සඳක් තනියම- 4

0
4955

දිනාරාත් සචින් බිනාර කාරියවසම් වෙනුවෙනුත් වෙන්ව  තිබුණේ නිවසේ වන මදක් විශාල කාමරයයි. එහි යුගල යහනක්, ඇඳුම් අල්මාරියක් ,ඇඳුම් වැටක් සහ ලියන මේසයක් පුටුවක් විය.විවරව තිබූ ජනෙල් පියන්පත් අතරින් පිටතට එබුණු යුවතිය දුටුවේ තවත් මේ ආකාරයේම මහල් නිවාස කිහිපයක් නිවස ඉදිරිපස කොටසේ සේම පසුපස කොටසේත් වන බවයි..ඒ සාම ඇයට සිහි වූයේ අත්තම්මායි.මේ පරිසරය මේ කලබලකාරීබව දුටුවානම් පුදුමවනු නියතය.මේ නිවාස සියල්ලම සාදා ඇත්තේ වලව්වත් , ඊට අයත් තේ ඉඩමත් තරම් වන ඉඩම් කොටසකය.

” අත්තම්මාට හැම තිස්සෙම අඩුපාඩුකම් කියන්න එපා පුතේ පව්….”

අම්මා දිනක් එසේ පැවසූයේ දිනාරා අත්තම්මාගෙන් අලුත් සපත්තු කූට්ටමක් ඉල්ලා සිටියදීය.ජීවත් වීමට වලව්වෙන් යම් මුදලක් ලැබෙන බව ඈ ඒ වනවිටත් දැන උන්නාය.අම්මා ඒවා අර පරිස්සමින් වියදම් කරනා බැව් දිනාරා දනී.අමතර යමක් අවශ්‍ය වුවහොත් ඇය අත්තම්මාට කියන්නය පුරුදු වූයේ එනිසාය.

” දැන් බාප්පා තමයි වතුපිටි පාලනය කරන්නේ.අත්තම්මා අතට සල්ලි ලැබෙන්නේ නෑ…”

පුංචි අම්මා වලව්වතුල ආධිපත්‍ය පැතිරවූයේ ඉන්පසුවයැයි දිනාරාට සිහි වූයේ එවේලෙහිය.කෙසේ හෝ වේවා ඉන් පසුව ඈ අත්තම්මාගෙන් විසිතුරු ඇදුම් ආයිත්තම් නොඉල්ලුවාය. 

යුවතිය සිය ජංගම  දුරකතනය ගෙන  ඇමතුමක් ලබාගත්තේ වලව්වේ ස්ථාවර දුරකථනයටය. අත්තම්මා ජංගම දුරකථනයක් භාවිතා කළේ නැත.

” මම දිනාරා. අත්තම්මට ටිකක් කතා කරන්න පුලුවන්ද…”

එහා පසින් රිසීවරය එසවූයේ  කවුරුන්දැයි නොදැන සිටියත් දිනාරා මුලින්ම කළේ ආගන්තුක විලාසයකින් තමාව හඳුන්වා දීමය.බොහෝවිට නිවසෙහි වන ඒ ස්ථාවර  දුරකථනයට පිළිතුරු සපයන්නේ නැන්දාය.තත්පර කිහිපයක් ගතව යනතුරුම එහා පස වූයේ නිහඬ බවක් පමණි.දුරකතනයට අත්තම්මා පැමිණෙනතුරු වන ඒ නිහඬ බව දිනාරාට හොඳින් හුරු පුරුදු එකකි.

” සුදු මැණිකේ…..”

” අපි ආවා සුදු අම්මේ. ප්‍රියංකා ආන්ටිත්  ස්ටේෂන් එකට ඇවිල්ලා හිටියා ” 

” කෝ මගේ කොලු පැටියා..”

” මල්ලිනම් හොඳටම නිදි. අත්තම්මා බෙහෙත් බිව්වා නේද..වරද්දන්නේ නැතුව වෙලාවට බෙහෙත් ටික බොන්න…”

” බෙහෙත් බොන්න මතක් උනේ දැන් ඩිංගකට කලින්.සමහර දේවල් මට අමතක වෙලාම යාවි සුදු මැණිකේ.වලව්ව පාලුවට යාවි..”

වලව්ව පාළුවට නොගියත් අත්තම්මාගේ සිතනම් පාළුවට යනබව විශ්වාසය.නැන්දා බොහෝ විට ඇයට වෙන්වූ කොටසේ හුදකලාවේ කාලය ගත කරයි. එසේත් නැතිනමි පුංචි අම්මා සමග උඩු මහළේය.බාප්පා නිවසින් පිටවන වේලාවක් හෝ යළි නිවසට පැමිණෙන වේලාවක් නොවේ.ඔවුන්ගේ දරුවන් අත්තම්මා ප්‍රිය නොකරන්නා සේම අත්තම්මාද ඔවුන්ව ප්‍රිය නොකරයි.

” අත්තම්ම දුකින් ඉන්න එපා..හැමදේම හරි ඉක්මනට හරියයි.හැමෝටම හිමිතැන් තියෙනවා අත්තම්මේ. ඒ තැන්වල චුට්ටක් හරි සැනසීමක් තියෙයි.මට හිමිතැන වලව්ව නෙමෙයි වෙන්න ඇති…”

” සුදු මැණිකේ මේ වලව්ව ඇතුලේ  පුදුමාකාර දුකක් වේදනාවක් වින්දා කියලා මං දන්නවා.ඒවට මං සුදු මැණිකේගේ පැත්ත ගන්න ගියානම් මේ මහ ගෙදර අපි දෙන්නා  විතරක් තනි වෙන්න තිබුනා සුදු මැණිකේ.ගෙයක් පවුලක් කියන්නේ දරා ගන්න එකටනම් මං උපරිම⁣යෙන්ම දරාගන්නවා.ඒ දරා ගැනීමයි ,ඇණුම්පදයි, ⁣ගැස්සිලි පැද්දිලියි අතරේ ඔය තරුණ ජීවිතේ ගෙවිල යන්න ඕනේ නෑ..එදා ඔය ළමයගේ අම්මව මං වලව්ව ඇතුලේ හිර කර ගත්තේ ඒකට හේතුවක් තිබුණ නිසා.මගේ සුදු මැණිකේ මේ අහසේ කොච්චර දුර පියාඹලා ගියත් අත්තටු පරිස්සම් කරගන්න බව මං දන්නවා…”

” මාත් ඒක විශ්වාස කරනවා ආත්තම්මේ ..මට පුළුවන් හැම වෙලාවකම මං  කතා කරන්නම්.සතුටින් ඉන්න.”

” මල්ලිව ඇස්  දෙක වගේ බලා ගන්න ඕනේ සුසු මැණිකේ…”

” මං ඒක කරනවා ප්‍රියංකා ආන්ටි  මට උදව් වෙනවා කියලා විශ්වාසයි.ඉන්න අත්තම්මේ මං ප්‍රියංකා ආන්ටිට  ෆෝන් එක දෙන්නම්..”

එවරය දිනාරා ජංගම දුරකථනය රැගෙන කාමරයෙන් පිට වූයේ ප්‍රියංකා සොයාගෙනය.ඇය උන්නේ මුළුතැන් ගේ තුළය.කුඩා කුඩා දීසි කිහිපයකට බෙදූ  වෑංජන විසිත්ත කාමරය කෙළවරක වූ කෑමේ මේසය මතින් ගෙනැවිත්  තබන්නට ඇත්තේ ඈ විසින්ය.

ප්‍රියංකාත් යුවතිය දිගුකල ජංගම දුරකථනය රැගෙන සිය කාමරයට ඇවිද ගියාය. 

” ළමයෝ..පුළුවන්කමකට ගතපු තීරණයක් නෙමෙයි මේ.අත ඇරලා දාන්න සුදු මැණික කියන්නේ බැල්ලක් ,  බැළලියක් නෙමෙයිනේ මනුස්ස දුවෙක්.එහෙව් අයට කරදර සිද්ධ වෙන්න යන්නේ හරි පොඩි වෙලාවයි..”

” මං දිනාරව මගේ දරුවෙක් විදිහට බලා ගන්නවා මැඩම් . ඒ ගැන සැකයක් හිතේ තියා ගන්න එපා.”

” මේ වලව්ව ඇතුලේ  ඒකිට වෙච්ච කෙනෙහිලිකං මට හංගගෙන හිටියට මං දන්නවා.එහෙම නොවුනනං ඇස් දෙකේ තියාගෙන රැක ගන්න ඕන ගෑණු දරුවෙක් ඔය..කේතකීට වැරදුන තැන සුදු මැණිකෙට වරදින්න ඕනේ නෑ දරුවෝ..”

” ඒ අතීතය අපි හැමෝටම පාඩමක් වෙයි මැඩම් .”

ප්‍රියංකා එසේ පැවසූයේ දුරකථන ඇමතුම නිමා කරන්නට ප්‍රථමය.මිලීනා ජයසුන්දර ගැන ඇගේ සිතෙහි පැහැදීමක් නොවූවත් මේ කිසිවක් ඇයට හඟවන්නට ප්‍රියංකා උත්සාහ නොකළාය.යෙහෙළිය අකාලයේ මියගියේ ඇගේ තීරණවල වරදින්යයන සිතුවිල්ල ප්‍රියංකාගේ සිතින් මුදාහැරීම ලෙහෙසි පහසු එකක් වූයේ නැත.

ඇය ආපසු දිනාරා සොයා එද්දී කුඩා දරුවා නැගිට සිටියාය.

” පුතේ මං එයාට ඕන විදිහට බෙරිබත් එකක් හැදුවා..කොහොමද අපි ඒක කවන්නේ…”

” මේ ප්ලේට් එකට දාලා පොඩි කරගන්න පුළුවන් ආන්ටි .මට කෑම එක දෙනවද ආන්ටි .මං කවලා ඉන්නම්. දැන්නම්  බඩගින්නේ ඇත්තේ…”

යුවතිය එසේ පැවසූයේ සොයුරාගේ කෑම බඳුන් බෑගය තුලින් පිටතට ගනිමින්ය.

දරුවාව ප්‍රියංකා අතට දුන් දිනාරා වහ වහා ඔහුගේ ආහාර වේල සකස් කළාය. ප්‍රියංකාව ආගන්තුක. වූ නිසා ඔහු වරින් වර හඬන්නට උත්සාහ කරන අයුරුත් ප්‍රියංකා  නලවා ගන්නට වෙහෙස වන අයුරුත් කුඩා මුළුතැන්ගේ තුළ සිටින දිනාරාට හොඳින් ඇසුණාය. ඈ දෑත් ඉක්මන් කලේම ඒ නිසාය.

දිනාරාගේ  දුරකථන ඇමතුමට පිළිතුර දුන් මිලීනා ආලින්දයේ වූ  හාන්සි පුටුවෙන් අසුන් ගත්තේ වෙහෙසකර අයුරින්ය. මේ තේජවන්ත වලව්වේ උසටම තමාගේ සිතෙහි මියගිය රහස් බොහොමයක් වන බව ඈ දනී. සැමියා මියගිය පසුව ඈ ජීවත් වූවේනම් ඒ දරුවන් වෙනුවෙන්ය.පසුකලෙක ඇය ජීවත් වූයේ හිස්ව ගිය සිතකින්ය.ඒ   යුතුකම් , වගකීම් වෙනුවෙන්වූ ජීවත් වීමකි..  කේතකීත් ,  දිනාරාත් ඒ හිස්වගිය සිතෙහි ඉඩ සොයා ගත්තේ  හෙමි හෙමිහිටය.. ඇගේ මේ නික්මයාම මිලීනාගේ සිතට දරා ගත නොහැකි දුකක් වූයේද එනිසාය. 

” අම්මට දුක ඇති අර කෙල්ල ගියා කියලා…”

ලොකු දුව වජිරා ආලින්දයට පැමිණියේම එසේ පවසාගෙනය. ඈ  අත වූයේ කැරට් යුෂ බඳුනකි.වයස වසර හතළිස් පහක් ගෙවී යාමට ආසන්න වුවත් වජිරා තම රූපය ගැන වෙහෙසෙන්නේ අවුරුදු විස්සක විසි දෙකක තරුණ යුවතියක සේ්ය.ඇය වෙනුවෙන් විවාහ යෝජනා ගෙන ඒම  මිලනා අතහැර දැමුවේ මින් වසර කිහිපයකට ඉහතදීය. ඇයව අපේක්ෂාවෙන් මේ වලව්වට පැමිණ ගිය තරුණයන් ගණන සියකට වැඩි මිස අඩුවක් නොවේ. දියණියකගේ  විවාහය ප්‍රමාද වීම මවකට දරාගත  නොහී වූ දුකක්, බියක්  වුවත් මිලිනා ඉවසා සිටියාය.ඇය සොයන අංග සම්පූර්ණ පිරිමියා තවමත් මෙලොවෙහි ඉපදී නැතුවාට සැකයක් නොවේ.සංවේදී හදවතක් හිමි නොවූ තම දියණිය විවාහ අවුල් ජාලාවක් කරගන්නවාට සැකයක්  ද නොවේ. කොහොමටත් ඈ වලව්වෙන් පිට කරන්නට මිලීනා අදහස් නොකලාය.පිරිමි වෙස් ගන්නා ගැහැණුන් තුළ වන්නේ ආදරණීය බවක් නොවේ..රුවෙන් , ගතිගුණ වලින් සේම තීන්දු තීරණ ගැනිම් තුලින්ද ඈ මියගිය තම සැමියාටම සමානය.අවසන විවාහයකට යාමට වඩා වජිරා  තනිව වාසය කිරීම සුදුසු යැයි මිලිනා ද තීරණය කළාය.

” උඹලට මොන වරදක් කළාටද ඒ කෙල්ලගෙන් එහෙම පලිගන්න හදන්නේ…”

” අම්මට වරදක් නොපෙනෙන එකනේ පුදුමේ..ඒකිගේ අම්මා අපේ  අයියත් එක්ක ආවේ හොඳ විදිහටද…අමතක කරන්න එපා  ඒකෙන් අපේ වලව්වට වෙච්ච අවනම්බුව..”

” මේ වලව්වට අවනම්බුවක් කලේ මගේ එකා මිසක් ඒ පිට එකී නෙමෙයි.ගෑනියෙක් ගෙනල්ලා දරුවෙක් හදලා අනාථ කරලා ගියේ සහෝදරයා කියලා අමතක කරන්න එපා..ආනාථ නිවාසෙන් ආවා උනත් ඒකි මේ වලව්වේ නම්බුව රැක ගත්තා.මැරිලා ගිය එකීට නින්දා කරලා පව් පුරව ගන්න එපා.”

” අයියට කේතකීත් එක්ක ඉන්න බැරි වෙන්න ඇති..පොත්තේ රතටයි රූපෙටයි රැවටුනාට මොනවද ඒකිගෙන් ගන්න තියෙන්නේ කියලා අයිය උනත් හිතන්න ඇති.අයියා කිව්වනේ මං රැවටුනා කියලා.”

වජිරා එවර පැවසූයේ ඇඟට පතට නොදැනෙන අයුරින්ය.තමා පවසන එක වදනට ඇයට පවසන්නට දහසක් වදන් වන බව මිලිනා දනී.ඒ නිසාම බොහෝ දුරට ඈ කරන්නේ නිහඬවම සිටීමය.

” දැන් ඔය බැඳලා ඉන්න සූද්දිගේ මොනවට රැවටිලාද බැඳලා ඉන්නේ.ඒත් පොත්තේ රතටයි රූපෙටයි වෙන්න ඇතිනේ..”

”  මං දන්නෙ නැහැ අම්මේ ඕවා…කොහොම වුණත් මේ ගෙදර ඉන්න අනිත් පොඩි එවුන්ට ප්‍රශ්න ඇති කරන්න බැහැ.නම්බුවක් ඇතුව ජීවත් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේකත් අනාථ මඩමක් වෙනවා..”

” කසාද බඳින්න කලින් මිනිහගේ ගෙදර ගිහිල්ලා ලගින එකද නම්බුව කියන්නේ?..උන්ට ඕන විදිහට ජීවත් වෙන්න ගන්න එකද නම්බුව කියන්නේ..එහෙමනම් උඹටත් තිබුණනේ ඒ නම්බුව ආරක්ෂා කරගන්න.වජිරා උඹ හිතන්න එපා කටවහං හිටියට මං මේවා නොදන්නවා කියලා.මිනිස්සුන්ට විහිළුවක් වෙන්න බැරි හින්දා ඉවසනවා මිසක්..”

මිලිනා ඒ පැවසූයේ තම බාල පුතාගේ වැඩිමහල් දියණිය ගැනය.ඇය වෙත ලබා දී තිබූ නිදහස ඕ අසීමිතව භුක්ති විඳිමින් උන්නාය.

” ඒගොල්ලෝ උගත් ළමයිනේ අම්මේ.දැන් කාලේ එහෙම තමයි..”

” මිනිස්සු උගත්කමට වැරදි කරනවා කියලා මම දන්නෙ දැන්නේ…හරි වැරැද්ද තේරුම්ගන්න බැරිකම , මනුස්සකම නැති කලේ උගත්කම වෙන්න ඇති..”

” දැන්  අර කෙල්ල අර ගෑණිගේ  ගෙදර ඉන්නේ සල්ලි දීලද.ළමයා වෙනුවෙන් කාලිංගිගෙන් සල්ලි ඉල්ලන්න තියෙන්නේ..”

වජිරා එවර ඇසුවේ අම්මාගේ කතාව මගහරිමින්ය.

” උඹල වගේ අමානුෂික නෑ හැම මනුස්සයෙක්ම..යාළුකං කියන්නේ ඒවට තමයි.කේතකී ඒ ළමයයි නිතර නිතර හමු නොවුනට යාළුකං එහෙමම තිබුණා..අවුරුදු ගානක්..”

” ඒවි  මාර යාළුකං..බලන්නකෝ ඔය කෙල්ලත් බඩක් හදාගෙන ආයි මේ වලව්වට ගෑටුවේ නැත්නම් මගේ නම වජිරා කියලා කියන්න එපා..ගහේ කටු උල් කරන්න ඕනේ නෑ කියනවනේ.අම්මා ඒකිගේ කසාදෙ වැරැද්ද අම්මගේ පිට දාගත්තට ඒකිටත් ලොකු උවමනාවක් තිබුනා කවුරුහරි මිනිහෙක්ගේ කරේ එල්ලිලා නටන්න..”

” තමන්ගේම සහෝදරයාගේ ගෑණිටයි  දරුවටයි නේද උඹල මේ කෙනෙහිලිකම් කරන්නේ.මිනිහෙක්  කරේ එල්ලං නටන්න උවමනාවක් තිබුනනම් කේතකී ඒ දේ කරන්න මීට  කලින්.උඔට වගේම මං ඒකිටත් මංගල යෝජනා සෑහෙන්න බැලුවා..”

” කවුද දන්නේ අම්මට හොරෙන් කරන්න ඕන දේවල් කළාද කියල.වලව්වේ නොඉඳ වත්තේ ගෙදරට ගියෙත් ඒ නිදහස ගන්න වෙන්න ඇති.”

” කට කැඩිච්ච කතා කියන්න එපා වජිරා කට තිබුණු පලියට..මනුස්සයෙක්ගේ හොඳක් දකින්න කියන්න ඔය දිව නැමෙන්නේ නැත්නම් කට වහගෙන ඉන්න එක තමයි හොඳම දේ..ගිය ආත්මේ කරපු පව් මේ ආත්මෙ ගෙවලා  ඉවර කරන්න  ඊළඟ ආත්මෙටත් පව් රැස් කරගන්නෙ නැතුව. මං කරන්නේ ආච්චි අම්මා කෙනෙක් විදිහට මගේ යුතුකම ඒක නතර කරන්නේ මේ ගෙදර කාටවත් බෑ..මේ ගෙදර බෙදීම් ඇති කලේ උඹයි අන්න අර කපටි අම්මන්ඩියි.මගේ දරුවාට මේ ගෙදර දොර වැහුවට උගේ ලෙයින් ජාතක වෙච්ච ඒ අහිංසක කෙල්ලට මේ ගෙදර දොර වැහෙන්නෙ නෑ කවදාවත්.අන්න ඒක හොඳට මතක තියා ගනින්..”

මිලීනා  නැගී සිටියේ උස් හඬකින් එසේ පවසමින්ය.පෙර ආත්ම භවයන් වල වෛරක්කාරයින් එකම කුටුම්භයක සහෝදර සහෝදරියන් විලස, දරුවන් දෙමව්පියන් විලස , ඥාතී හිත  මිත්‍රාදීන් විලස ඉපදෙන බව ඇය අසා තිබේ.මේ එවන් දරුවන්ය.

***********——–**********———–

මහින්ද ගලප්පත්ති උදෑසන කෑම මේසයට පැමිණෙද්දී සියල්ලෝම  මේසයට  අසුන් ගෙන සිටියේ ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන්ය. උදෑසන කෑම මේසයේදී සැවොම එක්ව ආහාර ගැනීම  ගලප්පත්ති නිවසේ නීතියකි. සම්ප්‍රදායකි. දහවලට මහින්ද , වැඩිමහල් පුතු විශ්ව හෝ, බාලයා වූ අකලංක නිවසෙහි නොවේ. රාත්‍රියටත් ඔවුන් තිදෙනා  නිවසට පැමිණෙන්නේ තුන් වේලාවකටය. බොහෝවිට මහින්ද රාත්‍රී ආහාරයට ලබා ගන්නේ සැහැල්ලු යමකි. සිය බිරිඳත් තුන් හැවිරිදි කුඩා දරුවාත් සමඟ පැය කිහිපයක් කාලය ගත කරන විශ්ව ඔවුන් සමගම  කෑම මේසයට පැමිණෙන්නේ මදක් රෑ බෝ වූවාට පසුවය. අකලංක බොහෝ දිනවල නිවසට පැමිණෙන්නේ රාත්‍රී ආහාරය පිටතින් ගෙනය. බොහෝ සැන්දෑවල මිතුරන් හමු වීම. ඔවුන් සමග පිටතට ගොස් කාලය ගත කිරීම දැන් ඔහුට පුරුද්දක්ව තිබිණ..

කල් තබාගත හැකි ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයෙහි ප්‍රමුඛ නාමයක් දිනා ගෙන සිටි මැක්රීන් ෆුඩ්ස්  ගලප්පත්ති පවුලේ ව්‍යාපාරය විය.එය වසර ගණනක් තිස්සේම ව්‍යාපාරික ලොවේ ඉහළින්ම වැජබෙන සන්නාමයකි.වර්තමානය වන විට විශ්ව සේම අකලංකත් ව්‍යාපාර හවුල්කරුවන් සේ ඊට සම්බන්ධ වී සිටියහ. පුද්ගලික විශ්ව විද්‍යාලයක   අධ්‍යාපනය නිමකළ අකලංක තවමත් සිය ජීවිතයේ වගකීම් කර පින්නා  ගත් අයෙකු නොවේ. තාත්තාගේත්  සොහොයුරාගේත් බල කිරීමට සහ ඉල්ලීමට ව්‍යාපාර හා සම්බන්ධ වූවාට ඔහුගේ වැඩ කොටසත් බොහෝ දුරට සිදු කෙරෙන්නේ විශ්ව අතින්ය.

” අනිද්දට නේද ඉන්ටර්වීව් එක තියෙනවා කිව්වේ..”

තේජා කලප්පත්ති එසේ ඇසුවේ තම සැමියාගේ පිඟානට ඉඳිආප්ප කිහිපයක් බෙදනා ගමන්ය.

” ඔව්. ඒත් එක්කම මෙයාට සෙක්‍රට්‍රි  කෙනෙකුත් සිලෙක්ට් කරන්න කියලා මම බැලුවේ..මෙයාගේ වැඩත් හැමදේම ලොකු පුතාගේ සෙක්‍රට්‍රිට  පවරලා මෙයා නිදහස් වෙනවා..ඒ ළමයටත් සමහර වෙලාවකට කරගන්න බැරි තරම් වැඩ…”

” ඒක හොඳයි තාත්තා නැත්තං ඒ කෙල්ලට කම්පැනි එකත් එපා වෙලා දාලා යයි..”

විශ්ව එවර පැවසූයේ යටැසින් සිය සොහොයුරා දෙස බලමින්ය. ඔහුව වගකීම්  අතර  සිරකළ යුතු යැයි තාත්තාත්  තමාත් පෙරද සවස සාකච්ඡා කළ බව නිවසේ කිසිවෙකු තවමත් නොදනී. ජීවිතය ගැන බරක් පතලක් නොවූ තරුණයා යහළුවන්ට වැටී  වරදකට පෙළඹේයැයි මහින්දගේ සිතෙහි නිරතුරුව වූයේ බියකි. විශ්ව මෙන් නොව ඔහු සෙල්ලක්කාරයෙකි.

” අන්න දැක්කද සහෝදරී…සෙක්‍රට්‍රි අයින් වෙනවට මෙයා කැමති නෑ..තමුන් මේ  ගෙදරට වෙලා ළමයි නලව නලව ඉන්නේ නැතුව තමන්ගේ මනුස්සය ගැන ටිකක් හොයලා බලන්න. දන්නෙ නෑනේ මෙච්චරටම ආදරේ ඇයි කියලා.”

එවර අකලංක කට ඇද කරමින් පැවසූයේ තමාගේ නෑනන්ඩියටය.

ඇයත් ඔහුට ඇද කලේ තම සැමියා දෙස බලමින්ය.

 දරුවන් නිවසෙහි උන්නේ යහළුවන් සේය. එකිනෙකා ගැන සොයා බැලීම්, එකිනෙකාට විහිළු තහළු කර ගැනීම් සේම  එකිනෙකා  කෝප ගැන්වීම ඒ හා සමානම ආදරය කිරීම් මෙම ගලප්පත්ති නිවසට අමුතු හැසිරීම් නොවේ.

” මගේ ගෑණි මං ගැන දන්නවා උඹ ඉදං පාඩුවේ..”

” ඔන්න නෑනේ  කෙහෙල් කැනට කලින් හොරා වැට පැන්නා…පස්සේ මට දොස් කියන්න එපා  කිව්වේ නෑ කියලා “

” පොඩි පුතා මොනවද මේ අක්කට කියන්නේ…ඕවා ඒ තරම් හොඳ කතා නෙමෙයි.”

” ඒක තමයි අම්මා මූ මගේ පවුලත් කඩලා නවත්තන්නේ..

නර්මදා  සිනහසෙමින් බලා  සිටියේ මේ සොඳුරු තරුණයා දෙසය..මවත් පියාත් ගුරුවරුන් වූ පවුලක එකම දරුවා සේ හැදී වැටුණු ඈ ගලප්පත්ති  පවුලට සම්බන්ධ වූයේ ප්‍රේම සම්බන්ධතාවයකින්ය.මේ  නිවසේ සිටින්නේ පුදුමාකාර මිනිසුන් පිරිසකි. ඔවුන් ජීවිතයේ අන් සියල්ලටම වඩා මුල් තැන දෙන්නේ බැඳීම්වලටය. නිවසේදී අම්මාගේත්  තාත්තාගේත්  දුටු දුරස්ථ සබඳතාවය වෙනුවට ඇය  මෙම නිවසේදී දුටුවේ තවමත් එකිනෙකා ගැන ආදරයෙන් සොයා බලාගන්නා අඹු සැමි යුවළකි. විශ්වගෙනුත්  ඒ ආදරය ඒ ආකාරයෙන්ම ගෙවී ගිය වසර කිහිපය පුරාම වෙනසක් නොවී ඇයට ලැබෙන්නට විය. සොහොයුරාගෙනුත් ඒ සෙනෙහස අඩුවක් නොවේ. 

” අක්කේ පැංචි නැගිට්ටනවකෝ හලෝ මාර පාළුයි..”

” අම්මෝ එපා….”

” මං නැගිට්ටවන්නම්..”

” නැගිට්ටුවට කමක් නෑ මං වැඩ ටික කර ගන්නකල් බලාගන්න ඕනේ හරිද..විශ්ව මෙයා ඒ ළමයට නිදා ගන්න දෙන්නෙම නෑ..ඊට පස්සේ හුරතල් කරලා දාල යනවා.මම තමයි දුක් විඳින්න ඕනේ..”

ඒ සොඳුරු නෝක්කාඩුවකි…තමන් කුමක් කීවත් ඵලක් නොවේ.තව ටික වේලාවකින් බාප්පාත් දියණියත් ඇඳ මත දඟලමින් කාමරයම අවුල් ජාලාවක් කරනා බව විශ්වාසය

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here