් කරගන්න කොහොමවත් පුළුවන් වුණේ නැහැ.රෙබෙකා සම්පූර්ණයෙන්ම කෑම ගන්න එක නැවැත්තුවා. රෙබෙකගේ මේ හැඟීම්බර තත්වය ගැන ප්‍රොෆෙසර් එච්චර පැහැදීමකින් හිටියේ නැහැ. එයා දැනගත්තා මේ නිෂ්පාදනය අසාර්ථකයි කියල.
පියවිප්පයෝගයෙන් ලය පලාගන්නට තරම් වේදනාවට පත්වෙන නිෂ්පාදනයක් නිෂ්පාදනය කරන්න ප්‍රොෆෙසට වුවමනා වෙලා තිබුණේ නැහැ.ඒ වුනාට මට රෙබෙකා ගැනත් ඒ පකිස්ථාන ජාතික කොල්ලා ගැනත් ඇතිවෙච්ච වේදනාව වචනයෙන් විස්තර කරන්න බැරි වුණා. ලේ ඇට මස් නහර වලින්  හදපු ජීවීන් එක්ක අපි මේ කරන සෙල්ලම මොකක්ද කියල එදා රෑ මම පෝලා එක්ක කියල බොහොම දුක් වුනා.

පහුවදා මම විද්‍යාගාරයට යනකොට රෙබෙකගේ කූඩුව ඔක්කොම සුද්ද කරලා තිබුණා.රෙබෙකට මොකද වුනේ කියලා අහන්න මට වුවමනා වුණේ නැත්තේ ඒගොල්ලෝ වැඩ කරන්නේ කොහොමද කියලා මම මේ වෙනකොට දැනගෙන හිටපු හින්දයි.මට තාමත් මතකයි හිස් වෙච්ච කූඩුව දිහා කූරු අල්ලගෙන මම බලාගෙන හිටපු හැටි.පොඩි කාලේ ඉඳලම මනෝවිද්‍යාඥයින් රෙබෙකට ගණන් වගේම අකුරු ගැනත් කියලා දීලා තිබුණා.කූඩුවේ එක මුල්ලක  රෙබෙකා එයාගේ නියපොත්තෙන්  ali කියලා  කුරුටු ගාලා තියෙනවා දැක්කම මට කෑගහලා අඩන්න හිතුනා… 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here