මතක මන්දිර – 13

0
4452

“අපිට ආයෙමත් එකතුවෙන්න පුලුවන්ද කියලවත්, නතර කරමු කියන තැනින් ආයෙ පටන් ගමු කියලවත් මම කියන්නෙ නෑ කාලි. මම දන්නව එහෙම අහල වැඩක් නෑ කියල”

හමුවීම්, හුරුවීම් රැසකට පසු සමුද්‍ර එසේ කියන්නට සිත සදාගත්තේ ඇයි දැයි යන්න තවමත් පැනයකි.

හවස කාර්‍යාලීය පැය කිහිපය අවසන් කොට ඔහුගේ නිල් පැහැ බී.අම්.ඩම්ලිව් රියේ හෝ රතු පැහැ කුඩා ස්පෝට්ස් කාරයේ ගාලු මුවදොර ප්‍රදේශයේත්, කොළඹ අවටත් කරක් ගසන්නට යෑම මින් පෙර ලද අත්දැකීමක් නොවේ.

එදවස ඔහු කියනා තැනකට කුලී රියකින් විත් ඔහු එනතුරු බලා හිඳ පුරුදු ඇයට, තමන් එනතුරු සමුද්‍ර බලා හිඳීම නුහුරුය. නුපුරුදුය. එනමුත් සිතට එය විචිත්‍රවත් අත්දැකීමකි. හැඟීමකි.

පැස්ටා මේනියා වෙතින් පැස්ටා කමින්, බැරිස්ටා වෙතින් කෝපි බොමින්, හිල්ටන්හි ග්‍රේස් කිචන් වෙතින් රාත්‍රී ආහාරය ගනිමින් ගෙවන්නා වූ මේ වර්තමානය සුන්දරය.

විරහවේ ගින්දරට යටපත් වී තිබුණු ආදරයේ අංකුර, අතීතය නම් අලු දුහුවිලි තට්ටුව මතින් හිසඔසවන්නට තැහ් කිරීම වළක්වාලන්නදැයි, එසේනම් කෙසේ දැයි යන්න කාලින්දීට ගැටළුවකි.

මේ තමන් පෙර දැන සිටි සමුද්‍ර නොවේ. තමන්ව එතරම් ගණන් නොගත්, තම රැකියාවෙන් සහ වත්කම්වලින් හිස උදුම්මවාගෙන සිට, අවසානයේ තමන්ට වඩා ඉහළ තැනක යුවතියක් වෙනුවෙන් තමා හැර ගිය සමුද්‍ර නොවේ.

ඉතාම ප්‍රේමණීය, මුදු වදන් දොඩවන එනමුත් පරිණත, විචාරශීලී, ආශ්‍රයට ප්‍රියමනාව අයෙකි. වෙනස්ම අයෙකි. එකී වෙනස පෙරටත් වඩා සිත ඇද බැඳ ගෙන තිබේ.

“ඔයා ඉන්නෙ බෝඩිමකද? එහෙම නැත්තම් ඔයාගෙම ගෙදරකද?”

“රෙන්ට් එකට”

“ඇයි ගෙයක් අරගන්න හිතුවෙ නැත්තෙ?”

“කොළබ පදිංචි වෙන්න අදහසක් නැති නිසා ඉතින් මම ගෙයක් ගන්න හිතුවෙ නෑ”

“අම්මල ඕකේද ඉතින් ඔයා තනියම එහෙම ඉන්නවට? මට මතකයි ඉස්සරත් අම්ම හරි කන්සර්න් ඔයා පරක්කු වෙන එක ගැන එහෙම”

වෙනස්ම පුද්ගලයෙකු වූ නමුදු ඔහුට තවමත් අතීතය මතකය. තමන්ව මතකය.

තමන්ට ඔහුව අමතක කරන්නට නොහැකි වූවා මෙන්ම ඔහුටද තමන්ව අමතක නොකිරීමට තරම් හේතු කාරණා යෙදී තිබේ.

“අම්මට ඕන මාව ඉක්මනට බන්දල දීලා ගමට ගෙන්න ගන්න”

පැස්ටා බඳුන පිරික්සමින් තිබූ ගෑරැප්පුව රැඳි අතැඟිලි නතර වූයේ කලබලයටද විස්මයට ද නොදනී. තප්පර ගණනාවක මිදීමකින් නැවතත් යතා කාලයට එන්නට ඔහුට හැකි වුණ බව තේරුම් ගියේ පැකිලෙමින් නගන සිනහවට සහ පෙරට වඩා මන්දගාමීව පැස්ටා බඳුන තුළ සැරිසරන්නට වූ ගෑරැප්පුව නිසාවෙනි.

“ගෑණු ළමයි ඉන්න අම්මල ඉතින් එහෙම තමයි” යන්න කියවුනේත් පෙරට වඩා මදක් ගොරගැඬි හඬකින් නොවේද?

අනෙක් අතට එවදන් සිතකින් කියන්නට තරම් හැකියාවක් සමුද්‍රට තිබේද? ඔහු ඉදිරියේ අසුන්ගෙන සිටින්නී, එවන් අම්මා කෙනෙන්කු යටතේ හැදුණු වැඩුණු ගමේ කෙල්ලකි. කන්‍යාභාවය යනු කාන්තාවක සතු එකම වටිනාකමයැයි තවමත් සිතන සමාජයකින් ආ යුවතියකි. ඔහු එකී වටිනාකම් උදුරා ගෙන ඇයව හැර ගිය හදවතේ ආක්‍රමණිකයාය.

“අම්මල ඉතින් ප්‍රපෝසල්ස් ගේනව. මම කැමති වෙන්නෙ නැහැ”

“මම නිසාද?”

සෑබෑවටම එකී පැනයට දිය යුතු පිළිතුර කුමක්දැයි කාලින්දීට ගැටළුවකි.

එක් පසෙකින් ඔව් යන්න මෙන්ම අනෙක් පසින් නැත ලෙස කියමින් හදවත දෙපිළ බෙදී රණ්ඩු වේ.

ඔහු හැර ගිය දිනයේ පටන් හිත හැසිරුණේ පිරිමි සංහතිය පිළිබඳවම අවිස්වාසයෙනි. අනෙක් අතට ඔහුගෙන් පසු වෙන කිසිම පිරිමියෙකු වෙනුවෙන් නොබැඳුණු, නොවෙනස්වුණු සිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here