“බලන්න ඉතින් මේ කොල්ලා ඉඳලා හිටලා හරි ආවොත් මෙහෙමමයි..දහස් ගානක බඩු ගේනවා.මේ බලන්න චොක්ලට් එකකුත් උස්සගෙන ඇවිත්.”
ප්‍රියංකා සිටින්නේ සතුටින්ය.කාලයකට පසු ඇගේ සිතෙහි මතකයක් ඉතිරි කළ ගෝලයෙකු පැමිණ ගොස් ඇත.දිනාරා විසිත්ත කාමරයට පැමිණියේ නින්දෙන් අවදි වූ කුඩා සොයුරාත් වඩාගෙනය.ප්‍රියංකා ඔහු වෙනුවෙන් කිරි බෝතලය සූදානම් කර තැබුවේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය.දැන් ඈ ඔහුගේ වැඩ කරන්නේ පල පුරුද්දෙන්ය.
“ අද මගේ සුදු බෝලේ අක්කට තුරුලු වෙලා හොඳට නිදා ගත්තා නේද..එන්න මහත්තයෝ කිරි එක බීලා ඉමු.බඩගිනි ඇති..”
ප්‍රියංකා දුටු හැටියේම සචින් දෝත පෑවේ ඇගේ අතට පනින්නටය.දැන් ඔහු පැහැදිලිවම අම්මා යැයි පවසන්නේ ඈටය.
“පුතේ ඔය බඩු ටික මේසේ උඩින් තියන්න.චොක්ලට් එක නම් ගෙනත් ඇත්තේ ඔයාට වෙන්න ඇති කඩාගෙන කන්න පුතේ..”
යුවතිය තිගැස්සී ගියේ ඒ වදන්වලටය. ඕ වහ වහා හිස එස වූයේ ප්‍රියංකාගේ මුවෙහි වෙනසක් සොයන්නටය.ඒ මුවෙහි කිසිදු වෙනසක් නොවූ තැන යුවතිය සැනසුම් සුසුමක් හෙළුවාය.
*****======******=======*****====****
අතර මගදී මිතුරන් දෙදෙනා හමුවූ අකලංක නිවසට පැමිණෙද්දී රාත්‍රී හත පමණ වී තිබිණ.සොයුරා පාසල් ආදි ශිෂ්‍ය සංගමයේ මිතුරු හමුවකට සහභාගීවනවායැයි පවසා ඒවා තිබූ හඬ පණිවිඩය ඔහු ශ්‍රවණය කළේ මිතුරන් සමග සිටියදීය.සාමාන්‍යයෙන් ඔහුත් තාත්තාත් නිවසට පැමිණීම පමාවන රාත්‍රීන්වල අකලංකට වේලාසන නිවසට පැමිණෙන්නයැයි පැවසීම සිරිතය.
නර්මදා කුඩා දියණියවත් වඩාගෙන උඩුමහලට නඟින්නට සූදානම් වන අයුරු ඔහු දුටුවේ නිවසට ඇතුළු වද්දීමය.දියණිය වූයේ නින්දේය.ඇගේ හිස එක් පැත්තකට ඇලව තිබිණ..
“ ඒයි…සහෝදරී..මොනවද ඔය කරන්නේ..මේ ගෙදර කවුරුත් නැද්ද දරුවාව උඩට ගිහින් දෙන්න..අම්මා…අම්මා…”
අකලංක කෑ ගැසුවේ මදක් උස් වූ හඬින්ය.
“ කෑ ගහන්න එපා අනේ…අම්මා කෝල් එකක..බන්දුලතාත් වැඩක.මම දෝණිත් එක්ක පල්ලෙහාට වෙලා හිටියේ, දන්නෙම නැතුව එයාට නින්ද ගිහිල්ලා..මෙයාව වඩාගෙන උඩට නගින එක මට අමාරුවක් නෙමෙයි..”
“ ඒ උනාට..ඔයත් කරන්නේ මහ පැහිච්ච වැඩනේ..කෝ දෙන්න දෝණීව “
අකලංක නර්මදා අත උන් දියණියව වඩා ගත්තේ එසේ පවසමින්ය.
“ කකුලක් හරි පටලැවුනා..මොකද වෙන්නේ..”
“ අනේ මං පොඩි බබෙක් නෙමෙයි දෙයියනේ..ඔයයි අයියයි දෙන්නම එකයි..”
“ ඔයා නං පොඩි බබෙක් නෙමෙයි තමයි ඔයාගෙන් කොහොමත් අපිට වැඩක් නෑ.අපේ පොඩි මෑන් මේක ඇතුළෙ නේ.අපි මේ පරිස්සම් කරන්නේ ඌව..”
“ ආ… එහෙමද මස්සිනා…ඔය එක එක්කෙනාව ෂේප් කරගන්න මගෙන් උපදෙස් ගන්න එයිනේ.ඒ වෙලාවට බලා ගමු..”
අකලංක දියණියව ඔවුන්ගේ කාමරයේ ඇඳෙන්ම තැබුවේය.නින්දෙනුත් සිනහසෙන සුරංගනාවියගේ හිස සිප ගත් තරුණයා ආපසු පැමිණෙද්දී නර්මදා වූයේ විසිත්ත කාමරයේ සුවපහසු අසුනකට බර වී ගෙනය.
“ මං කොහොමත් ඔයා එක්ක කතා කරන්න හිටියේ.”
“ ඒ පාර නඩුවක් ෆයිල් වෙලාද..”
අකලංක සිය නෑනන්ඩිය ඉදිරිපසින් අසුන් ගත්තේ එසේ අසාගෙනය.
“ බොන්න මොනවා හරි ගෙනත් දෙන්නද.”
“ එපා එපා…කන්න බොන්න දීලා ඔය එන්නේ නම් හොඳ පොටකට වෙන්න බෑ…”
“ මං හොඳක් කරන්න ගියේ..ඕන නැත්නම් මටත් ඕන නෑ..”
“ අහන්න කියන්න එපැයි..අම්මගේ මනස්ගාත අහගෙන ඉඳලා ඒවානම් මගේ ඔලුවට දාන්න එන්න එපා.කතාව පටන් ගන්න කලින්ම කිව්වේ.”
“ අම්මගේ මනස්ගාතයක් නෙමෙයි අනේ මේක..කොහොමද දිනාරට..”
“ මං දන්නෙ කොහොමද එයාට කොහොමද කියලා.අද නිවාඩු දාලා..එච්චරයි දන්නේ..”
“ ආරංචියි. ආරංචියි..කොල්ලගේ මූණ නිකං දාහට අරන් සීයට දීල වගේ තිබ්බෙ කියල.”
“ කවුද අපේ අයියද කිව්වේ….ඌ නැතුව වෙන කවුද ඉතින් ඔය ඕපදූප තමුසෙට කියන්න ඉන්නේ නේද. හිමාෂා නැති දවසට නම් උගේ මූණ දාහට අරන් සීයට දීල වගේ වෙනවා.අපි ඉතින් ඔය කේලම් ගෙවල් වල ඇවිල්ල නොකියන හින්ද හොඳයි.”
“ අනේ මේ මගේ මිනිහා ගැන මං දන්නවා..විහිළුවට නෙමෙයි මල්ලි මං සීරියස් අහන්නේ.දිනාරා ගැන මොනවද ඔයාට හිතෙන්නේ..”
“ එයා ගැන හිතෙන දේවල් නේද…”
ඔහු තාලයකට එසේ පැවසූයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය..
“ මොනවද අප්පා එයා ගැන නොහිතෙන්නේ..”
“ අන්න ඒ දේවල් තමයි මමත් අහන්නේ..ඔයාගේ ලොකු වෙනසක් ඇතිවුණා මේ ළඟකදී ඉඳලා. ඒ වෙනස දිනාර නිසා නේද.හරියට එයා ඔයාගේ ලඟ ඉන්න ඕන වගේ හැඟීමක් ඔයාට දැනෙනවා නේද.උදේම දුවන්නේ කෙල්ලව දකින්න නේ..”
“ තමුසෙ පේන බලනවද හලෝ…”
“ ඔයාගේ මූණේ තියෙන පෙම් පාට අඳුනගන්න මට අමුතුවෙන් පේන බලන්න ඕන නෑ.”
“ එහෙම පාටක් ගැන මං දැනං හිටියේ නෑනේ..”
“ ඔයා දන්නේ නැති උනාට ආදරේ කරපු මිනිස්සු දන්නවා ඒ පාට ගැන.ඒව මේව කියලා ලිස්සලා යන්න නම් හදන්න එපා.අද මට දිනාරා ගැන දැනගන්න ඕනෙමයි..”
එවර නර්මදා පැවසූයේ හිතුවක්කාරී ස්වරූපයෙන්ය.කම්මුල මත වැටී තිබූ කෙහෙරැල්ලක් ඇගේ කන පිටුපසින් රඳවාලු තරුණයා ඒ දෑත් වලින් අල්ලා ගත්තේ මද සිනහවක් මුව මත තබාගෙනය.
“ අරක පෙම් පාට .. ඕකට කියන්නේ මනමාල හිනාව කියලා…”
“අක්කේ ඇත්තටම එයා මට කැමති වෙයිද හලෝ..”
“ අකමැති වෙන්න හේතුවක් තියෙනවද..මෙච්චර හොඳ කොල්ලෙක් අතෑරුනොත් එයාගේ ජීවිතේට ආයේ ඔයා තරම් හොඳ කොල්ලෙක් හම්බවෙයිද..”
“ එයා හරි නෝමල්..හරි රිලැක්ස්..එහෙම චූටි කැමැත්තක්වත් මං ගැන තියෙනවා කියලා රිඇක්ෂන් එකක් එයාගෙන් තවම ආවේ නෑනෙ හලෝ..”
“ කෙල්ලෝ එහෙම තමයි.පැනලා දෙන් නෑ..දැන් ඔයා මොනවද එයාට දැනෙන විදිහට කළේ..”
“ මං එයාගේ දිහා බලාගෙන හිටියා.එයත් එක්ක කතා කලා..එයා ගැන සෙවිල්ලෙන් ඉන්න බව පෙන්නුවා..ඒවා තමයි ඉතින්..”
“ ඔහොම දිගටම යමු..හෙමින් හෙමින් එයාගේ ජීවිතේට ඔයා ඕනම කෙනෙක් කියලා දැනෙන්න ඉඩ දෙන්න.”
“ ඒ කෙල්ල ටිකක් ආඩම්බරයිද මන්දා.”
“ නුවර කෙල්ලෝ එහෙමලු..”
“ අක්කේ….අයියා මොනවද කියන්නේ?”
“ ඔයාගේ අයියගෙන් ඔයාට හැංගෙන්න බෑ මල්ලි.අයියා දන්නවා ඔයා දිනාරාට කැමැත්තෙන් ඉන්නේ කියලා.අයියාගේ අකමැත්තක් නෑ.එයත් විශ්වාස කරනවා ඔයා මේ තරමට වෙනස් වුණේ දිනාරා නිසා කියලා.අයියා හරි ආදරෙයි ඒ ළමයට. “
“ ඒක අවුල්ද හලෝ…”
“ මොකක්ද..”
“ මං නිකන් ශාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ වෙච්ච එක..මට ගැලපෙන් නෑ වගේද..”
“ නෑ ඔයා දැන් හරි ස්මාර්ට්..වගකීම් දැනෙන්න පටන් ගත්තට පස්සේ තමයි කොල්ලෙක් ලස්සන වෙන්නේ..ඒ ලස්සන දැන් ඔයාට තියෙනවා.දගකමත් එක්ක එකතු උන ආඩම්බර පෙනුමක්…”
“ මොනවා හරි කියනවා කෝ.මාව එයාට දනවන්න මට තේරෙන්නේ නෑ..”
“ තව ටිකක් දවස් අරගෙන හෙමින් සැරේ එයත් එක්ක කතා කරන්න..කෙල්ලෝ ආසයි එහෙම කතා කරනවට. මාත් එන්නම් හෙට අනිද්දා එයාව බලලා යන්න.”
“ ඒකනම් හොඳයි..ටිකක් ෂේප් කරගන්න.මං ගැන කියන්න පුළුවන්නේ.ඔය කෙල්ලෝ කච කච ගගා කියවන්නේ ඕපා දූපමනේ..”
“ හැබැයි මං කපුකම් කරන්නෙ නෑ හරිද..”
“ අනේ මන්ද හලෝ ළඟ ඉන්නකොට මගේ ජීවිතේ පිරිලා වගේ. අද දවසේ මං දන්නෑ මං කොහොම හිටියද කියලා.මාර පාළුවක් හලෝ ඒක.බනින්නේ නැත්නම් දෙයක් කියන්නද..”
“ කවදද අනේ මං ඔයාට බැන්නේ.”
“ මං ගියා හවස එයාව බලන්න.”
“ දෙයියනේ කොහෙටද ඒ..”
“ ප්‍රියංකා ටීචගේ ගෙදරට.ටීචව බලන්න යන විදිහට තමයි ගියේ.කහ පාට චූටි ගවුමක් ඇඳගෙන එළියට ආවා හලෝ නිකං බෝනික්කෙක් වගේ.තව පොඩ්ඩෙන් ඒ දිහා බලන් ඉන්න ගිහිල්ලා මම ටීචටත් නෝන්ඩි වෙනවා.”
“ ඔයත් කරන වැඩ..”
නර්මදා එවර පැවසූයේ උස් හඬින් සිනහසෙන අතරේය.
“ ඔයාට එයා කැමති වෙයි මල්ලි.මට හිතෙනවා එයා අපිත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් කියලා.ප්‍රියංකා ආන්ටිගේ රිලේෂන් කෙනෙක් හින්දා අම්මයි තාත්තයි අකමැති වෙන එකක් නෑ.ඒ නැතිවුනත් එයාල හැමදාම අපේ සතුටට මුල් තැන දීපු දෙමව්පියෝනේ..”
තරුණයා නෑනන්ඩිය අසලින් නැගී සිටියේ සිනහමුසුවය. කුරුලු පියාපතක් සේ සිත සැහැල්ලු වී තිබිණ. දැන් ඔහුට විශ්වය පුරා පියඹා යා හැකිය.
දිනාරාට ආත්තම්මා කතා කලේ රාත්‍රියේය.විනාඩි කිහිපයක් ආගිය තොරතුරු කතාකල ඕ දුරකතනය ප්‍රියංකාට ලබා දෙන්නයැයි ඉල්ලා සිටියාය.
ගෙවී ගිය ඉතිහාසයේ අත්තම්මා කතා කරද්දි බලෙන් මෙන් ප්‍රියංකා ආන්ටීට දුරකතනය දුන්නා විනා ඇගේ සැපදුක් අසා වදනක් දෙකක් කතා කරන්නට අත්කම්මාට ඕනෑ වූයේ නැත එනිසාම දිනාරාගේ සිතෙහි උපන්නේ සැකයකි.
“ ඇයි..ආත්තම්මේ…”
“ ඒක වැඩිහිටි අපි කතා කරන්න ඕන දෙයක් දරුවෝ..”
“ අත්තම්මා ආන්ටිගේ හිත රිදෙන්න මොනවත් කියන්න එපා ප්ලීස්..”
“ සුදු මැණිකේ මේ මොනවද මේ කියවන්නේ.ප්‍රියංකාගේ හිත රිද්දන්නේ මොකටද මං..මේක මං එදා කොළඹ ආව වෙලාවේ තීරණය කල දෙයක්.ඒ තීරණය ගැන ප්‍රියංකා එක්ක කතා කරන්නයි මට ඕනකම තියෙන්නේ.”
දිනාරා දුරකතනය ප්‍රියංකා වෙත ගෙන ගියේ අකමැත්තෙන්ය.එවේලෙහි ඕ උන්නේත් පොතක් කියවමින්ය.
“ අත්තම්මා කතා කරන්න ඕනලු ආන්ටි.”
ඈ පැවසුවේ දුරකතනය සිය අත්ලෙන් වසාගෙනය.
“ කෝ දෙන්න පුතේ…”
සොයුරා උන්නේ සුව නින්දකය.වේලාව රාත්‍රී දහයට ආසන්න වූවා මිස අඩුවක් නොවේ.පුියංකාට දුරකතනය දී දිනාරාට නික්ම යන්නට සිතුනේ නැත.ඇයත් ප්‍රියංකා අසලින්ම ඇලවී ඒ උකුල මත හිස තබා ගත්තාය.
පුදුමය..මේ ඒ සුවඳමය .අම්මාගේ සුවඳමය.ආදරයත් ,රැකවරණයත් එකසේ කැටි වූ ඇගේ ළමැදෙන් හැමූ සෙනෙහස් සුවඳමය.
( යළිත් හමු වෙමු ආදරයෙන්..)