තමන්ගේ විදිය

“ඔයා අශේන් එක්ක සම්බන්ධෙ ප්‍රසිද්ධ කරේ ඇයි අනේ?”

නිකිණි ගැස්සිලා බැලුවේ තමාලිගේ ඒ කතාවට.ප්‍රසිද්ධ කරන්න තමන් සෙලිබ්‍රිටි කෙනෙක් නෙවෙයි කියලා හිතුණත් නිකිණි එහෙම කිව්වේ නෑ.ඒත් හිනා වුණා.ප්‍රසිද්ධ කරනවා කියන්නේ ෆේස්බුක් එකට ෆොටෝ අප්ලෝඩ් කිරීම ද කියල අහන්න හිතුණත් නිකිණි ඒ ප්‍රශ්නේ ඇහුව තාලෙට මොකුත්ම නොකියා ඉන්න එක හොඳයි නිකිණි හිතුවා.

“එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් නිසා..”

ඉන්පස්සේ නිකිණි එහෙම කියන්න හිතුවේ වෙන දෙන්න පිළිතුරක් හිතා ගන්න බැරි වුණු නිසා.

“ඔයා සහන් එක්ක බ්‍රේකප් වෙලා එච්චර කාලයක් නෑනෙ..”

නිකිණි මේ අපබ්‍රංස කතාව දිහා පුදුමයෙන් බලාගෙන හිටියා.සහන් සමඟ ගෙවුණු ජීවිතේ මොනතරම් දුෂ්කර ද කියලා තමාලිලා නොදන්නවා නෙවෙයි.මත්ද්‍රව්‍ය වලට දරුණු ඇබ්බැහියක් තිබුණු සහන් නිසා නිකිණි වින්ද වේදනා වචනයෙන් කියන්න අසීරු තරමක්!

“ඔයා ගැන මිනිස්සු වැරදියට හිතයි..අනේ මන්දා.මට එහෙම හිතෙනවා..”

තමාලි එහෙම කියනකොට නිකිණි මොකුත්ම නොකියා අහක බලාගත්තේ අතීත දවස් සිහි කරමින්.සහන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා පිස්සු නටන ෆොටෝස් වීඩියෝස් එහෙමෙහෙ සංසරණය වෙනකොට ඒවා නිකිණිට එවපු අය අතර තමාලිත් මුල් තැනක හිටියා.ඒව එහෙම වුණත් මේවත් මෙහෙම තමයි.

“නිකිණි,ඔයාට ඇත්තටම පිස්සුද මේ මනුස්සයා එක්ක යාලු වුණේ”

තමාලි එහෙම අහපු හැටි නිකිණිට මතකයි.හැබැයි තමාලි අද අහන්නෙ වෙනම කතාවක්.

“ඔයාට සහන්ව හදා ගන්නම බැරි වුණාද තමාලි?”

ඒක මොන වගේ ප්‍රශ්නයක් ද කියලා නිකිණි හිතුවා.දැඩි ඇබ්බැහියක් නිසා තමන් විනාස වෙමින් අනිත් අයවත් විනාස කරමින් හිටිය සහන් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න බෑ කියලා තේරුම් යනකොට නිකිණිට අත් හැරීම මිසක් වෙනත් තීරණයක් තිබුණේ නෑ.

“පිරිමියෙක් නැතුවත් ගෑනුන්ට ජීවත් වෙන්න පුලුවන්..”

නිකිණි ඒ අත් හැරීමෙන් පස්සේ එහෙම හිතුවත් අශේන්ව මුණ ගැහීම තනිකරම අහම්බයක්.සහන් නිසා වේලිලා කරකුට්ටන් වුණු හිතට අශේන් මල් වැස්සක් වෙනකොට නිකිණි තීරණයක් ගන්න පැකිලුණේ නෑ.

“මම නම් කියන්නේ ඔයා ආයේ අෆෙයා එකක් පටන් ගන්න ඉක්මන් වුණා වැඩියි..”

තමාලි තමන්ගේ අන්තිම තීන්දුව දුන්නා.හැමදෙයක්ම අහගෙන හිටපු නිසා නිකිණි තමන් වෙනුවෙන් කතා කරන්න හිතුණා.ඕනෑවට වඩා ඉවසීමෙන් හිටියාම නයාගෙන් වුණත් දරමිටි බඳිනව කියන්නේ නිකං යැ.

“මං හිතන්නේ තමාලි මගේ ජීවිතේ ගැන තීරණ ගන්න පුලුවන් මට..”

නිකිණිගේ වචන එළියට එනකොට කැම්පස් එකේ යාළුවන්ගේ ගෘප් චැට් එකක පවා නිකිණි ගැන කතා වෙන දේවල් ඒ තරම් හොඳ නෑ කියලා තමාලි හෙළි කළා.

“ඔය චැට් ගෘප් තියෙන්නෙම අනුන්ගෙ කුණු හෝදන්නනෙ..සහන්ගෙ වැඩ දැන දැනම මම ඒ වලේ ඉන්න ඕන කියලා හිතන්න තරම් එයාලා අසාධාරණයි..”

නිකිණි කිව්වේ යන්තමට හිනා වෙන ගමන්.මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකෙන්න කියලා සහන්ව වෛද්‍යවරයෙක් ළඟට අරගෙන යන්න උත්සාහ කරපු වාරවල පවා සහන් හැසිරුණු විදිය නිකිණිට අමතක නෑ.තමාලිලා මැරිලා ඉපදුණා වගේ හැසිරීම ගැන කරන්න දෙයක් ඇත්තෙත් නැහැ.

“මම නොවිඳිනා දුකක් වින්දා.තමන්ට දෙයක් වුණාම තමයි ඒ වේදනාව ගැන තේරෙන්නේ.මම කාගෙවත් ජීවිතේ බේරගන්න ගිහින් විනාස වෙන්න ඕන කියලා ඇත්තටම මම හිතන්නේ නෑ.අපි පූසෝ නෙවෙයිනෙ.පණ හතක් නෑනෙ..”

තියන එකම ජීවිතේ කාවහරි හදන්න වැය කරමින් නාස්ති වීම ඵල රහිත දෙයක් කියලා නිකිණි තේරුම් අරන් අහවරයි.

“සහන් මාව නාස්ති කරලා කියලත් ඔය චැට් ගෘප් අස්සෙ කතා වෙච්ච හැටි මම දන්නවා..ඉතින් හිතන්නකො.මම කාවහරි හොයා නොගත්තත් එයාලා කියයි ආයෙ කෙනෙකුට ආදරේ නොකරන්න හේතු තියනව කියලා..”

නිකිණි එහෙම කියලා නැගිට්ටේ කියන්න තියන අන්තිම කාරණාවත් කියන ගමන්.

“එක එක්කෙනා තමන්ගේ වේදනා අමතක කරන විදියයි ඒවට ගන්න කාලයයි වෙනස් තමාලි.මේ මගේ විදිය..එච්චරයි..”

කවුරු කවුරුත් අනුන්ගේ විදිය තමන්ගේ විදියට වඩා වෙනස් කියලා තේරුම් ගන්නකන් අනිත් අයගේ දේවල් හොයන එක නවතින එකක් නැහැ කියලා නිකිණි හිතුවා.

More Stories

Don't Miss


Latest Articles