සාගර තරංගා – 21

0
6786

මේධංගට මුලින් උවමනා වුණේ තරංගාගේ දුරකතන අංකය හෝ වෙන යම් ඇය සමාජය සමග සම්බන්ද වන කුමක් හෝ ගිණුමක් වෙත තමන්ගේ දෙනෙත රඳවාගන්නය. එහෙත් තරංගා ඉන්න තැනක්වත් හරියාකාරව දන්නෙ නැති එකේ ඒ වැඩේ කරන එක අපහසු බව මේධංග නොදන්නවා නොවේ. ඒ අනුව කරන්න තිබුණ එකම දෙය තරංගා දරුවාව අරගෙන සෑම සති අන්තයේ දවසකම ඉස්පිරිතාලේ යද්දි එතනට ගොස් හිඳ ඇය යන එන තැන් ගැන හොයා බලන එකය. 

“තරංගා එදා නැගලා ගියේ මොන වගේ වාහනේකද? අංකෙ මතකද?” වගේ කතා ගාමිණියගෙන් අහන්න යාම තමන්ගෙ අත් දෙකෙන් තමන්ගෙ බෙල්ල මිරිකගන්න ජාතියෙ වැඩක් බව දන්න හන්දා මේධංග ඒ ගොන් වැඩේ කරන්න හිතුවේ නැත.

ඒ උනාට ඕකෙ ඇත්ත නැත්ත හොයාගන්න තුරු මේධංගට ඇත්තටම නින්දක් තිබ්බේ නැත. තරංගාට අලුතෙන් මනුස්සයෙක් සෙට් කරගන්න එක එච්චර අමාරු දෙයක් නොවන බව තරංගාව දන්න ඕනම කෙනෙක් දනී. “ඒත් ලෙඩ ළමේක් එක්ක ගෑණියෙක් කරගහගන්න කැමති මොන මිනිහද?” කියන ප්‍රශ්නය හිත අස්සට එන එක වලක්වාගන්න ඒ අස්සෙත් මේධංගට බැරිය. 

“මේ ගෑණි මං යන්න කියනකම් ඉඳියෙ ඔය මිනිහ එක්ක නටන්නද දන්නෙ නෑ? ළමයව උස්සගෙන තනියෙන් ඉස්පිරිතාල අස්සෙ රිංගන්න තියාගත්තම මට හැබැයි හිතන්න තිබුණා. ඒත් කවුද හිතන්නෙ මේ ලෙඩ ලමේක් කරපින්නගෙන එන ගෑණියෙක්ව කරගහගන්න කැමති මිනිස්සු ඉන්නව කියල. සමහර විට ඒ වගේම ලෙඩ ළමේක් ඉන්න මිනිහෙක්ද දන්නෙ නෑ” කියා මේධංග එදා රැයම කල් ගෙව්වේ තරංගා පෑහි හිඳින පිරිමියා කවුරුන් විය හැකිදැයි හිතාගන්න බැරිවය.

මේධංග තමන් ගැන මෙහෙම කල්පනා කරන බව දන්නෙ නැති තරංගා සිකුරාදා උදයේම සනුකිවත් ලෑස්ති කරගත්තේ දෙණියායේ යන්නය. කාලෙකින් බස් එකේ ගෙදර ගියේ නැති හන්දා බස් එකේ යන්න ආසාවක් හිත අස්සේ තිබුණත් සනුකි එක්ක ඔය සෙල්ලම් දාන්න බැරි බව දන්න හන්දාම තරංගා පික් මී රියක් බුක් කරාය.

“කෑශ් ද කාඩ් ද මිස්?” කියා කෝල් එක දුන් පික් මී ඩ්‍රැයිවර්ට “කෑශ්” කිව්වයින් පස්සේ පමණක් ඔහු එන බව දන්න හන්දාම තරංගා කලින් දවසේ කෝකටත් කියා වැඩිපුර සල්ලි ඒටීම් එකෙන් අරගත්තාය.

කෑම බීම උයන්න උපන් හපන් අක්කාට ඔය රස මසවුලු අරන් යන්න හේතුවක් නොතිබ්බත් කොළඹ රටේ තියෙන අරුමෝසම් කෑම දෙණියායේදි එහෙමට කන්න හම්බෙන්නෙ නැති හන්දා තරංගා ජග්‍රෝ එකෙන් ස්ට්‍රෝබෙරි ජෑම් බෝතලයකුත්, ඉන්ග්ලිශ් කේක් කම්පනි එකෙන්  පැශන්ෆෘට් බ්‍රෙඩ් කේක් එකකුත් අරගත්තාය.

සනුකිට උවමනා කරන ඔක්කොම ජාති අරගත්ත බෑග් එකත් එක අතක එල්ලගෙන තරංගා පල්ලෙහ තට්ටුවට එද්දීත් නවාතැනේ හිමිකාරිය උන්නේ අරලිය මල් වැටිච්ච මිදුලේ රතු පාට ගල් කැට උඩ අතුගාමිනි.

“ආන්ටි උදේම අමදින්න පටන් ගත්තද?” කියා තරංගා ඇහුවේ හිනාවකුත් එක්කය.

දරුවන්ව උස් මහත් කර හොඳින් උගන්වා විවාහ කර දී පිට රට යවා තනියම මහ ගෙදරට වී ඉන්න විශ්‍රාමික ගුරු මාතාවක් වෙච්ච වීරසූරිය මහත්මියට තරංගාත් සනුකිත් රසඳුනකි. තමන්ගේ දරුවන්ගේ දරුවන් ඉන්නේ රටවල් වල හන්දා අත්තම්මා කෙනෙකුගේත් සීයා කෙනෙකුගේත් අභිමානය විඳින්න වීරසූරිය යුවලට හම්බෙන්නේ අඩු කාලයකි. එහෙම එකේ අඬන සද්දයක් හරි ඇහෙන්න පොඩි එකෙක් ඉන්න එක හිතට සතුටකි. ගෙයක් ගෙයක් වෙන්නේ කිරි සුවඳක් හමද්දීත්, පොඩි එකෙක්ගේ හිනාවක් ඇඬුමක් ඇහෙද්දිත් බව කල්පනා කරමින් වීරසූරිය මැතිණිය ඉදල අරලිය ගහට හේත්තු කර සනුකිගේ කිරි කැටි අතට හෙමින් තට්ටුවක් දැම්මාය. සනුකි එක එල්ලේම අත්තම්මා දෙස බලාගෙන ඉද්දි “කෙල්ල අඬයිද?” කියා තරංගාගෙ හිතට බයක් ආවත් ඉන්පස්සෙ සනුකිගේ මුවේ ඇඳිච්ච හිනාව දකිද්දි ඒ බය හිතෙන් ඉවත් වුණාය.

“අපේ බෝනික්කි අද උදේම අම්මා එක්ක මේ කොහෙද යන්නෙ මැනිකෙ ම්ම්ම්” කියමින් වීරසුරිය මහත්මිය අත හෙමින් හොල්ලද්දී සනුකි ඒ හිනාව එක්කම අම්මාගෙ උරහිසේ මූණ හංග ගත්තාය.

“ආහ් හරිම ලැජ්ජ කාරියක්නෙ” 

“අපි අද ගමේ ගිහින් එන්න කියලා ආන්ටි, ලෝන්ග් වීකෙන්ඩ් එකක්නෙ. ඉරිදම එනව බබාගෙ සෙශන් එකටත් එක්කම”

“ආහ් ඒකතමයි, මං ඒත් බැලුව උදේම ලයිට්ස් දාලා තියෙද්දි වෙනදට කලින් දූ ඇහැරිලද කියල”

“මෙයාටත් පොඩ්ඩක් හොඳයිනෙ ආන්ටි, නැත්තම් ඉතින් ගේ අස්සටම වෙලා ඉන්න එකනෙ. එහෙ ගියාම පොඩ්ඩක් ගහක් කොලක් මලක්වත් අල්ලල බලන්න පුලුවන්. අනික අපේ අක්කත් හරි ආදරෙයි මෙයාට. මෙයත් එකතුයි”

“කොච්චර දෙයක් ද ඒක? වාහනයක් දාගත්තද දූ යන්න?”

“ඔව් ආන්ටි, මං ගිහින් එන්නම් එහෙනම්, ඉරිදා රෑ වෙන්න කලින් එනවා මම කොහොමත්”

“හරි පුතේ පරිස්සමෙන්, බුදු සරණයි” කියා තරංගා දරුවා කරපින්නාගෙන යන අයුරු බලන ගමනුත් වීරසූරිය මහත්මිය කල්පනා කලේ දරුවො වෙනුවෙන් ඕනම දෙයක්, ඕනම කෙනෙක් අතාරින්න අම්මා කෙනෙකුට මහ අමාරුවක් නෑ නේද කියාය. තරංගා තමන්ගේ දරුවා ඕටිසම් සහිත දරුවෙකු බව වීරසූරිය මහත්මියට සහ මහතාට කිව්වේ ගෙදර මිල දී ගන්න අත්තිකාරම් මුදල් දෙන්න ආව දවසේය.

“මං ආන්ටිලට ඇත්තම කියන්න හිතුවෙ එකම වත්තෙ ගෙවල් දෙකක ජීවත් උනත් අපිට ඉන්නෙ අපි විතරයි හන්දා. ආන්ටි මම මගේ හස්බන්ඩ් ගෙන් ඩිවෝස් වෙන්න හිතාගෙන තමයි සෙපරේට් වෙලා ඉන්නෙ. මොකද එයාට පොඩ්ඩක් ප්‍රශ්නයක් අපෙ බබා නෝමල් බබෙක් නෙවෙයි කියන එක. මගෙ දරුවට ඕටිසම් තියෙනව ආන්ටි. සමහර වෙලාවට එයා හයියෙන් කෑගහල අඬනව, සද්ද බද්ද වලට එහෙම හරියට බයවෙනවා. සමහර විට ආන්ටිලට උනත් පස්සෙ ඒක ප්‍රශ්නයක් වගේ තේරෙයිද දන්නෙ නැති හන්දා මම හිතුවෙ සල්ලි ගෙවන්න කලින් ආන්ටිලට මේක කියලා ඉන්නවා කියන එක” කියා තරංගා කිව්වේ ඉතාම බෑගැබරව බව වීරසූරිය මහත්මියට මතකය.

එදා රැයේ තමන් ඔය විත්තිය සැමියා එක්ක කතා කරද්දී පවා ඔහු කිව්වේ වෙන හැම දේම වෙන්නෙ මිනිස්සුන්ට එකේ, තව මිනිහෙක් මොකටද වෙන මිනිහෙක්ගෙ කරදරේදි අහක බලාගන්නෙ කියලය.

“ඒ ගෑණු ළමයා අපේ කවුරුවත් නෙවෙයි තමයි. හැබැයි අනිද්දා ඉඳන් ඒ ළමයා ඉන්නෙ අපෙ වත්තෙනෙ නෝනා. එතකොට ඒ දෙන්නත් අපේ දරුවො දෙන්නෙක් තමයි. අනික ඕටිසම් තිබුනා නැතා, දරුවො කොහොමත් කෑගහල අඬනවා. ඒ ළමයා  මුලින්ම තමන්ගෙ අයියා එක්කල ඇවිත් කතා කරපු දවසෙත් හවස අපි දෙන්නාම හිතුවනෙ හස්බන්ඩ් එක්ක ආවෙ නැත්තෙ සමහරවිට ඒ මනුස්සය මැරිලද දන්නෙ නෑ කියල.

මැරිච්ච මිනිහ මොකෝ ජීවත්වෙන මිනිහා මොකෝ. අපි ඒ මනුස්සය මැරිලා කියලා හිතාගෙනම ඔන්න ඔහේ ඉමු.අපිට ගැටලුවක් නෑනෙ. අනික එදා ඒ ආව ළමයි දෙන්නම දැක්කම වැදගත් කමක් ඇරෙන්න මටනම් වෙන කිසිම ප්‍රශ්නයක් පෙනුනෙ නෑ, ගේ දෙන්න බෑ කියන්න” කියාය.

තරංගාත් සනුකිත් මෙහි නතර වෙන්න ආවේ ඒ විදියටය. ගේ අස්සටම වෙල වැඩ කටයුතු කරන තරංගාවත් සනුකිවත් වීරසූරිය යුවලට මේ මාස කිහිපයටම දකින්නට ලැබුණේ එහෙමත් වෙලාවකය.

තරංගා සනුකිවත් වඩාගෙන දෙණියායෙ පිටත්වෙච්ච දවසේ මේධංග උන්නේ මේ සතියෙ ඉරිදා දවසේ තරංගා සනුකිව පෙන්නන්න ඉස්පිරිතාලයට එන වෙලාවට එතනට ගොස් රැකවල් ලාගෙන ඉන්නය. ඔය කියන කාරෙකක ආව මිනිහා තරංගා වගෙම දරුවෙක් ඉස්පිරිතාලෙට අරගෙන එන මිනිහෙක් නම් දෙන්නම සෙට් වෙන්න ඇත්තේ එකම සෙශන් එකට එන හන්දා බව මේධංග කල් තියාම හිතෙන් තමන්ගේම වර්ශන් එකක් ගොතා අහවර කරේය.

මේධංගට ඕන උනේ ඉස්සෙල්ලම කවුද මේ මිනිහා කියා හොයාගන්නය. අනතුරුව සාක්කි ටිකක් හොයාගෙන, අනියම් සබඳතාවයක කතාව ඉස්සරහට දමා ඩිවෝස් එක දෙනවා නම් උනත් තරංගාට කරන්න පුලුවන් උපරිම ලැජ්ජාවක් කර ඩිවෝස් එක දෙන්නට මේධංග පිඹුරුපත් හැදුවේය.

සාගර උන්නේ අම්මා කිව්ව හන්දාම මේ සතියේ ගෙදර යන්නේ නැතුව අම්මා එන්න කිව්ව දවසේ ගෙදර යන්න හිතාගෙනය. තරංගා කොහේ ගියත් ඉරිදා අර්ලි ඉන්ටවෙන්ශන් ප්‍රෝග්‍රැම් එකට එන බව දන්න හන්දා මේ සතියේ තරංගාට හමුවෙලාම සනුකිව ඇතුලත් කරන්නට හැකි ඕටිසම් දරුවන් සඳහාම වන ටෙඩීස් කාස්ටල් ස්පෙශල් නීඩ්ස් කිඩ්ස් ස්කූල් එක ගැන විස්තර ටිකක් බෙදා හදාගන්නය.

මේධංග කුණාටුවක් වී ඉරිදාට හමන්න නියමිත බව සාගරවත් තරංගාවත් දැන උන්නේ නැත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here