Curry එකක සැඟවී ආ මාරයා

රස කෑම කන්න අපි හරිම ආසයි. ලංකාව වගේ ආසියාතික රටවල මිනිස්සු කොහොමත් ඔය රසම රස කරියක් ගෑවිච්ච තැනක බත් ටිකක්, රොටියක් එහෙම කන්නෙ හරි ආසාවකින්. හැබැයි ඒ ආසාවෙන් රස විඳින කෑමක් පිටිපස්සෙ තමන්ගෙ මාරයා හැංගිලා ඉන්න පුලුවන් බව කවුරු උනත් හිතනවද නේද?

Netflix ඔස්සේ තිරගත වුණ Curry or Cyanide ඔයත් බැලුව නම් මේ කතාව ඔයාලට අමුතු දෙයක් අලුත් දෙයක් වුණේ නෑ.

ඉතින් මේ කියන්නෙ මේ කතාව නොදන්න ඔයාලා වෙනුවෙන්.

ඒ 2019 ඔක්තෝබර් මාසෙ.කොයිකෝඩ් වල කූඩතායි ගමේ පදිංචිව උන්නු ජොලි ජෝසප් කියන කාන්තාව පොලිස් අත් අඩංගුවට පත්වෙන්නෙ එදා. ඒ සති ගාණක් පුරා නිව්ස්වල හෙඩ්ලයින් එක වෙමින් ඉඳලා 2002 දි පටන්ගත්ත මිනීමැරුම් ගණනාවක ප්‍රධාන සැකකාරයා වෙමින්.

හමුවීම

ජොලිට 1997 දී රෝයි තෝමස් ව හම්බුවෙන්නෙ ඉදුක්කි කට්ටප්පනා දිස්ත්‍රික්කයේ ඉන්න එයාගෙ මාමාගේ ගෙදරදි. ඒ හමුවීම විවාහයක් දක්වා දුර යන්නෙ හරිම ඉක්මනට. රෝයි රාජ්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කල විශ්‍රාමික ගුරුවරයෙකු වෙච්ච ටොම් තෝමස්ගේ සහ විශ්‍රාමික ගුරුවරියක වූ අන්නම්මා ජෝසප්ගේ පුතා. රෝයිට බාල සහෝදරයන් දෙන්නෙක් හිටියා. ඒ ඔහුගේ සහෝදරිය රෙන්ජි තෝමස් සහ සහෝදරයා රොජෝ තෝමස්.

ජොලිගෙ ජීවිතය

ජොලි එහෙම නැත්තම් ජොලිඅම්මා කියන්නෙ කූඩතායි වල ඉතා ගෞරවයට පාත්‍ර වූ ඉහළ උගත් පවුලක මනාලියක් විදියට පවුල ඇතුලෙ තැනක් දිනාගන්න මහන්සි වෙච්ච කෙනෙක්. සැමියගෙ පවුලෙ අය ජොලිට නිතරම කිව්වා එයාගෙ උගත්කමට ගැලපෙන රස්සාවක් හොයාගන්න කියලා. මොකද ජොලි ඒ පවුලෙ අයට කියලා තිබ්බෙ එයා දශකයකට වැඩි කාලයක් මුක්කම් හි NIT කැලිකට් හි ආයතනයක වාණිජ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරියක් විදියට රස්සාවක් කරා කියලා.හැබැයි ඒ කතාව සහමුලින්ම බොරුවක් බව දැනගෙන හිටියෙ ජොලි විතරමයි. එයා පවුලෙ අයව රවට්ටන්න විශ්ව විද්‍යාලයට ගියා, කැන්ටින් එකේ වාඩිවෙලා හිටියා. සැමියගෙ පවුලෙ මිනිස්සු හිතුවෙ මේක ඇත්තක් කියලා. ඒ නිසාම “රස්සාවක් හොයාගන්න” කියලා ඒ ගෙදර මිනිස්සු කියන කතාව ජොලිට අහලා ඇතිවෙලා තමයි තිබුණෙ.

මේ හැමදේම පටන් ගත්තෙ අන්න ඒ තරහත් එක්ක.

මිනීමැරුම්

පළමු මරණය සිදු වූයේ 2002 දී ජොලිගේ නැන්දම්මා වන අන්නම්මා නිවසේදී එළුමස් සුප් පානය කර මිය යාමත් එක්ක. කොහොම වුණත්  අන්නම්මා අසනීප වෙච්ච පළමු අවස්ථාව මේක නෙවෙයි. ඊට මාස කිහිපයකට කලිනුත් ඇය සුප් පානය කිරීමෙන් පසු අන්නම්මා බිමට ඇද වැටුණත් වෛද්‍යවරුන්ට පුලුවන් වෙනවා අන්නම්මාව ඒ වතාවෙ ගොඩගන්න. ඒ නිසාම අන්නම්මා මිය ගියේ හදවත් ආබාධයකින් කියලා හැමෝම පිළිගත්තෙ ඒකමතිකව.

වසර හයකට පසු 2008 දී ජොලිගේ මාමණ්ඩිය ටොම් තෝමස් ඔවුන්ගේ නිවසේ බිම් මහලේ නාන කාමරය ඇදගෙන වැටිල මිය යනවා. ඕමස්සේරි ශාන්ති රෝහලේ වෛද්‍යවරු එවෙලෙ කිව්වෙත් හෘදයාබාධයකින්  තමයි එයා මිය ගියේත් කියලා. ඔවුන් දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරේ නැත්තෙත් අන්න ඒ නිසා.

මේ දෙවනි මරණයෙන් පස්සෙ ජොලි පවුලෙ අය අතට අරගෙන එනවා අත්සන් කරේ නැති අවසන් කැමැති පත්‍රයක්. ඒකට අනුව ගොඩක් දේවල් දීලා තියෙන්නෙ ජොලිට සහ රෝයිට. අනෙක් සහෝදරයො ඒක පිලිගන්න අකමැති වුණත් ජොලිගෙ කතා ලඟ එයාලා අසරණ වෙනවා.

2011 වසරේදී ජොලිගේ සැමියා වන රෝයි තෝමස් මැරෙන්නෙත් මේ විදියටම ඔවුන්ගේ නිවසේ බිම් මහලේ නාන කාමරය තුළ ඇද වැටිලා. රෝයි ද ඔහුගේ දෙමව්පියන්ට මෙන් ඔහුගේ මරණයට පෙරාතුව වලිප්පුව හැදිලා තියෙනවා. රෝයිගේ නඩුවේදී, පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරාම, ඔහුගේ සිරුරේ සයනයිඩ් තියෙන බව හොයාගන්නවා. නමුත් කෝඩෙන්චෙරි පොලිසිය එය සියදිවි නසාගැනීමකින් සිදු වූ මරණයක් ලෙස පවසමින් නඩුව අවසන් කළ නිසා මේක වැඩිදුර විමර්ශනය කරන්නෙ නෑ. ජොලි තරයේ කියා සිටියේ මූල්‍ය ප්‍රශ්න නිසා තමයි රෝයි සිය දිවි නසා ගත්තෙ කියලා.

2014 දී, පවුලේ ඉඳපු අවුරුදු 2 ක දරුවෙක් වෙච්ච  ඇල්ෆින් ෂාජුත් මේ විදියටම මිය යනවා. ඇල්ෆින් රෝයි තෝමස්ගේ පළමු ඥාති සහෝදරයා වූ ෂාජුගේ දියණිය. එම වසරේම තවත් මරණයක් වෙනවා. ඒ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ මැතිව් මංජාඩියිල්ගේ මරණය. මැතිව් කියන්නේ අභිරහස් ලෙස මියගිය අන්නම්මාගේ සහෝදරයා.

ඇල්ෆින්ගේ මරණයෙන් වසර දෙකකට පසු, ෂාජුගේ බිරිඳ සිලී දන්ත සායනයකදී ඇද වැටීමෙන් මිය යනවා. සිලීට ද වලිප්පුව වැළඳී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇය මිය යන විට ඇගේ මුඛයෙන් පෙණ දමා තියෙනවා. සිලිගේ මරණයෙන් වසරකට පස්සෙ, ෂාජු සහ ජොලි විවාහ වෙනවා.

චේතනාව

මේ හැමදෙයක් පිටිපස්සෙම සැඟවිලා තිබ්බ හේතු විදියට පොලිසි අදහස් කීපයක්ම දරනවා.

දේපල ලබාගැනීම වෙනුවෙ තිබිච්ච ආසාව ටිකෙන් ටික තරහක් සහ අවසානයේ කෝපයක් වුණා වගේම ගෙදර පාලනය සම්පූර්ණයෙන්ම දරන කෙනා වෙන්න ජොලිට තිබුණ උවමනාව තමන්ට ඉහලින් උන්නු අයව එකින් එක මරලා දාන්න හේතුවක් වෙන්න ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අන්නම්මා තෝමස්ගේ නඩුවේදී පොලිසිය කියන්නෙ ජොලිගේ චේතනාව නිවසේ තීරණ ගන්නා පුද්ගලයා නැති කිරීම වුණ එක. ඒ විතරක් නෙවෙයි, ඇය පශ්චාත් උපාධිධාරිනියක බවට ජොලි කළ ප්‍රකාශය ගැන අන්නම්මා සැක කළා. මෙම සැකයන් දශකයකට වැඩි කාලයක් තිස්සේ ජොලි ව්‍යාජ රැකියාවක් කිරීමට හේතු වුණා. අන්නම්මාගේ මරණයෙන් පසු රෝයි සහ ජොලි ඔහුගේ පියා ටොම් ජෝස් සමඟ සුහදව ජීවත් වුණා. ටොම් තම ලේලියට රිය පැදවීමට ඉගෙන ගන්නා ලෙස දිරිමත් කළ අතර දේපලක් පවා විකුණා ඒ ලැබිච්ච මුදල් ඇගේ ගිණුමේ තැන්පත් කළේය. කෙසේ වෙතත්, ඔහු තවත් දේපල දෙකක් විකුණා එම මුදල් ඔහුගේ අනෙක් දරුවන්ට ලබා දීමට තීරණය කිරීමෙන් පස්සෙ තමයි ජොලි තමන්ගෙ මාමණ්ඩියවත් මරන්න තීරණය කරන්නෙ.

රෝයිගෙ මත්පැන් පානය නිසා ජොලි සහ රෝයි අතර තිබුන සබඳතාවය බිඳ වැටීම ඔහුගේ මරණයට හේතුවෙන්න ඇතිබව සැක කරනවා.

පවුලේ මීළඟට මිය ගියේ 2014 වසරේ අන්නම්මාගේ සොහොයුරා වන මැතිව්. රෝයිගේ මරණය පිළිබඳව සැක සිතී දෙවනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට දිගින් දිගටම අවධාරණය කළ නිසා මැතිව් ඉලක්කයක් බවට පත් වුණ බව පොලිසිය සැක කරනවා. ගුරුවරයකු වන ෂාජු සමඟ විවාහ වීම ඇයට වාසිදායක බව ජොලි තීරණය කර තිබූ නිසා රෝයි ඝාතනය කර ඇති බවට පොලිසිය විශ්වාස කරනවා. රෝයිගෙන් පසු ඇය ෂාජුගේ දරුවා සහ බිරිඳ ඉලක්ක කළේ මේ නිසා.

හසු වීම

රෝයි තෝමස්ගේ මරණයෙන් පසුව තමයි සැක මතුවෙන්න පටන් ගත්තේ. ඔහුගේ සිරුරේ සයනයිඩ් හමු වූවත් එය සියදිවි නසාගැනීමකින් සිදු වූ මරණයක් බවට කියලා පොලිසිය විසින් නඩුව අවසන් කර තිබුණි. නමුත් රෝයිගේ සොහොයුරා රොජෝ තරයේ කියා සිටියේ මෙතන වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලමයි.

රොජෝ තෝමස් පොලිසියට පෙත්සමක් ඉදිරිපත් කළ අතර පසුව මියගිය හයදෙනාගේ සිරුරු ගොඩගෙන සවිස්තරාත්මකව පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ගේ මරණ මිනීමැරුම් බව හෙළි වෙනවා. පසුව, 2019 ඔක්තෝම්බර් මාසයේදී පොලිසිය විසින් ජොලි, ඇයට සයනයිඩ් ලබා දුන් බව කියන ඇගේ මිතුරා වන එම්එස් මැතිව්, මැතිව්ට සයනයිඩ් සැපයූ බව කියන රන්කරු ප්‍රිජිකුමාර් සහ ව්‍යාජ අන්තිම කැමති පත්‍රය සැකසීමට උදව් කළ මනෝජ් අත්අඩංගුවට ගන්නවා

2020 පෙබරවාරි මාසයේදී ජොලි පොලිස් අත්අඩංගුවේ සිටියදී මැණික් කටුව සපා කෑමෙන් සියදිවි නසා ගැනීමට උත්සහ කරත් ඒක හරියන්නෙ නෑ.

නඩුව

මිනීමැරුම්වල පළමු විත්තිකරු වූ ජොලීට මිනීමැරුම්, අපරාධ කුමන්ත්‍රණය සහ ව්‍යාජ ලේඛන සැකසීම යන චෝදනා එල්ල වෙනවා. මැතිව්ට සහ ප්‍රිජිකුමාර්ට කුමන්ත්‍රණ සහ උසිගැන්වීම් චෝදනා එල්ල වූ අතර මනෝජ්ට ව්‍යාජ චෝදනා එල්ල වෙනවා.

මෙම නඩුව කෝස්කෝඩ් අතිරේක සැසි අධිකරණයේ විභාග වෙමින් පවතින අතර, ජොලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බී.ඒ අලූර් තර්ක කළේ ඇයට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ඇය විත්තිකාරියක් ලෙස ඉදිරිපත් කර ඇති බව. සාක්‍ෂි නොමැති බව පවසමින් ජොලි විසින් සෙෂන්ස් උසාවියට නිදහස් කිරීමේ පෙත්සමක් ගොනු කර තිබූ නමුත් අධිකරණය එය නිෂ්ප්‍රභ කරනවා. ඇය කේරළ මහාධිකරණයට ගියා වුණත්, මහාධිකරණය සැසිවාර අධිකරණයේ තීන්දුවට මැදිහත් වීම ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර, 2023 මාර්තු මාසයේදී මනෝරමා වාර්තා කළේ ජොලිගේ සමීපතම මිතුරියක් වන ජොන්සන් උසාවියට පැවසුවේ ඇය ඝාතන හයම කළ බව ඇය ඔහුට හෙළි කළ බව. මියගිය අයගේ මෘත දේහය ඔවුන්ගේ සුසාන කුටිවලින් ඉවත් කිරීමට ජොලි තමාගේ උදව් ඉල්ලා සිටි බව ද ඔහු කියනවා. 

ජොලිගේ සහෝදරයන් වන බාබු ජෝසප් සහ ටොමි ජෝසප් ද අධිකරණයට කියා සිටියේ ඇය අපරාධය පාපොච්චාරණය කළ බව.

Related Articles

Don't Miss


Latest Articles