සාගර ප්‍රසාද් වීරබාහු ලංකාවට ආවේ අවුරුදු ගණනාවකට පස්සේය. ඒ ඇත්තටම එංගලන්තයේ ජීවිතය එපා වෙච්ච හන්දාය.
“වෙන උන් මේ වගේ රටවල්වලට එන්න මැරෙන වෙලේ උඹ ආපහු ලංකාවට යන්න හදනවා. පිස්සුනෙ බං උඹට” කියා එංගලන්තයේ පදිංචිව උන් මිතුරන් කීවද සාගර ඒ සියල්ලටම උත්තර දුන්නේ සුපුරුදු උපේක්ශාවෙන් ය.
“රට කොච්චර පෝසත් ද, ඩිවලොප් වෙලාද කියන එක නෙවෙයි බං වැදගත් මනුස්සයෙක්ට ජීවත්වෙන්න රටක් තෝරගන්න. තමන්ට ඒ රටේ කොච්චර සැනසීමෙන් ජීවත්වෙන්න පුලුවන්ද කියන එකයි වැදගත්”
“මෙච්චර ඩිවලොප්ඩ් කන්ට්‍රි එකකත් උඹට හිතේ සැනසීමෙන් ඉන්න බෑ කියන්නෙ, උඹ හිතන්නෙ ලංකාවට ගිහින් සැනසීමෙන් ඉන්න පුලුවන් වෙයි කියලද?”
“ලංකාව එංගලන්තෙ තරම් ඩිවලොප් නැති එක ඇත්ත. ඒ උනාට ඒ හැමදේම අස්සෙ මට මං හොයන සැනසීමයි, මගෙකමයි එහෙන් හම්බෙයි කියල මට හිතෙනවා”
“උඹ ඔය මොක කිව්වත් උඹ ඇත්තටම යන්නෙ තිශාව නිතර නිතර අරූ එක්ක දකින්න වෙන හන්දනෙ. අනේ බං ගෑනියෙක් හන්ද මෙච්චර මේ සැප සම්පත් දාලා යන්නෙ උඹට පිස්සුද? ඒකිට පුලුවන් නම් උඹට පේන්න වෙන මිනිස්සු එක්ක නටන්න උඹට බැරිද තව ගෑනු දාහක් එක්ක නටන්න? අවුරුදු හතලිස් පහක් උනාට උඹට තාම තිස් පහක් කියන්න පුලුවන් ලුක් එකක් තියෙන්නෙ. එහෙම එකේ…”
“නෑ බං තිශා කවුරු එක්ක හිටියත් මට ඒක ගැටලුවක් නෑ. එයාට රිද්දන්න කියල හිතාගෙන දකින දකින ගෑණි එක්ක නටන්න මට උවමනාවකුත් නෑ. මට ඇත්තටම ඕන සෙට්ල් වෙන්න. හිත සෙට්ල් කරගන්න. ඒකයි මං යන්නෙ”
සාගර වීරබාහුට තිශාලි අමේලියා හම්බුණේ එංගලන්තයට ආ පළවෙනි අවුරුද්ද අවසානයේ තිබූ නත්තල් පාටියකදීය. ඒ වනවිට සාගර උන්නෙ තුරුණු වියට සමුදෙමින් මැදි විය හඳුනාගනිමින් ය. තමන්ට වඩා බාල වූයේ වසරකින් දෙකකින් වුවත් තිශාලි ළඟ තිබූ කෙලිලොල් බව, තුරුණු බව තමන්ගේ හිත ඇදගත් බව සාගර එදා නත්තල් පාටියෙදි තිශාලිව දුටු මොහොතේ සිතුවේය.
ඇඟේ හැඩයටම මසන ලද රතු පාට ගවුමකින් සැරසී උන් තිශාලිගේ මන බන්දනීය රුවත්, සරාගී නෙතත්, ඕනවටත් වඩා ෆෝවර්ඩ් කතා බහත් සසල කර තිබෙන්නේ තමන්ගේ හිත පමණක් නොවන බව තේරුම් යද්දි සාගර තිශාලි සමග විවාහ ජීවිතයේත් වසර කිහිපයක් ගෙවා තිබුණි.
“ප්ලීස් තිශාලි මට ලැජ්ජ කරන්න එපා මගේ වෝඩ් එකේම වැඩ කරන මිනිස්සු එක්ක අතන ඉන්නව මෙතන ඉන්නව කියල ආරංචිකරලා. මං කොහොමද කොන්ද කෙලින් තියාගෙන වැඩට යන්නෙ ඔයා ඔහොම හැසිරෙද්දි?” කියා සාගර අසද්දී පවා තිශාලි කලේ සමච්චලේට හිනාවෙච්ච එකය.
“කොන්ද කෙලින් තියාගෙන යන්න බැරි නම් තමුන් ඇදේට යනවා. මේ මගේ හැටි. ඔය ලංකාවෙ ගෑනු වගේ මාත් මේ මැරි කලා කියල ගේ අස්සට වෙලා උයාගෙන චීත්ත ගවුම් ඇඳන් ඉඳීවි කියල හිතන්න එපා සාගර.
අයෑම් නොට් දැට් වුමන්. මං ජීවත්වෙන්නෙ මේ රටට ගැලපෙන විදියට”
“මොන රටටවත් ගැලපෙනවද තිශාලි ඔය වගේ සංකර ගති? ඔයා හිතනවද මොන රටකවත් මිනිහෙක් මේ මං ඉවසන ඉවසිල්ල ඉවසාවි කියල ඔයා වගේ ගෑණියෙක් එක්ක?”
“ඉතින් ඉවසන්න බැරි නම් යන එකනෙ ඇත්තෙ. මං ඔයාව මේ චේන් කරලා නෑනෙ යන්න බැරිවෙන්න” කියා සමච්චලේට හිනාවෙමින්ම තිශාලි ගෙයින් පිටවෙද්දීත් සාගර කලේ ඕනවටත් වඩා ඉවසන එකය. ඒ මොක උනත් තිශාලිව දික්කසාද කරන්නට හිතක් සාගරට නොතිබ්බ හන්දාය.
අනෙක් අතට තමන්ගේ එකම පුතා දොස්තර මහත්තයෙක් වී එංගලන්තයේ රෝහලක සේවය කරන ගමන් එංගලන්ත කෙල්ලෙක්ව කසාද බැඳගත්ත එක ගැන කියන්න ඕන තරම් පුරාජේරු කතන්දර ගමේ හැමෝම එක්ක කියා තිබූ අම්මාගේ හිත රිද්දන්න බැරිකමක්ද සාගරව පෙළන්නටත්, ඕනවට වඩා ඉවසන්නටත් යොමු කර තිබුණි.
සාගරට පිහිටක් පතන්න උන්නෙ අමේලියාගේ මව් දෙමව්පියන්ම පමණි.
“මමී ඩැඩී කිව්වොත් තිශාලි අහවි මමී. ශී ඊස් අ මැරීඩ් වුමන් නව්. ශී හෑස් ටු අන්ඩර්ස්ටෑන්ඩ් දැට්”
“පුතා එයා මැරීඩ් නිසාම තමයි අපි කැමති නැත්‍තෙ එයාට මුකුත් කියන්න. යූ ශුඩ් නෝ හව් ටු කන්ට්‍රෝල් හර්. එයාව දැන් අපි ඔයාට භාරදීලා ඉවරයි. එහෙම එකේ මමයි ඩැඩියි කැමති නෑ තව දුරටත් එයාගෙ පර්සනල් ලයිෆ් එකට ඇඟිලි ගහන්න. දිස් ඊස් අ පර්සනල් මැටර් නෝ. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ගෙ මැටර්ස් විසඳගන්න ඕන ඔයාලමයි” කියා තිශාලිගෙ අම්මා කියද්දී සාගර තමන්ට එංගලන්තයේ කවුරුවත්ම නැති බව දෙවනි වරටත් තේරුම් ගත්තේය.
වෙන්වීම සනිටුහන් වුණේ එලෙසින් ය.
ඒ වෙන්වීම පවා තමන්ට කොච්චර වේදනාවක් වුනත් තිශාලි උන්නේ වෙනදාටත් වඩා සන්තෝසයෙන් බව දැකීම සාගරව වඩා වේදනාබර අන්තයකට ගෙන ගියේය.
සාගර ලංකාවට ආවේ තිශාලිට ආදරය කල, තිශාලි නිසාම වේදනාවට පත් වූ සාගරව එංගලන්තයේම රඳවා වඩා උපේක්ශා සහගත හිතක් ඇති සාගර කෙනෙකුව රැගෙනය. ඒ උපේක්ශාව අස්සෙන් විටින් විට බිඳුනු ආදරයක දුක හිස ඔසවන්න තැනූ අවස්තා නැතුවම නොවේ.
“උඹලට ඉහලටම උගන්නල, දොස්තර මහත්තුරු කරලා රට රටවල යැව්වම මං හිතුවෙ අපි වින්ද දුක් කමක් නෑ උඹලා යහතින් ඉන්නවනෙ කියල. ඒත් බලපං අන්තිමේ වෙච්ච දේ. අපි කොහොමද කියපංකො ගමේ උන්ට මූණ දෙන්නෙ” කියා අම්මා අඬද්දී තමන්ව රැවැට්ටු තිශාලිව අත හැර දමා පැමිණීමෙන් තමා ලොකුම වරද කලේ අම්මාට බව නොසිත ඉන්නට සාගරට පුලුවන් උනේ නැත.
අම්මා දාහක් දේ කිව්වත් ඒවාට උත්තර දෙන්නට බැරි අන්දමෙන් උගුරේ ලොකු කෙල ගුලියක් හිරවී තිබෙනවා තේරෙද්දි සාගර කලේ බත් පිඟාන දෙස බලාගෙනම බත් අනපු එකය. ඉස්සර ආස කල විදියටම අම්මාගේ රතු හාලෙ බතෙනුත්, කිරි හොද්දෙනුත්, කරවල බැදුමෙන් සහ මුකුණුවැන්න කොල මැල්ලුමෙන් ආවෙ සුපුරුදු රසයම වුනත් ඒ රස විඳින්නට බැරි නුපුරුදු බවක් තමන් තුළ හිරවී තිබෙන බව සාගර කල්පනා කලේය.
“ඕව දැන් කතා කරලා වැඩක් නෑ මැණිකෙ. අපි සන්තෝස වෙන්නෝන අපෙ දරුව මොන රට රාජ්ජවල කරක් ගහලා හරි ආපහු යහතින් අපි ළඟට ආ බව. අනික මොන අසත්පුරුශයො ජීවිතේදි හම්බ උනත් ඉගෙන ගත්ත දෙයක් උදුරගන්න ඒ කාටවත් බෑනෙ.
ජීවිතේ වැරදි වෙන්නෙ මිනිස්සුන්ට පුතේ. මිනිස්සුන්ටම තමා පුලුවන් ඒ වැරදි හදන්, වැරදිච්ච තැන් තේරුම් අරන් ඉස්සරහට යන්න” කියා අප්පච්චි කියද්දි තිශාලි අච්චර දේවල් කල කී අවස්තාවල පවා ඉවසන්න තරම් උපේක්ශා සහගත හිතක් තමන්ට ලැබී ඇත්තේ කාගෙන්ද වග සාගර තේරුම්ගත්තේය.
සාගරට පත් වීම ලැබුණේ කොළඹටය. එංගලන්තයේ ජීවත්ව රැකියාව කර මිනිහෙක්ට කොළඹ ජීවිතය අලුත් දෙයක් නොවන බව කෙනෙක්ට හිතන්නට පුලුවන් වුවද තමන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉගෙනුම ඉවර කරද අවුරුදු විස්සකට එහා ගෙවී ඇති බවත් ඒ කාලය ඇතුලත තමන් පිටතින්ද ඇතුළතින්ද වෙනස් වෙච්ච එකේ කොළඹ කොහොම වෙනස් වී ඇතිද යන්න සාගර කල්පනා කලේය.
සාගර පදිංචිවෙන්න මිල දී ගත් පුංචි නිවහන තිබුණේ මරදානේ ඩි සේරම් මාවතේ අතුරු පාරකය. ඒ තට්ටු දෙකක් පරණ ගෙදරක උඩු මහලය. සාගර නිදන කාමරය ලෙස තෝරගත් බැල්කනිය සහිත කාමරයේ බැල්කනිය අද්දර තිබූ රෝස පාට මල් පිපෙන අරලිය ගස අද්දර වේවැල් පුටුවක් තබන්න සාගර තීරණය කලේ ජීවිතයේ වෙච්ච දේවල් සියල්ල ගැන කල්පනා කරන්න එතන හොඳ බව හිතුණ හන්දාය.
සාගර පදිංචි වෙන්න බලාගෙනම කොළඹ ආවේ රෝහලට වාර්ථා කරන්න දවස් දෙකකට පෙරාතුවය. ආ දවසේ උදේ සහ දවල් වරුවම ගේ අස්පස් කර තමන්ට උවමනා විදියට හදාගන්න මහන්සි වෙච්ච සාගර හැන්දෑවෙ එලියට ගියේ වෙනසකටත් එක්කය.
මේ වගේ හවස්වරු අනන්ත ගණනාවක් එංගලන්තයේදී විරහ වේදනාවෙන් බර හිතක් එක්ක ඇවිද ගිය හැටි සාගරට මතක් වුණේය. ඒ වේදනාවන් එංගලන්තයේම තබා අවුත් වඩා නිසසල හිතකින් කොළඹ මං මාවත් සරන්නට පුලුවන් වීම ගැන සාගර සතුටු වුනේය.
කොළඹ ගෙවන ජීවිතයේ කම්මැලිකම දුරු කරගන්නටත්, අවශ්‍ය කරන බඩු භාණ්ඩ කිහිපයක් ගන්නටත් වන් ගෝල් ෆේස් මෝල් එක පැත්තේ ගියේ කොළඹ නගරයේ එහෙම ඇවිදින්නට ගිය එක් සැඳෑ වරුවකය.
මහ හඬින් හඬමින් උන් ඕටිසම් ගති ලක්ෂණ පෙන්වන දරුවෙකු නලවගන්නට බැරුව උන් අසරණ අම්මා කෙනෙකු නෙත ගැටුනේ එහිදීය. එදා ඒ දරුවා නලවා දෙමින් කලේ වෛද්‍යවරයෙකු ලෙස වගකීමක් ඉටු කිරීමක් නොව මනුස්සයෙකු ලෙස මනුස්සකමක් කිරීම පමණකි.
එහෙත් තමන්ගේ ඒ වෛද්‍ය භූමිකාව ඒ දරුවාත් ඒ අසරණ අම්මාත් ලඟ නුදුරු දිනයකම රඟ දක්වන්නට වෙයි කියා එදා කුලී රියේ නැගී ඒ අම්මාත් දරුවාත් පිටව යනු බලා හිඳිද්දීත් සාගර සිතා තිබුණේ නැත.