මල් බිඟුන් – 12

0
7854

අමාගී සහස්‍යා මල්වත්තගේ ගේ සිරුර තුළ මේ මොහොතෙහි ඇඩ්රිනලින් හෝමෝනය ශ්‍රාවය වූයේ අවස්ථාවට මුහුණ දීමේ ශක්තිය ඇතිකරනු පිණිස නොව එතැනින් පලා යාම වෙනුවෙනි. තව මොහොතක් හෝ ආර්ය ගේ නිදන කාමරයෙහි රැඳිය නො හැකි බව සමස්ථ සිරුරේ ම සෛල විසින් හඬ ගා පවසමින් තිබිණ. අනිත් පැත්තෙන් ආයු ඇයට එහි රැඳෙන ලෙස ඉල්ලීමක් කරයි.

“පැටියො මං ඉක්මනට එන්නං හොඳේ. එතකං බබා තාත්ති එක්ක ඉන්නකො”

කියමින් ඇය වහ වහා කාමරයෙන් නික්මුණා ය. අමාගී ගේ කලබළය දෙස සන්සුන් දෑසකින් බලා සිටි ආර්ය ගේ මුහුණ මත්තට සිනහවක් ආවේ ය. අමාගී නික්ම ගිය වියෝ දුක මත ආයු ගේ බෝල ඇස් වලට පිරුණු කඳුළු ගුලි දෙක, තාත්තාව මේ හදිසියේ දැකීමෙන් ඇති වූ සතුට මත දිය වී ගියේ ය. ආර්ය යහන මත හිඳ සුරතල් පුතු තුරුලු කොට ගත්තේ ය.

“මා ඔඳ නා. බබා අපා කීල ගියා. තාත්ති ඔඳායි”

“මා හොඳයිනෙ පුතු. එයා ඔයාට ගොඩක් ආදරේනෙ… නේද… මගෙ පුතාට හබුං කවල දොයි කරනව නේද මා…”

“ඕ. මා බබාට ආදෙයි ගොදා…ක්…”

ආර්ය සිනහ වූයේ ය.

අමාගී පියගැට පෙළ දිග දිව ගියේ පපුව මත අතක් තබාගෙනයි. සිහිනයෙන් වාගේ ඇගේ ගවුම් සාය පහළට කෙරෙනු ඇයට දැනිණි. ඈ සිටියේ ගැඹුරු වූ නින්දක නොවේ. සුවදායි විවේකයක, ලා නින්දක මතුපිට පාවෙමිනි. ඒ පා වීම තුළ වූ වලාකුළු හැඟීම විඳිමිනි. ගවුම් සාය පහළට කරත්දීත් ඈ සිටියේ නෙතු පියාගෙනයි. නමුත් ඕ ආර්ය නිර්වාන් මහානාම ව නෙතු පියා සිටියදීත් දුටුවා ය. ඔහු යහන ඉස්මත්තෙහි දෑත් පපුව මත බැඳගෙන මුණිවර දෑසකින් ඇදෙස බලා හිඳිනු ඇයට දැනිණි. වහා නෙතු විවර වූයේ එවිටයි.

හද ගැස්ම මේ තරම් වැඩි ඇයිදැයි ඇයට සිතිණි. ඕ ඉක්මන් හුස්ම ගත්තා ය. ආර්ය ඒ වෙලාවේ එතැයි ඇය සිතුවේ ම නැත. ඔහු පැමිණි එක ගැන තරහක් දැනෙනවා ද නොවේ. හිතේ වන්නේ ආගන්තුක චමත්කාරයකි. ඔහු ගවුම් සාය පහත් කරන අයුරු මසැසින් නො දුටුව ද ඕ මනැසින් දුටුවා ය. ඒ වෙලාවේ දැනුණු, මේ දැනුත් ශේෂ වී ගොස් නැති ඒ හැඟීම කොහොම එකක් ද? ඇයට ඒ ගැන කියන්නට තබා හිතන්නටවත් වැටහෙන්නේ නැත. අමාගී සිය යහනට වැටී කොට්ටයක් තුරුලු කරගත්තා ය. නිදිමතක් කියා දෙයක් පැත්ත පලාතක නැත ද දෑස් තද කොට වසා ගත්තා ය.

හැන්දෑවේ ශාක්‍ය එන විට දෙහිවල සයිවර කඩයකින් ඉන්දියානු කෑම ගෙනැවිත් තිබිණ. අමාගී පූරි වලට වඩාත් කැමති බව දන්නා ඔහු ඊට පූරි ද ලේයර් පරාටා ද එක් කර ගත්තේ ය.

“පූරි තියනව මාගිටත් එන්න කියනව”

 කියා ඔහු රුසිරු ට පණිවිඩය දුන්නේ ය. රුසිරු ඇවිත් අමාගී ව එහි කැටිව යාමට උත්සාහ කළේ ය.

“දැන් කන්න බෑ වගේ මල්ලා”

ඇගේ අදිමදි කිරීම එක අතකට රුසිරු ට පුදුමයක් වූයේ ය.

“එනව එනව. අර මොනාද ලේයර් පරාටද මොනාද කියන්නෙ… ඔයා ආස නිසා පොඩි අයිය ඒවත් ගෙනත්”

“ඇයි උඹලට එයාට ගිල්ලෙව්වොත් විතරද හිතට සනීප… ගෙනත් දියංකො මේ අපිටත් ඔය තියෙන දෙයක්… ගිලෙන්නැද්ද බලන්න”

සාන්වී රුසිරු වෙත චෝදනා කළා ය. ඔහු තරමක අපහසුතාවයකට පත් නොවූවා ම නොවේ. ගෙදර හැම කෙනෙකුට ම කෑමක් කන්න ගියත් අමාගී මතක් වෙන එක දැන් ජීවිතයේ පුරුද්දක් බවට පත් වී තිබේ. අනිත් ගෑනු ළමයින් දෙදෙනාට කවදාවත් ඒ තැන ලැබෙන්නේ නැත. ඔවුන් ගේ කිසිදු නුසුදුසුකමක් තිබෙනවා නොවේ. නමුත් ඔවුන් ගැන දැනෙනා පිටස්තර හැඟීම පිරිමි ළමයින්ට අමාගී ගැන දැනෙන්නේ නැත. ඇය ඔවුන්ගේ හදවතේ කොටසකි.

“ඕගොල්ලොත් ඕන්නං එන්න ඉතිං. ගෙදරට අමතර කෑමක් ගෙනාවොත් මාගිටත් එක්ක ගේන එක අපේ ගෙදර අයගෙ පුරුද්දක් වෙලානෙ”

“අක්ක මං. මාගි නෙවේ”

අමාගී පන්කෝටි අනූනව ලක්ෂ අනූදහස් නවසිය අනූ වෙනි වතාවට ද මන්දා ඒ මතක් කිරීම කරමින් රුසිරු ගේ කන් පෙත්තක් මිරිකුවා ය.

“ඌයි බං. මාර ආසාවක්නෙ තියෙන්නෙ අක්ක කියෝගන්න. අපේ අර ආයුට කිහාං අක්ක කියන්න කියල”

ඔහු අමාගී ගේ  දෙඋරහිස් වලින් තල්ලු කරගෙන ගෙදරින් පිටතට කැටිව ආවේ ය.

“අම්ම දන්නෙත් නෑලු ඔයා ගිහිං”

“ලොකු අයිය ආවනෙ ඉතිං… ආයුව දීල මං ආව ඊට පස්සෙ”

හැන්දෑවට ගෙදරට අමතර කෑමක් ගෙනා විට ලොකු බෙලෙක් පළඟනාවකට ඒවා දමා ඒ වටා බිම හිඳගෙන කට්ටිය වට වී කෑම මහානාම ගෙදර විදිහයි. ඒ පුරුද්ද ළමයින් පොඩි කාලේදී ඇති කරනු ලැබුවේ ද අමාගී ම ය. පිරිමි ළමයින් සියලු දෙනාට ම ඇය සමගින් එක පිඟානේ කෑමේ දොළක් තිබිණ. මාගී ව බෙදාගන්නට බැරිව අයිය මලෝ ගුටි බැට හුවමාරු කරගත් අවස්ථා ද නැතිවා නොවේ. ඊට විසඳුමක් ලෙස ඇය ලොකු බත් පළඟනාවට කෑම බෙදාගෙන පිරිමි ළමයින් තුන් දෙනා සමග ම වට වී කන්නට පටන් ගත් පසු ආරවුල් අඩු විය. වැටුප් ලැබුණු දවසට ශාක්‍ය හෝ පූජන හෝ රෑ කෑමට සී ෆුඩ් රයිස් හෝ නාසි ගෙන ආ විට ද ඔවුන් කන්නේ මෙහෙම ය. තනි තනිව තම තමන්ගේ පිඟන් වලට බෙදාගෙන කත්දී දැනෙනවාට වැඩි තමන්ගේ හැඟීමක් එහෙම කත්දී දැනේ.

මේ  වෙලාවට ආයු ද සමගින් ආර්ය මේ පහළ මහළෙහි රැඳී හිඳිනුයේ කාලයකට පස්සේ ය. නිධී සමග විවාහ වීමෙන් පසු ඔහු ට පහළ මහළෙහි රැඳීමේ අවස්ථා අඩු විය. එහෙම හිටියොත් නිධී මූණ එල්ලාගෙන හිඳ රණ්ඩුවක් අල්ලන බැවිනි. ඒ වගේ හිසරද වලින් හැකි තාක් වැළකී සිටීම විවාහ ජීවිතයක් පවත්වාගෙන යාමට පහසුවක් බව ඕනෑ ම විවාහක පුරුෂයෙකු නො දන්නවා නොවේ. ඒ හින්දා හිතා මතා ම ආර්ය පහසු මාර්ගය තෝරා ගත්තේ ය. ඉහළ මහළෙහි සිටියත් ඔහු හිටියේ ඔහු ගේ පාඩුවේ ය. පහළ හිටියා වුණත් ඔහු වැඩිපුර මල්ලිලා සමගින් වුව විහිළු තහළු කරගත්තෙකු නොවේ.

“නිධී මෑන්ගෙ නහය විදල තියෙන්නෙ ගානට”

මල්ලිලා ඔහු ගැන විහිළු කළේ එහෙම ය.

“කසාද බැන්දත් හරි අපිට ලොකු එකා නැති වුණා”

විහිළුවට නොව මාණි නම් විවිධ අවස්ථා වල එහෙම කීවේ අවංකව ම ය. නමුත් නිධී ඔහු ගේ ජීවිතය සතුටෙන් පිරවීමේ ආශාවක් තිබූ ගැහැනියක නොවන බව දන්නේ ආර්ය පමණකි.

කාලයක් තිස්සේ එලෙස අහිමි වී ගිය පවුලේ සමාගමය බලාපොරොත්තු නොවූ ලෙස නැවතත් ආර්ය ට ලැබී තිබේ. නමුත් ඒ වෙත්දී ඔහු පවුලෙන් පිටිවහල් කරනු ලැබූ තැනැත්තෙකු ගේ තත්වයට පත් වී තිබිණ.

“ලොකයියටත් තෝසෙ කන්න එන්න කියනව”

ආයු වඩාගෙන සක්මන් කරමින් හිඳින ආර්ය ගැන ඇති වූ කණගාටුවක් මත අමාගී රුසිරු ගේ කනට කොඳුරා කීවා ය. ඔවුන් සිටියේ ආලින්දය මැද්දෙහි බිම හිඳ බෙලෙක් පළඟනාව වට කරගෙනයි.

“එයා එන්නෑ”

ශාක්‍ය හෙමිහිට කොඳුළේ ය.

“හ්ම්”

පූජන ඒ අනුමත කළේ ය.

“ඔව් ඉතිං මහ බකයනෙ”

සිය යෝජනාව ගැන ඈ එක්ක ම කේන්තියෙන් අමාගී පූරි වලින් කට පුරවා ගත්තා ය.

ආර්ය බලා සිටියේ ඔහුටත් පළඟනාවට සම්මාදම් වීම සඳහා ඇරයුමක් ලැබෙනතුරු ය. ඔහු හා අම්මාත් තාත්තාත් වෙනුවෙන් වෙන් කළ කොටස මුළුතැන්ගෙයි තිබූ බව ඇත්ත ය. ඇතැම් විට ඔවුන් ඇරයුම් කෙරුවේ වී නම් ආර්ය ඒ යෝජනාව ප්‍රතික්ශේප කරන්නටත් තිබිණ. නමුත් මේ වෙලාවේ ඔහු ආරාධනයක් නො ලැබීමේ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන්නට ගත්තේ ය. ගෙදර පිරිමි ළමයින් විහිළු කතා කියමින් අමාගී හිනස්සති. ඇය ඉන්නා තැන ඔවුන් සතුටෙනි. වරක් සිනහ වෙන්නට ගිහින් ඇයට කෑම පිටිඋගුරේ ගියේ ය. පූජන ඇගේ පිටට තට්ටු කළේ ය. ශාක්‍ය වහා වතුර ගෙනැවිත් දුන්නේ ය. කැස්ස නිසා ඇගේ දෑස් වලට පිරුණු කඳුළු පිසින්නටත් පොඩි එකා ඉදිරිපත් වූයේ ය. මේ මොන විකාර දැයි ආර්ය ට සිතෙමින් තිබිණ. එය තරහක් හා මුහු වූ නො රිස්සුමකි.

“අපි යං උඩට”

කියමින් ආර්ය පියගැට පෙළ නැගෙන්නට ගියේ එකී නොරිස්සුමෙනි.

“බබාත ඕනෙ. මා… බබාත…”

කියමින් ආයු ආර්යගේ අතේ සිට ම අමාගී දෙසට නැඹුරු වූයේ ය. ඔහු ගේ නළල අත් වැටෙහි නො වැදී බේරුණේ යන්තමිනි.

“මොකද ආ මේ… හිතුවක්කාර වෙන්නද හදන්නෙ…”

ආර්ය දරුවාට සැර දැමුවේ ය. එයින් බියපත් ආයු මුලින් කට බෙරි කරගෙන හිඳ, අමාගී ගේ කම්පිත මුහුණ දුටු ගමන් කෑ ගසා හඬන්නට පටන් ගත්තේ ය.

“ඔය ළමයව දෙනව චුට්ටක් කවන්න”

මඳ නො රිස්සුමකින් ඒ විධානීය ඉල්ලීම කළේ ශාක්‍ය ය. නමුත් ආර්ය නෑසුණා සේ දරුවා ගෙන විගස පියගැට පෙළ නැග ගියේ ය. තවමත් තැතිගෙන ඔවුන් ගිය දෙස බලා සිටින අමාගී දෙස බලා පූජන කන්නයි ඉඟි කළේ ය. නමුත් මොන කෑමක් ද? කලින් ගිල්ල කෑම ටිකත් උගුරේ අතරමගක හිර වී තිබෙනු අමාගී ට දැනිණ. ආයු මා කියමින් හඬ තලනු මතු මහළේ නින්නාද වේ. අමාගී පළඟාන ළඟින් නැගිටින්නට ගියා ය. ශාක්‍ය ඇගේ අතකින් අල්වා නතර කිරීමේ උත්සාහයක් ගත්තේ ය.

“ඔයා කන්න”

නමුත් අමාගී ට ශාක්‍ය ගේ හඬ ඇසුණේ නැත.

“පයිත්තියං අර යකාට”

පූජන ගේ කේන්තිය ඇයට දැනුණේ ද නැත. ඉඳුල් අතින් ම පියගැට පෙළ නැග ගිය අමාගී ඉක්මන් අඩි තබා කාමරය මැදට ම ගොස් බලයෙන් වාගේ ආර්ය අත උන් ආයු ව ගත්තා ය. සිඟිත්තා දෑතින් ම ඇගේ ගෙල වැළඳගෙන උරහිසෙහි හිස තියාගෙන ඉකිලන්නටත් හූල්ලන්නටත් වූයේ ය. ළමයා ආර්ය ගේ ය. එබැවින් ඔහු ට බණින්නට හෝ දොස් කියන්නට ඇයට නුපුළුවන. නමුත් ඇය ඔහු වෙතට එක බැල්මක් හෙළුවා ය. නො අයිතිය ගැන හැඟීමකින් වී ද බැණුම් කෝටියක් ඇගේ දෑස් හි විය. “ළමයව ඇඬෙව්ව” යන චෝදනාව ද එහි විය.

“මගෙ ළමය නිසා ඔයාලගෙ විනෝදෙ නැති කරගන්න ඕන නෑනෙ”

ආර්ය ආඩපාලියක් කීවේ ය. ඔහු ගේ හකු තද වී වෙව්ලමින් තිබිණ. අමාගී රවා බලා දරුවා ඔක්කේ ගසාගෙන ඉක්මන් ගමනින් කාමරයෙන් පිටව ආවා ය.

“තියන දුෂ්ටකම”

පියගැට පෙළ බසිනා ගමන් ඇය තනිව කියාගත්තා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here