ඒ මුළු රෑ පුරාම මම සේනාධිරගේ කතාව ඇතුලෙ වගේම කල්පනා කළේ සමන් මහත්තයා කියපු කතාව ගැනයි.මොනතරම් සත්තුන්ව යොදාගෙන පර්යේෂණ කළත් මේ වගේ කතාවක් මම අහන පළවෙනි වතාව කියලා මට හිතුනා.සමහර වෙලාවට මේ සරප කතාව අපි ඇත්තමයි කියලා හිතුවොත්..
ඒ කියන්නේ දැනටත් අපි අතර මේ සර්පයො වෙන මිනිස්සු ඉන්න පුළුවන්..ඒ කියන්නේ අපි නොදැනුවත්ව…ඒගොල්ලන්ට ඕන වෙලාවෙදි ඒගොල්ලෝ සර්පයෝ වෙනවා..එතකොට මේ සත්තු තමන්ගේ ප්‍රජාව බෝ කරගන්න දරන ක්‍රමයක් තමයි මිනිසුන්ගේ කටවල් ඇතුලට බිත්තර දාන එක.
ම්ම්ම්ම්… හරි … මේ වගේ එක සිද්ධියක් මට මතකයි.ඒකෙදි අපි කලේ කටු වල හයිය අඩු මස් වලින් පිරුණු කකුළුවන් නිර්මාණය කිරීම. ඒකෙදි අරුම පුදුම විදිහට ගෑනු සත්තු බිත්තර දාන්න තෝරගත්තේ පිරිමි සත්තුන්ගේ කටවල්.. හරියටම මාසයකදී ඒ බිත්තර වලින් ආපු පැටව් පිරිමි සත්තුන්ගේ කටවල් වලින් එළියට ආවා.ඒ වෙලාවේ මට මතකයි ප්‍රොෆෙසර් කිව්වා මේක විද්‍යාත්මක ලෝකයේ විශ්මිත නිර්මාණයක් කියලා … කකුළු ගැහැණු සතාගේ බිත්තර සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙලා රැකිලා උණුහුම රැඳිලා තිබුණේ පිරිමි සතාගේ බඩ ඇතුලේ..
හැබැයි මෙතනදි අහපු කියපු කාරණා අනුව තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්..
දන්න කියන සිද්ධි ටික එකට එකතු කරලා බැලුවහම මට නම් හිතෙන්නේ මේ සර්ප ගෑනු සත්තු බිත්තර දාන්න හැමතිස්සෙම තෝරගන්නේ පිරිමින්ව..ඒ වගේම තමයි මේ සර්ප පැටව් බඩ ඇතුළේ හැදෙන්නේ මනුස්ස ශරීරයේ අවයව ආහාරයට අරගෙන..ඒ කෙනුත් විශේෂයෙන්ම ආමාශය..
සේනාදීර ගේ තාත්තගේ මරණ පරීක්ෂණයේදී ඒක තමයි එහෙනම් විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණේ ආමාශයක් නැහැයි කියලා.. හරි හරි මට දැන් ටික ටික තේරෙනවා.එතකොට මේ සත්තු එළියට එන්නේ හැමතිස්සෙම මිනිස්සුන්ගේ පිටිපස්ස පැත්තෙන්.එතකොට මෙච්චර මනුස්සයා දුර්වල වෙන්නේ මේ සත්තු බඩ ඇතුලේ ඉඳන් මනුෂ්‍ය ශරීරයේ තියෙන අවයවයි යුෂයි ඔක්කොම උරාගන්න හින්දා. ම්ම්ම්..හරියට කූඩැල්ලෙක් වගේ..
ඇත්තටම මගේ රස්සාවෙදි පෞද්ගලික ජීවිතයක් නැති තරම්..ලංකාවේ කෙනෙකුට නං විශ්වාස කරන්න බැරි තරම් පඩියක් හම්බවෙන බව ඇත්ත.ඒ උනාට ඒ විද්‍යාගාරයේ තියෙන රහස් හරියට අපි රකින්න ඕනේ අපේ ඇට ලේ මස් නහර වගේ..
මං අර කියපු ගෝරිල්ලගේ ජාන වලින් වැඩිදියුණු කරලා බිහි කරන්න උත්සාහ කරපු ආරක්ෂක බට පිරිස් නිර්මාණයේදී ආසියාතික රටවල්වල නායකයෝ හිතාගන්න බැරි විදිහට ඒ ව්‍යාපෘතියට ආයෝජනය කරන්න කැමති උනා.. රටේ මිනිස්සුන්ට කැඳවත් නැතුව ඉන්න වෙලාවක මේ විදිහට හිතා ගන්න බැරි තරම් මුදල් ඒගොල්ලෝ ආයෝජනය කරලා අපෙන් ඉල්ලුවේ එයාලගේ පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වගේ ශක්තිමත් බට කණ්ඩායම් හදලා දෙන්න කියලයි.ඇත්තටම අපි බලාපොරොත්තු වුනේ අපි ඒ නිෂ්පාදන ජපානය ඇමෙරිකාව ප්‍රංශය ජර්මනිය වගේ බලවත් රටවල් මිලදී ගනී කියලයි.ඒ උනාට හිතාගන්න බැරි විදිහට අන්ත දුප්පත් ආසියාතික රටවල් වල නායකයෝ මිලියන ගණන්වලින් ලන්සු ඉදිරිපත් කරලා තිබුණා ආරක්ෂක බට පිරිස් ගන්න..ලංකාවට ආවට පස්සේ මට පරණ පත්තර එහෙම එහෙන් මෙහෙන් කියවන්න හම්බවුණා.හුඟක් වෙලාවට මෙහේ නායකයින්ගෙන් මිනිස්සු ප්‍රශ්න කරල තිබුණා තිබුණා මේ හොරකම් කරපු සල්ලි වලට මොකද කළේ කියලා..ඇත්තටම මිනිස්සුන්ට හිතාගන්න බැරි විදිහට සමහර වෙලාවට හිතාගන්න බැරි තරම් මිත්‍යාධික දේවල් වලට මේ නායකයෝ සල්ලි වියදම් කරනවා කියලා කවුරු නම් විශ්වාස කරයිද..ඒත් කොයිතරම් ඇත්ත දැනගත්තත් මට ඒ කිසිම දෙයක් එළි කරන්න කිසිම අයිතියක් තිබුණේ නැහැ..
පහුවදා දවස නිවාඩු දවසක් හින්දා ටිකක් එලි වෙනකම් නින්ද ගියා.සමන් මහත්තයා ඇවිල්ලා කතා කරනකම්ම මට කාමරේ නින්ද ගිහිල්ලා තිබුනා.
“ඇත්තටම සමන් මහත්තයා මට දැන් තමයි තේරෙන්නේ මම මෙච්චර දවසක් සෑහෙන මානසික පීඩනයකින් තමයි ඒ බංගලාවේ ඉඳලා තියෙන්නේ කියලා.නොකිව්වට මට හරියට නින්ද ගිහිල්ලත් නෑ කියලා දැන් තමයි තේරෙන්නේ…..”
“කමක් නෑ මහත්තයා සනීපෙට නිදාගත්තනෙ.. මටත් කාලයකට පස්සේ බොහෝම හොඳ යාළුවෙක් හම්බවෙලා තියෙන්නේ.. අපි උදේට මොනවා හරි කාලා මම දන්න කියන පරණ යෝගිවරයෙක් ඉන්නවා.කොයි කාලෙ මෙහෙට ආවද කියන්න නං මම දන්නේ නෑ.
ඔය කැලේ පොටෝ ගහන්න ගියවෙලාවක තමයි මට ඒ මනුස්සයව හම්බවුණේ. මං හිතනවා අපේ මේ සිද්ධිය ගැන යම්කිසි තොරතුරක් දන්නවා ඇති කියලා..”
“සමන් මහත්තයා කොහොමද හරියටම කියන්නේ ඒ යෝගීවරයා විස්තර දන්නවා කියලා.ඇත්තටම මම යෝගි වරයාව හම්බවෙන්න යන්න කැමතියි.මම නිකං දැනගන්න අහන්නේ..”
“මෙහෙමයි ලංකා මහත්තයා..සමහරවිට ඒක මගේ හිතලුවක් වෙන්නත් පුළුවන්.නැත්නම් ඇත්තටම ඇත්ත දෙයක් වෙන්නත් පුළුවන්.එකම එක දවසක් මම ඒ යෝගීවරයාට කෝපි වගයක් හදාගෙන ගියා…එදත් හොඳටම හැන්ද වෙච්ච වෙලාවක්.එතකොටම තමයි ගල් දෙබොක්කාව අස්සෙන් බැහැගෙන මම කියපු මනුස්සයා දේවාලේ පැත්තට යනවා දැක්කේ.ඇස් දෙක වහගෙන හිටපු යෝගීවරයා එකපාරටම කිව්වා
“අන්න යනවා පරම්පරා බෝ කරන්නෙක් “
කියලා.
මටත් මුලින් හිතාගන්න බැරි උනා මොකක් ගැනද මේ කියන්නේ කියලා. පස්සේ තමයි මමත් දැක්කේ ඒ මනුස්සයා දේවාලය පැත්තට යනවා. මම ඒ වෙලාවේ යෝගීවරයාගෙන් මොකුත් අහන්න ගියේ නැහැ. ඒ වුනාට මට දැන් හිතෙනවා අපිට මොනවා හරි විස්තරයක් එයාගෙන් අහලා දැනගන්න පුළුවන් වෙයි කියලා.”
මේ සිද්ධිය සම්බන්ධයෙන් මම හිතනවට වඩා සමන් මහත්තයා බොහොම හොඳින් දන්නවා කියලා මට තේරුණා තේරුනා. ඒ හින්දා තවදුරටත් මම සේනාදීරගෙයි සේනාධිරගේ තාත්තගේ විස්තරයි හංගන එකේ තේරුමක් නැහැ කියලා මට හිතුනා. ගමන පිටත් උන ගමන්ම ඒ විස්තර ඔක්කොම සමන් මහත්තයාට කියන එක හොඳයි කියලා මට හිතුනා.
අපි කන්ද නඟින්න පටන් ගත්තු තැන ඉඳන් මම මේ විස්තර ඔක්කොම අග ඉඳන් මුලටම සමන් මහත්තයාට කියන්න පටන් ගත්තා.එදා නග්‍රැක් කන්ද නගිනකොට මම දැක්ක අද්භූත සිද්ධියේ ඉඳලා ඊට පස්සේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම අකුරක් නෑර මම සමන් මහත්තයට කිව්වා.සමන් මහත්තයා බොහොම සාවදානව ඒ විස්තර ඔක්කොම අහගෙන හිටියා.
“ඒ කියන්නේ ලංකා මහත්තයා සේනාධිර මහත්තයා එයාගේ මිනිය පුච්චන්න කියලා කිව්වේ සමහරවිට එයා විශ්වාස කරන්න ඇති එයා මැරුණට පස්සේ තමයි ඒ බඩෙන් සර්ප පැටව් එළියට එන්නේ කියලා.එයාට ඒක නවත්තගන්න උවමනාව තමයි තිබිලා තියෙන්නේ.එයා දැනගෙන ඉන්නෙ නැතුව ඇති එයා මැරෙන්න කලින් තමයි සර්ප පැටව් එලියට එන්නේ කියලා..
එහෙම නේද …”
“ඔව් ඇත්තටම ඒක එහෙම වෙන්න ඇති.එයා ඉස්පිරිතාලෙට යන්න බැහැ කියලා කිව්වෙත් මට හිතෙන්නේ එයා සමහර විට එයාට වෙච්ච දේ දැනගෙන ඉන්න ඇති.සමහරවිට එයා හිතන්න ඇති කිසි කෙනෙක් මේ දේවල් විශ්වාස කරන එකක් නැහැ කියලා.ඒ වගේම ඉස්පිරිතාලෙට ගියහම හැම දෙයක්ම එළිවෙලා එයාලගේ නම්බුවට යම්කිසි හානියක් වෙයි කියලා සේනාදිර බයවෙන්න ඇති…”
සේනාධිරගේ අතිශය පෞද්ගලික කාරණා ඇරෙන්න අනික් දේවල් කියන්න මම වග බලා ගත්තා.
කතාවෙන් කතාව අපි කන්ද මුදුනටම නැගලා තිබුණා.ඒ වටපිටාව හරිම ලස්සනයි..හරියට නිකං පාරාදීසෙකට ගියා වගේ.අපි දිව්‍ය ලෝකෙ ඉඳගෙන අවට සිරි නරඹනවා කියලා මට හිතුනා.වචනයෙන් නොකිව්වට පෝලා මගේ එහා පැත්තෙන් මේ වෙලාවේ හිටියා නම් මට හොඳයි කියලා හිතුනා. මීදුමයි වළාකුළුයි එකට කලවං වෙලා හරියට ඒ දෙක වෙන් කරගන්න බැරි විදිහට එකතු වෙලා තිබුණා.හීනි වැහි පොද අස්සෙන් වළාකුළුවලට මීදුම යන්න දෙන්නේ නැතුව එකට එකතු වෙලා අල්ලගෙන හිටියා.
මේ හරිය හරිම ලස්සනයි. මමත් ඔය සෑහෙන කාලයක ඉඳලා වශී වෙලා ඉන්නේ මෙන්න මේ පාරිසරික සුන්දරත්වයට තමයි ලංකා මහත්තයා..ලංක මහත්තයාට පේනවද මෙන්න මේ තියෙන පාරේ කෙළවරින් අර හතර පැත්තටම විහිදිලා තියෙන ගහ..අන්න ඒ ගහට එහා පැත්තෙන් තමයි අර දේවාලය තියෙන්නේ.ඒ දේවාලයේ ඉඳලත් කිලෝමීටරයක් විතර එහායින් තමයි යෝගීවරයා ඉන්නේ..”
අපි දෙන්නා උදේටත් නොකා ගමන පිටත් වෙච්ච හින්දා සමන් මහත්තයාගේ නෝනා ඔතල දීපු කිරි බත් ටික අපි දෙන්නා ගල උඩ ඉඳගෙනම කන්න පටන් ගත්තා.ලංකාවෙන් ගියාට පස්සේ මම ලුණු මිරිසුයි කිරිබතුයි කාලා තිබුනෙම නැහැ.ඇත්තටම ඒක දිව්‍ය ලෝක රහයි.ඒ ගැන මම සමන් මහත්තයටත් කිව්වා.අපි යෝගිවරයාට පූජා කරන්න කෝපිත් හදාගෙන ආවා.ඒ යෝගීවරයා ඝන ද්‍රව්‍ය කිසි දෙයක් ආහාරයට ගන්නේ නැහැයි කියලා සමන් මහත්තයා කිව්වා.අපි දාගෙන ආපු අනිත් උණුසුම් බෝතලේ තිබිච්ච කෝපි අපි දෙන්නා පල්ලෙහාට ගලාගෙන යන මීදුම දිහා බලාගෙන බිව්වා.මම සමන් මහත්තයා එක්කත් කතාව වුණේ අවසානයේ මේ ගමන කොතනින් නතර වෙයිද කියලා මට හිතා ගන්න බැහැ කියලයි.තව සති දෙකකින් වසන්ති ආවට පස්සේ මේ අපායෙන් ගැලවිලා මම ඉක්මනටම යනවා කියලත් මම සමන් මහත්තයාට කිව්වා…