ඇයි ඌට අත් දෙකක් – 15

0
3680

ඇත්තටම මම මගේ අමතක වීම ගැන මටම දොස් කියා ගත්තා.මිනිහෙකුට ලෝකයේ අතපසුවීම් වෙන්න පුළුවන් ඒත් මේකනම් මහා දරුණුම අතපසුවීමක් කියලා මට හිතුනා.ඇත්තටම මගේ පාස්පෝට් වීසා හැම දෙයක්ම අප්පු අරගෙන නම්, මට මේ රටින් ආපහු රුසියාවට යන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා කියලා මට හිතුනා.එහෙමනම් මම හිතන තරම් ඉක්මනින් මට මෙහෙන් පැනගන්න බැරි වෙයි කියලා හිතුනා.සමන් මහත්තයා හරියට මගේ හිත කියවනවා වගේ මගේ මුහුණ දිහා බලාගෙන හිටියා.

“ලංකා මහත්තයා කලබල වෙන්න  එපා අපි මෙහෙම කරමු.දැන් වෙලාව දවල් දොළහයි.අපි ආපහු මේ මුළු කන්දම බැහැගෙන ගෙදරට යන්නත් ඕනේ.කීයට හරි ගෙදරට ගිහිල්ලා අපේ නෝනා මහත්තයා දවල්ට මොනවා හරි කෑම හදලා ඇති.අපි ගිහිල්ලා ඒවා කාලා නග්‍රැක් යං…. ගිහිල්ලා මහත්තයාගේ බඩු ටික අරගෙන එමු.මේ තියෙන තත්ත්වයත් එක්ක මහත්තයා බංගලාවේ තනියම ඉන්න එක හරි මදි කියලා අපිට තේරෙනවනේ.අද පුර පෝය දවස.අපි ඉක්මන් කරල යං…”

“පුර පෝය දවස”?…ඇයි සමන් මහත්තයා එහෙම කිව්වේ..

“අහ්.. නෑ නෑ එහෙම විශේෂයකට කිව්වා නෙමෙයි..පෝය දවසට හඳ එළිය වැඩියිනෙ..එතකොට යන්තම් කළුවර වැටිච්ච ගමන් වන සත්තු එලියට එන්න ගන්නවා..ඒක අපේ ආරක්ෂාවට හොඳ නෑනේ ඒකයි මම කිව්වේ…”

මොකක්ද උනේ කියන එක මට තාමත් හරියට හිතාගන්න බැරුව ගියා. මෙච්චර අමතක වීමක් මට කොහොමද සිද්ධ වුණේ කියලා මම ගොඩක් දුරට කල්පනා කළා.වෙන කරන්න දෙයක් නැති හින්දා සමන්  මහත්තයා කියන විදිහට අපි දෙන්නා ආපහු කන්ද බහින්න පටන් ගත්තා.කන්ද බැහැලා ඉවර වෙනකොට හවස දෙකහමාර විතර වුණා.ඊට පස්සේ අපි සමන් මහත්තයාගේ නෝනා හදලා තිබිච්ච කෑම වෙල අරගත්තා. ඊට පස්සේ මට වැඩිපුරම උවමනා වුණේ ඉක්මනින්ම නග්‍රැක්  වලට ගිහිල්ලා මගේ ලියකියවිලි  ටික මගේ අතට අරගන්නයි. කළුවර වැටුනට පස්සේ මම එතනට යන්න වැඩිය කැමැත්තක් දැක්කේ නැහැ.සමන් මහත්තයා ට නැගිටගන්න බැරි තරම් ඔලුව රිදෙනවා කියලා පැයක් විතර ඇලවෙලා ඉන්න ඉඩ දෙන්න කියලා මගෙන් ඉල්ලීමක් කළා.වෙන කරන්න දෙයක් නැති හින්දා එයාට ටිකක් නිදාගන්න කියලා මමත් මගේ කාමරයේ ඇලවෙලා සේනාධිර ගෙ ළිය කියවිලි ටික ආපහු අතට ගත්තා.ඒවා දැන් සම්පූර්ණයෙන්ම වගේ මම කියවල ඉවර වෙලා තිබුණා.තව දවස් හතරකින් විතර වසන්ති ආපහු මෙහේ ඉන්න නියමිතයි.මට වසන්ති ආපහු ලංකාවට එනකන් මෙහෙ නැවතිලා ඉන්න බැහැයි කියලා හිතුනා.ඒ හින්දා මම අදම නග්‍රැක්  වලින් මගේ ලියකියවිලි ටික අරගෙන හෙටම මෙහෙන් පිටවෙලා යන්න ඕනෙයි කියලා හිතුවා. මේ වෙච්ච හැම දෙයක්ම මට වළක්වන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා මට තේරුම් යනකොට ගොඩක් දවස් ගිහිල්ලා තිබුනා.මහා අද්භූත මායාකාරී දේවල් දේවල්. මේ ලෝකේ කොයි තරම් තියෙනවද කියන එක මට විශ්වාස කරන්නත් බැරුව ගියා.මේ සිද්ධියත් හරියට ඒ වගේමයි. අහන දකින කියවන ඕනම කෙනෙක් තීරණය කරන්නේ කවුරු හරි නිර්මාණය කරපු කතන්දරයක් කියන එක විතරයි.නීතිය ඉදිරියට ගියත් මට මේ කිසිම දෙයක් ඔප්පු කර ගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.මම දැනට හොයාගත්ත දේවල් වලින් මට තීරණය කරගන්න පුළුවන් වෙච්ච එකම දේ තමයි ලෝකයේ හැමදාමත් මේ සර්ප කුලයට අයිති මිනිස්සු අපි අවට ඉන්නවා කියන එක.නමුත් ඉන්නේ මිනිස්සුන්ගේ වේශයෙන්.ඒකයි අපිට ඒ ගොල්ලන්ව අඳුනගන්න බැරි..

හවස් යාමේ මටත් නොදැනීම ඇද උඩ නින්ද ගිහින් තිබුණා.හැන්දෑවේ හයත් පහුවෙලා සමන් මහත්තයා මට කතා කරනකොට මම ඇහැරුණේ ගැස්සිලා වගේ..

අනේ ලංකා මහත්තයා …මාර හිසේ ඇම්මක්නෙ මට ඇල්ලුවේ..දැන් තමයි ටිකක් නැගිට ගන්න පුලුවන් උනේ.අපි ගිහිල්ලා අර ලියකියවිලි ටික අරගෙන එමු නේද..

ඒ වෙනකොට මම හිටියේ මේ කරුම සංසාරෙන් කොහොමද ගැලවෙන්නේ කියලා බල බලා..

යං යං… සමන් මහත්තයා නැගිටිනකම් මං මග බලාගෙන හිටියේ..

සමන් මහත්තයාගේ වාහනයෙන් අපි නග්‍රැක්  යන්න පිටත් වෙනකොට හැන්දෑවේ හයත් පහුවෙලා.. එදා පුර පෝය දවසක් හින්දා විශාල පිඟානක් තරම් හඳක් කඳු අස්සෙන් ඇවිල්ලා තිබුණා.මීදුමත් සීතලත් අඩු වෙලා තිබුන හින්දා අර මොනවද
බට්න්‍ රෝස් කියන  චූටි සුදු පාට පොහොට්ටු වගේ තියෙන මල් හඳ එළියෙන් නෑවිලා තිබුණා.
සමන් මහත්තයා ඒ තරම් වේගයෙන් වාහනය එලවගෙන ගියේ නැති හින්දා හඳ එළියට මට ඒ දේවල් පෙනුනා.ජීවිතය කියන්නේ එහෙම තමයි කියලා මට හිතුනා.සිංහලෙන්ම කියනවා නම් බෑ කියාගන්න බැරිකම හින්දා අහක යන නයි රෙද්ද අස්සේ දා ගැනිල්ලක් තමයි මම කරලා තියෙන්නේ කියලා මට හිතුනා.

අපි නග්‍රැක්වලට යනකොට ඒ තරම්ම රෑ වෙලා තිබුණෙ නෑ.. හැන්දෑවේ හත වගේ තමයි වෙලා තිබුණේ.
බංගලාව පුරුදු විදියටම පාළු ස්වභාවයක් තිබුණා . යන්තම් ඉටිපන්දමක් විතරක් මැද සාලේ පත්තු වෙවී තියෙනවා පාරේ ඉඳලම මම දැක්කා.

“මම මෙතන ඉන්නම්.. මහත්තයා ගිහිල්ලා බලලා එන්න”..

සමන් මහත්තයා එහෙම කිව්ව හින්දා මම වාහනයෙන් බැහැලා මිදුල දිගේ බංගලාවේ ලී දොර හම්බ වෙනකන් ගියා.දෙතුන් පාරක් අප්පුට කතා කළත් අප්පු එන පාටක් තිබුනෙ නෑ..ඉස්සරහින් දොර ලොක් කරලා තිබුණෙ නැති හින්දා තවත් ප්‍රමාද වෙන්න ඕනේ නැහැයි කියලා මට හිතුනා.ඉස්සරහ ලෑලි දොරත් තල්ලු කරගෙන  මම මැද සාලයට ඇතුල් වුණා.සාලය උඩ පත්තු වෙවී තිබිච්ච ඉටිපන්දම ගලවලා මම අතට ගත්තේ කාමරයට යන්න මට ආලෝකයක් ඕන හින්දා.
මම මගේ කාමරයට  ගියේ මගේ පාස්පෝට් වීසා තිබිච්ච බෑග් එක අරගෙන ඉක්මනට එන්න හිතාගෙනයි.අල්මාරිය ඇරලා බලනකොට මගේ බෑග් එක ඒ විදිහටම තිබුණා.මම ඉක්මනින්ම බෑග් එක ඇරලා බැලුවේ ඒක ඇතුලේ ලිපිද්‍රව්‍ය ටික හරියට තියෙනවද කියලා දැනගන්නයි. එකපාරටම මට පිටිපස්සෙන් ඇහුනෙ අඩි සද්දයක්.ගැස්සිලා පිටිපස්ස බලනකොට ඉටි පන්දම් එළියට මම දැක්කේ අප්පු මං දිහා බලාගෙන ඉන්නවා කියන එක විතරයි.
දෙයියනේ … එපා….

මම බංගලාව දෙක වෙන්න කෑ ගැහුවා..ඒක කොහොම සිද්ධ වුණාද කියන එක මට තවමත් තේරෙන්නේ නැහැ..

අප්පු එක්ක මම වචනයක් කතා කරන්න කට අරිනකොටම එකපාරටම මට හිතාගන්න බැරි තරම් වේගයෙන් අප්පු එයාගේ අතේ තිබිච්ච පොල්ලකින් මගේ ඔලුවට එකපාරටම ගැහුවා.මට මතක තිබුණේ එච්චරයි.ඊට පස්සේ මොනා වුනාද කියලා මට මතක නැහැ.ඒ සිද්ධිය සිද්ධවෙලා කොච්චර වෙලාවක් ගියාද කියන එකවත් මට මතක තිබුණේ නෑ.

මගේ ඔළුවේ දකුණු පැත්තෙන් දැනුනේ ඉවසන්න බැරි තරම් වේදනාවක්.ටිකෙන් ටික ටිකෙන් ටික මට සිහිය එනකොට මම උන්නේ පුටුවකට වෙලා ඉඳගෙන.තවත් ටික වෙලාවක් ගියාම තමයි මට තේරුනේ ඒ පුටුවට තියලා මාව බැඳලයි තියෙන්නේ කියලා.අනේ දෙයියනේ මට මොකක්ද මේ සිද්ධ වුණේ.මම අමාරු වෙන් ඔළුව උස්සලා මං මේ කොහෙද ඉන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කළා.මං කොච්චර වෙලාවක් මෙහෙම  හිටියද..මාව හොයන්න සමන් මහත්තයා ආවද..අප්පු සමන් මහත්තයාටත් ගහල බැඳලා දැම්මද..මට මේ කිසි දෙයක් හිතා ගන්න බැරුව ගියා..
මට හිතාගන්න බැරුව ගියා මං මේ කොහෙද ඉන්නේ කියලා.කොහේ හරි තැනක පත්තු කරපු ඉටිපන්දමක එළියක් හින්දා යාන්තන් මට ඇතුළ පේන්න පටන් ගත්තා…

සමන් මහත්තයා…

මං මට පුළුවන් තරම් වෙර දාලා හයියෙන් කෑ ගැහුවා.

ආයිත් පාරක් වෙර දාලා මම හයියෙන් කෑ ගැහුවා…

ඒත් කිසි කෙනෙක් බංගලාව ඇතුලෙන් ආවේ නැහැ.එළියේ හිටපු සමන් මහත්තයාට මොකද උනේ කියලා මට හිතා හිතාගන්න බැරුව ගියා.මං හින්දා ඒ අහිංසකයවත් මේ උගුලට අහු උනාද කියලා මට පුදුම විදියට බය හිතුනා.විදුලියක් වගේ මගේ ඔලුවට මතකයට ආවේ සරපයා ගැනයි..දෙයි හාමුදුරුවනේ අද පුර පෝය දවස..සේනාටත් සේනාගෙ තාත්තටත් දෙන්නටම සර්පයාගෙන් කරදර වෙලා තිබුණේ පුර පෝය දවසක..තවත් බල බල ඉන්න වෙලාවක් නෑ.සමහරවිට මට ජීවිතේ බේරගන්න ඇත්තේ බොහොම පොඩි වෙලාවක් වෙන්න පුළුවන්.මේ වගේ කලබල වෙච්ච වෙලාවක කරන්න ඕනේ පුළුවන් තරම් තමන්ව සන්සුන් කරගන්න එක කියලා මට මතක් වුණා.එළියෙ වටපිටාවෙන් මට කිසිම සද්දයක් ඇහෙන්න තිබුණෙ නැහැ.මම බොහොම හෙමින් උත්සාහ කළා මගේ අත් දෙක පිටිපස්සෙ ගැට ගහලා තියෙන ලණුව ලෙහා ගන්න.පුටුව පිටින්ම බොහොම අමාරුවෙන් කුදු ගැහිලා වගේ කකුල් දෙකෙන් ඇදි ඇදී ජනේලේ ගාවට ගිය මම  යන්තම් පලුදු වෙලා තිබුණු ග්‍රිල් එකකට මගේ අතේ බැඳලා තිබුණු ලණුව පටලව ගත්තා.මට පුළුවන් වීරිය දාලා කම්බි කොක්කට පැටලෙවිලා තිබිච්ච ලණුව මම අදින්න පටන් ගත්තා.කිසිම දෙයක් නොකර නිකම්ම මරණයට මුහුණ දෙනවට වඩා අඩුම තරමේ ජීවිතය බේරගන්න උත්සාහයක් හරි දරන්න ඕනෙයි කියලා මට හිතුනා. පැය භාගයක් විතර මම එහෙම දඟලනකොට මොකක් හරි එක තැනකින් ලණුව බුරුල් වුණා කියලා මට තේරුණා.ආයෙත් සැරයක් මං මටම කියා ගත්තා මේ වගේ වෙලාවක කලබල වෙන්න හොඳ නැහැයි කියලා.මම බොහොම ඉවසීමෙන් ආපහු සැරයක් ඇදිලා ඇදිලා ඇවිල්ලා පුටුවෙ ඉඳගත්තා. බොහොම සීරු මාරුවෙන් මම ඊට පස්සේ බැඳලා තිබිච්ච ලණුව බුරුල් කරගත්තා.බුරුල් වෙච්ච අත් දෙක ඉස්සරහට ගන්න කලින් සිද්ධ වුණේ මගේ ඇස් අදහගන්න බැරිවෙන දෙයක්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here